
මනුෂ්‍ය ශරීරයට අහිතකර කෘත්‍රිම රසකාරක යෙදූ තක්කාලි සෝස් ඇතුළු ආහාර වර්ග රාශියක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබේ. සෝස් වර්ගවලට පමණක් සීමා නොවූ මේ වස මුසු කිරීම සුළුවෙන් බැහැර කළ නොහැකිය. මහජන සෞබ්‍ය පරීක්ෂකවරු වෙළෙඳපොළේ ඇති ආහාර වර්ග පරීක්ෂාවට ලක් කරනුයේ දහසක් බාධක මධ්‍යයේය. ලංකාව පුරා විසිරී සිටින ක්ෂේත්‍ර මහජන සෞබ්‍ය පරීක්ෂකවරු 2,500ක පමණ පිරිසෙන් මසකට අවම වශයෙන් 5000ක ප්‍රමාණයක් සාම්පල ගත යුතු වුවත් මෙම සියලු බාධක මැද 3000- 4000ක ප්‍රමාණයක් ආහාර විශ්ලේෂණය සඳහා සාම්පල ලබා ගන්නා බව පැවසේ.
ලංකාවේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම සෞබ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා ප්‍රමුඛත්වය ලැබෙන වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධාරණය කරති. රසකාරක සහ ව්‍යාජ ආහාර නිෂ්පාදනවල සෞඛ්‍යමය බලපෑම් මොනවාද යන්න පිළිබඳ පර්යේෂකයකු සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගැමුණු සාලිය පෙරේරා දැක්වූයේ මෙවැනි අදහසකි.
" ඇසුරුම් කර තිබෙන ආහාරයක් තෝරා ගන්නා විට පාරිභෝගිකයන් ‘ස්වභාවික’ සහ ‘සෞඛ්‍ය සම්පන්න’ ලෙස ඇසුරුම් කර ලේබල් කර අලෙවි කරන ආහාර සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. ස්වාභාවික ආහාරයක ඡායාරූපයක් ලේබලයේ සඳහන්ව තිබුණත් බොහෝ දෙනා ඉන් සෑහීමකට පත් වනවා. ඒ ආහාරය ස්වාභාවිකයි, තත්ත්වයෙන් උසස් කියා. නමුත් ජනතාව කරන ලොකුම වැරැද්ද තමයි, ඇසුරුම් කළ නිෂ්පාදන මිල දී ගැනීමේදී අමුද්‍රව්‍ය ලැයිස්තුව හරියට කියවන්නේ නැතිකම. කියවා ගත්තත් අපව නොමඟ යවන එහි සඳහන් ඇතැම් ප්‍රකාශවල ඇත්ත නොදැන සිටියහොත් නිෂ්පාදකයන්ගේ කපටිකම්වලට ජනතාව අහුවෙනවා.
ඔබ කිසියම් ඇසුරුම් කළ හෝ සැකසූ ආහාරයක් ලබා ගන්නේ නම්, එසේ නොමඟ යැවෙන ලේබලයේ ලැයිස්තු ගත කර තිබෙන එක් ආහාර ආකලන ද්‍රව්‍යයක් වන්නේ, ‘Added flavours’ය. මෙම එකතු කරන ලද රසයන් 'ස්වාභාවික රසකාරක' (Natural flavours), 'ස්වාභාවික රසයට සමාන රස කාරක (Nature identical flavours )' හෝ 'කෘත්‍රිම' රසකාරක (Artificial flavours ) විදියට වර්ග කරන්න පුළුවන්.
කෙනෙකුට මේ තුනෙන් එකක් තෝරා ගැනීමට සිදු වුවහොත්, මිනිසුන් වඩාත් "ස්වාභාවික" විකල්පය වෙත යාමට වැඩි අවස්ථාවක් තිබෙනවා. එකතු කළ රසකාරක වර්ගයට අදාළ එකී විශේෂිත වූ රසය උකහා ගත්, මූලාශ්‍රය අනුව මේ වර්ග තුන වෙනස් වනවා.
නිර්වචනය අනුව ස්වාභාවික රස කාරක පැමිණෙන්නේ ස්වාභාවික ආහාරයට ගත හැකි මූලාශ්‍රවලින්. මෙම ස්වභාවික ප්‍රභවයන්වලට එළවළු, පලතුරු, කුකුළු මස්, මස්, ඖෂධ පැළෑටි කුළුබඩු සහ කිරි නිෂ්පාදන ඇතුළත්. මේ ස්වාභාවික ආහාරවලින් උකහාගන්නා රස කාරක ස්වාභාවික රසකාරක ලෙස හැඳින්විය හැකියි.
ස්වාභාවික ප්‍රභවයන්ගෙන් ලබා නොගත් වෙනත් ඕනෑම රසයක් කෘත්‍රිම හෝ කෘත්‍රිම රසකාරක ලෙස හැඳින්වෙනවා. වැඩි දෙනකු සිතා ඉන්නේ, ස්වාභාවික රසකාරකවල කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍යයක් නොමැති බවයි. එහෙත්, ආහාරවල ස්වාභාවිකව පවතින හෝ කෘත්‍රිමව නිර්මාණය කරන ලද සියලුම රසයන් සෑදී තිබෙන්නේ රසායනික සංයෝගවලින්. ස්වාභාවික රසයන් නිර්මාණය කරනු ලබන්නේ එහි වෙනස් රසය ලබා දෙන රසායනික සංයෝගය නිස්සාරණය කර, සාන්ද්‍රණය කිරීමෙන්. එහෙම නිෂ්පාදනය කරනකොට ඒ නිෂ්පාදනය කල් තබා ගැනීමට, වර්ණ ගැන්වීමට සහ වෙනත් විශේෂ ගති ලක්ෂණ ලබා දීම සඳහා වෙනත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදනු ලබනවා.
තෙවැනි වර්ගයේ රසකාරක ලෙස හඳුන්වන්නේ, 'ස්වාභාවික රසයට සමාන රසයන්. එනම්, Nature identical flavours. මේවා සංශ්ලේණය මඟින් හෝ රසායනික ක්‍රියාවලීන් හරහා අදාළ සුවඳට හේතු වන රසායනිකය වෙන් කර ගැනීමෙන් නිෂ්පාදනය කරනවා. ඒවා රසායනිකව පලතුරු, එළවළු, කිරි නිෂ්පාදන ආදියෙහි ලාක්ෂණික සුවඳට රසයට හේතුවන ස්වභාවිකව පවතින රසායනික ද්‍රව්‍යවලට සමානයි. මේවා ස්වභාවධර්මයේ තිබෙන රසයන්ට සමාන රසයන් කෘත්‍රිමව නිර්මාණය කරන නමුත්, ස්වාභාවික රසවලට සමාන රසායනික සංයෝගයන්. ඒවා, ස්වභාවික රසයට 'සමාන' රසයන් ලෙස ද සැලකෙනවා. එය ස්වාභාවික හා කෘත්‍රිම රස අතර, මැද පිහිටා ඇති තත්ත්වයක්.
එසේම, කෘත්‍රිම රසකාරක හානිකර ද? යන්න විමසා බැලීමත් අතිශය වැදගත්.
ස්වාභාවික හෝ කෘත්‍රිම රසකාරකවල පෝෂණ අගයක් නැහැ. සමහර රසකාරක අපගේ සෞඛ්‍යයට ඉතා හානිකර ලෙස ලැයිස්තුගත කර තිබෙනවා. කෘත්‍රිම රසයන් මධ්‍යස්ථව පරිභෝජනය නොකළහොත් එය සෞඛ්‍යයට විශාල අවදානමක්. ඉන් ආහාර අසාත්මිකතා උග්‍ර කළ හැකි අතර, සමහර ආහාර සඳහා අධි සංවේදීතාවන් ද ඇති කරනු ලබනවා. සමහර දේ දීර්ඝ කාලයක් ශරීරගත වීම නිසා පිළිකා සහ නිදන්ගත බෝ නොවන රෝගවලට හේතු වන්නට පුළුවන් . සරල ව කිවහොත්, "එකතු කළ චොකලට් රසය" හෝ "එකතු කරන ලද ස්ට්‍රෝබෙරි රසය", "තක්කාලි රසය" වෙනුවට, කොකෝවා, ස්ට්‍රෝබෙරි හෝ තක්කාලි ලෙස ලැයිස්තුගත කර ඇති අමුද්‍රව්‍ය වෙත යන එකයි නුවණට හුරු.
හැබැයි එහෙම ස්වාභාවික අමුද්‍රව්‍ය තිබෙන බවට ව්‍යාජ ලේබල්වල සඳහන් වුවත්, මුළුමනින්ම කෘත්‍රිම ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ව්‍යාජ ආහාර වර්ගත් වෙළෙඳපොළේ තිබෙන්නට පුළුවන්. තනිකරම චොක්ලට්, කොකෝවා, කොකෝවා බටර් නොමැතිව කෘත්‍රිම චොක්ලට් රස කාරක, සහ කොකෝවා බටර් ආදේශක භාවිත කර නිෂ්පාදනය කරන චොක්ලට්, චොක්ලට් කේක් තිබෙන්නටත් පුළුවන් .
කෘත්‍රිම කිරි, රසකාරක යෙදූ කිරි නිෂ්පාදන, කෘත්‍රිම එළඟිතෙල්, රසකාරක යෙදූ ව්‍යාජ එළඟිතෙල් , කෘත්‍රිම බටර්, රසකාරක යෙදූ බටර්, ෆැට්ස්ප්රෙඩ් වර්ග, කෘත්‍රිම බිරියානි රස කාරක යෙදූ 'ෆේක් බිරියානි' වගේම, ස්වාභාවික තක්කාලි අංශුමාත්‍රයක්වත් නොමැතිව හැදූ තක්කාලි පල්පය, වට්ටක්කා පල්පය, පිටි වර්ග, විවිධ ගම් වර්ග, කෘත්‍රිම අම්ල වර්ග, කෘත්‍රිම වර්ණක, කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය, සීනි සහ කෘත්‍රිම පැණි රස කාරක, එම්එස්ජී (MSG) වැනි කෘත්‍රිම රස ප්‍රවර්ධක ද්‍රව්‍ය සහ කෘත්‍රිම තක්කාලි රසකාරක යෙදූ ව්‍යාජ තක්කාලි සෝස් වර්ග වෙළෙඳපොළේ බහුලව තිබෙනවා. ඒ නිසා සෑම විටම නිවසේ පිළියෙළ කර ගත් නිෂ්පාදන හෝ, ප්‍රමිති සහතික තිබෙන විශ්වාසදායක ආහාර නිෂ්පාදන වෙත යොමු වීම සහ එවැනි ආහාරවල ලේබල් අවබෝධයකින් යුතුව කියවා ගැනීමත් බෙහෙවින් වටිනවා..."
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ රෝෂන් කුමාර මහතා, මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" මේ දිනවල බහුලවම මිරිස් කුඩුවලට පිටි ලුණු හා වර්ණක එක් කර විකිණීම සිදු කරනු ලබන අතර, තක්කාලි සෝස් වර්ග බොහොමයකට ද ආහාර සඳහා ගන්නා ගම් සහ වර්ණක පමණක් එක් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් ඇතැම් කේටරින් තක්කාලි සෝස් වර්ගවල තක්කාලි කිසිවක් අඩංගු නොවන අවස්ථාද වාර්තා වී තිබෙන අතර, දීප්තිමත් වර්ණ සහිත හා කැටිති ආකාරයේ තක්කාලි සෝස් වර්ග භාවිත නොකරන ලෙස අප ජනතාවට දැනුම් දෙනවා. ලංකාවේ සෝස් හැදීමට තක්කාලි පාවිච්චි කරන්නේ නැති බවත් අපට අනාවරණය වී තිබෙනවා. මොකද පළාතෙන් පළාතට, කාලයෙන් කාලයට තක්කාලිවල රසය සහ පැහැය වෙනස් වනවා. ඒ නිසා සෝස් හදන බොහෝ අය, වර්ණය සහ රසය එකම ආකාරයකින් තබා ගැනීමට පිටරටින් තක්කාලි පල්පය ගෙන්වනවා.
කෙසේ වෙතත් ලංකාවේ ආහාර නීතියට අනුව සෝස්වලට කෘත්‍රිම වර්ණක එකතු කිරීම තහනම්. නමුත් දැන් බොහෝ සෝස් වර්ග වලට වර්ණ යොදනවා. ඔය වගේ දීප්තිමත් රතු පැහැයක් තියෙන්නට බැහැ, සැබෑ තක්කාලි යොදා හදන සෝස්වල. අප ඒවාටත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
නමුත්, අපිටත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඇවිදලා සාම්පල එකතු කරලා, රජයේ රසායනාගාර විශාල වියදමක් දරලා මේ දේවල් ඔප්පු කළාම නඩු දානවා. මේ අය උසාවියට ගිහින් වැරැද්ද පිළිගන්නවා දඩයක් ගෙවනවා.
වැරැදිකරුත් වෙනවා. නමුත් ආපහු ගිහින් ඒ වැරැද්දම කරනවා. අනිත් පැත්තෙන් මෙසේ නඩු දාන එක ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රකාශ කරන්නේ නැහැ. PHI මහත්වරුයි උසාවියයි ඒ වැරදිකරුවෝයි විතරයි ඒක දන්නේ. ජනතාව ඒ ගැන නොදන්නා නිසා ආයෙමත් ඒ තැන්වලින් ම ළමා ළපටිත් අරන් ගිහින් කනවා.
මේවා ජනතාව අතරට යා යුතු නිසයි අපි මාධ්‍යයට මේ ගැන කියන්න හිතුවේ. අපි හොයාගත්තු තව දෙයක් තමයි, ඔය ලීටර් පහේ කේටරින් සෝස් කඩවලට දාන්නෙ කවුද කියන එක අහපුවාම වෙළෙඳුන් කියන්නේ, අඩු මුදලකට කේටරින්වලට ම දෙන ලොකු නිෂ්පාදකයන් පවා සිටින බවයි. නමුත් ඒවායේ ලේබල් මුකුත් නැති නිසා ඒ ගැන අපිටම විතරක් ක්‍රියාත්මක වන්නට බැහැ. මොකද පිටකොටුවේ බොහෝ තැන්වලින් ගත් සාම්පලවල නිෂ්පාදන ආයතනවල එඩ්‍රස් ව්‍යාජ ඒවා. ඒ නිසා වෙළෙන්දන්ටත් යුතුකමක් තිබෙනවා, මේ වගේ දේවල් නොගන්න. මේවා මිනිස්සුන්ගෙන් ආහාර මාර්ගයට ගියාම ටික කලකින් හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා. යම් සෝස් වර්ගයක් අධික රතු පැහැ නම්, කැටි ස්වභාවයෙන් වැක්කෙරෙනවා නම්, නමක් ගමක් නැත්නම්, වට්ටෝරුවක් සඳහන් ව නැති නම් කන්න එපා කියන එකයි අපි ජනතාවට නැවත නැවතත් කියන්නේ..."
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, රංජිත් විතානගේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" 1980 ආහාර පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙනවා ආහාර පිළිබඳ උපදේශන කමිටුවක් එය පාරිභෝගික කටයුතු අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ඇතුළු වගකිවයුතු විවිධ ආයතන සහ විවිධ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පනතේ තිබෙනවා මේ කමිටුවට පාරිභෝගික සංවිධානයක නියෝජිතයන් දෙදෙනෙකු ද ඇතුළත් විය යුතුයි කියලා. හැබැයි අද වෙනකල් අපේ සංගමයටවත් වෙන කාවවත් මේ කමිටුවට නියෝජනයක් දීලා නැහැ.
එහි වගකීම සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර කමිටුව. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට යටින් සිටින විෂයට අදාළ තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරි මණ්ඩලය ද අවදි කර, වහාම ක්‍රියාත්මක විය යුතුය".
අප මේ පිළිබව විමසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සිරිවර්ධන සම්බන්ධකර ගත් නමුත්, ඔහු පවසා සිටියේ මේ පිළිබඳ අදහස් දැක්වීමට හෝ තොරතුරු ලබා දීමට තමන්ට කිසිදු බලයක් නැති බවයි.