කිලෝ දහයක ගෙඩියක් ගර්භාෂයෙන් එළියට ගත් හම්බන්තොට විස්මිත සැත්කම | සිළුමිණ

කිලෝ දහයක ගෙඩියක් ගර්භාෂයෙන් එළියට ගත් හම්බන්තොට විස්මිත සැත්කම

රණය පෙනි පෙනී අන්තිම හුස්ම පොද දක්වා ජීවිතය ඉල්ලා සටන් කරන අසරණ මිනිසුන්ට යළි ජීවය දෙන්නට මහත් කැපකිරීම් කරන වෛද්‍යවරු මිහිපිට උපන් දෙවියන් බඳුය. එවැනි වෛද්‍යවරු විස්මිත සැත්කම් මඟින් රෝගී ජීවිත කොතෙක් සුවපත් කර ඇත්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. 

මෙය ද එවැනි අපූරු සැත්කමක් කළ වෛද්‍ය කණ්ඩායමක් පිළිබඳ කතාවකි. ඒ සැත්කම සිදුකර තිබුණේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. අම්බලන්තොට මැලේකොලනිය පදිංචි 49 හැවිරිදි අවිවාහක කාන්තාවක හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හා උදරය විශාල වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම හමුවට ආවේ පසුගිය 15 වැනිදාය. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා එම කාන්තාව ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට අවශ්‍ය බව පවසා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් වන ලෙසට උපදෙස් ලබා දී තිබුණි. ඉකුත් 19 වැනිදා සිදු කළ ඒ සැත්කම පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මෙසේ කීවේය.

"මෙම රෝගී කාන්තාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතිකාර ලබා ගැනීමට ආවේ බඩ ඉදිරියට නෙරා එනවා, ඊට අමතරව ඇයට හුස්ම ගැනීමට අපහසු බව කියමින්. ඇයව පරීක්ෂා කිරීමේදී මට දැනගන්න ලැබුණා මෙම කාන්තාවගේ බඩේ අසාමාන්‍ය ගෙඩියක් ඇති බව. පසුව අප සිදු කළ ස්කෑන් පරීක්ෂණයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා. ඊළඟට අපට තිබුණු අභියෝගය, උදරයේ කුමන අවයවයේද මෙම ගෙඩිය හටගෙන තියෙන්නේ කියලා තහවුරු කරගැනීම. ඒ නිසා මම පළමුවෙන්ම රෝගියා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරලා එහිදී සීටී ස්කෑන් පරීක්ෂාවක් සිදු කළා. එහිදී අනාවරණය වුණා ගෙඩිය හට ගෙන තියෙන්නේ ඇයගේ ගර්භාෂයේ බව. එය තහවුරු වීමත් සමඟ අපට තවත් අභියෝග කිහිපයකුත් මතු වුණා. ඒ තමයි මෙම ගෙඩිය ශරීරයේ තවත් කුමන අවයව හා සම්බන්ධ වෙලා තියෙනවද, තෙරපිලා තියෙනවද යන්න තහවුරු කර ගැනීම. සීටී ස්කෑන් පරීක්ෂණයේදී දැනගන්න ලැබුණා මෙම ගෙඩිය මහා ප්‍රාචීරයට හා අක්මාවට තෙරපිලා තියෙන බව. සැත්කම කරද්දි එය අවදානම් සහගත දෙයක්. මොකද මේ අවයවවලට හානියක් නොවන්න ඉතා පරිස්සමින් තමයි මේ ගෙඩිය ඉවතට ගත යුතු වෙන්නේ. ඒ විතරක් නෙමේ කාලයක් තිස්සේ මෙම ගෙඩිය බඩවැල් උඩ තෙරපිලා තිබීම නිසා බඩවැල් ගෙඩියට ඇලී තිබෙන බවත් අපිට ස්කෑන් පරීක්ෂණයේදී දැකගන්න තිබුණා. ඒ නිසා සැත්කමේදී බඩවැල්වලට හානියක් නොවෙන්නත් වගබලාගන්න සිදු වුණා. මීට අමතරව උදරයේ ඉහළ ප්‍රදේශයේ සිට රුධිර නාළ මේ ගෙඩියට සම්බන්ධ වෙලා තියෙන බවත් ස්කෑන් පරීක්ෂණයේදී අපට තහවුරු වුණා. ඇත්තටම එය දැඩි අවදානම් සහගත තත්ත්වයක්. ශල්‍යකර්මයේදී රුධිර නාළ කැපී ගියොත් රුධිර වහනය වීමෙන් රෝගියා මිය යන්නත් පුළුවන්. ඒ නිසා මේ රුධිර නාළ එකින් එක ගැට ගසමින් ඉතා පරෙස්සමෙන් ශල්‍යකර්මය කිරීමට සිදු වුණා.

ඒ වගේම අපිට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණේ මෙම කාන්තාවගේ වකුගඩුවල සිට එන මුත්‍ර මාර්ගය මෙම ගෙඩිය ඇතුළින් පිහිටා තිබීම නිසා. ගෙඩිය ඉවත් කිරීමේදී ඉහතින් සඳහන් කළ අවයවවලට අමතරව මුත්‍ර මාර්ගයටත් කිසිදු හානියක් නොවන අයුරින් තමයි මෙය කරන්න සිදු වුණේ. 

පැය දෙක හමාරක පමණ කාලයක් සිදු කළ ශල්‍යකර්මයෙන් පසු කාන්තාවගේ උදරයේ තිබී කිලෝ 10ක පමණ බරකින් යුතු ගෙඩියක් ඉවත් කිරීමට අපට හැකි වුණා. මෙම කාන්තාව වෛද්‍ය අධීක්ෂණය යටතේ දින 05ක් පමණ රෝහලේ සිටීමෙන් පසුව නිවෙසට යා හැකියි. මේ වන විට රෝගියා සාමාන්‍ය වාට්ටුවේ සාමාන්‍ය පරිදි ඉන්නවා.මෙම ශ්‍යල්‍යකර්මය සඳහා හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ගයාන් කංකානම්ගේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සුහර්ෂණ ජයසේකර සහ කනිෂ්ඨ වෛද්‍යවරුන් වන දර්ශන මනුරංග, කාංචන හා දම්මික යන අයගේ සහායත් රෝහල් කාර්ය මණ්ඩලයේ සහායත් නොඅඩුව ලැබුණා. හම්බන්තොට මහ රෝහල නැති වුණා නම් මේ වගේ ශල්‍යකර්මයක් සිදු කර ගන්න කරාපිටිය වගේ දුර බැහැර රෝහලකට යන්න සිදු වෙනවා.

එහෙම ගියත් ඒ ප්‍රදේශයේ ඉන්න රෝගීන්ගේ ලැයිස්තුවෙ අනුව මේ ශල්‍යකර්මය සඳහා සති කිහිපයක් පමණ රෝගියාට බලාගෙන ඉන්න සිදු විය හැකියි. හම්බන්තොට මහ රෝහල නිසා රෝගීන්ට ඉතා පහසුවෙන් මේ කටයුත්ත කර ගන්න පුළුවන්කම තිබුණා. රෝගී සත්කාරය වෙනුවෙන් උපරිම සේවයක් සැපයීමට අවශ්‍ය පහසුකම් හම්බන්තොට මහ රෝහල සතුව තියෙනවා. ඒ නිසා රෝගීන්ට මම කියනවා, මුදල් වියම් කරගෙන දුරබැහැර රෝහල්වලට ගිහින් පොරොත්තු ලේඛනවල රැඳී සිටිය යුතු නෑ.

හම්බන්තොට මහ රෝහල සතුව හොඳ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් වගේම හොඳ වෛද්‍ය කණ්ඩායමක් හා සේවක පිරිසක් ඉන්නවා" හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෙද්‍ය සුරංග ඔබේසේකර ද මේ ගැන අදහස් දැක්වීය.

"හම්බන්තොට මහ රෝහලෙන් සිදු කරගෙන යන රෝගී සත්කාර කිසිවක් අප නවත්තලා නැහැ. රෝහලට එන සියලුම රෝගීන් වෙනුවෙන් ලබා දිය යුතු සියලු සේවා නොපිරිහෙළා ඉටු කිරීමට අපි කටයුතු කරනවා. රෝහල ආරම්භයේදී හිටියේ ද්‍යෛවරු 75ක් පමණක් වුණත් අද වෙනකොට වෛද්‍යවරු 157ක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු 32ක් ඉන්නවා.

රෝහලේ මානව සම්පත් හා භෞතික සම්පත් අඩු මට්ටමක තිබුණත් රෝගී සත්කාරක කටයුතුවලදී එන ඕනැම අභියෝගයකට මුහුණ දෙන්න තරම් අපිට හයියක් තියෙනවා කියන කාරණය තමයි මේ සැත්කම තුළින් ඔප්පු වුණේ."

පැය දෙක හමාරක පමණ සැත්කමකින් පසු උදරයේ තිබූ කිලෝ 10ක පමණ ගෙඩියක් ඉවත් කෙරුණේ අම්බලන්තොට මැලේකොලනිය පදිංචි 49 හැවිරිදි අවිවාහක කාන්තාවකගේය. ඇයට සහෝදර සහෝදරියන් 12ක් සිටින අතර, ඇය පමණක් අවිවාහකව සිය මව සමඟ ජීවත් වන්නීය.

අප මෙම කාන්තාවගේ නිවෙසටද ගිය අතර ඔවුහු ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට අනේක වාරයක් කෘතඥතාව පළ කළහ. රෝගී සත්කාර පිළිබඳ විටින් විට මැවෙන අසුබ පුවත් අතරට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායම සිදු කළ මෙම සැත්කම සුබ පුවතක්ම වනු ඇත.

සූරියවැව විශේෂ, නුවන් ජයසේකර

Comments