ආතතියෙන් මිදෙන මඟ | සිළුමිණ

ආතතියෙන් මිදෙන මඟ

චනයෙන් කියන්න බැරි තරම් බරක් මගෙ හිතට දැනෙනවා." ඇය පැවසුවාය.

" එහෙනම් මොකක් හරි ගැන හිත හිතා ඉන්නවා ඇති."

" ඔව්, ඒත් ඒ ගැටලුව විසඳුණා. ඒත් තවමත් සැරින්සැරේ හරි අපහසුවක් දැනෙනවා. ඒක හරිම පීඩාවක්. ඇඟත් රිදෙනවා වාගෙයි."

ජීවිතය බොහෝවිටම අපට පීඩාකාරී අත්දැකීම් ලබා දෙන්නකි. ගේ දොර පරිසරයේ, රැකියා ස්ථානයේ, පාසලේ ආදී බොහෝ තැන්වල එකී පීඩාකාරී බව විඳින්නට අපට සිදු වෙයි. එමෙන්ම ජීවන රටාවේ වෙනසකදී මෙන්ම අප විසින්ම නඩත්තු කරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හරහා ද අපට මේ පීඩාව විඳින්නට සිදු වෙයි. එය දෙගුණ තෙගුණ වන්නට, සමස්ත සමාජයම එකී පීඩාවේ ගිලී යන්නට යම් ව්‍යසනයක් හෝ අද අපි මුහුණ දී ඉන්නා අන්දමේ ගෝලීය වසංගතයක් නියත වශයෙන්ම හේතු විය හැකිය.

මේ ආකාරයේ මානසික පීඩනයක්, වෙහෙසක් අප හඳුන්වන්නේ ආතතිය ( Stress ) නමිනි.

එය යම් චිත්ත පීඩාවකි. යම් බාහිර කාරණාවක් සම්බන්ධයෙන් අපේ මනසත් සිරුරත් ක්‍රියා කරන, ප්‍රතිචාර දක්වන අන්දම මෙයින් හැඳින්වේ. සරල උදාහරණයක් ගතහොත් ඊළඟ දවස වෙද්දී සම්පූර්ණ කළ යුතුව තිබෙන ගෙදර වැඩ ප්‍රමාණය යම් ශිෂ්‍යයකුගේ සිත තුළ මේ ආකාරයයේ ආතතියක්, පීඩාවක් ඇති කරන්නට හේතු විය හැකිය. ඇතැම් විට එය එක වරක් පමණක් සිදු වන කෙටිකාලීන ආතතියක් පමණක් වන්නට ද පුළුවන. ඇතැම් විට එය දීර්ඝ කාලයක් තිස්සේ කලින් කලට මතු වන්නටත් පුළුවන. එහෙත් එබඳු පීඩාවක් හෝ ආතතියක් හෝ ඇති වීමට මුල් වූ හේතුව පහව ගිය පසුත් තවදුරටත් එයින් පීඩාවක් විඳින්නට සිදු වන අවස්ථා ද තිබේ. එය බොහෝ විට හැඳින් වෙන්නේ සාංකාව (anxiety) වශයෙනි.

ආතතිය එදිනෙදා අභියෝග හමුවේ මතුවීම කවරකුට වුව සාමාන්‍ය කාරණාවක් ලෙස හැඳින්විය හැකි අතරම එකී අදාළ අභියෝගය, ගැටලුව හෝ කාරණාව විසඳුණු පසු කෙමෙන් තුනීව යයි. එහෙත් සාංකාව (anxiety ) එබන්දක් නො වේ. ඒ විටින් විටම අපේ ජීවිතවල පැටලිලි ඇති කරයි. දීර්ඝකාලීනව මානසික හෝ ශාරීරික සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වෙයි. නින්ද, ප්‍රතිශක්තිය, ආහාර ජීර්ණය, හෘද සෞඛ්‍ය මෙන්ම ප්‍රජනන සෞඛ්‍ය කෙරෙහි ද අහිතකර ලෙස බලපාන්නට එය හේතුවක් විය හැකිය. අනෙක් අතට විශාදය වැනි මානසික රෝගාබාධ ඇති වීමට ද මේ තත්ත්වය හේතු විය හැකි බව පැවසෙයි.

මේ තත්ත්ව දෙක අතර වෙනස හඳුනා ගැනීම බෙහෙවින් වැදගත්ය. මානසික ආතතියේදී යමකු ප්‍රතිචාර දක්වන්නේ බාහිර සාධකයක් සම්බන්ධවය. නුදුරු අනාගතයේදී සිදු වන්නට නියමිත යම් සිදුවීමක් හෝ මුහුණ දෙන්නට සිදු වී තිබෙන යම් යම් අභියෝගයක් සම්බන්ධයෙන් හෝ මේ ආකාරයේ පීඩාකාරී හැඟීමක් ඇති වන්නට පිළිවන. එහෙත් එය දිගින් දිගටම පවතින්නක් නො වේ. ඒ සිදුවීම අවසන් වීමෙන් පසු හෝ අභියෝගට මුහුණ දීමෙන් පසු එකී පීඩාකාරී තත්ත්වය පහවී යයි. එහිදී මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම ධනාත්මක හෝ වේවා සෘණාත්මක හෝ වේවා එහෙ තවදුරටත් පෙර පරිදි අප වෙහෙස වන්නේ නොවේ.

මේ කාරණයේදී මතක් කළ යුතු තව දෙයක් වන්නේ නිශ්චිත අවසන් කාලයක් (deadline ) සම්බන්ධයෙන් සිතේ ඇතිවන ආතතියයි. එයද ඇතැමුන් තුළ ඇතිකරන්නේ දෙආකාරයක තත්ත්වයකි. යමෙකු එබඳු අවස්ථාවක් සඳහා සූදානම් වන්නේ නොඉවසිල්ලෙනි. එහෙත් ඇතමෙකුට එය ආතතියකි. එදිනෙදා සැහැල්ලුව, නින්ද ආදියට ඉන් බාධා පැමිණෙයි.

යම් අවස්ථාවක ආතතිය හා සාංකාව යන තත්ත්ව දෙකම එකවර මනසට හා සිරුරට පීඩා ගෙන එන්නට ඉඩ තිබේ. එබඳු අවස්ථා අපට වටහා ගත හැකි වන්නේ අපේ මනසේත් සිරුරේත් ඇතිවන යම් වෙනස්කම්, නොහොත් අපහසුතා හරහාය. අධිකතර කනස්සල්ල , නොසන්සුන් බව, අවිනිශ්චිත බව, හිස කැක්කුම හෝ සිරුරේ වේදනා, අධි රුධිර පීඩනය මෙන්ම නින්දට බාධා ඇති වීම ද මෙහිලා දැකිය හැකි ලක්ෂණය.

එහෙත් සංකාව ( Anxiety ) අභ්‍යන්තර කාරණාවකි. එය උපදින්නේ ආතතියට එරෙහිව, ආතතිය සම්බන්ධයෙන් අප දක්වන ප්‍රතිචාර අනුවය. එම ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් වශයෙනි. එය හැඳින්වෙන්නේ දීර්ඝ කාලීනව පවතින හැඟීමක් වශයෙනි. මේ හැඟීම බොහෝ විට බියමුසු සැකය හෝ තැතිගැන්ම හා සම්බන්ධය. මේ හැඟීම් ලෙහෙසියෙන් පහව යන්නේ නොවේ. එය එදිනෙදා ජීවිතයට බාධා කරමින් විටින් විට නිරන්තරව මතු වෙයි. සාමාන්‍යයෙන් අප දැන් ගෙවා දමන මෙබඳු වසංගත තත්වයකදී මෙයින් මිදීම සම්බන්ධයෙන්ම අපේ චිත්ත අභ්‍යන්තරයෙන් උපදින බිය, තැතිගැන්ම ආදිය නිසාම සාංකා තත්ත්වයක් ඇති වන්නට ඉඩ තිබේ. දිගින් දිගටම සිත් තුළ එය පැළපදියම් වන්නටත් ඒ තුළින් නිරන්තරව පීඩාවට පත් වන්නටත් එය හේතුවක් වෙයි. අනෙක අප මුහුණ දී ඇති ගැටලුවේ අවිනිශ්චිත භාවය හා අවිනිශ්චිත කාල පරාසය ද මෙහිදී දැඩි ලෙස බලපාන්නට පුළුවන.

එහෙත් සාංකා තත්ත්වයකදී අප අත්විඳින දෙය නම්, ඒ හැටි බිය වන්නට කාරණාවක් ඒ අහලක නැතත් යම් අවිනිශ්චිතතාවකින්, බියකින් හා අප්‍රසන්න භාවයකින් සිත පිරී තිබීමයි.

මෙහිදී අපට පෙනී යන්නේ එදිනෙදා ජීවිතයේදී අප සිත්වල උපදින ආතතිය කළමනාකරණය කර ගැනීමට හුරු වීම මේ සියල්ලට පිළිතුර බවයි. එබැවින් මෙබඳු ව්‍යසනකාරී කාලසීමාවකදී ආතති කළමනාකරණය පිළිබඳ හිත යොමු කිරීමත් තේරුම් ගැනීමත් වටී.

ආතතියට හෝ පීඩාවට පත්වීම හුදෙක් අමුත්තක් නොවේ. එය සියල්ලන්ටම පොදු තත්ත්වයකි. එහෙත් අප පරිස්සම් විය යුත්තේ එය සීමාව ඉක්මවා ඉතිරි පැතිරී යන්නට ඉඩ නොදීමටය. එබැවින් වඩා වැදගත් වන්නේ යමෙකුට ආතති තත්ත්වයක් ඇති වී ඇත්දැයි දැන ගැනීමේ මූලික ලක්ෂණ මොනවාදැයි තේරුම් ගැනීමය. එය සරල කාරණා කිහිපයකින් අපට වටහාගන්නට පුළුවන් වෙයි. ඉන් එකක් නම්, අපේ එදිනෙදා ජීවිතය යම් අපහසුතාවකට, වෙනසකට, පැටලිල්ලකට ලක් වී ඇති බව අපට දැනීමයි. යම් යම් දේවල් මග හැර දමන්නට වුවමනා බවක් අපට හැඟීම ද තවත් ලකුණකි. එනම් යම් කාරණාවක් නිසා සිත කලබල වී ඇති බව අපට දැනීමයි. සෑම මොහොතකම පාහේ එකී කල්පනාව ඉස්මතු වීම ද මෙහිදී සිදු වෙයි.

එබැවින් වඩාත්ම වැදගත් දෙය වන්නේ තමන් මානසික හා ශාරීරික වශයෙන් අපහසුවට පත්ව සිටින කාරණය නිශ්චිතවම හඳුනා ගැනීමය. මෙබඳු සමයක නම් ඒ අපගේ සෞඛ්‍යය පිළිබඳ විය හැකිය. කොරෝනා වයිරසය වැලඳී ඇත්දැයි යම් යම් රෝග ලක්ෂණ පිළිබඳ යමකු වධ වන්නට ඉඩ තිබේ. හැම විටම ඔහුට හෝ ඇයට සිහි වන්නේ එයයි. දිගින් දිගටම හිතේ සිරකරගෙන සිටීම බලවත් මානසික පීඩාවක් ඇති කරයි. එහිදී අප කළ යුත්තේ එම පීඩාව අඩු කළ හැකි, ගැටලුව විසඳාගත හැකි ක්‍රියාමාර්ගවලට පිවිසීමයි. එනම්, වෛද්‍ය උපදෙස් පැතීම හෝ පරීක්ෂාවකට යොමු වීමයි. සාමාන්‍ය තත්ත්වයකදී ආතතියෙන් මිදීම පිණිස අපට තෝරා ගත හැකි ක්‍රම නිශ්චිත වශයෙන් මොනවා දැයි කියන්නට නොහැකිය. එහෙත් උත්සාහ කිරීම් හා අත්හදා බැලීම් හරහා ඒ ඒ පීඩාකාරී හැඟීම්වලින් මිදී සාමාන්‍ය දවසේ ජීවිතයට පැමිණෙන්නට අපට උදවු වන ක්‍රියාකාරකම් හඳුනා ගන්නට හැකියාවක් තිබේ. ඒ විවිධ ක්‍රියාකාරකම් හරහා අන්තිමේදී අපිට ගැළපෙනම ක්‍රියාකාරකමක් හෝ දෙකක් තෝරා ගන්නට අවස්ථාවක් ලැබේ.

සිතේ උපදින හැඟීම් ලියා වාර්තා කර ගැනීම, සිත එක්තැන් කිරීම පිළිබඳ ක්‍රියාකාරකම්වල යෙදීම, ව්‍යායාම ආදිය මෙහිලා සැලකිය යුතු සහායක් අපට ලබා දෙයි. විශේෂයෙන්ම පෝෂ්‍යදායි ආහාර හා නිසි වේලාවට ආහාර ලබා ගැනීම මෙහිදී බෙහෙවින් වැදගත්ය. යමෙකු තමන්ගේ නින්ද පවත්වාගෙන යාමේ රටාව නිසි පරිදි පවත්වාගෙන යෑම ද මෙහිදී සිදුකළ යුත්තකි. ආතති තත්ත්වයක් මගහැරීම වෙනුවෙන් වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් නින්ද මග හැරීම නොකළ යුත්තකි. නිවැරදි රටාව මෙන්ම ප්‍රමාණවත් අන්දමට නින්ද ලබා ගැනීම ද ආතතියෙන් මිදෙන්නට උපකාරයකි. කැෆේන් අඩංගු පාන වර්ග හැකිතරම් අඩු කර ගැනීම ද මෙහිදී සිදු කළ යුතු යැයි පිළිගැනීමක් පවතී. 

මේ සියල්ලටම වඩා පැහැදිලිවම අපට උපකාර විය හැකි ක්‍රමයක් වන්නේ අදහස් බෙදාහදා ගැනීමයි. එනම් විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ ඒ අසීරු, පීඩාකාරී හා සෘණාත්මක හැඟීම් පිළිබඳ සාකච්ඡාවක යෙදීමයි. එය දැන් දැන් ශාරීරික පීඩාවක් තරමටම මුල් බැසගෙන තිබෙන්නේ නම් වඩාත්ම යහපත් කාරණාව වන්නේ ඒ පිළිබඳ වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීමයි.

බොහෝ දෙනාගේ අදහස වන්නේ ශරීරය පිළිබඳ ඇතිවන අපහසුතාවලටත් වඩා මනස සම්බන්ධයෙන් සිදු වන අපහසුතා හා පීඩා ගැන අවධානය යොමු කළ යුතු බවයි. මන්ද යත් එහි කෙළවර අප කිසි ලෙසකින් හෝ කල්පනා නොකළ මානසික හෝ ශාරීරික ව්‍යාධියක් විය හැකි බැවිනි. මේ වන විට දෙවසරක් තිස්සේ ලොව පුරා ජනතාව පීඩා විඳින්නේ මෙබඳු පසුබිමකය. එබැවින් කොරෝනා වයිරසයෙන් ගැලවී ගන්නට උත්සාහ කරනවා මෙන්ම ඒ හා සටන් කරනවා මෙන්ම වැදගත් කාරණයක් වන්නේ මනස නිරවුල්ව පවත්වා ගෙන යෑමයි. එහිදී "සාමාන්‍යකරණය"ට හුරු වීම වැදගත් එළැඹුමක් ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන. දවස මුළුල්ලේ කම්පිත සිතිවිලිවලින් සිත පිරී යන්නේ නම් අපට කළ හැකි එක් දෙයක් වන්නේ ප්‍රයෝජනවත් යම් කාර්යයකට යොමු වීමයි. එනම් අප ස්ව කැමැත්තෙන්ම යම් කාර්යයක යෙදීමයි. ඇතැම් විට එය නිවසේ සාලය, නිදන කාමරය හෝ අධ්‍යයන කාමරය යළි සකස් වීම විය හැකිය. එහි යෙදී සිටිද්දී ඔබේ මනස පීඩාකාරී සිතිවිලිවලින් මිදෙන්නාක් මෙන්ම අවසානයේ මේ අලුත් පෙනුම නිසා ප්‍රබෝධයක් හිතට ඇති වන්නටත් ඉඩ තිබේ. තවත් එක ක්‍රමයක් වන්නේ යමකු වඩාත් දක්ෂතම, වඩාත්ම ඇලුම් කරන කාරියෙහි වැඩි කාලයක් මිඩංගු කිරීමයි.

Comments