චැනල්වලට පයින් ගසා රෝගියාගේ ගෙදරටම ගිහින් දිවි බේරන
අසරණ රෝගී සත්කාරය වෙනුවෙන් කැපවූ වෛද්‍යවරු අතර ජීවත් වන ඇය ඉන් එහා සිය සත්කාරයක් වෙනුවෙන් කැපවූ වෙනස්ම ආකාරයේ ජීවක වෛද්‍යවරියක් වූවාය. වෛද්‍ය වෘත්තියට පිවිසි දා සිට අද දක්වාම වෘත්තිමය වශයෙන් සිය රාජකාරි ඉටුකරමින් අසරණ රෝගින් සිය දහස් ගණනක් ඇය අතින් සුවපත් වුව ද සේවයට එහා ගිය, මුදලට වැටුපට සීමා නොවූ සේවාවක් වෙනුවෙන් සිය කාලය අදටත් කැප කරන්නීය. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් වෛද්‍යවරියක වූ තමන් ඊට කෘතගුණ සලකන්නට වූයේ රෝහලකට ඒමට නොහැකිව නිවෙස්වල සිටින අසරණ රෝගීන් සොයා ගොස් නොමිලයේ ප්‍රතිකාර කිරීම නිසාවෙනි. ගෙයක් ගෙයක් පාසා අසරණ වූ රෝගීන් සොයා යමින් නොමිලයේ සිය සේවාව ලබාදෙමින් රෝගීන් සුවපත් කරන ඇය නමින් විශේෂඥ වෛද්‍යවරියක් වූ ( පවුල් වෛද්‍ය විද්‍යා) මල්කාන්ති උදයකුමාරි ගල්හේනය. මේ වන විට පානදුර මූලික රෝහලේ බාහිර රෝගි අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය ලුනාව මූලික රෝහලේද රෝගි සත්කාරය වෙනුවෙන් කටයුතු කරන වෛද්‍යවරියකි.
වෛද්‍ය මල්කාන්ති සිතන පතන අයුරු අපූරුය. සිය සේවය අනුමත රෝහලේ රාජකාරියෙන් අනතුරුව චැනල් සේවයට කැපවූ වෛද්‍යවරුන් අතර සිටියද ඇයට රට වෙනුවෙන් ඉටු කරන්නට අගනා මෙහෙයක් ඇති බව ඇය පවසන්නීය.
“ ලංකාව දියුණු වෙමින් පවතින රටක් විදියට ආර්ථික ප්‍රශ්නවලින් පිරිලා. බොහෝ දෙනා ලෝකයත් සමඟ පවතින සම්බන්ධතා අඩුයි. මේ නිසා සෞඛ්‍යමය පීඩා විඳින අවස්ථා එමටයි. රෝගයට ප්‍රතිකාර ගැනීමට මුදල් නැතිවීම මෙන්ම අපේ සෞඛ්‍ය සේවාවන්ගේ අඩුපාඩු නිසා සමහර රෝගීන්ගේ ජිවිත පවා අවදානමේ. අපි වෛද්‍යවරියන් බවට පත්වුණේ රටේ ජාතික ධනයෙන්.
අපිව මේ ස්ථානයට ගෙනෙන්න හැමෝම දායකත්වයක් දැක්වූවා. සත පහක් හෝ වියදම් නොකර වෛද්‍යවරුන් බවට පත්වූ අපිට රට වෙනුවෙන් ඉටු කරන්නට වගකීමක් තිබෙන බව මගේ හැඟීමයි. අපි මෙතෙක් ආ ගමන, අපි ඊට අපේ දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න කල්පනා කිරීමට අපිට වගකීමක් පවතිනවා.
ආර්ථික ප්‍රශ්න මැද දිවි ගෙවන රටේ ජනතාවට නොමිලයේ සේවය කළ යුතු බව මගේ හැඟීමයි. මා ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට කිසිදු උස් පහත් භේදයක් නැහැ. තුන්වේල කෑමට නැති රෝගියාටත් මම සලකන්නේ එකම විදියටයි. කරුණාව, දයාව සමඟ වෛද්‍ය වෘත්තියට අනුව රෝගීන් සුවපත් කිරීම මගේ අරමුණයි. අදටත් මම කරන්නේ ඒ දේමයි......“
මේ වෛද්‍යතුමිය අසරණ වූ රෝගීන් සොයා සිය රථයෙන්ම ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර අරම්භ කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොවේ. ඇය මේ සේවාව ආරම්භ කළේ ලුනාව රෝහලෙනි. ඒ 2018 වසරේදීය. අදටත් ඇය සතියකට අසරණ රෝගීන් දෙතුන් දෙනකු සොයා නිවෙස්වලට යන්නේ කිසිදු ප්‍රතිලාභයක් හෝ ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙන් නොවේ. මෙමඟින් දරුණු රෝගී තත්ත්වයන් ඇති අය සංකූලතා වලට නොගොස් දිවි රැකදෙන්නට ඇයට හැකිවී ඇත. ඒ ඇයගේ එකම සතුටය.
“ මම ලුනාව රෝහලෙත් රාජකාරී ආවරණය කරනවා, විශේෂඥ වෛද්‍යවරියක් ලෙස. ඒ උදේ 8.30 සිට 9 පමණ දක්වා. පසුව පානදුර මූලික රෝහලට පැමිණෙනවා, මගේ සේවාව ලබාදීමට. මම බාහිර රෝගී අංශයේ සේවය කරන නිසා මට බොහෝ රෝගීන් හා සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේ කවුරු හෝ පැමිණ කිව්වොත් තමන්ගේ නිවසේ රෝගී පුද්ගලයකු සිටිනවා, නමුත් රෝහලකට ගෙන ඒමට තරම් ආර්ථික අපහසුකම් පවතින බව. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළොත් නිවසට පැමිණ ප්‍රතිකාර කරන්න කියා. එවිට මම දෙවරක් ඒ ගැන සිතන්නේ නැහැ.
ආරම්භයේදී මේ සේවාව මම ලුනාව මුලික රෝහලේදී ඉහළින්ම සිදු කළා. ඇඳට වැටුණු වයෝවෘද්ධ, අතපය දුර්වල, නැගිට ගැනීමට අපහසු රෝගීන්, අංශභාග රෝගීන්, ස්නායූ රෝගීන්, නිව්මෝනියා වැලදුණු රෝගීන්, මුත්‍රා අමාරු ආදි විවිධ කායික රෝගාබාධ ඇති එක්තැන් වූ රෝගීන් ගැන මම විශේෂ අවධානය යොමු කරනවා.
මන්ද මේ අයට නිසි ප්‍රතිකාර කලට වේලාවට ලබා දී සුවපත් කළ හැකි නිසා. මේ අය සුවපත් කිරීමේදී හා ප්‍රතිකාර කිරීමේදි පවුලේ අයට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. සමහරුන්ට මුදල් ප්‍රශ්න. තවත් අයට රැකියාවේ යෙදීමේ ප්‍රායෝගික ගැටලු.
මේ නිසා මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සුවපත් කිරීමේදී ප්‍රමාදවීම් ඇති වෙන්න පුළුවන්. දෛනික මුදල හෝ සොයා ගැනීමට නොහැකි වූ විට ඔවුන් තවත් පහළ අඩියකට වැටෙනවා. මේ අය මුදලුත් සොයා ගෙන රෝගියාවත් රැගෙන රෝහල් පෝලිමක පැය ගණනාවක් ගත කර වෛද්‍යවරයාට පෙන්වූ පසු ඖෂධ, වෛද්‍ය වාර්තා ගැනීමට තවත් මුදලක් කාලයක් ගත වෙන්න පුළුවන්. මේ තත්ත්වය රටේ ආර්ථිකය ගොඩ නැංවීමටත් විශාල බාධාවක්. රෝගියාටත් විශාල අපහසුතාවක් .
මෙවැනි රෝගීන් රෝහල්ගත කිරීමෙන් අනවශ්‍ය පරිදි රෝහල් පිරී යන්නට පුුළුවන්. එමනිසා එය වළක්වා ගැනීමේ අරමුෙණන් තමයි, මම මේ සත්කාරය නොමිලයේ දියත් කරන්නේ. කවුරු හෝ මගෙන් එවැනි ඉල්ලීමක් කළහොත් මම රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක් සමඟ රෝගියා සොයා ගෙන නිවෙසට යනවා, අදාළ ප්‍රතිකාර ලබා දීමට......“
ඇය මේ සියලු කටයුතු ඉටු කරන්නේ හුදෙක් අසරණ රෝගීන් වෙනුවෙන්මය. කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවේ. රෝගීන් සොයා ගම් දනව් පීරා යන ගමනේදී ඇයට විඳින්නට සිදුවූ අමතක නොවන සිදුවීම් ද අනන්තය. නමුත් ඒ සියල්ලම පරයමින් තමන්ගේ දෙඅතින් සුවපත් වන රෝගීන් දැකීමෙන් ඇය අපමණ තෘප්තියක් ලබන්නීය.
“ මම මේ ගමන යන්නේ මගේ වාහනයේ. මේ ගමන යද්දි කාගෙන්වත් වාහනයක් හෝ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගමනේදී අමතක නොවන අත්දැකීම් බොහෝමයක් මට තියෙනවා. සමහර විට පටු පාරවල යාම නිසා මගේ කාරය අනතුරකට ලක් වූ අවස්ථා එමටයි.
නමුත් මේ අසරණ වූ රෝගීන් යළි සුවපත් වී නැගිටින හැටි දැක්කහම මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ගොඩාක් දුර ඈත පළාත්වල මේ රෝගී සත්කාර සේවාවට යාමට මට අපහසු වුණත් කිලෝ මීටර 10 ක් පමණ ඇතුළත එවැනි ඉල්ලීමක් කළොත් එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා.
නිවසට ගොස් රෝගියා පරීක්ෂා කර ප්‍රතිකාර නියම කර පැමිණෙන්නේ මගේ වාහනයෙන්මයි. සමහර විට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට මේ අය රෝහලකට යොමු කරනවා.
මගේ රෝහල් කාර්ය මණ්ඩලයෙන් එවැනි ඉල්ලීම් පැමිණෙන විට ඒ අය දන්නවා, මේ අයගේ පවුලේ තොරතුරු. ප්‍රතිකාර කරන්නට යාමට පෙර මම ඒ අයගෙන් දැන ගන්නවා, ආර්ථික අපහසුකම් ඇති අයද යන වග. ඇත්තෙන්ම ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුලක් නම් මම දෙවරක් නොසිතා රෝගියාගේ නිවසට ගොස් රෝගියා පරීක්ෂාකර බලනවා. ස්වාමින් වහන්සේලා පවා එසේ ගොස් සුවපත් කළ වාර අනන්තයි. එක්තැන් වූ අයට තරා තිරම නොබලා සුවපත් කිරීම කරනවා. රෝගියාගේ ඒ රෝගී තත්ත්වය පරික්ෂා කිරීමකදී අඩු නොවුණොත් යළිත් රෝගී තත්ත්වය මගේ දුරකනයට දැනුම් දෙන ලෙස මම ඔවුන්ට පවසනවා. සමහර විට දෙතුන් වතාවේ පවා යාමට සිදු වූ අවස්ථා පවතිනවා.
යම් හෙයකින් වෛද්‍ය වාර්තාවක් ගැනීමට අවශ්‍ය වුණොත් එය ඒ පවුලට දරා ගැනීමට හැකි වන අාකාරයෙන් ලබාදීමට උත්සාහ කරනවා. එසේ නොවුණහොත් ඒ සඳහා උදවු කිරීමට පරිත්‍යාගශීලියෙකු සම්බන්ධ කිරීමට කටයුතු කරනවා. මේ රෝගීන් බොහෝමයක්ම මොරටුව, ලුනාව හා පානදුර මූලික රෝහල් අවට අය. මේ රෝගීන් රෝහල්ගත කිරීමට අවශ්‍ය නම් මම බැලූ වෛද්‍ය වාර්තා පෙන්වා ඔවුන්ව රෝහල්වලට ඇතුළත් කළ හැකියි. “ ගිලානෝපස්ථානයේ අගය බුදු දහමේද අවධාරණය කර ඇත. ඇය බෞද්ධ ආගමට බෙහෙවින් ලැදි වෛද්‍යවරියකි. නමුත් මේ සත්කාරයේදී ඇයට එල්ල වන පීඩාවන්ද නිමක් නැති බව ඇය පවසන්නීය.
“ මම කරන මේ සේවාවට බාධා බොහෝමයි. සමහර විට අපේම අයගෙන් බාධා එනවා. ඒ අවස්ථාවේ මට දැනෙන්නේ විශාල දුකක්. බුදු රදුන්ටත් එවැනි ගල් මුල් ප්‍රහාර ආවත් උන් වහන්සේ ඒ සාසනික මෙහෙවර දිගටම ගෙන ගියා. අපේ ගමනත් යායුතුයි. එවිට කිසිවෙකුටත් අපේ ගමනට බාධා කරන්න බැරි වේවි. “
ඇය මේ සත්කාර සේවාව ආරම්භ කළේ අද ඊයේ නොවේ. කොවිඩ් තුන්වැනි රැල්ලේදීද ඇය කොවිඩ් රෝගීන්ගේ නිවෙස්වලට ගොස් රෝගී සත්කාරයට වෙහෙසුණේ අවදානමක් රඳවා ගනිමිනි.
“ කොවිඩ් 19 තුන්වැනි රැල්ලේදී රෝහල් පිරී යනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළා. එම වෛද්‍ය කණ්ඩයමේ පවුල් වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය ලෙස මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් රෝගීන් ලක්ෂ එකහමාරක් පමණ සුවපත් කළා. එතැනදී රෝහල් පිරී යාම අඩුවී කොවිඩ් 19 ගැන රෝගීන් තුළ තිබු බිය සැක පවා තුරන් වී ගියා. ඒ අවස්ථාවේ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ නියමුවරිය ලෙස මම විශාල වැඩ කොටසක් කළා. ඒ අවස්ථාවේදීත් යම් යම් බලපෑම් ආවා. ලංකාව හරි දෙයක් කරන විට බලපෑම් වැඩි බව මම තේරුම් ගත්තා. අපි දුප්පත් රටක්. ඊට හේතුව අපි එකිනෙකාට උදවු කර නොගැනීම. අපි රටක් ලෙස ඉදිරියට යායුත්තේ එකිනෙකා අත්වැල් බැඳ ගනිමිනුයි. තමන් පමණක්ය යන අදහස අපි තුළින් ඉවත් කළ යුතුයි. මම බෞද්ධාගම තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපිට කරන්න පුළුවන් දේ අපි කළ යුතුයි. කිසි කෙනෙකුන් හෑල්ලුවට ලක් නොකළ යුතුයි. අනිකුත් වෛද්‍යවරු කරන්නෙත් විශාල සේවයක්. ඔවුන්ගේ අරමුණත් රෝගී ජීවිත සුවපත් කිරීම. නමුත් අපිට හැකි උපරිම අවස්ථාව යොදාගෙන රට වෙනුවෙන් සේවය කළ යුතු වෙනවා.“
විශේෂඥ වෛද්‍ය මල්කාන්ති උදයකුමාරි ගල්හේන උපන්නේ අනුරාධපුරයට නුදුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව වැනි දුෂ්කර පෙදෙසකය. දුෂ්කර ගම් පළාතක ඉපිදී ඇය දුක හොඳින්ම උගත්තාය. අනතුරුව ඇය එංගලන්තයේ විශේෂඥ පුහුණුව ලබද්දී ජීවිතයට උකහා ගත්තේ මේ සමාජ සත්කාරය.
“ මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහව විජයභා විදුහලෙන්. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳ පාසලක්. නාගරික නොවුණක් අධ්‍යාපනයට අපහසුතා තිබුණේ නැහැ. මගේ අම්මා ඒ පාසෙල්ම ගුරුවරියක්.
මේ නිසා අධ්‍යාපනයේ වටිනාකම මම හොඳින්ම අත්දුටුවා. ඉගෙන ගැනීමේ අදහස පොඩි කාලයේ සිටම ඔළුවට වැටුණා. එදා අපිව මේ තත්ත්වයට ගෙනෙන්න හොඳ ගුරු මණ්ඩලයක් හිටියා. උසස් පෙළ කළේ කෑගලු උසස් බාලිකා විදුහලින්. වෛද්‍ය උපාධිය ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.
කොළඹ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබූවා. එංගලන්නයේ වූස්ටර් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කර ජාත්‍යන්තර පුහුණුව ලබා ගත්තා. එංගලන්තයේ විශේෂඥ පුහුණු කාලයේදී මම දැක්කා මේ ආකාරයේ වෛද්‍ය සේවාවන් සිදු කරන හැටි.
ඒ් රටවල් අද දියුණු තත්ත්වයට පත්වුණේ ඒ නිසයි. ඒ රටේ මේ සේවාවට හැම කෙනකුම පුහුණු කරනවා. විශේෂඥ පුහුණු කාලයේදී අපි මේ සේවාව සඳහා පුරුදු පුහුණු කළා. මම හිතා ගත්තේ ලංකාවට ඇවිත් මේ සේවාව අනිවාර්යයෙන්ම කරන බව. මගේ ස්වාමියා මට ඊට ශක්තියක් ගෙන දුන්නා. මේ සේවාව ලංකාවේ සිදුකරන්නට මුලින්ම මට යෝජනා කළේ මගේ ස්වාමියා. ....."
"මට දුවක් හා පුතෙක් සිටිනවා. පදිංචිය නුගේගොඩ. දරුවන්ගේ හා රාජකාරි කටයුතු මැදයි මේ සියල්ල කළමනාකරණය කරන්නේ. උදේ වරුවේ ලුනාව මූලික රෝහලේ රාජකාරි කටයුතු කර ඉන් අනතුරුව පානදුර මූලික රෝහලට එනවා. ඊට පස්සේ දහවල් එකහමාර වෙනකම් ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඉන් පසුයි, සැලසුමක් අනුව නිවෙස්වල සිටින රෝගීන් වෙනුවෙන් සේවය ආරම්භ කරන්නේ. පානදුර රෝහලේ වෛද්‍ය දිල්රුක්ෂිත් ඊට සහාය දී තියෙනවා. රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනියගේ සහාය ලැබෙනවා. "
මේ වන විට 58 ක් වියැති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති උදයකුමාරි ගල්හේන සමාජ සත්කාරය වෙනුවෙන්ම කැපවුණු දක්ෂ වෛද්‍යවරියකි. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කරන අතර ඇය එම විශ්වවිද්‍යාලයේම බාහිර කථිකාචාර්යවරියකි.
එසේම පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබන්නන්ටද ඇය සිය දැනුම බෙදා දෙන්නීය. විශ්‍රාම ගිය පසු ඇය මෙය තවදුරටත් සේවාවක් ලෙස දිගටම පවත්වා ගැනීමට බලාපොරොත්තු වන්නීය.