සිසුවාගේ ලිපියෙන් කින්නියා මහාමාරු මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ | Page 5 | සිළුමිණ

සිසුවාගේ ලිපියෙන් කින්නියා මහාමාරු මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

කින්නියා මහාමාරු ගම්මානයේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ උසස් ගණිත අංශයේ ඉගෙනුම ලබන එ්.එච්.එම් බවීන් තම ගමේ මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ අතර එම ලිඛිත ලියුමට ප්‍රතිඵලයක් ලෙස මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ගැන ජනතාව සතුටු වෙති.

තම නිවෙසේ සිට පාසැලට කිලෝමීටර් හතක් පාපැදියෙන් යන මෙම සිසුවා 2023. 06.03 " 'අභියෝග ජය ගනිමු' යන මැයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. දීර්ඝ කාලයක සිට ජනතාවට විවිධ දුෂ්කරතා ඇති කරමින් තිබූ කච්චක්කොඩිතීව් - මහාමාරු ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණ කරන ලෙස එම ලිපියෙන් ඔහු පැමිණිලි කර ඇත.

"මේ රටේ යහපත් පුරවැසියකු ලෙස ඔබ අපේ මාර්ග ප්‍රශ්නය විසඳනු ඇතැයි මම බලාපොරොත්තු වන බව සිසුවා වැඩිදුරටත් දන්වා තිබේ. 

මෙම ලිපියට ප්‍රතිචාර වශයෙන් 2023.06. 15 දින නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ජනාධිපතිවරයාගේ මහජන සුබසාධක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. භාත්‍ය සඳහන් කර තිබුණේ, මේ ලිපිය ලියන්නේ එ්.එච්.එම් බවීන් නැමැති සිසුවා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව බවය.

ඒ පිළිබඳව සලකා බලා අවශ්‍ය සහ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් 2024.07.06 දිනට පෙර ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව තමාට දන්වන ලෙසත් එහි සඳහන් කර තිබුණි. මෙම ලිපිය නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යවා දින 11 ක් ඇතුළත මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. එම නිසා මහ ජනතාවගෙන් බොහෝදෙනෙක් පෙර නොවූ විරූ ලෙස උද්යෝගීමත් වූහ. මෙම මාර්ගය කච්චකොඩි දූපත, මහා මාරු, පුදුකුඩිඉරුප්පු , සින්න මහා මාරු, කල්ලඩි වෙට්ටුවාන් නඩුඌටට්රු, වෙල්ලන් කුලමි, කුරන්ගුපාච්චාන් හා සුන්ගාන්කලි යන ගම්මාන ආවරණය වන පරිදි කිලෝමීටර් 7ක පමණ ප්‍රධාන මාර්ගයකි.

අලිගාර් මහා විද්‍යාලය, අන් නජාඩ් මහා විද්‍යාලය, අල් අග්ලා විද්‍යාලය කල්ලඩි වෙටුවන් විද්‍යාලය, සක්කරියා විද්‍යාලය, සහ චුංගග්කුඩි විද්‍යාලය මෙම ප්‍රතිසංස්කරණය කරන වීදියට අයත් වේ. මේ නිසා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ දිනයේ සිටම ජනතාව සිය අප්‍රමාණ සතුට ප්‍රකාශ කර තිබේ. දැනට කිලෝමීටර් එකක දුරක් දක්වා මේ වෙනුවෙන් මුදල් වෙන් කර තිබේ. ඒ පිළිබඳව ජනතාව ජනාධිපතිතුමාට ස්තුතිය පළ කළ අතරම ඉතිරි කිලෝ මීටර හයක් ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටි.

Comments