
සුනඛයන්ට කතා කරන්න බෑ. එයාලට බඩගිනියි කියලා අපෙන් ඉල්ලන්න බෑ. අපේ සමහර මිනිස්සු පස්සෙන් ආවත් සුනඛයන්ට කන්න දෙන්නේ නෑ. මම කල්පනා කළා අපිට කතා කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. මේ ආත්මයේදි අපි කරන ලොකුම පින්කම තමයි අසරණ සතුන්ට කරුණාව දක්වන එක.
එයාලගේ කුසගින්න නිවන්න කෑම ටිකක් කන්න දෙන එක.‘ මංගලී ද මෙල් එසේ කියද්දී සිහිපත් වන්නේ එතෙක් මෙතෙක් ලොව වැඩිපුරම කතාබහට ලක් වූ සුනඛයන් අරබයා ලියන ලද අගනා සාහිත්‍ය කෘතියකි. ‘මයි නේම් ඉස් රෙඩ්‘ නමින් එය ලියනු ලැබුවේ නොබෙල් සම්මානලාභී තුර්කි ජාතික මහා සාහිත්‍යධර ඕර්හාන් පමුක් විසිනි. ප්‍රකාශිත දිනයේ සිට ලොව පුරා විවිධ භාෂා 60කට පමණ පරිවර්තනය වූ ‘මයි නේම් ඉස් රෙඩ්‘ කෘතියෙහි අතිශය ජනප්‍රිය කියමනක් තිබේ. එය මෙසේය.
‘සුනඛයෝ කතා කරති. නමුත් ඔවුන් කතා කරන්නේ ඊට සවන් දීමට හැකි අයට පමණි‘
මේ වන විට දෛනිකව වීදි සුනඛයන් 100කට අධික සංඛ්‍යාවකට උදෑසන ආහාර වේලකින් සංග්‍රහ කිරීමට සිය කාලය වැය කරමින් සිටින මංගලී ද මෙල් නිවෙසේ ද එවැනි අසරණ වූ සුනඛයන් 16 දෙනකු රැක බලා ගනිමින් සිටින්නේ ඒ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ද වැය කරමිනි. මීගමුව, පෙරියමුල්ලේ පිහිටි ඇගේ නිවස අසරණවූ සත්වයන් වෙනුවෙන් වෙන් කළ නවාතැනක් බඳුය.
‘මම හිතන දේ තමයි අපි මේ ලෝකෙට එන්නේ මොනවහරි පුණ්‍ය කර්මයක් කරන්න කියලයි. ඒක කළා ගියා. මට දැන් අවුරුදු 60ක් වෙනවා. මම ජීවත්වෙලා ඉන්නකල් මෙයාලව රැක බලා ගන්නවා. අද වෙද්දී සුනඛයන් 16ක් මම රැක බලා ගන්නවා.‘ මංගලී ද මෙල් මහත්මිය ‘සිළුමිණ‘ සමඟ පිළිසඳරකට එක්වෙමින් එසේ කීවාය.
ඇය වීදි සුනඛයන්ට ආහාර දීම පටන් ගත්තේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ කාලයේ සිටය. ජාඇළ උදම්මිට ප්‍රදේශයේ තමයි මගේ ලොකු පුතා පදිංචිවෙලා ඉන්නේ. එතැනට වෙනකල් හැමදාම උදේට වීදි සුනඛයන්ට ආහාර දෙනවා. ලොකු පුතාගේ ගෙදර ගිහින් ඉඳලා ආපහු දවල්ට ගෙදර එද්දී ඉතුරුවෙලා තියෙන කෑම මොනවහරි අරගෙන ආපහු බෙදාගෙන එනවා ගෙදරට එනකල්ම.‘ ඇය කීවාය.
වීදි සුනඛයන් සියයකට වැඩි ප්‍රමාණයකට සහ නිවෙසේ සිටින තවත් සුනඛයන් 16 දෙනකුට සාත්තු සප්පායම් කිරීමට ඇයට මසකට වැය වන මුදල ලක්ෂ තුනකට වැඩිය. දිනපතා කුලියට ගත් මෝටර් රථයකින් විදි සුනඛයන්ට ආහාර බෙදා දීමට එම මෝටර් රථයට මසකට තවත් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වෙයි. ඇගේ දෛනික ජීවිතයට සාමාන්‍ය කාන්තාවකට මෙන් විවේකයක් නැත. කාලය ගෙවෙන්නේම සුනඛයන්ට සාත්තු සප්පායම් කිරීමටය. ‘සාමාන්‍යයෙන් දවසකට හාල් කිලෝ 12ක් විතර උයනවා. ‘මට වෙනම සේවිකාවක් නෑ. මමම තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ. ගොඩාක් දවස්වලට පොඩි පුතා උදව් කරනවා. ඒ නැතිවුණත් මම තනියම කෑම ටික හදනවා. හැමදාම උදේ 3.00ට නැගිටලා තමයි එයාලගේ කෑම වේල ලැහැස්ති කරන්නේ. උදම්මිට වෙනකල් කෑම බෙදාගෙන යද්දී උදේ 9.00 විතර වෙනවා. ඊට පස්සේ ලොකු පුතාගේ ගෙදරට ගිහින් ඉඳලා දවල්ට ආපහු මීගමුවේ ගෙදරට එනවා. ඒ වෙද්දී 2.00 පහුවෙලා. ඒ ඇවිත් ගෙදර ඉන්න අයට කෑම දෙනවා. ඊට පස්සේ එයාලට උයපු භාජන එහෙම හෝදලා පීකුදු ටික උයන්න ගන්නවා.
අනුරාධපුරයේ ළමාවිය ගත කළ මංගලී ද මෙල් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුරය කන්‍යාරාම විදුහලෙනි. සිය උපන් බිම වන නාවලපිටියේ සිට ඇගේ මාපියන් අනුරාධපුරයේ පදිංචියට ගොස් ඇත්තේ රජයේ රැකියා කළ දෙදෙනාටම ලැබුණු ස්ථාන මරුවීම් නිසාය.
‘මගේ පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කොම අටදෙනෙක්. අදටත් මම අම්මා බලන්න අනුරාධපුරයට යන්නෙත් මීගමුවේ ඉඳලා එක දිගටම වීදි සුනඛයන්ට කෑම බෙදාගෙනයි. උදෙන්ම ලොකු භාජනයක කෑම උයාගෙන පාන්දර 4.00ට පිටත් වුණාම වීදි සුනඛයන්ට කෑම බෙදාගෙන අනුරාධපුරයට යද්දී අට විතර වෙනවා. ආපහු හවසට එද්දීත් ඒ විදිහටම බේකරියකින් බනිස් අරගෙන ආපහු මීගමුවට එනකල්ම බෙදාගෙන එනවා. අර මඟ හැරුණු අයට කියලා හිතාගෙන.‘
වසර 1990 මැයි මස සීගිරියේදී ගුවන් හමුදාවේ සාමාජිකයන් 6 දෙනකුට ජීවිත අහිමි වූ බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් මිය ගිය එවකට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු ප්‍රධානි ස්කොඩ්රන් ලීඩර් ප්‍රශාන් ද මෙල් ඇගේ පළමු සැමියා ය.
‘අපි විවාහ වුණේ 1987දී. එයා නැතිවුණේ 1990දී. එතකොට අපි හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හිටියේ. එදා ඒ කියන්නේ 1990 මැයි මාසයේ 5 වැනිදා මගේ ජීවිතය එකතැන නතරවුණා. කතාබහ කරනවා. හිනා වෙනවා. ඒත් මගේ ජීවිතය එතැනින් එහාට එයා නැතුව යන්න අමාරුයි කියලා හිතුණා. එයා මගේ ලොකු පුතා විරේන්ගේ තාත්තා. ඊට අවුරුදු 4කට පස්සේ මම නැවත විවාහ වුණත් ඒ අඩුව හැමදාම දැනුණා. මගේ පොඩි පුතාගේ තාත්තා එයාත් ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනෙක්. ඉන්දික ප්‍රනාන්දු. මගේ පොඩි පුතා ඉනුක්. පුතාලා දෙන්නම දැන් ගුවන් නියමුවන් හැටියට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියාව කරනවා. මගේ පොඩි පුතා තමයි මේ පුණ්‍ය කටයුත්තට මුදල් වැය කරන්නේ. ලොකු පුතා දැන් විවාහ වෙලා දරුවන් දෙන්නකුගේ පියෙක්. එයාත් උදව් කරනවා.‘
‘මේ අසරණ සතුන්ට උදව් කරන්න මට පුළුවන් ප්‍රමාණයකට මම කරනවා. මට විතරක් නෙවෙයි හැමෝටම පුළුවන් අඩුම ගණනේ තමන්ගේ ගෙදර අවට ඉන්න මේ වගේ අසරණ සතුන්ට කෑම වේලක් කන්න දෙන්න. ඒක කරදරයක් නෙවෙයි. සමහරු මගෙන් අහනවා එන්ජීඕ එකකින් උදව් කරනවද කියලා. නෑ. මට කාගෙන්වත් උදව් ඕනෙ නෑ.
මංගලී ද මෙල්ගේ පුතුන් දෙදෙනාම ගුවන් නියමුවන් වූවද ඇය කිසිදිනෙක විදේශගත වී නැත. අඩුම තරමින් ශ්‍රී ලංකාවේ පවා විනෝද සංචාරයකට ගොස් නැති බවත් කීවාය.
‘මම මේ වෙනකල් කිසිම දවසක පිටරට ගිහින් නෑ. මං හිතන්නේ ඒ සල්ලිත් මට පුළුවන්නේ මෙයාලට යොදවන්න. මම දැන් කොහේ ඇවිදින්නද. මෙයාලව එහෙම දාලා යන්න මට බෑ. කාවහරි තියලා ගියත් මම කරනවා වගේ සාත්තු කරයි කියලා මට නම් විශ්වාසයක් නෑ.‘
විවාහ වීමට පෙර ජර්මානු ව්‍යාපෘතියක රැකියාව කළ මංගලී ද මෙල් විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වූ බව කීවාය. දරුවන් වෙනුවෙන් මුල් කාලයේදී ජීවිතය කැප කළ ඇගේ දෛනික ජීවිතය දැන් ගෙවෙන්නේ අසරණ සුනඛයන්ට පිහිට වීමටය.
‘සමහරු මට හිනාවෙනවා ඇති මේ විදිහට වීදි සුනඛයන්ට කෑම බෙදා ගෙන යද්දී. ගොඩාක් අය බනිනවා. සත්තුන්ට කන්න දෙන්න ගිහින් මම අනන්තවත් බැනුම් අහලා තියෙනවා. සමහරු මට ගැහුවේ නැති ටික විතරයි.
අපේ ගේ ඉස්සරහා බල්ලන්නට කෑම දාන්න එපාය, අපේ කඩේ ඉස්සරහා බල්ලන්ට කෑම දාන්න එපාය කියලා.‘ ඇය එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය. ‘කොන්දේසි විරහිතව ආදරය කරන හැටි ඔබට ඉගෙන ගත හැක්කේ සුනඛයකුගෙන් පමණි‘
ඡායාරූප - ශාන් රූපස්සර