යළි උපදින කොරා සහ අන්ධයා | සිළුමිණ

යළි උපදින කොරා සහ අන්ධයා

ප්‍රවීණ නාට්‍ය හා සිනමාවේදී ධර්මසේන පතිරාජ සහ ප්‍රවීණ නාට්‍ය හා රංගනවේදී ධම්ම ජාගොඩ වෙනුවෙන් කෙරෙන සැමරුම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස ප්‍රවීණ නාට්‍ය හා සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල විසින් නාට්‍ය දෙකක් නිර්මාණය කර ඒවායේ මංගල දර්ශන ජූලි මස 07 වැනි දින සවස 6.30 ට කොළඹ,

හැව්ලොක්ටවුන්, ලුම්බිණී රඟහලේ වේදිකාගත කරනු ලබයි. එයින් එක් නාට්‍යයක් ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද කොරා සහ අන්ධයා නාට්‍යයයි.

අනෙක රුසියානු සාහිත්‍ය කලාකරුවකු වන ඇන්ටන් චෙකොව් විසින් රචනා කළ “ද බූර්” ප්‍රහසන නාට්‍යය පරාක්‍රම නිරිඇල්ල විසින්ම

පරිවර්තනය කර ඒ සමඟම රඟදක්වන “වලහැඩියා” නාට්‍යයයි.

කාලය හා ස්ථානය අවිනිශ්චිතය. වේදිකාව හිස් ය. හිස් වේදිකාව දෙස බලා සිටිනා ප්‍රේක්ෂකයන්ගේ නෙත්හි ඇත්තේ ද අවිනිශ්චිත බවකි. සමහරක් නෙත් ජීවිතය පිළිබඳ වේදනාවෙන් පිරුණේ වෙයි. තවත් සමහර ඇස්වල ඇත්තේ බලාපොරොත්තුවේ සේයාවකි.

වේදිකාවේ ඇත්තේ අඩ අඳුරු අළු පාටකි. එහි ගැඹුරු හුදෙකලාවක ලකුණු ඇත. වේදිකාවේ මැදින් එකකුගේ කරේ නැඟුණු තවත් එකෙක් මතු වෙයි. ඔවුන් අපහැදිලි ය. අඳුරු ගුළි දෙකක් බඳු ය. ඔවුහු වේදිකාව මැදට එත්ම කෙමෙන් එළිය වැටෙන්ට පටන් ගති. එකෙකු අන්ධයෙකි, අනිකා කොර එකෙකි. කොරා අන්ධයාගේ කර උඩ නැඟ සිටී.

දෙදෙනාම නිශ්චිතවම හඳුනාගත නොහැකි තරමට ම වැරහැලි වුණු ඇඳුම් ඇඳගෙන සිටිති. කොරාගේ එක අතක හැරමිටියක් ඇත. එය දෙදෙනාට ම වඩා උස ය. අනික් අතින් කරෙන් පහළට වැටෙන ඔලගුවක් අල්ලාගෙන යති. දෙදෙනා ම ඉදිරිපස වේදිකාවට ඇවිත් නවතී.

ප්‍රේක්ෂකයෝ නෙත් අයා බලා සිටිති. සමහරු අඩසියවසකට වැඩි තම මතකය අවදි කරගන්නේ අයාගත් ඇස් ඇතිවය. තවත් සමහරුන්ගේ නෙත්හි ඇති විශ්මය සැබවින් ම විශ්මයකි. ඒ විශ්මය වේදිකාවට ගෙනා පරාක්‍රම නිරිඇල්ල ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියාගේ නෙත්හි ඇත්තේ තෘප්තිමත් ලකුණකි. ඒ, සිය ගුරුවරයා වූ ධම්ම ජාගොඩයන්ට හා සිය මිතුරු ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදී ධර්මසේන පතිරාජ පිළිබඳ ව වන ගෞරවයක ලකුණු ය. හේ අතීතාවර්ජනයක යෙදෙමින් කොරා සහ අන්ධයා නාට්‍යය සහ වලහැඩියා නාට්‍ය නව නිෂ්පාදන සේ කරළියට ගෙන එන්නේ ය.

කොරා සහ අන්ධයා නාට්‍යය මීට පෙර 1970 සැප්තැම්බර් මාසේ 8 වැනිදා ලුම්බිණි රඟහලේ දී රඟ දක්වා ඇත. ඒ සමඟම ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද බූර්‘ නාට්‍යය ද පරිවර්තනය කර පෝරිසාදයා නමින් වේදිකාගත කර තිබේ. මෙය පෙර පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය තිස්ස කාරියවසම් වන අතර, අධ්‍යක්ෂණය කර ඇත්තේ ධම්ම ජාගොඩ විසිනි. මේ නාට්‍ය දෙක ම වසර 53ක් තිස්සේ ප්‍රතිනිෂ්පාදනය වී නැති අතර පරාක්‍රම නිරිඇල්ල ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියාගේ අරමුණ වී ඇත්තේ එකල බෙහෙවින් කතාබහට ලක් වූ මේ නාට්‍ය ද්විත්වය නැවත නිෂ්පාදනය කිරීම ය. එසේ බිහි වූ නව නිෂ්පාදනය පිළිබඳ පරාක්‍රම නිරිඇල්ල පවසන්නේ මෙවැන්නකි.

‘1974 - 1975 වගේ කාලයකදී තමයි මම මේ නාට්‍ය දෙකම දැක්කෙ. එතකොට මම ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවෙ නාට්‍ය කලාව හදාරනවා. 1975න් පස්සෙ කොරා සහ අන්ධයා රඟ දැක්වුවෙ නෑ. විමල් කුමාර ද කොස්තා සහ දයා තෙන්නකෝන් තමයි එහි රඟපෑවේ.

මට සමහර තැන් ඡායාමාත්‍ර වගේ මතකයි. නාට්‍ය පටන් ගත්ත තැන වගේම අවසන් වුණ තැනත් මතකයි. ඒක මගේ හිත බැඳ ගත්ත නාට්‍යයක්. මම ධර්මසේන පතිරාජ මහත්තයා ජීවතුන් අතර ඉන්න කාලෙ 2012 ජන කරළිය නාට්‍ය කණ්ඩායමත් එක්ක කොරා සහ අන්ධයා පරිවර්තනයක් කරවා ගෙන නිෂ්පාදනයක් කළා. දෙමළ භාෂාවට අරගෙනයි කළේ. දෙමළ ශිල්පීන් දෙදෙනෙක් තමයි රඟපෑවෙත්. ත්‍යාගරාජා සිවනේෂන් සහ රාසයියා ලොහානන්දන් කියන නළුවන් දෙදෙනා තමයි රඟපෑවෙ. ඇත්තට ම ධර්මසේන පතිරාජයන් වරින්වර මට කිව්වා සිංහලෙනුත් මේ නාට්‍ය කරන්න කියලා. නමුත් මට ඒක කරන්න වුණේ නෑ. දෙමළ භාෂාවෙන් මේ නාට්‍ය ප්‍රතිනිෂ්පාදනය වූ අවස්ථාවේ ඊට බෙහෙවින් ජන ආකර්ෂණයක් ලැබුණු බැව් බොහෝ ප්‍රේක්ෂකයන්ට අමතක නැත.

සර්වකාලීන හා සර්වභෞමික කතා වස්තු ඕනෑම නිර්මාණ භාවිතයකදී ඊට අනන්‍ය වූ හැඩයක් ගන්නා බව ඔබ දනී. මේ නාට්‍යයේ තේමාව ද එසේ ඕනෑම තත්ත්වයකදී සක්‍රිය හා අවබෝධාත්මක හැඩයක් ගන්නකි. එහෙත් මේ නාට්‍ය දමිළ භාෂාවෙන් වේදිකාගත වූ අවස්ථාවේ එය සිංහලෙන් නැරඹීමට හැකිනම් බොහෝ වටිනා බැව් නිරිඇල්ල නාට්‍යවේදියාට බොහෝ දෙනකුගෙන් ඇරයුම් ලැබුණු බව නම් අපි දනිමු.

මේ නාට්‍ය ද්විත්වය නිෂ්පාදනය සඳහා මූලික වූ යෝජනා ගැන නිරිඇල්ල නාට්‍යවේදියා දක්වන්නේ මෙවැනි අදහසකි. ‘මුලින්ම හිතුණෙ මට. මාලක දේවප්‍රියත් මේ ගැන මට කිව්වා. ධර්මසේන පතිරාජයන්ගෙ බිරිය මාලනී පතිරාජ, ඒවගේම පුතු මිලින්ද පතිරාජගේ එකඟතාව හා ලිඛිත අනුමැතිය යටතේ නිෂ්පාදනය කරන්න ගත්තේ මීට මාසයකට පමණ කලින්. මේ දිනවල පුහුණුවීම් කරගෙන යනවා. ජූලි 7 වැනිදා පස්වරු 6.30ට මංගල දර්ශනය පැවැත්වෙනවා ලුම්බිණි රඟහලේදී ම. ලුම්බිණිය ම තෝරා ගත්තේ ඒ පරණ අත්දැකීමම විඳගන්න ඕන නිසා. 1970 බලපු අයත් ඉන්නවා නැවත බලන්න ආසාවෙන්.

ඒවගේම නාට්‍ය අධ්‍යක්ෂණය කළ ධර්මසේන පතිරාජයන්ට ධම්ම ජාගොඩ මගේ ගුරුවරයාට බුහුමන් දක්වන්නත් මම ඒක අවස්ථාවක් කර ගන්නවා. 1970 රඟදැක්වූ නාට්‍ය සහ අලුත් නිෂ්පාදනයේ වෙනස්කම් ඇත්ද යන්නට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. ‘පිටපතෙන් ඉල්ලා සිටින දේවල්වලට අමතර දේවල් මම කළේ නෑ. මම ඇත්තටම අවුරුදු 50කටත් පෙර දැකපු නාට්‍යයක්නෙ. සමහර දේවල් මතකත් නෑ. පිටපතෙන් ඉල්ලා සිටින ක්‍රමවේදයට තමයි මම නව නිෂ්පාදනය කළේ. සංජීව උපේන්ද්‍ර, චමින්ද බටුකොටුව තමයි කොරා සහ අන්ධයා නිරූපණය කරන්නෙ. මේ නාට්‍යය විනාඩි 45කින් යුතුයි. මුල් කෘතියේ මට මතක තිබුණු ආරම්භය සහ අවසානය එහෙමම තියෙනවා. මැද කොටස් නාට්‍යකරුවකු විදියට මගේ අනන්‍යතාවට අනුව මම ගොඩනඟලා තියෙනවා.

කොරා සහ අන්ධයාට අමතර ව ජූලි 07 වැනිදා ඇන්ටන් චෙකොෆ් ගේ ද බූර් නාට්‍යයේ පරිවර්තනයක් ද රඟගතවීමට නියමිතය. එය මීට පෙර 1970 වර්ෂයේදී රංගගත වූයේ පෝරිසාදයා නමිනි. නමුත් ජූලි 07දා එය වේදිකාගත වෙන්නේ වලහැඩියා නමිනි. අපි ඒ පිළිබඳව ද නිරිඇල්ල නාට්‍යවේදියාගෙන් ඇසුවෙමු.

පෝරිසාදයා කියන්නෙ ඇන්ටන් චෙකොෆ්ගෙ ද බූර් මුල් කෘතියේ පරිවර්තනයක්. ඒ මුල්කෘතිය කියවද්දි මට එහි නැති යම් යම් අංග පෙනුණා. මම පරිවර්තනය කළේ ඒකයි. මගේ පිටපතට අනුව ඒකත් වලහැඩියා නමින් එදාට රඟ දක්වනවා. මහින්ද වීරරත්න, ටිලානි මහාමාලගේ සහ අජිත් ලොකුගේ තමයි රඟපාන්නෙ. පළවැනියට කොරා සහ අන්ධයා පෙන්නනවා. ඊළඟට වලහැඩියා පෙන්නනවා.

නව නිෂ්පාදනය වෙනුවෙන් විශේෂිත ආරාධිතයන් පිරිසක් සහභාගී වීමට නියමිත බැව් පැවසූ හෙතෙම සිය ගුරුවර ධම්ම ජාගොඩ හා ධර්මසේන පතිරාජ ඇසුරු කළ සමීප හිතවතුන්ට සිය මංගල දර්ශනය නැරඹීමට ආරාධනා කරන්නේ ය.

‘මම ධම්ම ජාගොඩයන් සහ ධර්මසේන පතිරාජයන් සමීපව ඇසුරු කරපු සිනමා ශිලිපීන් හා නාට්‍ය ශිල්පීන් ආදී හැමෝටම එන්න කියලා මම ආරාධනා කළා. ඒ අයට අමතරව මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, සබීතා පෙරේරා ආදී ජ්‍යෙෂ්ඨ කලාකරුවො පිරිසකුත් සහභාගීවීමට නියමිතයි‘

පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය කලාව ඇතුළත ස්වර්ණමය ලකුණකි. සංකීර්ණ සමාජ ගැටලු හා ක්‍රියාවලි පිළිබඳ ව වෙනස් මුහුණුවරකින් යුතුව ආ නාට්‍යවේදයේ පුරෝගාමී මෙහෙවරක් කළ නාට්‍යවේදීන් අතර පරාක්‍රම නිරිඇල්ලට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. ඔහු සිය ලකුණ වේදිකා නාට්‍යයේ, රූපමාලා නාට්‍යයේ සේම චිත්‍රපටයේ ද මුද්‍රා ගත කළේය. සිය මුල් ම නාට්‍යයෙන් රාජ්‍ය සම්මාන මුද්‍රාව ලැබූ ඔහුගේ නම ඉදිරියේ නාට්‍ය නාමාවලියක් ඇත. එය පටන් ගන්නේ සෙක්කුව නාට්‍යයෙනි. අනතුරුව විනිශ්චය, ගැලීලියෝ, වරෙන්තු, චරන්දාස්, මැටි කරත්තය හා හුණුවටය වේ.

අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් කිහිපවරක් රාජ්‍ය සම්මානිත වූ හේ නිම කළ රූපවාහිනී මාලා නාටක අතිශය ජනාදරයට පත් විය. සසර, සයුරෙන්, ළාහිරු දහසක්, යශෝරාවය වැනි නාට්‍යය බැලීමට නියමිත වෙලාව එනකම් බලා සිටිනා ප්‍රේක්ෂක පිරිසක් සිටි බව ඔබට අමතක නැත. ජනහද බැඳ ගන්නා එවැනි රසිකත්වයක් උරුම කර ගැනීම නිර්මාණකරුවකුට පහසු නැත.

ඔහුගේ කඩ ඉම ඒකාංග නාට්‍ය ජර්මනියේදී ට්‍රාන්ස්ටේල්, බල්ගේරියාවේ දී ගෝල්ඩන් ක්‍රෙස්ට් හා බර්ලිනයේ දී පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී හොඳම නාට්‍ය බවට ද සම්මානිත විය. ඔහු නිර්මාණය කළ සිරිමැදුර හා අයෝමා චිත්‍රපට ද්විත්වය ද දෙස් විදෙස් සම්මානිත විය.

නිරිඇල්ල නම් සොඳුරු කලාකරුවාගේ නව නිෂ්පාදන ප්‍රයත්නය ගැන අප මේ මොහොතේ කතා කරන්නේ ඔහුගේ සමස්ත නිර්මාණ දිවිය ම ගුරු කර ගනිමිනි. අනෙකා යටපත් කර හෝ නැතිකර තම පැවැත්ම තහවරු කරගන්නා පුද්ගලයෝ ද ඉහළට එසවූ ඉණිමගට පයින් ගසනා කළගුණ නොදත්තෝ ද අද මෙන්ම එදා ද බහුලය හ. හෘදය සාක්ෂියේ බර අනෙක් සියල්ලට ඉහළින් ඇති බව පමණක් මේ නිර්මාණකරුවෝ සමාජය ඉදිරියේ සනාථ කරන්නාහ. කොරා සහ අන්ධයා ඔබ නැරඹිය යුතුම යැයි යෝජනා කරන්නේ මේ දැනුම්වත්භාවය උදෙසා ය.

Comments