බස්නාහිර- දකුණ කුලී ඝාතන ඩුබායි කුඩු පාතාලයෙන් මෙහෙයවන හැටි | සිළුමිණ

බස්නාහිර- දකුණ කුලී ඝාතන ඩුබායි කුඩු පාතාලයෙන් මෙහෙයවන හැටි

ත්කුඩු ජාවාරම හා රැඳී සිටින පාතාල අපරාධකරුවන් නැවතත් බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව වෙඩි පිට වෙඩි පත්තු කරමින් භීෂණයක් වපුරවමින් සිටින්නේ එම පළාත් දෙකේ පාලනය පොලිසියෙන් ගිලිහී ගොස් ඇති අති බවක් කියාපාමිනි. ඉවක් බවක් නොමැතිව පාතාල අපරාධකරුවෝ විසින් මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් සිදුකර ඇති වෙඩි තැබීම් ගණන 40කට වැඩිය. මෙම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 23කි. තුවාල වූ ප්‍රමාණය 17කි.

තවමත් ගෙවී ගොස් ඇත්තේ වසරින් අඩක් පමණි. මේ සා වෙඩි තැබීම් ගණනක් සිදුව ඇත්තේ අවුරුද්දෙන් භාගයක් තුළදීය. මෙම ගණන සුළුකොට තැකීමට හැකියාවක් නැත්තේ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව පමණක් මෙම වෙඩි තැබීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී තිබීම හේතුවෙනි.

පාතාල අපරාධකරුවන්ගේත් මත්කුඩු ජාවාරම්කරුවන්ගේත් කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ බස්නාහිර හා දකුණු පළාත්ය. මෙම පළාත් දෙකේ සක්‍රියව ක්‍රියාත්මක වන පාතාල කල්ලි ගණන 20කට වැඩිය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ මත්කුඩු ජාවාරමය. මෙම කල්ලි සියල්ලන්ගේම පාහේ ප්‍රධානීන් සිටින්නේ රටින් බැහැරය.

බස්නාහිර හා දකුණේ අපරාධ වර්ධනය වීමට මේ වන විට බලපා ඇත්තේ මෙම පළාත්වල සිටින ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය හා රැකවරණය පාතාල අපරාධකරුවන්ට ලැබීම නිසා බව පොලිසිය ඇතුළෙන්ම කියැවෙන කාරණාවකි. කොළඹ කුප්‍රකට පාතාල අපරාධකරුවකු දකුණේ සිටි එක්තරා පොලිස් ලොක්කකුගේ කාර්යාලයේදී කදේ දමාගෙන සිටියේ යැයි කියන්නේ මචං යැයි දෙදෙනා එකිනෙකාට අමතමිනි. මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මෙම පාතාල අපරාධකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ ද මේ වන විට විමර්ශනයක් සිදු කරමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධීවත්කම් විමර්ශන කොට්ඨාසය මඟිනි. පොලිස් ලොක්කෙක් මචං යැයි කීවේ එවැනි අපරාධකරුවකුටය. දැන් එම පොලිස් ලොක්කා පොලිසියේත් නැත. නමුත් තවමත් එකී පාතාල අපරාධකරු සහ එම පොලිස් ලොක්කා මචංලාය.

පාතාල අපරාධකරුවන්ගේ මචං බවට පත්වූයේ එම පොලිස් ලොක්කා පමණක් නොවීය. අදටත් පොලිස් සේවයේ සිටින නිලධාරීන් රැසක්ම පාතාල අපරාධකරුවන්ගේ මචංලා වී සිටිති. ඒ අය කවුරුන් දැයි පොලිසියේ ප්‍රසිද්ධ රහසකි. මැඩගස්කරයේ සිට රැගෙන ආ හරක් කටාටත් කුඩු සළිඳුටත් පොලිසියේ මචංලා සිටියේය. ප්‍රංශයේ හිර ගෙදරක මේ වන විට රඳවා සිටින කුඩු අංජුට ද පොලිසියේ මචංලා බොහෝය. ඒ මචංලා කවුරුන් දැයි කියා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පාහේ දනිති.

පාතාලයේ මෙම හිස එසවීම පොලිසියේ ඇතැම් ලොක්කන්ට වගේ වගක් නොවූවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට නම් හොඳටෝම දැනුණේය. ඒ නිසාම පසුගිය 21 වෙනිදා ඔහු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවනු ලැබීය. අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ද එක්කර ගෙන ලොකු සාකච්ඡාවක් කරනු ලැබුවේය. ඒ එදා උදෑසන වන විට දකුණේත් බස්නාහිරත් පාතාලයේ වෙඩි පත්තුවෙමින් සිදුවූ බිහිසුණු මිනිස් ඝාතන තුනක් කෙරෙහි විශේෂ අවධානයක්ද යොමු කරමිනි.

මෙම පළාත් දෙකෙහි මෙවන් තත්ත්වයක් ඇතිවන්නට ඉඩ ඇති බව ඒ වන විටත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුවත් කළ යුතු තැන් බොහෝමයක්ම තිබුණේ දැනුවත් කරමිනි. පොලිස්පතිවරයා මෙම සාකච්ඡාවේදී පවා අමාත්‍යවරයාට පෙන්වා දෙනු ලබන්නේ මෙම පළාත් දෙකේ මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වයට බලපා ඇත්තේ එම පළාත්වල සේවයේ නිරතව සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාව බවය. තමන් වැඩ කරන බවට ඇතැම් නිලධාරීන් මවාපෑම් කරමින් කරන ප්‍රෝඩා ගැන පවා මෙහිදී පොලිස්පතිවරයා අමාත්‍යවරයාව දැනුවත් කර ඇත්තේ වගකිවයුතු නිලධාරීන් කවුරුන් දැයි නම් වශයෙන් පවසමිනි.

පොලිසියේ ලොක්කා පොලිස්පතිවරයාය. අමාත්‍යවරයා ඉදිරියේ එසේ ඔහුට ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන කියන්නට සිදුව ඇත්තේ එම ඉහළ නිලධාරීන් තමන්ට උවමනා ආකාරයට එහා මෙහා කරන්නට ඉඩක් නොමැති නිසා වන්නට පුළුවනි. මේ කියන ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පුටු බදාගෙන ඉන්නේ බූවල්ලන් මෙනි. ඒ ඔවුන්ට ඇති විවිධ සම්බන්ධකම් යොදාගෙනය.

පොලිස්පතිවරයා විසින් විවෘතව කළ මෙම කරුණු පැහැදිලි කිරීම් හමුවේ අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේ අකාර්යකෂම නිලධාරීන් වහාම ඉවත්කර ඒ වෙනුවට සුදුසු නිලධාරීන් පත්කරන ලෙසය. ඒ රටේ මේ සිදුවන අපරාධ වැඩිවීම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමාටද ලොකු හිසරදයක් වී ඇති බැවින් විය හැකිය. මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයා අවධාරණය කරනු ලබන්නේ හිස ඔසවමින් ඇති මෙම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසය. ඒ සම්බන්ධයෙන් කෙරෙන මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බව කියමින් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් තමාට ඒ සම්බන්ධයෙන් සහතිකයක් ද ලැබී ඇති බවය.

මත්කුඩු මෙන්ම පාතාල අපරාධ මර්දනය කරමින් මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ වටා පිටාවක් සකස්කර දිය යුතු වන්නේ පොලිසියයි. එහෙත් අද සිදු වෙමින් ඇත්තේ එහි අනික් පැත්තය. හන්දියක් හන්දියක් ගානේ අද මත්කුඩු තිප්පොලවල් බිහි වී ඇත්තේත් තැන තැන වෙඩි පත්තු වන්නේත් එබැවිනි.

මෑත කාලයේදී පත්තු වූ පාතාලයේ වෙඩිවලින් වැඩිම ප්‍රමාණයක් පත්තුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානීන් හමුවී පැය 48ක් යන්නට මත්තෙන්ද වෙඩි පත්තුවීමක් සිදුවන්නේ බොරැල්ලේදී හා මුල්ලේරියාවේදීය. මුල්ලේරියාවේ වෙඩිල්ල පත්තු වන්නේ 22 වෙනිදා රාත්‍රී කාලයේදීය. කරපිංචා නමින් හඳුන්වන පුද්ගලයකුට එල්ල වෙන එම වෙඩිල්ලෙන් ඔහු දිවි බේරා ගන්නේ කකුල් දෙකට පින්සිදු වන්නටය. එසේ නොවන්නට තවත් පාතාලයේ ඝාතනයක් වාර්තා වන්නේ මුල්ලේරියාවෙනි.

බොරැල්ලේදී වෙඩි පත්තුවන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක අධ්‍යක්ෂකවරයකු ඉලක්ක කරගෙනය. බොරැල්ල හරස් පාරේ පිහිටි එම නිවසේ ගේට්ටුවට වෙඩි තබා තිබුණේ ටී 56 අවියකින් 22 වෙනිදා අලුයම් කාලයේදීය. තවමත් ඇත්තේ එම වෙඩිල්ල අබිරහසක් ලෙසිනි.

මේ ආකාරයෙන්ම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ ආයතනයක හිමිකරුවකුගේ අංගොඩ පැත්තේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ද කලකට ඉහතදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එම වෙඩි ප්‍රහාරය පිටුපස සැඟවී තිබුණේ පාතාලයට එම ව්‍යාපාරිකයා කප්පම් නොගෙවීමකි. එම වෙඩි ප්‍රහාරය එදා මෙහෙයවා තිබුණේ අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාය. ඒ ඔහු ඉන්දියාවේ රැඳී සිටිමිනි.

මාකඳුරේ මධුෂ් ද ඩුබායි සිටි වකවානුවේදී මෙරට ව්‍යාපාරිකයන් බොහෝදෙනකුව බිය ගන්වමින් කප්පම් ගත්තේය. අංගොඩ ලොක්කා, මාකඳුරේ මධුෂ් වැනි පාතාල අපරාධකරුවන් මේ වන විට නොයෙන ගමන් ගොස් ඇතත් ඒ අඩුව පුරවරවන්නට ඇති තරම් පාතාල අපරාධකරුවෝ පෙළ ගැසී සිටිති.

බස්නාහිර පළාත ආශ්‍රිතව පාතාලයේ වෙඩි තැබීම් වල මෑත ඇරඹුම සටහන් වන්නේ බොරැල්ල වනාතමුල්ලේදීය. ඒ මැයි 20 වෙනිදාය.

යුද හමුදාවේ කීර්තිමත් බුද්ධි නිලධාරියෙක් වූ මේජර් තුවාන් මුතාලිෆ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ද පත්ව සිටියේ සිංහල කොටියෙකි. එදා වනාතමුල්ලේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ සංජීව නැමැති එම පුද්ගලයාය. ටී 56 වර්ගයේ අවියකින් එල්ලවූ වෙඩි වරුෂාවකින් එදා ඔහුව ඝාතනය කරනු ලබන්නේ පාතාල අපරාධකරුවන් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

එම වෙඩි තැබීමට මුල යැයි කියැවෙන්නේ ඊට දින කිහිපයකට පෙර බොරැල්ල සිරිසර උයන තට්ටු නිවාස සංකීර්ණයකදී ප්‍රදීප් නැමැති තරුණයකු ඝාතනය කිරීමට කළ එකට එක කිරීමක් බවය. පොලිසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව මෙම ඝාතන ද්විත්වයම පිටුපස ඇත්තේ කුඩු පාතාලයේ ගැටුම්ය. සිරිසර උයනේ ඝාතකයා මන්නා පිහි දෙකක්ද රැගෙන පසුගිය 20 වෙනිදා බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණ භාරවන විට එම ඝාතනය මුල්කරගෙන සංජීව වෙඩි කා මැරෙන්නේ ඩුබායි හි රැඳී සිටින කුඩු පාතාලයේ ප්‍රබලයකු වන මාකිලන්ගමුවේ සංජීවගේ සැලසුමකට අනුවය. අදටත් පාතාලය සතුව වැඩිම ගිනි අවි ප්‍රමාණයක් ඇතැයි කියැවෙන්නේ මාකිලන්ගමුවේ සංජීව සතුවය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් සමඟ ද ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති සංජීවට ගිනි අවි බොහොමයක් ලැබී ඇත්තේ ද එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙනි. දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඝාතනය කිරීමේ සැලසුමකට පවා ඔහු එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් සමඟ එක්ව සිටි බව රාජ්‍ය බුද්ධි සේවය විසින් වරක් හෙළි කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පවත්වා ගිනි අවි රැසක් සමඟ එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි මාකිලන්ගමුවේ සංජීව සමඟ ඔහුගේ ගෝලබාලයන් රැසක්ද අත්අඩංගුවට ගත්තේය. මෑත කාලයේ කොළඹ සහ ගම්පහ ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීම් හා නිතරම නම කියැවුණු නාමයක් වූයේද මාකිලන්ගමුවේ සංජීවය.

ගම්පහ අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට යමින් සිටියදී අධිකරණය කිට්ටුවපාතදීම මෝටර් රථයක් තුළ සිවුදෙනෙක් සමඟ ඝාතනය වන පස් පොඩ්ඩා මාකිලන්ගමුවේ සංජීවගේ සමීපතමයෙකි. පස් පොඩ්ඩාව මරා දමන්නේ පස් ව්‍යාපාරය හා බැඳුණු පාතාලයේ ගැටුම් හේතුවෙන් ඩුබායි පැන සිටින කෙහෙල්බද්දර පත්මසිරි ය. එම ඝාතනය ඔහු විසින් සිය ගෝලබාලයන් යොදා කරවන්නේ ඩුබායි සිටය. පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගනිමින් කෙහෙල්බද්දර පත්මේගේ ගෝලබාලයන් සහ ඥාතීන් කිහිපදෙනකුට මාකිලන්ගමුවේ සංජීව විසින් වෙඩි පත්තු කරනු ලබන්නේ කුලී ඝාතකයන් යොදාය. එක දිගටම ගම්පහ පැත්තේ සිදු වූ වෙඩි තැබීම්වලට නැවතීමේ තිත තැබෙන්නේ ඊට ප්‍රතිචාර දැක්වීමට කෙහෙල්බද්දර පත්මේ නොයාමත් සමඟිනි.

හීනටියන මහේෂ් නැමැති චරිතය එළියට එන්නේ ඒත් එක්කමය. හීනටියන අසිතගෙන් පසු හීනටියනින් බිහිවන පාතාලයේ ක්‍රප්‍රකට චරිතය වන්නේ මහේෂ්ය. මෑතකදී සිදුවූ වෙඩි තැබීම් බොහොමයකටම වගකිව යුතු චරිතයක් වන්නේ ඔහුය. මේ වන විට ඩුබායි හි රැඳී සිටිමින් සිය ගෝලබාලයන් යොදා මත්කුඩු ජාවාරම මෙහෙයවමින් කප්පම් ගැනීම්වල නිරතව සිටින්නේ මිනුවන්ගොඩ හොල්ලාගෙනය.

2022 වසරේ ඔක්තෝබර් 06 වෙනිදා සිය ගෝලබාලයන් යොදා මිනුවන්ගොඩ ගමන් ගෙදර පිහිටි නිවෙසක නිදා සිටි පියෙක් සහ දරුවන් දෙදෙනකුව මරා දැමුවේ ද හීනටියන මහේෂ්ය. ඒ ඩුබායි සිට ලබාගත් කොන්ත්‍රාත්තුවකට අනුවය. සරුංගල් ආරවුලක් මුල්කරගෙන කාලයක් තිස්සේ දෙපාර්ශ්වයක් අතර පැවති ආරවුලකට මැදිහත් වෙමින් මෙම ත්‍රිත්ව ඝාතනය කරවමින් මහේෂ් මිනුවන්ගොඩ පාතාලයේ බලය ඇල්ලුවේය. ඒ හාරහා ඔහු සිය බලය කටුනායක නිදහස් වෙළද කලාපය දක්වාම ව්‍යාප්ත කළේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ද ගනිමිනි. කප්පම් නොදුන් ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට පවා ඔහු ගෝලයින් යොදා වෙඩි තබා බියගන්වමින් දැවැන්ත භීෂණයක් මිනුවන්ගොඩ සහ කටුනායක පැත්තේ වැපුරුවේ ය. ඒ ඔස්සේ මහේෂ් ශක්තිමත් වූයේ සිය ගෝලබාලයන් යොදා මත්කුඩු ජාවාරම ද ජයටම කරගෙන යමිනි.

මිනුවන්ගොඩදී පසුගිය 17 වෙනිදා යතුරු පැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙකුට වෙඩි තබන්නේද මහේෂ් විසින් ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුවය. යතුරුපැදිය පසුපස මෝටර් රථයකින් හඹායමින් කළ එම වෙඩි තැබීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාම තුවාල ලැබීය. ඔවුන් දෙදෙනා කලක් මහේෂ්ගේ ගෝලයන්ය. එක් අයෙක් හඳුන්වන්නේ බාප්පා යැයි කියාය. අනිකා චප්පාය.

මහේෂ් පාතාලයේ අත්පොත් තබන විට ඔහුගේ සෙවණැල්ල මෙන් සිටියේ යැයි කියන්නේ බාප්පාය. මහේෂ්ගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු අපරාධ ලෝකයට පිවිසෙන්නේ මංකොල්ලකාරයෙක් ලෙසින් බවය. මිනුවන්ගොඩ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලක් මංකොල්ලකන්නට ගොස් අත්වැරදීමකින් සිදුවන ඝාතනයක් හේතුවෙන් අපරාධ ලෝකයේ වැඩ්ඩෙක් බවට මහේෂ්ව පත්කරනු ලබන්නේ නුවන් පුතාය. ඔහු මහේෂ්ව පාචිච්චි කරනුයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි කැබලි මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන් පන්නා දැමීමටය. අවසානයේදී එම රෙදි කැබලි කර්මාන්ත ශාලාවලින් මිලදී ගත්තේ නුවන් පුතාය. ඒ තුළින් ඔහු අද වන විට ධනවතෙක් බවට පත්ව සිටින බව සඳහන්ය. එහෙත් දැන් මහේෂ් හා ඔහු ඇහි හොඳයි පාන්නේ නැත. මහේෂ්ගේ විශ්වාසවන්තම ගෝලයා වූ බාප්පා පවා සිටින්නේ නුවන් පුතා සමඟිනි. දැන් මහේෂ්ට ගැටුමක් ඇත්තේ නුවන් පුතා සමඟිනි. බාප්පාට වෙඩි පත්තු වන්නේ ඒ නිසාය.

බාප්පාට වෙඩි තැබූ අය පස්සේ පන්නන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකි. වැඩි කල් යන්නට මත්තෙන් විශේෂ කාර්ය බළකාය බාප්පාට වෙඩි තැබූ මෝටර් රථය පැදවූ රියදුරාව මුලින්ම කොටුකර ගත්තේය. ඒ කුළියාපිටිය ඇබෑව ප්‍රදේශයේ සැඟව සිටියදීය. ඔහුව පාතාල අපරාධකරුවන් දැන සිටියේ මාමා යැයි කී විටය. කුලී ඝාතකයෙන් වන මාමා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නෙකි. කුළියට ගත් මෝටර් රථයකින් දින හතරක් තිස්සේ රැක සිට එදා බාප්පාට වෙඩි තබන්නේ මහේෂ් විසින් කුලියට ගත් හමුදාවෙන් පලාවිත් සිටින සොල්දාදුවන් දෙදෙනෙක් යොදාය. ඔවුන් කවුරුන් දැයි මාමා අදටත් දන්නේ නැත. මාමා ට පැවරී තිබී ඇත්තේ කුලියට ගත් මෝටර් රථයෙන් ඉලක්කය වෙත වෙඩික්කරුවන්ව රැගෙන යාම පමණි. ඒ වෙනුවට මාමාට ලැබී ඇති මුදල රුපියල් ලක්ෂ 02කි.

මාමා එසේ මෙසේ අයෙක් නොවන බව මෙන්ම හීනටියන මහේෂ්ගේ කල්ලියේ සිටින අබිරහස් වෙඩික්කරුවෙක් බව විශේෂ කාර්ය බළකාය පවා දැනගත්නේ ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය. මිනුවන්ගොඩ ගමන්ගෙදර ගම්මානයේ නිවසක් තුළ නිදි පැදුරේ සිටි පියාත් පුතුන් දෙදෙනාත් වෙඩි තබා මරා දැමීමට ගිය මහේෂ්ගේ කණ්ඩායමේ පොලිස් වෙසින් සිටියේ ඔහුය. ඒ වෙනුවෙන් මහේෂ් විසින් මාමාට ලබාදී තිබුණු කුලිය රුපියල් ලක්ෂ දෙකහමාරකි.

ඒ හැරුණු කොට මාමා දකුණේ ඝාතන තැතකට ද සම්බන්ධව සිටියේය. ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාවය. කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් වූ නියෝජ්‍ය විදුහල්පතිව මරා දැමීමට ඔහුට කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ හීනටියන මහේෂ් හරහාය. ඒ පිටුපස පස්යාලේ වරුණ ද සිටියේය. මැයි 26 වෙනිදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයාට රන්දොඹේ ප්‍රදේශයේදී වෙඩි තබන්නේ මාමාය.

යතුරුපැදියක නංවාගෙන ඉලක්කය වෙත ඔහුව රැගෙන ගොස් ඇත්තේ රත්ගම විදුරගේ ගෝලයෙකි. එදා නියෝජ්‍ය විදුහල්පතිගේ ජීවිතය බේරෙන්නේ ඔහු වෙඩි කාගෙනම පොලිසියට පැමිණි නිසාය. මෙම වෙඩි තැබීම වෙනුවෙන් මාමාට මහේෂ්ගෙන් ලැබී ඇති කුලිය රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසකි. ඒ බව පවා ප්‍රශ්න කිරීම් හමුවේ මාමා හෙළිකර තිබුණේය.

ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබන්නට හීනටියන මහේෂ් හරහා කුලි ඝාතකයෙක් යොදවන්නේ වෙන කිසිවෙක් නොව, දකුණේ නම ගිය පාතාල අපරාධකරුවෙක් වන රත්ගම විදුරය. මත්කුඩු ආරවුලක් මුල්කරගෙන සුජිත් සමඟ සීතල යුද්ධයකට පැටළී සිටින රත්ගම විදුර ධර්මාශෝකයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබන්නේ සුජිත්ට දැනෙන්නටය. ඒ නියෝජ්‍ය විදුහල්පතිවරයා සුජිත්ගේ ඥාතියෙක් වීමේ වරදටය. රත්ගම විදුර රැඳී සිටින තැනක් හරියටම පැහැදිලි නැතත් ඔහු මේ වන විට ඇතැයි අනුමාන කෙරෙන්නේ ඩුබායි හෝ ඉතාලියේය. ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිව මරා දැමීමට ඔහු සැලසුම් කරනු ලබන්නේ ඒ එක් රටක සිටය.

දකුණේ එකදිගට වෙඩි පත්තු වන්නට ගත්තේ ද ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිවරයාට එල්ල වුණු වෙඩි ප්‍රහාරයත් සමඟිනි. ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට තැබූ වෙඩිල්ලට ප්‍රතිප්‍රහාර එල්ල වන්නේ රත්ගම විදුරගේ බිරියගේ සහෝදරයාට සීනිගම දේවාලය අසලදී වෙඩි තබාය. රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වන දුලාජ් තරංගට වෙඩි පත්තු කරන්නේ කොස්ගොඩ සුජී ඩුබායි සිටය. හබරාදූවේ පදිංචි තරුණියක් යොදවා සීනිගම දේවාලය අසලට දුලාජ්ව ගෙන්වා ගන්නා සුජී ඔහුව ඉලක්කර වෙඩි පිට වෙඩි පත්තු කරනු ලබන්නේ රත්ගම විදුරට දැනෙන්නට මස්සිනාව මරා දැමීමට සිතාගෙන විය හැකිය. ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට මෙන්ම දුලාජ්ට ද ජීවත්වීමේ වාසනාවක් ලැබෙන්නේ වෙඩි කාගෙන ඔහුත් කැබ් රථය පොලිසියටම පදවාගෙන ගිය බැවිනි. එදා දුලාජ්ව සීනිගම දේවාලය අසලට ගෙන්වා දුන් තරුණිය එදාම රටින් පැන්නීමට පවා කොස්ගොඩ සුජී වගබලා ගත්තේය. මාලදිවයිනේ දින කිහිපයක් ගත කළ ඇය දැන් සිටින්නේ යැයි කියනු ලබන්නේ ඩුබායිවලය.

රත්ගම විදුරද සිය මස්සිනාට තැබූ වෙඩිල්ල සුළුවෙන් තැකුවේ නැත. මස්සිනාට තැබූ ඒ වෙඩිල්ලේ උණුසුම යන්නටත් මත්තෙන් කොස්ගොඩ සුජීගේ මාමාව මරා දැමුවේය. බීච් බෝයි කෙනෙක් වූ සුජීගේ මාමාව මරා දමන්නේ කොස්ගොඩ හිද්දරුවේ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිටදී 21 වෙනිදා අලුයම් කාලයේදීය. රන් මහත්තයා යනුවෙන් කී විට කොස්ගොඩ පැත්තේ කොයිකවුරුත් දැන හඳුනන ඔහුව මරා දමන්නේ කාන්තාවක් සමඟ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසිනි. පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව එම වෙඩික්කරුවා යොදවන්නේ රත්ගම විදුරය.

හෝමාගම මහා කටුවානේ දී වාහන අමතර කොටස් වෙළදාමේ නිරතව සිටින ව්‍යාපාරිකයකු ඝාතනය වන්නේද මේ අතරය. 20 වෙනිදා රාත්‍රියේ එම ව්‍යාපාරිකයාට වෙඩි තබා මරා දමන්නේ ඔහු පදිංචිව සිටි නිවෙස ඉදිරිපිට දුරකතන ඇමතුමක රැඳී සිටියදීය. චමිල සංජීව නොහොත් චමිල කොටා යැයි කියන මෙම ව්‍යාපාරිකයාට වෙඩි තබන්නේ ටී 56 අවියකිනි. මෙම ඝාතනය පිටුපස සිටින්නේ යැයි විශ්වාස කරනු ලබන්නේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. ඔහු හඳයාය. ඊට පෙර දිනකදීද හඳයාගේ ගෝලයන් විසින් මෙම ව්‍යාපාරිකයාව මරන්නට ඇවිත් තිබුණේය. එදා ව්‍යාපාරිකයා වෙනුවට කපාකොටා දමන්නේ ඔහුගේ පියාවය. ඒ නිසාම මාස තුනක කාලයක් පොලිස් ආරක්ෂාවක්ද ඔහුටත් පියාටත් ලබාදී තිබුණේය. මෙම ව්‍යාපාරිකයාව මරා දැමීමට තරම් කුඩු පාතාලයට ඔහු කෙරෙහි වෛරයක් ගොඩනැඟී තිබුණේ යැයි කියැවෙන්නේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් දුන්නේ යැයි කියා ඇතිවී තිබෙන සැකයකි. අවසානයේදී එම සැකය ඔහුගේ ජීවිතය පවා අහිමි කරවීමට බලපෑවේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවා කැළඹීමකට ලක්වන්නේ මෙම ඝාතනයත් කොස්ගොඩ සුජීගේ මාමාගේ ඝාතනයත් සමඟ කොට්ටාවේ පිහිටි රසායනාගාරයක් තුළදී එහි සේවකයෙකුට 21 වෙනිදා උදෑසන එල්ල වන වෙඩි ප්‍රහාරයත් සමඟිනි. වෙඩික්කරුවන් දෙදෙනෙකුම එම රසායනාගාරය තුළට ඇතුළුවී එහි සේවකයා සිය ග්‍රහණයට ගෙන වෙඩිපිට වෙඩි තබන්නේ පැහැදිලිවම ඉලක්කය හඳුනාගෙනය.

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ආසන්යේ පිහිටි එම රසායනාගාරය පුද්ගලික රෝහලකට අයත් එකකි. මේ වන විට මෙම ඝාතනය ගැන පැතිකඩ කිහිපයක් ඔස්සේම විමර්ශන කණ්ඩායම් රැසක් පරීක්ෂණ මෙහෙයවති. එහිදී පෙනී ගොස් ඇත්තේ ඝාතනය වූ රසායනාගාර සේවකයා කොස්ගොඩ තාරක සහ ගඟන නැමැති පාතාල අපරාධකරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති අයෙක් බවය. ඒ යැයි කියා මෙම සේවකයා පාතාල අපරාධවලට සම්බන්ධ වූවෙක් යැයි මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නැත. දැනට අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව ඔහු සමඟ කලක් තිස්සේ අමනාපයෙන් සිටි එස්.එෆ්. ජගත් නැමැති පාතාල අපරාධකරු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුව ඇති බවය. ඒ මෑතකදී සිදුවූ යම් සිදුවීමක් මුල්කරගෙන එස්.එෆ්. ජගත් හා මෙම සේවකයා අතර යටගිය හිත් අමනාපයක් නැවත මතුවීම හේතුවෙනි. මේ කියන ජගත්ද සිටින්නේ බුඩායිවලය.

වැල්ලම්පිටියේ ත්‍රිරෝද අලුත්වැඩියා කිරීමේ ස්ථානයක හිමිකරුවකු ඉලක්කර පසුගිය 06 වෙනිදා කුලී ඝාතකයෙක් යොදා වෙඩි තබන්නේ ද ඩුබායි හි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවකු විසිනි. සිංහපුරේ ධනුෂ්ක නැමැති එම පාතාල අපරාධකරු විසින් ගරාජයේ හිමිකරුට වෙඩි තබන්නේ ඔහුගේ බලය පෙන්වන්නටය. ඒ ධනුෂ්කට පෙන්වන්නට බැරි පුද්ගලයකු ගරාජයට ගෙන්වා ගත්තාටය.

ධනුෂ්ක ඩුබායි සිට ලබාදෙන නියෝගයන්ට අනුව එම වෙඩි තැබීම මෙහෙයවනු ලැබුවේ චන්දනය. කොළොන්නාව සිංහපුරේ වැසියෙක් වන චන්දන, ධනුෂ්කගේ හැම පර වැඩක්ම කළේය. ගරාජ් හිමිකරුට වෙඩි තබා ලේ බිඳක්වත් ඔහුගේ හෙල්ලීමට නොහැකි වූවත් චන්දන ගැන හැමෝම දැනගන්නේ එම වෙඩි තැබීමත් සමඟිනි. පොලිසිය චන්දනගේ පස්සේ පැන්නීමට පටන් ගැනීමත් සමඟ ධනුෂ්ක ඔහුව ඩුබායි ගෙන්වා ගත්තේය.

ධනුෂ්කගේ පැටිකිරිය එළියට එන්නේ මෙම වෙඩි තැබීමත් සමඟිනි. කොලොන්නාවේ මත්කුඩු බෙදාහැරීමේ ඒකාධිකාරිය ඇත්තේ ධනුෂ්ක අතේය. ධනුෂ්ක පොරක් බවට පත්වන්නේ වසර 15කට පමණ පෙර කොලොන්නාවේදී තවත් පිරිසක් සමඟ එක්ව පොලිස් නිලධරියකුව කපා කොටා ඝාතනය කිරීමෙනි. එම නිලධාරියා කුළියාපිටිය පැත්තේ පොලිසියක සේවය කළ අයෙකි. ඔහුව මරන්නේ පොලිස් නිලධාරියෙක් බව නොදැන මංකොල්ලකන්නටය. නොදැන හෝ මරා දැමුවේ පොලිස් නිලධාරියෙක් වූ බැවින් ධනුෂ්ක ලොකු පොරක් බවට පත්වන්නේ කොලොන්නාවේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ලොක්කා බවටද පත්වෙමිනි.

පසුගිය 18 වෙනිදා කොලොන්නාව අයි.ඩී.එච් පරේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් පළතුරු වෙ‍ෙළඳ සැලක් ඉදිරිපිට රැඳී සිටියකුට වෙඩි පත්තු කරවනු ලබන්නේද ධනුෂ්කය. ඒ ඩුබායි සිට කුලී ඝාතකයන් යොදවාය. වෙඩිල්ල හරියටම ඉලක්කය හඹා ගියද ජීවත්වීමේ වාසනාව තිබුණු බැවින් ඔහු අදටත් සිටින්නේ ජීවතුන් අතරය. එදා එසේ වෙඩි කන්නේද ධනුෂ්කගේ කුඩු ජාලයට එරෙහිව යන්නට ගිය තරුණයෙකි.

ඩුබායි හි රැඳී සිටින කුඩු පාතාලය පසුගිය 23 මැයි වෙනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදී ද අඹුසැමි යුවළක් බිලි බා ගැනීමට මාන බලමින් සිට ඇති බව ද කියැවෙති. ඒ මැගසින් පරේ කුඩු තිලාන් සහ ඔහුගේ බිරියය. කුලියට ගත් වෙඩික්කරුවෙක් යොදා එම ද්විත්ව ඝාතනය කරන්නට සැලසුම් කර ඇත්තේ මෙරටින් පලාගොස් ඩුබායි හි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඇලෝසියස් ස්මිත් නැමැත්තාය. සැඟවුණු චරිතයක් වන ඔහු ගැන තොරතුරු එළියට එන්නේ අහඹු ලෙසිනි. ඒ පසුගිය 19 වෙනිදා මුල්ලේරියාව පොලිසිය විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලායාමට සූදානම් වූ අපරාධකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය. කුඩු තිලාන්ව මරා දැමීමේ ඩුබායි කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුණේ ඔහුය. ඒ සඳහා ගිනි අවිය රත්මලානේදී ඔහු අතට පත්කර තිබුණේ යැයි කියන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරත සැරයන්වරයෙකි. මෙම සටහන තබන විටත් එම සැරයන්වරයා සිටියේ නිදැල්ලේය.

පොලිසිය හා පාතාලය අතර සහ සම්බන්ධයට මෙය එක් උදාහරණයක් පමණි. මෑතකදී වෙන්නප්පුව පොලිසිය මඟින්ද පාතාලය සමඟ හෝටලයක සාදයකට සහභාගිවී සිටි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තේය. ඔහු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකි. අද වන විට වැඩ තහනමට ලක්ව සිටින මෙම නිලධාරියා නැවත පොලිස් සේවයට ගන්නට වෙර දරන පොලිස් ලොක්කෝද නැත්තේම නැත. ඒ එම ලොක්කන්ට පාතාලයේ කුඩුකාරයන්ගෙන් ගතමනාව රැස්කර දෙන්නේ මෙවන් අය වන බැවිනි. පාතාලය අද වන විට ශක්තිමත්ව සිටින්නේ මෙවන් නිලධාරීන් නිසාය. ඒ හැම පාතාලයේ ප්‍රබලයෙක්ම පාහේ දැන් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔවුන් හැම අපරාධයක්ම සිදුකරනු ලබන්නේ කුඩු සල්ලි විසි කරමිනි. මෑතකදී බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවූ සෑම වෙඩි තැබීමක්ම පාහේ සිදුකර තිබුණේ ඩුබායි හි රැඳී සිටින කුඩු පාතාලයේ කෙරුම්කාරයෝ විසිනි. ඒ කුලියට ගත් ඝාතකයන් සහ වෙඩික්කරුවන් යොදාගෙනය. ලේ පිපාසයෙන් පෙළෙන ඔවුන් මත්කුඩු ජාවාරමේ සිය කොටස වෙනුවෙන් පමණක් නොව, තමන්ට එරෙහිව යන අයද සිත් පිත් නැති මෘගයන් සේ මරා දමති. මෙසේ ඔවුන්ට රිසි සේ මෙරට භීෂණයක් මවාපාන්නට ඉඩකඩ ලැබී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව, කුඩු සල්ලිවලට වහවැටී සිටින අය අතර පොලිසියේ උදවියද සිටින බැවිනි.

Comments