
“ශිෂ්ටාචාර විවිධත්වයේ උරුමය සහ නවෝත්පාදනය පිළිබඳ ජාත්‍යන්තර තරුණ සංවාදය” පසුගියදා නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ හොන්ග් හ නගරයේදී පැවැත්විණ.
මෙම සංවාදය පැවැත්වුණේ හොන්ග් හ හෙල්මළු වී වගා භූමි පරිශ්‍රය (Honghe Hani Rice Terrases) ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ 10 වැනි සංවත්සරයට සමගාමීවයි.
හොන්ග් හ හෙල්මළු වී වගා භූමි පරිශ්‍රය යනු චීනයේ යුන්නාන් පළාතේ හොන්ග් හ නගරයේ පිහිටා ඇති හනි වාර්ගික ජනයාගේ හෙල්මළු සහල් වගා පද්ධතියයි. 2013 දී, මෙම වගා පද්ධතිය ලෝක උරුම අඩවියක් ලෙස ලැයිස්තුගත කළේ එහි කැපී පෙනෙන ප්‍රත්‍යස්ථ ඉදිකිරීම්, අද්විතීය සමාජ-පාරිසරික පද්ධතිය සහ හනි ජනයාට ඇති වැදගත්කම හේතුවෙනි.
මෙම සංවාදයට තරුණ නියෝජිතයින්, තානාපතිවරුන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී විය. චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (CICG) උප සභාපති Lu Cairong මහතා මෙම උත්සවයේදී අදහස් දක්වමින් කියා සිටියේ ශිෂ්ටාචාරවල උරුමය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේදී ශිෂ්ටාචාර විවිධත්වයට ගරු කිරීම මූලික පදනම වන බවයි.
ශ්‍රී ලංකාව, තායිලන්තය, දකුණු කොරියාව, රුසියාව, පිලිපීනය, පේරූ රාජ්‍ය, ඉන්දුනිසියාව, වියට්නාමය ආදි රටවල් නියෝජනය කරමින් තරුණ පිරිස් මෙම සංවාදයට සහභාගී විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතායි. ඔහු එහිදී ලෝක සම්ප්‍රදායික සංස්කෘතිය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ අන්තර් සංස්කෘතික සන්නිවේදනය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය. කථිකාචාර්ය සුගත් රත්නායක මහතා එහිදී පැවසුවේ වර්තමාන ලෝකයේ රටවල් සහ කලාප 200කට අධික සංඛ්‍යාවක, ජනවාර්ගික කණ්ඩායම් 2,500කට අධික පිරිසක් වාසය කරන අතර භාෂා 7,000කට අධික සංඛ්‍යාවක් භාවිත කරන බවයි. විවිධ ජනවර්ග, වර්ණ සහ ඓතිහාසික හා සංස්කෘතික පසුබිම්වල මිනිසුන් එක්ව මේ ලෝකය විචිත්‍රවත් හා වර්ණවත් ස්ථානයක් බවට පත් කර ඇතැයි ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්ටාචාර වෙනස් විය හැකි නමුත් කිසිදු ශිෂ්ටාචාරයක් අන් ශිෂ්ටාචාරයකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.
මෙම තරුණ සංවාදය Honghe ප්‍රාදේශීය රජය, ජාත්‍යන්තර සන්නිවේදන සංවර්ධනය සඳහා වූ චීන මධ්‍යස්ථානය, යුනාන් පළාත් තරුණ සම්මේලනය, යුන්නාන් විශ්වවිද්‍යාලය සහ යුන්නාන් පළාත් රජයේ මගපෙන්වීම යටතේ සංවිධාන කරන ලදී.

(මූලාශ්‍රය : චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය)