කෝපා සහ කෝප් කමිටුවලට යන නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් | Page 5 | සිළුමිණ

කෝපා සහ කෝප් කමිටුවලට යන නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

කෝපා සහ කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත සහභාගි වීමේදී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැලසුම් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාළව කළ නිදහසට කරුණු විමසීමේදී නිලධාරීන් ලබා දී ඇති පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය. කෝප් සහ කෝපා යන කමිටුවලින් ජනපති ලේකම් සමන් ඒකනායකට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ඊට නිසි සූදානමින් නොපැමිණෙන බව කියමිනි. අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් අදාළ ආයතනවල විගණන කමිටුවට සහභාගි නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබේ.

මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේදී පාර්ලිමේන්තුවට කැඳවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ලෙස ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව දෙපාර්ශ්වයටම ගැටලුවක් නොවන ආකාරයට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම්වරයා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී එය සකස් කිරීමෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරනු ඇත.

Comments