අකාලයේ සමුගත් හම්බන්තොට ‘දොස්තර ඇල්වතුර’ | Page 5 | සිළුමිණ

අකාලයේ සමුගත් හම්බන්තොට ‘දොස්තර ඇල්වතුර’

වෛද්‍ය පී.ඇම්. බී. සිරිල්

ම්බන්තොට දිස්ත්‍රික්කයේ විසු ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකු වු දොස්තර පී.ඇම්. බී. සිරිල් ඉකුත් දා සිදු වු හදිසි අනතුරකින් අකාලයේ දිවියෙන් සමු ගත්තේය. ඒ වනවිට 89 හැවිරිදි වියේ පසු වූ හෙතෙම මිය ගොස් තිබුණේ තම නිවසේ සවිකර තිබූ විදුලි සෝපානයක් කඩා වැටීමෙනි.

වෘත්තියෙන් සහකාර වෛද්‍යවරයකු වූ ඔහු මිය යන අවස්ථාව වන විටත් පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ නියැළී සිටීම විශේෂත්වයක් විය. 1970 සිටම අම්බලන්තොට සහ හම්බන්තොට ආශ්‍රිත වෛද්‍ය මධ්‍යස්ථාන රැසකම සේවය කර ඇති සිරිල් ඒ දිනවල ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ 'ඇල්වතුර දොස්තර' යන නමිනි. එකල ප්‍රදේශයේ ජනතාව ඔහුට එවැනි නමකින් ආමන්ත්‍රණය කළේ, ඔහු අතින් ලබා දෙන ඇල්වතුර බිඳකින් පවා ලෙඩදුක් නිවාරණය වූ බැවිනි. 

දෙවුන්දර සුළු ව්‍යාපාරික පවුලකින් පැවැත එන සිරිල් රජයේ සහකාර වෛද්‍යවරයකු (AMP)වශයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම සේවය කර , පසුව අම්බලන්තොටට ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමක් අනුව ය.

කොතරම් බරපතළ තත්ත්වයෙන් පසු වූ රෝගියකු වුව ද ඔහු විසින් දෙන ලද එකම බෙහෙත් බෝතලයකින් සුවපත් වූ බවත් ඒ සඳහා අය කරන ලද්දේ රුපියල් 2ක් හෝ ඊටත් අඩු මුදලක් බවත් පැරැන්නන්ගේ මතයයි.

‘දොස්තර මහත්තයා මෙදා සැරේ ඔහේ ඡන්දෙ ඉල්ලුවොත් ටක්කෙට ම දිනනවා!' කියමින් 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස සිරිල්ට බල කළේ ප්‍රදේශයේ ගොවි ජනතාවයි. එ.ජා.ප යෙන් තිස්සමහාරාම අසුනට තරග කළ පිටගම්කාරයා වැඩි ඡන්ද 7,770කින් ජය ගත්තේය. මුල සිටම ඔහු දුටු සිහිනයක් වූයේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 10,000කට අධික බිම් ප්‍රමාණයක් යල මහ දෙකම පහසුවෙන් වගා කළ හැකිවන පරිදි කිරිදිඔය හරස් කර වේල්ලක් බැඳ ලුණුගම්වෙහෙර ජලාශ යෝජනා ක්‍රමය ඉදි කිරීමයි.

‘ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමය මගේ ඡන්ද පොරොන්දුවක්' ඒ පොරොන්දුව ඉෂ්ට නොකර මට ආසනේට යන්න බෑ! යි කී සිරිල් වාරිමාර්ග ඇමැතිධුරය දැරූ ගාමිණී දිසානායක සමඟ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකර ගෙන තිබුණේ තම ඡන්ද දායකයන්ගේ යහපත වෙනුවෙනි. අවසානයේදී ප්‍රශ්නය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දක්වාම දුරදිග ගිය අතර, ජනාධිපතිවරයාට ද සිදු වූයේ 'ඔන්න ඕක දීලා දාන්න... ගාමිණී! යි කියමින් නිහඬ වන්නටය.

මහවැලි කඩිනම් යෝජනා ක්‍රමයට සමගාමීව ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමය ඉදිකිරීම 1979දී ගාමිණී දිසානායක ඇමැතිවරයාට සිදු වූයේ එම දෙපළ අතර හටගත් සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව කිරිදිඔය හරස් කර සැතපුම් 4ක් පමණ දිගැති වේල්ලක් බැඳ අක්කර අඩි 184,000 ක් පමණ වු ධාරිතාවයක් සහිත ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමයට මුල්ගල තැබුණේ ඒ අනුවය.

එක් අවස්ථාවකදී ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු මුදල් ප්‍රශ්නයක් මත නතර කෙරුණේය. “එහෙම කොහොමද නතර කරන්නේ? ගාමිණීට කුදගහගන්න කියන්න.!” යි කී දිසා ඇම­ැතිවරයා සමූපකාර කම්කරු සමිතියක් පිහිටුවා යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් කටයුතු අඛණ්ඩව කර ගෙන ගිය බව එවකට ඔහුගේ සටන් සගයෙක් මෙන්ම පසු කාලයේදී රාජ්‍ය ඇමැතිවරයෙකු වන ජී. තිස්සකුට්ටිආරච්චි පවසයි.

කෙසේ වෙතත් 1982 දෙසැම්බර් 22දා පැවති ජනමත විචාරණයෙන් තිස්සමහාරාම ආසනයේ 'කළ ගෙඩිය' ජයග්‍රහණය කළේය. 

“තමන්නැහැලා ඡන්දයකට ගිහින් දිනලා ආපහු එන්නයි කී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනමත විචාරණයේදී 'කළ ගෙඩිය' ජයග්‍රහණය කළ මැතිවරණ කොට්ඨාස 18ක මන්ත්‍රීවරුන්ට තම ආසනවලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් යළි ඡන්දයකට ඉදිරිපත්ව සිරිල් මහත්තයා වැඩි ඡන්ද 8715 කින් තම සුපුරුදු අසුන දිනා ගත්තේය. පසුව ඔහු සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ධුරයට පත් කෙරුණේය.

වරක් ඔහු පාර්ලිමේන්තුවේදී එවකට පැවැති විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය පතුරු ගසමින් කතා කළේ උසස් අධ්‍යාපන ඇමැති ධුරය දරනු ලබන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා බව දැන දැනමය. ඒ ගැන කෝප වූ එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සූදානම් වුවද ජේ.ආර්. ඔහු සන්සුන් කරගෙන තිබුණේ සිරිල්ගේ කතාව තමන්ද අනුමත කළ බැවිනි.

මේ අතර ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර තුන් කට්ටුව විසින් දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ පී.එම්.බී.සිරිල් මහතා ඊට පක්ෂව කටයුතු කර තම රාජ්‍ය ඇමැති ධුරය පවා අහිමි කර ගත්තේය. එහෙත් පසුව ඔහු වෙනත් අමාත්‍යාංශයක රාජ්‍ය ඇමැති ධුරයට පත් කෙරුණේය.

1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රට පුරා ඇඳිරි නීතිය පනවා රජීව් ගාන්ධි මහතා සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළදා රාත්‍රියේ සිරිල් මහතාගේ වාදුරුප්පේ පිහිටි මහ ගෙදරට කලහකාරීන් ගිනි තැබුහ. එම නිවසට ගිනි තැබු කලහකාරීන්ගේ නම් ගම් පවා දින කීහිපයක් ඇතුළත පොලිසිය විසින් සොයා ගෙන තිබුණ ද ඒ ගැන කිසිදු පියවරක් නොගන්නා ලෙස ඔහු පොලිසියට උපදෙස් දී තිබුණේ ඒ හැම කෙනෙක්ම කුඩා වියේදී තමන්ගෙන් බෙහෙත් ගෙන ඇති බව පවසමිනි.

සිරිල් මන්ත්‍රීවරයෙකු මෙන්ම ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී පවා තම පෞද්ගලික බෙහෙත් ශාලාවේ රැඳී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ අතර, එහි තිබූ එකම වෙනස වුයේ එක් රෝගියකු සඳහා කලින් අය කළ රුපියල් 2/= ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කර තිබීමයි.

නිහාල් ජගත්චන්ද්‍ර

Comments