පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

ඩිල්මා වෙතින් මෙරිල්. ජේ. ප්‍රනාන්දුගේ ජීවිත කතාව

කෘතිය - The Story Of Ceylon Teamaker- Merrill J. Fernando

කර්තෘ- අනුර ගුණසේකර

ප්‍රකාශක- ඩිල්මා ලංකා තේ සමාගම

 

මෙරට ප්‍රකට තේ සන්නාමයක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල්.ජේ. ප්‍රනාන්දු ගේ චරිත කතාව ඇතුළත් මේ කෘතිය හුදෙක් චරිත කතාවක් පමණක්ම නොව, දක්ෂ සහ කීර්තිමත් ව්‍යවසායකයකුගේ සාර්ථකත්වය පිළිබඳ විවරණයක් බඳුය. වැවිලි කර්මාන්තය තුළ පවතින අභියෝග සහ ඒවා ජයගත් ආකාරයත් කීර්තිමත් තේ සමාගමක් ලෙස ඩිල්මා මෙරට ස්ථාවර වීමේ ගමන ගැනත් මේ කෘතිය තුළින් කියැවේ. ඩිල්මා ලංකා තේ සමාගමේ සහ ව්‍යාපාර ජාලයේ හදවත බඳු මෙරිල් ජේ. ප්‍රනාන්දු පිළිබඳ මේ කෘතියේ සම්පාදක වන්නේ වසර ගණනාවක් පුරා මෙරට ප්‍රමුඛපෙළේ පුවත්පත්වලට විවිධ විශේෂාංග ලිපි රචනා කරන ප්‍රවීණ ලේඛක අනුර ගුණසේකර ය.


නන්දසිරි විමලදාස ලියූ පුත්තලම් දිශාවේ ජල මූලාශ්‍ර

කෘතිය- පුත්තලම් දිශාවේ ජල මූලාශ්‍ර හා ජෛව විවිධත්වය 01

කර්තෘ- නන්දසිරි විමලදාස

කර්තෘ ප්‍රකාශනයකි

මිල- රුපියල් 750 ⁄ පිටු ගණන- 106

විමසීම්- 071 308 8087

 

මෙම කෘතිය පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ජල මූලාශ්‍ර ආශ්‍රිතව උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා වසර 10ක් පුරා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි. පුත්තලම් දිස්ත්‍රික් ජනතාවගේ හා පරිසර හිතකාමීන්ගේ අවධානයට යොමු නොවූ විල් පතස් හා ගොඩ වළවල් පිළිබඳ මෙහිදී වැඩි නැඹුරුතාවත් දක්වා ඇති අතර, එමඟින් එම ජල මූලාශ්‍ර විනාශ වීම වළක්වා ගැනීම කතුවරයාගේ අරමුණයි. එය වර්තමානයේ එම දිස්ත්‍රික්කය තුළ මුහුණ දී ඇති භූගත ජල හිඟය වළක්වා ගැනීමට උපකාරයක් වනු ඇති බව ද ඔහුගේ විශ්වාසයයි.


පාලිත ගනේවත්තගෙන් ඇන්ටන් වෙකෝෆ් ලියුම්

කෘතිය- ඇන්ටන් වෙකෝෆ් ලියුම්

සම්පාදක- පාලිත ගනේවත්ත

මිල- රුපියල් 1500⁄ පිටු ගණන- 197

විමසීම්- pganewatta@gmail.com

 

යථාර්ථවාදී කෙටිකතාවේ පියා ලෙස සැලකෙන රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණවලින් ආස්වාදයක් ලබන ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගැනීමට කැමති පාඨකයන්ට මේ කෘතිය අපූරු අත්දැකීමක් වනු ඇත. චෙකෝෆ් තම ජීවිත කාලය පුරා ලියූ දැනට මුද්‍රණයෙන් පළ වී ඇති හාර දහසකට වැඩි ලියුම් අතරෙන් තෝරාගත් ලිපි සියයක් මේ කෘතියට ඇතුළත්ය. චෙකෝෆ්ගේ ජීවිතයේ විවිධ අවස්ථා විවරණය වන බැවින් මෙය චෙකෝෆ්ගේ චරිත කතාවක් ලෙස ද සැලකිය හැකිය.


රත්තොට උපනන්ද හිමිගේ අලුත්ම කෘතිය වැදි ජනවෙදකම

කෘතිය- වැදි ජනවෙදකම

කර්තෘ- රත්තොට උපනන්ද හිමි

ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිල- රුපියල් 1,650 ⁄ පිටු ගණන- 288

විමසීම්- 071 835 1872

 

රත්තොට උපනන්ද හිමියන්ගේ දිගුකාලීන පර්යේෂණාත්මක විමසුමක ප්‍රතිඵලයක් බඳු මෙම කෘතිය, අභාවයට යමින් පවතින වැදි ජනවෙදකම පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක අඩුව පිරිමැසීමක් ලෙස හැඳින්විය හැකිය. ඓතිහාසික මූලාශ්‍ර සහ ඓතිහාසික විද්‍යා සහ පර්යේෂණ ක්‍රම පදනම් කරගනිමින් දඹාන ආශ්‍රිතව සිදු කර ඇති පර්යේෂණයේදී වැදි ජනයා සතු ජනවෙදකමේ පවතින සමාජ සහ මනෝ විද්‍යාත්මක ලක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. පරිච්ඡේද 6කින් සමන්විත මෙම පර්යේෂණ කෘතිය තුළින් වැදි ජනවෙදකම හා ප්‍රතිකාර බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට සහ මනෝ විද්‍යා උපදේශනයට උපයෝගි කරගත හැකි ද යන්න පිළිබඳ සිදු කර ඇති විමසුම ඉතා වැදගත් වේ.


උබයරත්න වනසිංහ ගේ පතිනි වලප

කෘතිය- පතිනි වලප

කර්තෘ- උබයරත්න වනසිංහ

ප්‍රකාශක- කඩුල්ල ප්‍රකාශන

මිල- රුපියල් 400 ⁄ පිටු ගණන- 54

විමසීම්-055 228 8302

 

මෙය කතුවරයා විසින් ප්‍රකාශිත පළමු කාව්‍ය සංග්‍රහයයි. වසර ගණනාවක් තුළ ඔහු විසින් විටින් විට රචනා කළ කාව්‍ය නිර්මාණ සමූහය අතරෙන් තෝරාගත් කාව්‍ය නිර්මාණවලින් මේ කෘතිය සමන්විත වේ. විවිධ තේමා යටතේ ලියැවුණු කාව්‍ය 49ක් මේ කෘතියට ඇතුළත්ය.

Comments