
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලබා එයින් රට වෙනුවෙන් උපරිම සේවයක් කළ අය අතර ඔහුගේ නම ද ඉහළින් සටහන් වනු ඇත. නිමල් කරුණාසිරි නම් ඔහු බස්නාහිර පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස්වරයකු වන අතර, රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළේය. ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි උපත ලැබුවේ මාතර හක්මනදී 1960 අගෝස්තු 29 වැනිදාය. ඔහුට සොයුරු සොයුරියන් 5 දෙනෙකු විය. ඉකුත් ජුනි 16 වැනිදා වෛද්‍ය නිමල් කරුණාසිරි සිය දිවි ගමනට සමු දුන්නේ 63 වැනි විය පසුකරමින් සිටියදීය. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සහ ප්‍රගතිශීලි සටන් වෙනුවෙන් කැපවූ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු ලෙස ඔහුගේ නම සනිටුහන් වේ.
වෛද්‍ය නිමල් කරුණාසිරිගේ නම මුල්වරට කතාබහට ලක්වන්නේ කොළඹ රාජගිරිය ආයුර්වේද පීඨය සම්බන්ධයෙනි. එය ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය ලෙස ආරම්භ වූයේ 1929දී රාජගිරියේ ඔබේසේකර පරපුරේ ඉඩමකය. සර් ඩී.බී. ජයතිලක ඇතුළු විද්වත්හු පිරිසක් එහි සමාරම්භකයෝ වූහ. පනස් හයේදී මෙරට බිහිවූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ එක් යෝජනාවක් වූයේ ස්වදේශීය වෛද්‍යවරුන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව 1961 අංක 31 දරන පනත යටතේ ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය රජයේ දේශීය වෛද්‍ය විද්‍යාලය බවට පත්වූයේ 1977 පෙබරවාරි මස නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මඟිනි. එහි පළමු උපාධිධාරි ශිෂ්‍ය කණ්ඩායම 1983 ජනවාරි මස බඳවාගත් අතර, එයට ශිෂ්‍යාවන් 48 දෙනකු ඇතුළු සිසුන් 60 දෙනකු ඇතුළත් විය. අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් 1983දී එහි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවක් ද ස්ථාපිත වූ අතර, 1984දී එහි සභාපති ලෙස එස්. වික්‍රමරත්න ද ලේකම් ලෙස නිමල් කරුණාසිරි ද පත් විය.
දේශීය වෛද්‍ය සිසුන් අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි වීම හේතුවෙන් පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක යන සරසවි සිසුන් 1984 ජුනි මස ඝාතනයට ලක්වූ අවස්ථාවේදී රජයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ද අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ එක්වී කටයුතු කළහ. ඝාතනයට ලක්වූ පද්මසිරි අබේසේකර සිසුවාගේ තංගල්ලේ පැවති අවමංගල උත්සවයේදී කොළඹ දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව වෙනුවෙන් නිමල් කරුණාසිරි ද සභාව ඇමතුවේය. එමෙන්ම රජයේ අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහි වෙමින් අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගෙන ගිය සටනේදී 1988 ඔක්තෝබර් 22 වෙනිදා පැහැරගෙන ගොස් ක්‍රෑර ලෙස ඝාතනය කළ ත්‍රීමා විතානගේ අවමඟුල් උත්සවයේදී ද නිමල් කරුණාසිරි සභාව අමතමින් ශිෂ්‍ය ව්‍යාපාර සටනට ජීවය ලබා දුන්නේය.
නිමල් කරුණාසිරි 1985 සිට 1990 දක්වා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධුරය දැරීය. ඒ වන විට දේශීය වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් පිළිබද වාර්තාවක් කැඳවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත මහාචාර්ය කුරුප් විසින් නිර්දේශ කර තිබුණද ඒ කිසිදු පහසුකමක් හෝ සරසවි අධ්‍යාපනයට සරිලන විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් එහි නොතිබිණි. සිසුන්ගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මහවත්තේ 20 දෙනෙකුට නේවාසිකාගාරයක් ද සිසුවියන් සඳහා මොරගස්මුල්ලේ නේවාසිකාගාරයේ ද පහසුකම් සලසා තිබුණු අතර, තවත් කණ්ඩායම් දෙකක් ඒ වන විට උපාධි පාඨමාලාව සඳහා බඳවා ගෙන තිබිණි. තෙවැනි වසරේ විභාගය ඇරඹීමට තිබුණේ 1985 ඔක්තෝබර් මස 2 වැනිදාය. ලිඛිත, වාචික, ප්‍රායෝගික පරික්ෂණ තුනෙන් දෙකක් සමත්වීම අවශ්‍ය විය. විධිමත් අධ්‍යාපන පහසුකම් යටතේ පීඨයේ කටයුතු කරගෙන යන ලෙසට වසර 3ක් තිස්සේ ඉල්ලීම් කළ ද ඒවා ඉටු නොවූ බැවින් විභාග වර්ජනය කිරීමට ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තීරණය කළේය. දේශීය වෛද්‍ය පීඨයේ සිසුන් 287 දෙනාගෙන් සිසුවියන් 5 දෙනෙකු හැර අන් සියලු දෙනා ඊට එක් වූහ. එහෙත් පොලිස් ආරක්ෂාව යටතේ විභාග පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කළ අතර, තෙවැනි වසරේ විභාගය පැවැත් වූයේ 1985 දෙසැම්බර් 13 වැනිදාය. සිසුහු 287 දෙනාගෙන් 38 දෙනකු ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ තීරණය නොසලකා විභාගයට පෙනී සිටියහ.
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ තීරණය අනුව ආයුර්වේද පීඨයේ විභාග ආරම්භ කළ අවස්ථාවේ සිසුන් ඊට විරෝධය දක්වමින් පිටතට පැමිණියහ. වැලිකඩ පොලිසිය පැමිණ සිසුන් 25ක් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුහු අධිකරණයෙන් ඇප මත මුදා හැරියේය. අධිකරණ නියෝගය අනුව සිසුන්ට පීඨය ආසන්න කිලෝමීටර් 2ක් තෙක් පැමිණිම තහනම් විය. එහෙත් සිසුහු මොරගස්මුල්ලේ නිවෙසක් මූලස්ථානය කර ගනිමින් සිය අරගලය ඉදිරියට ගෙන ගියහ. උද්ඝෝෂණ, පිකටින්, මාධ්‍ය සාකච්ඡා, පෙත්සම් අත්සන් කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් එහිදී ගනු ලැබූවද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ආයුර්වේද පීඨයේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක භටයන් යොදවනු ලැබූ අතර, පන්ති වර්ජනය කරන සිසුන් 249දෙනාට වසරක කාලයක් සරසවි භූමියට ඇතුළු වීම තහනම් කරනු ලැබිණි. සිසුන් 38දෙනකු විරෝධතාවට එක් නොවී පාලනාධිකාරයේ ඉල්ලීමට අවනත වෙමින් දේශනවලට එක්වී තිබිණි. රට පුරා සියලු සරසවි සිසුහු දේශීය වෛද්‍ය විද්‍යාලයේ අරගලය විසඳන ලෙස ආණ්ඩුවට බල කරමින් එක්දින පන්ති වර්ජනයක් ද පැවැත්වූහ. සිසුන් අති බහුතරය ආයුර්වේද පීඨයේ පන්ති වර්ජනයක් සිදු කර තිබියදී ඉතා සුළුතරයක් අධ්‍යාපන කටයුතුවලට සහභාගි වීම වර්ජනය පාවා දීමක් බව තීරණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනත් සරසවිවල සිසුන් 50 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා ගනිමින් ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමකින් එය පරාජය කිරීමට ඒකමතිකව තීන්දුවක් ගත්තේය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටු සරසවියේ සිසුහු 45 දෙනකු පෞද්ගලික බස් රථ දෙකකින් රැගෙන පැමිණ සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහ.
එය විනාඩි 25ක ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමක් වූ අතර, එම සටනට නායකත්වය දුන්නේ ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, සුනිල් මාරසිංහ සහ උපුල් නානායක්කාර නොහොත් ලෙනෝරා ය. සහභාගි වූ 50 කණ්ඩායමේ ක්‍රියාකාරිකයන් අතර ආනන්ද, රාජපුර, කෝදාගොඩ, පොඩි ඇලෙක්ස්, ලොකු ඇලෙක්ස්, පාඨලී චම්පික රණවක, සුනිල් ශාන්ත, වීරරත්න, ගෙවිඳු කුමාරතුංග, බාලසූරිය ඇතුළු පිරිසක් සහ රුවන් ගුරුගේ, ගිනිගත්හේනේ බණ්ඩාර ඇතුළු කටුබැද්ද ජාතික තාක්ෂණික විද්‍යා පාඨමාලාව හදාරන සිසුන් ද වූහ. එම ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෝ පෙරවරු 9.30ට ආයුර්වේද පීඨය ඉදිරිපස යකඩ උල් සහිත ගේට්ටුවෙන් ඇතුළට පැනගත් ජපුර සරසවියේ කරාටේ ආනන්ද ඇතුළු සිසුන් තිදෙනකු ආරක්ෂක අංශය යටත් කරගත් අතර, තවත් සිසුන් කණ්ඩායමක් ස්ථාවර දුරකතන මාර්ග හා විදුලිය ද විසන්ධි කළහ. පාඨමාලාවට සහභාගි වී සිටි සිසුන් 38දෙනා කාමරයට ගොස් දොර වසාගෙන ඩෙස් පුටු අතර බිම වැතිරී සැඟවී සිටියදී එහි දොර කඩා ඔවුන් පිටතට ගෙන විනාඩි 5ක විප්ලවීය දේශනයක් ද පැවැත්වූහ. ආයුර්වේද සටන පාවා නොදෙන බවත් පොදු සිසුන්ගේ තීරණ අනුව ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ගන්නා තීන්දුවලට එකඟ වන බවටත් අන්තරේ මඟින් සකස් කරන ලද ප්‍රතිඥාවක් සිසුන් 38 දෙනාම එක්වරම උස් හඬින් කියවා සපථ කළේ ඉන් අනතුරුවය. ආයුර්වේද පීඨයේ බලය විනාඩි 25කට සියතට ගෙන සටන්කාමී සිසු බලය ස්ථාපිත කර විනාඩි 25කින් ක්ෂණික මැදිහත්වීම නිමා කරමින් සිසුන් 38දෙනා ද රැගෙන පැමිණි රෝසා බස් 2ක නැඟී පෙරවරු 9.55ට පලා ගියහ. වැලිකඩ පොලිසියේ නිලධාරින් ආයුර්වේද පීඨයට ළඟාවන විට පෙරවරු 10.05 වී තිබිණ. බසයෙන් රැගෙන ගිය සිසුන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී බසයෙන් බස්සවා නිදහස් කළ අතර මෙහෙයුමට පැමිණි සිසු කණ්ඩායම් අතරමගදී බසයෙන් බැසගොස් තිබිණි. සිසුන් කිසිවකු දේශනවලට සහභාගි නොවූ අතර දේශීය වෛද්‍ය සටන ඉල්ලීම් ලබා ගනිමින් ජයග්‍රාහීව නිමා විය.
ආයුර්වේද පීඨයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා පසු කලෙක ඉවහල් වූයේ ද වර්තමානයේ රාජගිරියේ සහ ගම්පහ යක්කල ආයුර්වේද උපාධි අපේක්ෂකයන්ට විධිමත් පහසුකම් හිමිවූයේ ද එම ඓතිහාසික සටනේ ජයග්‍රාහී ප්‍රතිඵල ලෙසිනි. එම සටනේ නියමුවකු ලෙස නිමල් කරුණාසිරිගේ නාමය ද ඉතිහාසයට එක් වනු ඇත.