- විදුහල්පතිනියගේ නායකත්වයෙන් වසර 8ක් තුළ ශීඝ්‍ර දියුණුවක්
- වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව පවා මාර්ගගත ක්‍රමයට
- A9 සාමාර්ථ්‍යය 67ක්, A 8 හා A 7 සාමාර්ථ්‍යය 147ක්
මීට වසර 137 කට පෙර එංගලන්ත සභාවට අයත් ක්‍රිස්තියානි දෙව්මැදුරක් වූ මිලාගිරිය ශාන්ත පාවුළු දේවස්ථානයට අනුබද්ධ පැරිස් පාසලක් ලෙස ආරම්භ වූ මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා විදුහල මේ වන විට සිය ගමන් මඟේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
එදා ගුරුවරුන් 4 දෙනෙකුගෙන් හා සිසුන් 24 දෙනෙකුගෙන් ඇරඹි මේ පාසල අද වන විට සිසුන් 3415 දෙනෙකුගේ නැණ නුවණ පාදන අධ්‍යාපන තෝතැන්නක් වී හමාරය. මීට වසර කිහිපයකට පෙර එනම්, 2015 වසර වන විට ජාතික පාසල් අතර අඩු සාධන මට්ටමක් පෙන්වූ පාසලක් වුවද අද වන විට ශාන්ත පාවුළු බාලිකා විදුහල විෂයය සමගාමී මෙන්ම විෂයය බාහිර කටයුතුවලින්ද අන් පාසල් හා නොදෙවැනි මට්ටමට තරගකාරී වී ඇත. ඒ, මීට වසර 8කට පෙර පාසලේ නියමුවාණන් ලෙස පත්වූ වත්මන් විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීරගේ මනා නායකත්වය යටතේය. වසර 17 ක විදුහල්පති පළපුරුද්ද ඇති ඇය ලංකාවේ සිටින එකම ආචාර්ය උපාධිය ලත් විදුහල්පතිනිය වීම පාවුළු බාලිකාවන් ලද ජයග්‍රහණයකි.
ශාන්ත පාවුළු බාලිකා විදුහලේ ශිෂ්‍යත්ව කඩඉම් 163ක් වූ ලකුණු මට්ටම 2021 වසරේදී ලකුණු 185ක් දක්වා ඉහළ නැංවීමටත්, 2015දී 74%ක්ව තිබූ සාමාන්‍ය පෙළ සාමර්ථ්‍යය ප්‍රතිශතය 2021 වසර වන විට 98%ක් දක්වා ඉහළ අගයකට ගෙන ඒමටත් මේ වෑයමේදී වත්මන් පාසල් පරිපාලනයට හැකි විය. ඒ අනුව 2021 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 273 දෙනෙකු ඉදිරිපත් කරමින් 98%ක ප්‍රමාණයක් උසස් පෙළ හැදෑරීමට සුදුස්සෝ බවට පත්වූහ. A 9 සාමාර්ථ්‍යය 67ක්, A 8 හා A 7 සාමාර්ථ්‍යය 147ක් වශයෙන් සමත් වෙමින් අන් පාසල් හා තියුණු තරගයකට එක්වීමට ශාන්ත පාවුළු දැරිවියෝ සමත් වූහ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පමණක් නොව උසස් පෙළ විභාගයෙන් ද 2015 වසරින් පසුව ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කරන්නට ඔවුන්ට හැකි විය.
2014 වසරේ සිට 2021 වසර වන විට ගණිත අංශයේ 36% ක්ව තිබූ සමත් සංඛ්‍යාව 72%ක්ද, 47%ක්ව තිබූ විද්‍යාව සමත් වීම 75% දක්වාද, 20% ක්ව තිබූ කලා අංශයෙන් සමත්වීම් 85% දක්වාත්, 74% තිබූ වාණිජ අංශයේ ප්‍රතිඵල 98% ක් දක්වා වැඩිකර ගැනීමට ද සමත් වූහ. කතෝලික, ක්‍රිස්තියානි, විද්‍යාව ඉංග්‍රිසි මාධ්‍ය සාමාන්‍ය පෙළ සමත් වීම 100% කි. බුද්ධාගම, ඉංග්‍රිසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය සමත්වීම් 95% ඉක්මවා ඇත.
කොවිඩ් ආරම්භයක් සමඟ නවතම තාක්ෂණික ක්‍රමවේදවලට හුරු වීමත් සමඟම ශාන්ත පාවුළු බාලිකා විදුහල විසින් මයික්‍රො සොෆ්ට් ටීම් නම් වූ තාක්ෂණික මෙවලම ලබාගත් අතර, එහි පළමු පියවර වී ඇත්තේ මුලින් ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීමය. නව තාක්ෂණය හරහා සිදු කළ මාර්ගගත අධ්‍යාපනය විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීරගේ නිසි මඟපෙන්වීම හා අධීක්ෂණය මත සිදු වූ අතර, ඇය විසින්ම ඒ කටයුතු නිසියාකාරයෙන් සිදු වේද යන්න නිරන්තර අධීක්ෂණය කළාය. මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමේදී එය ගිලිහි ගිය සිසුන් මෙන්ම කඩින් කඩ යොමු වූ සිසුන් කෙරෙහි පාසලේ විශේෂ අවධානය යොමු විය. ඒ අනුව මාර්ගගත අධ්‍යාපනයට යොමු නොවූ සිසුන් හඳුනා ගනිමින් ඒ සියලු දෙනාට පරිත්‍යාගශිලීන්ගේ උදවු ඇතිව ඊට යොමු වීමේ අඩුපාඩුවක්ව පැවැති ස්මාර්ට් ජංගම දුරකතන ලබා දෙන්නට ද පාසලට හැකි විය.
කඩින් කඩ මාර්ගගත අධ්‍යාපනයට යොමු වූවන්ට විශේෂ උපදේශන සේවා පමණක් නොව ඒ විෂයය කොටස් ඔවුන්ට යළි ආවරණය කිරීමක් සිදු විය. උදෑසන රැස්වීම් පමණක් නොව ගුරු හා මවුපිය රැස්වීම් මාර්ගගත ක්‍රමයට පැවැත් වූ අතර පාසල තුළ සජීවීව පවත්වන රැස්වීම්වලට වඩා වැඩි සිසු පිරිසක් සහභාගී කරවාගන්නට මාර්ගගත රැස්වීම්වලට හැකි විය.
මාර්ගගත අධ්‍යාපනයේදී සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාගවලට සිසුන් සුදානම් කිරීම වස් මාර්ගගත ක්‍රමයට ඇගැයීම් පවත්වා විධිමත් ලකුණු දීමේ පටිපාටියක් ක්‍රියාත්මක කළේ කොවිඩ් අභියෝග පවා නොතකාය. මේ හේතුවෙන් කොවිඩ්වලින් පසු පාසල් සජිවිකරණයේදි යළි එම කොටස් පුනරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොවිය. කොවිඩ්වලින් අනතුරුව පාසල ආරම්භ වූයේ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයකට මුල් දැන ලබා දෙමිනි. සිසුන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ගුරුවරු විසින් උදෑසන පැයක පමණ කාලයක් පුනරීක්ෂණ අභ්‍යාස හරහා සිසුන්ට දැනුම ලබා දුන් අතර අඩු ලකුණු ගත් සිසුන්ට සවස් කාලයේ පන්ති පැවැත් වූයේ ගුරුවරුන්ගේ කැපවීමෙනි. සෑම සිසුවකුටම එක් ඉලක්කයක් විය. ඒ අභියෝග මධ්‍යයේ වුවද ජාතික විභාගවලට ඉතා හොඳින් මුහුණ දීමටය. පාසල විසින් පැවැත්වූ ඇගැයීම් පුනරීක්ෂණ කටයුතු සිදු වූයේ ස්ව පුනරීක්ෂණ හා හරස් පුනරීක්ෂණ යන දෙයාකාරයටය. සියලු විෂයන්ට ලකුණු 75ක මධ්‍යනයක් තිබීමෙන් ‘ප්‍රශංසනීය‘වාර්තාවකට හිමිකම් කියන්නේය. පාසලේ විදුහල්පතිනියගේ නායකත්වය මත මාර්ගගත ක්‍රමවේදයට සෑම පංතියකටම ඉංග්‍රිසි භාෂා දින සාර්ථකව පවත්වන්නට හැකිවූ අතර සිසුන් දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් මාර්ගගත ත්‍යාග ප්‍රදානෝත්සව පවත්වන්නටද හැකියාව ලැබුණි. ශාන්ත පාවුළු බාලිකා විදුහල 2017 වසරේදී ලංකාවේ පළමු හරිත පාසල වෙයි.
එසේම සූර්ය බලශක්ති පැනල භාවිත කරන එකම පාසල වන්නේද මෙයයි. 2018 අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශ්‍රේණිගත කිරීමේදී ජාතික පාසල් අතර පළමු ශ්‍රේණියේ පාසලක් බවට පත් වෙයි. කොවිඩ් කාලයේ සිසුන්ගේ මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවෙන් පිරිනමන '2021 මානසික සෞඛ්‍ය වෙනුවෙන් වූ අධ්‍යාපන විශිෂ්ටතා සම්මානය' පාසල විසින් හිමිකර ගත්තේය. එසේම ලෝක අධ්‍යාපන කොන්ග්‍රසය විසින් 2019 හා 2020 වසරවලදී පිරිනැමුණු අධ්‍යාපන කාන්තා නායකත්ව සම්මානය, ආසියානු නායකත්ව සම්මානය මෙන්ම 2019 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනැමුණු හොඳම විදුහල්පතිනිය සම්මානය හිමිකර ගත්තේ පාසලට නිසි නායකත්වයක් ලබා දුන් ආචාර්ය සුමේධා ජයවිර විදුහල්පතිනියයි. පන්තිභාර ගුරුවරියන් විසින් සිය දරුවන්ගේ අධීක්ෂණ කටයුතු සිදු කරන හෙයින් ශාන්ත පාවුළු බාලිකාවියන්ට විනය මණ්ඩලයක් අවශ්‍ය වූයේ නැත. සිසුන්ට නිතිපතා භාවනාව හුරු කිරීම සඳහා පාසලේම ඒ සඳහා පහසුකම් ඇත්තේය. පාසලේ දියණියන්ගේ හොඳ වැඩ පොත හරහා ඔවුන් දිරි ගන්වන්නේ යහපත් ගුණාංග වැඩි දියුණු කිරිමටය. සතියේ සෑම අඟහරුවාදා දිනයක්ම වෙන් වන්නේ ඉංග්‍රීසි භාෂා කථනය වෙනුවෙනි.
සිසුන්ගේ නිසි ආහාර ගැනීමේ ඉරියව්වේ සිට සෑම පුරුද්දක්ම විධිමත්ව කිරීමට පුහුණු කරන්නා සේම විදුහල්පතිනිය සඳහාම වෙන් වූ Letters to the principal හරහා සෘජුව විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දී ඇත. ලංකාවේ යාවත්කාලීන වන වෙබ් අඩවියක් ඇති එකම පාසල් වන්නේද මෙයයි.
එදා ක්‍රීඩා හා විවිධ ජයග්‍රහණවලින් විස්කම් දක්වන්නට නොහැකි වූ ශාන්ත පාවුළු බාලිකාවෝ අද විවිධ හැකියාවන්ගෙන් විකුම් පාති. ඒ කොවිඩ් අවධියේ පවා ඔවුන් මාර්ගගත ක්‍රමයට ඒ සියල්ල අතපසු නොකර හැදෑරු හෙයිනි.
අධ්‍යාපන ඉලක්කයන්ගෙන් පමණක් නොව සමස්ත ලංකා ජයග්‍රහණ ලබන්නට ද මේ සිසුවියෝ සමත් වූහ. ඇරොබික් ජිම්නාස්ටික් සමස්ත ලංකා ජයග්‍රහණ, හොකි, කරාතේ හා හෑන්ඩ් බෝල් සමස්ත ලංකා ජයග්‍රහණ මෙන්ම ශූරතා දිනා ගැනීමට සමත් වූහ.
2020 වසරේදී චෙස් ජාත්‍යන්තර ශූරතා දක්වා යෑමටද බැඩ්මින්ටන් හා මේස පන්දු අන්තර් පාසල් තරගාවලි අතර ජය වාර්තා කරන්නට ද ශාන්ත පාවුළු බාලිකා සිසුවියෝ සමත් වූහ. ස්කොච්, කබඩි පමණක් නොව මලල ක්‍රීඩා අංශයෙන් කලාප, කොට්ඨාස පාසල් ජයග්‍රහණ අතර ඉදිරියෙන්ම සිටින්නට මේ සිසුවියෝ සමත් වූහ.
මීට අමතරව පිහිනුම්, රෝලර්ස්, ස්කේටින් ජයග්‍රහණ පමණක් නොව නාට්‍ය තරගාවලිවලින්ද ජයග්‍රහණ වාර්තා කළේය. පාසල් මාධ්‍ය ඒකකය ද ඉටු කරන්නේ සුවිශාල දායකත්වයකි. තරගවලට ඉදිරිපත් වෙමින් පාසල පිළිබඳ ප්‍රතිරූපය අලුත් කරන්නට ඔවුහු වෙහෙසෙති.
ශාන්ත පාවුළු බාලිකා විදුහල ආ මේ ගමනේදී යෝධ ශක්තියක් වී ඇත්තේ විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පතිනියන් වූ එම්.එච් හර්ෂනි සම්පත්, ඉනෝකා රණසිංහ, එස්.සී රණසිංහ මෙන්ම නියෝජ්‍ය විදුහල්පිතිනියන් වූ ආර්.එම්.පී.එස් මැණිකේ, ඒ.ඩී.ටී.වී ආරියරත්න ඇතුළු පිරිසය. එසේම කොවිඩ් අභියෝග නොතකා සාමාන්‍ය පෙළ ඉහළ දස්කම් දැක්වීමට සිසුන් මෙහෙය වූ 2021 10/11 අංශ ප්‍රධානී කේ. වලිසුන්දර, 10/11 ශ්‍රේණි ප්‍රධානී ඉරෝනිකා කුමාරිහාමි මෙන්ම 11 ශ්‍රේණි ප්‍රධානී ඉදුණි විදානගේ ඇතුළු ගුරුවරු ඉටු කළ සේවය ඉමහත්ය.
මාර්ගගත අධ්‍යාපනයේදී තාක්ෂණික අංශයෙන් සහාය වූ කේ.එච්.ඩී.එන් විජේරත්න, හෙලන් බටුවන්තුඩාව, ඩී.බී.එම්.ඒ කළණි හා එස්.ඩබ්ලිව්.ඩී.එස් ඩි සිල්වා ඇතුළු ගුරු භවතුන් සේම ක්‍රීඩා භාර මුදිතා ලියනපතිරණ ඇතුළු පිරිස දැක්වූ දායකත්වය ද ප්‍රශංසනීයය.
පාසලේ දියුණුව වෙනුවෙන් ආදි සිසු සංගම් විශාල කැප කිරීමක් කරන්නේය. අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් රුපියල් 2000 ක මාසික දීමනාවක් 72 එංගලන්ත ආදි සිසු සංගමයත්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් ආදි සිසු සංගම් මෙන්ම මෙරට පාසල් ආදි සිසු සංගම්, පාසල් සංවර්ධන සමිතිය, ගුරු, සිසු, මවුපියන් මේ ගමන් මඟේ යෝධ ශක්තින්ය.
සේයාරූ - නිශ්ශංක විජේරත්න