
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ පසුගිය සිකුරාදා (30) උදෑසන වැඩ බාර ගත්තේය. 1969 වසරේ ජනවාරි මස 29 වැනි දින ගම්පහ ඉහළගමදී උපත ලැබූ ඔහු බණ්ඩාරවත්ත පරාක්‍රම හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති අතර පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළත්ව තිබේ. ක්‍රීඩාවේ දස්කම් පාමින් ඔහු 1987 වර්ෂයේ දී ආනන්ද විද්‍යාලයීය වර්ණලාභියකුද විය.
1987 උසස් පෙළ විභාගයෙන් පසු උදේනි විශ්වවිද්‍යාල පිවිසුමට සුදුසුකම් ලැබූවත් ඔහු ගුවන් හමුදාවට බැඳීමට තීරණය කළේය. ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1988 දී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියේ (KDA) පුහුණුව ලැබුවේය. VVP ශ්‍රේණිගත ප්‍රධාන නියමුවෙකු (Captain Pilot) වන ඔහු ගුවනේ සිට ගොඩබිමටත්, මුහුදු ඉලක්කවලට පහරදීම සහ ගුවන් ප්‍රවාහනය යන දෙඅංශයෙන්ම පියාසර පැය 7000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කරගෙන ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන “මාස්ටර් ග්‍රීන්” ශ්‍රේණිගත කිරීමේ ඉහළම උපකරණ ශ්‍රේණිගත කිරීමටද ඔහු උරුමකම් කියයි. ඔහු 2022 සැප්තැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර දැරුවේය.