කෝටි ගණන් සල්ලි ගෙවා මරණය හොයාගෙන මුහුදු පතුලටම ගිය ප්‍රකෝටිපතියන්ගේ ඉරණම | සිළුමිණ

කෝටි ගණන් සල්ලි ගෙවා මරණය හොයාගෙන මුහුදු පතුලටම ගිය ප්‍රකෝටිපතියන්ගේ ඉරණම

මීට අවුරුදු 111කට පෙර මගීන් 2240ක් පටවා ගෙන සිය මංගල ගමනට දියඹට යාත්‍රා කළ ‘ටයිටැනික්‘ බ්‍රිතාන්‍ය නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේදී මහා අයිස් පර්වතකයක හැපී මුහුදුබත් වීමේ ඛේදවාචකය අලුත් පරම්පරාව හරියටම දැනගත්තේ හොලිවුඩ් සිනමාවේ සම්මානනීය සිනමාකරු කැනඩා ජාතික ජේම්ස් කැමරන්ගේ ‘ටයිටැනික්‘ චිත්‍රපටයෙනි. මගීන් 1500ක්ම මහමුහුදේ ගිල් වූ ඒ ඛේදනීය සිදුවීම යළි අලුත් වූයේ ඊයේ පෙරේදා ‘ටයිටැනික්‘ නෞකාවේ නටබුන් නැරඹීමේ චාරිකාවට කැනඩාවෙන් පිටත්ව ගිය පුද්ගලයන් පස්දෙනකු සහිත ‘ටයිටන්‘ නැමැති කුඩා සබ්මැරීනය ගැඹුරු මුහුදු පතුලේදී පිපිරී සුණු විසුනු වීමේ කනගාටුදායක පුවතෙනි. 

මගීන් පටවා ගැනීමෙන් පසු හතර වටින්ම සීල් කළ මේ කුඩා සබ්මැරීනය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි සාන්ත ජෝන් දූපතේ සිට සහායක නෞකාවක ආධාරයෙන් රැගෙන ගොස් ගැඹුරු මුහුදට දියත් කළේ පසුගිය ඉරිදා ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර ඕෂන්ගේට් නැමැති මුහුදු ගවේෂණ සමාගම ටයිටන් සබ්මැරිනයේ හිමිකරුවන් වන අතර, එය 2018 වසරේදී නිර්මාණය කර තිබුණේ තනිකරම ටයිටැනික් නටබුන් නැරඹීමට මුදලට මගීන් රැගෙන යෑමේ සංචාරක සේවාවක් හැටියටය. එහි නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ ද සබ්මැරිනය නිර්මාණය කළ සමාගමේ හිමිකරු ස්ටොක්ටන් රෂ් නැමැති 61 හැවිරිදි මුහුදු ගවේෂකයෙකි. ඔහුගේ සහායට පෝල් හෙන්රි නැමැති ප්‍රංශ ජාතික 77 හැවිරිදි මුහුදු ගවේෂකයකු ද එක් විය. ප්‍රංශ නාවික හමුදාවේ හිටපු කපිතාන්වරයකු වූ පෝල් හෙන්රි ටයිටැනික් නටබුන් තැන්පත් වී ඇති ස්ථානයේ කිමිදුම් වාර 35ක් සිදු කරමින් එහි ගවේෂණ කටයුතුවල නිරතව සිටි අයෙකි. ජාත්‍යන්තර මුහුදු ගවේෂකයන් අතර ඔහු ජනප්‍රිය වී සිටියේ ‘මිස්ටර් ටයිටැනික්‘ නමිනි. අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහසකට ටිකට් පත් රැගෙන මේ දෙදෙනාගේ අධීක්ෂණය යටතේ ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවට එක් වූ මගීන් තිදෙනකු ද විය.

එවැනි ත්‍රාසජනක ගමන්වලට ලොල් වූ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හාර්ඩින් චාරිකාවට එක් වූයේ කාලයක් තිස්සේ මැවූ සිහිනයක් සැබෑ කර ගැනීමේ ආසාවෙනි. හෙතෙම හිටපු ගුවන් නියමුවෙකි. වසර 2019 දී ඔහු උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ගුවන් යානයක් පදවාගෙන ගොස් පෘථිවිය වටා වේගවත්ම ගුවන් ගමන සිදු කළ පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවේය. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 46කුත්, මිනිත්තු 40ක් සහ තත්පර 22ක් බව සඳහන් වී තිබේ.

පාකිස්තාන - බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ශෙහ්සාදා දාවුඩ් චාරිකාවට එක්වූ තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකි. 48 හැවිරිදි දාවුඩ් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ ජාත්‍යන්තර සුබසාධන භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකි. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමඟ විවාහ වී සිටි ඔහු ගමනට එක්වූයේ පවුලේ සාමාජිකයන් සමඟ කැනඩාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදීය. මේ ත්‍රාසජනක චාරිකාවට ඔහු සිය පුත්‍රයා වන 19 හැවිරිදි සුලේමාන් ද එක් කර ගත්තේය. මේ තරුණයා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෞව් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකි.

කැනඩාවට අයත් පෝලර් ප්‍රින්ස් නැමැති සහායක නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුදට යාත්‍රා කළ සබ්මැරිනය හඳුන්වනු ලබන්නේ සබ්මර්සිබල් නමිනි. එය සබ්මැරිනයකට වඩා ඉතා කුඩාය. ප්‍රමාණයෙන් අප එදිනෙදා දකින වෑන් රථයකට වඩා ලොකු නැත. ඇතුළත වැඩි ඉඩකඩක් නැති බවත් වාර්තා වේ. එහි සිටින අයට අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ පහසුවට ඇතුළත පරිගණක දර්ශන තිර කිහිපයකින් සමන්විතය. ඒ හැරුණු විට ඉදිරිපස සීල් තබනු ලැබූ විශාල වීදුරු කවුළුවකින් පිටත නැරඹීමේ හැකියාව ද තිබේ. බඳ දෙපසම ආවරණය කර ඇත්තේ ෆයිබර්වලිනි. යානයේ ඉදිරිපස විශාල විදුලි පහනක් සවිකර ඇති තිබුණ ද ගැඹුරු මුහුදේ ඝන අන්ධකාරය හේතුවෙන් ආලෝකය විහිදෙන්නේ මීටර් කිහිපයකට පමණි. වේගය ද ඉතා මන්දගාමී බැවින් මීටර් 12,500ක් ගැඹුරු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාවේ නටබුන් සමීපයට යෑමට පැය දෙකකට වඩා ගත වන බවත් වාර්තා වේ.

ටයිටන් සබ්මර්සිබලය අතුරුදන් වූ බව මුලින්ම හෙළි වූයේ පැයකුත් මිනිත්තු 45කට පසුවය. ඒ වනතුරු මුහුද මතුපිට නැංගූරම් ලා තිබූ සහායක නෞකාව සමඟ සබඳතා පවත්වමින් සිටියේය. මුහුද පතුලේ සිට ජී.පී.එස්. තාක්ෂණය හෝ රේඩියෝ පණිවිඩ මඟින් සබඳතා පැවැත්වීමට නොහැකි බැවින් එම සන්නිවේදනය සිදු වූයේ කෙටි පණිවිඩ ඔස්සේය. එහෙත් ටයිටන් සබ්මර්සිබලය එතැනින් එහාට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පසු සහායක නෞකාවේ පිරිස කලබලයට පත් විය. සිදුවීමේ ආරම්භය එය විය.

ඕෂන්ගේට් සමාගමේ හිමිකරු හා ප්‍රංශ ජාතික මුහුදු ගවේෂකයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාට ද ටයිටැනික් උන්මාදයක් තිබිණි. ඕෂන්ගේට් හිමිකරු ස්ටොක්ටන් මේ සබ්මර්සිබලය නිෂ්පාදනය කරනු ලැබුවේ ද ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකා ආරම්භ කිරීමටය. එය තනිකරම ව්‍යාපාරිකයකි. ඇරත් ඔහු විවාහ වී සිටි වෙන්ඩි රෂ් 1912දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඉසිඩෝර් සහ ඉඩා ස්ට්‍රාවුස්ගේ මී මිනිපිරියකි. තවත් අතකින් කියනවා නම් මේ යුවළගේ දියණියක වූ මිනී ස්ට්‍රාවුස්ගේ පුත්‍රයා වන රිචර්ඩ් වේල් වෙන්ඩිගේ සීයා ය. වෙන්ඩි රෂ් ද තුන් වතාවක් ටයිටැනික් නටබුන් ගවේෂණයේ යෙදී තිබිණි. මුළු පවුලටම ටයිටැනික් උන්මාදය තිබෙන්නට ඇත. ලොව පුරා ප්‍රභූ පැළැන්තියේ තවත් පවුල් දහස් ගණනක් සමඟ කොන්ග්‍රස් සභිකයකු වූ ඉසිඩෝර් සහ ඔහුගේ බිරිය ටයිටැනික් මංගල ගමනට එක් වූ අතර, අයිස් පර්වතයේ හැපී නෞකාව දෙකඩ වීමෙන් පසු ජීවිතය බේරාගැනීමට හොඳටෝම අවස්ථාව තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් ඔහු කපිතාන්ට කියා ඇත්තේ නෞකාවේ සිටින සියලුම කාන්තාවන් සහ දරුවන් නිරුපද්‍රිතව පිටත් කරනතුරු තමා ඉන් පිට නොවන බවය. සැමියාගේ තනියට බිරිය ඉඩා ද නෞකාවේ රැඳී සිටි බැව් කියැවේ. අවසානයේ මේ දෙදෙනා ඇතුළු තවත් දහස් ගණනක ජීවිතය ටයිටැනික් නෞකාව සමඟම මුහුදට බිලි විය. ටයිටැනික් නෞකාවේ ගිලී යෑමෙන් සති දෙකකට පසු ඉසිඩෝර්ගේ මළ සිරුර සොයා ගෙන තිබූ අතර, ඉඩාගේ සිරුර කිසිදිනෙක හමු වී නැති බව නිව්යෝක් ටයිම්ස් පැරැණි සඟරාවක සටහන් වී තිබිණි. ජේම්ස් කැමරන් සිය ‘ටයිටැනික්‘ චිත්‍රපටයෙන් ඉසිඩෝර් සහ ඉඩාගේ භූමිකාවට යළි පණ දුන්නේ මේ සිදුවීම පාදක කර ගනිමිනි.

ඊයේ පෙරේදා ටයිටන් සබ්මර්සිබලය අතුරුදන්වීමෙන් පසු ඒ පිළිබඳ උනන්දු වූ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර ඔහු ද සිටියේය. ටයිටැනික් උන්මාදයකින් පෙළුණු කැමරන් ද මේ ඓතිහාසික නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් වාර 33ක් සම්පූර්ණ කර තිබිණි. ටයිටන් සබ්මර්සිබලය අතුරුදන් වූ බව දැනගත් විගස තම ඇටමිදුලු පවා හිරිවැටී ගිය බව ඔහු බීබීසී යට ප්‍රකාශ කළේය.

‘මේක මහා නස්පැත්තියක්. ඒක අතුරුදන් වුණු මොහොතේදීම මට තේරුණා ලොකු නපුරක් වෙලා තියෙන වග. සහායක නෞකාවත් එක්ක තිබුණු සන්නිවේදනය බිඳ වැටුණා කිව්වම ඒකෙ තේරුම මහා විපත්තියක් සිද්ධ වෙලා කියන එක තමයි. මට එකපාරටම හිතට ආවේ මේ පුංචි යානය ඇතුළෙන් විශාල පිපිරීමක් සිද්ධ වෙන්න ඇති කියලයි. අන්තිමට බලද්දී ඒක තමයි වෙලා තියෙන්නේ. ටයිටැනික් කියන්නෙම මහා විනාශයක්. අපිට ඒ වගේ තවත් නපුරක් අපේ ඇස් දෙකට දකින්න වුවමනාවක් නැති වග මම ඒ කාලේදිම ඕෂන්ගේට් ලොක්කාට කිව්වා. මම කිව්වා ඔයා මේ යන්න හදන්නේ විනාශකාරී මාර්ගයක කියලා. එයා ඒක කනකට ගත්තේ නෑ.‘ 

ටයිටන් නස්පැත්තියක පෙරනිමිති ගැන ඕෂන්ගේට් ප්‍රධානි ස්ටොක්ටන් රෂ්ට අනතුරු ඇඟවූයේ කැමරන් පමණක් නොවීය. ඔහුගේ සමාගමේ එවකට හිටපු අධ්‍යක්ෂවරයකු ද මෙය ‘අන්තිම භයානක වැඩක්‘ බව කීවේය. එහෙත් ස්ටොක්ටන් කළේ ආයතනයේ රහස් හෙළි කළා කියමින් ඔහු රැකියාවෙන් දොට්ට දමා ඒ මදිවට නඩුවක් ද ගොනු කිරීමය. ටයිටන් සබ්මර්සිබලය නිෂ්පාදනය කර ඇත්තේ අමෙරිකාවේ මගී යාත්‍රා ආරක්ෂණ පනතත් අමු අමුවේ උල්ලංඝණය කරමිනි. 1993 අමෙරිකානු මගී යාත්‍රා ආරක්ෂණ පනතට අනුව වාණිජ නවෝත්පාදනයට වඩා මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතුය. එය මුලින්ම හෙළි කළේ 2018 වසරේ අගභාගයේදී අමෙරිකානු සඟරාවකිනි. එම සඟරාවට අනුව යාත්‍රාවේ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් යනු ‘වගකීම් විරහිත නිමැවුම්කරුවෙකි.

අවසානයේ සියලු අනතුරු ඇඟවීමේ සහ විනාශයක අනාවැකි නොසලකා හරිමින් ඩොලර් හත්ලක්ෂ පනස්දහසකට මගින් තිදෙනකු රැගෙන ස්ටොක්ටන් රෂ් යළි නොඑන්නටම මුහුදු පතුලට ගියේය. සබ්මර්සිබලයේ ඇතුළත ඔක්සිජන් ධාරිතාව දින හතරකින් අවසන් වන බවට ඇස්තමේන්තු කරමින් අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය කැනඩාවත් සමඟ ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු ලහි ලහියේ ආරම්භ කරමින් මෑත ඉතිහාසයේ විශාලතම සාගර මෙහෙයුම ආරම්භ කළේ ටයිටන් අතුරුදන් වීමෙන් පැය කිහිපයක් ඇතුළතදීය. ප්‍රවීණ මුහුදු ගවේෂකයන්ගේ තර්ක විතර්ක සැබෑ නම් ටයිටන් සබ්මර්සිබලය ඒ වන විටත් තිබී ඇත්තේ අවසානය කරා ළඟා වෙමිනි. ගැඹුරු මුහුදු පතුලෙන් පිපිරුම් ශබ්ද ඇසෙන බවට කැනඩාවට අයත් සබ්මැරීන නිරීක්ෂණ ගුවන් යානයකින් පළමු වරට හෙළිදරව් කරනු ලැබුවේ අතුරුදන් වූ පළමු දිනයේදීමය. අමෙරිකාවේ නාවික හමුදාවේ හිටපු වෛද්‍යවරයකු ප්‍රකාශ කර තිබුණේ එය පිපිරීමකට ලක් වූයේ නම් ඒ ගැන හාකවිසියක්වත් දැන ගැනීමට පෙරම මඟීන් පස්දෙනා ක්ෂණික මරණයට ගොදුරු වන්නට ඇති බවකි.

ටයිටැනික් සුන්බුන් තැන්පත් වී ඇති ස්ථානය හඳුන්වනු ලබන්නේ ‘මිඩ්නයිට් සෝන්‘ යනුවෙනි. සිරුර ගල් කරන අධික ශීතල සහ කෑලි කැපිය හැකි නිරන්තර ඝන අඳුර නිසා ඒ නම වැටී ඇත. එතැන කිසිවකුට ළඟාවිය නොහැකි තරම් දුෂ්කරය. එවැනි භයානක ගමනකට එක්වීම මාරයාට අත වැනීමකි. නොඑසේ නම් මරණය අතේ අරන් යෑමකි.

මෙහෙයුම් අතරතුර කාගෙත් අවධානයට ලක් වූයේ එහි ඔක්සිජන් ධාරිතාව අවසන් වීම පමණක් නොවීය. එහි විදුලි බලය හීනවීමත් එක් හේතුවක් විය. අනිත් අතට යානය ඇතුළත කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමෙන් නිර්වින්දන වායුවක් නිර්මාණය වන බවත්, එය ප්‍රශ්වාස කිරීමෙන් ඇතුළත සිටින පුද්ගලයන් නින්දට වැටෙන බවත් අමෙරිකාවේ වෛද්‍ය විශේෂඥ කෙන් ලෙඩස් ප්‍රකාශ කර තිබිණි.

කාලය සමඟ සටනක නිරතව සිටි අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ සහායට ගුවන් යානයක් සහ සබ්මැරිනයක් යැවීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ද පියවර ගත්තේය. අමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලින් ගැඹුරු මුහුදු පතුල නිරීක්ෂණය කරන නවීන තාක්ෂණයේ උපකරණ රැසක් ලැබෙමින් තිබිණි. මුහුදු පතුල ස්කෑන් පරික්ෂාවට ලක් කළ හැකි දුරස්ථ පාලකයකින් මෙහෙයවනු ලබන කැමරා සහිත උපකරණයක් සහ වික්ටර් 6000 නැමැති මීටර් හයදහසක් ගැඹුරට කිමිදිය හැකි මිනිසුන් රහිත උපකරණයක් ද ඒ අතර විය. වෙරළාරක්ෂක බළකාය වැඩි හොඳට නිව්ජර්සිවලින් ටයිටන් වර්ගයේ තවත් සබ්මර්සිබලයක් ඇණවුම් කර තිබිණි. එය ද මිනිසුන් රහිත කිමිදුම් උපකරණයකි. ඉන් කියැවෙන්නේ සබ්මර්සිබල් යනු මඟින් රැගෙන යන සබ්මැරීන් වර්ගයක් නොවන ගැඹුරු මුහුද නිරික්ෂණය කිරීමට තැනූ මිනිසුන් රහිත උපකරණයක් බවය. ස්ටොක්ටන් රෂ් ටයිටැනික් නැරඹීමට මඟීන් තිදෙනකු කැටුව ගියේ එවැනි අවදානම් සහිත ගමනකි. එය ඇතැම් වාර්තාවලට අනුව හිතුවක්කාර ගමනකි. කොටින්ම මුහුදු ගවේෂණයට සුදුසු යැයි ටයිටන් සබ්මර්සිබලයට කිසිදු නියාමන අධිකාරියක සහතිකයක් ද ලැබී නොතිබිණි. 

ටයිටන් මෙහෙයුම සිතුවාටත් වඩා බරපතළ හා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබිණි. අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල් ජෝන් මවුගර්ට අනුව මීට පෙර මුහුදු සීමාවේ අනතුරට පත් නෞකා, බෝට්ටු, හෙලිකොප්ටර් හෝ ගුවන් යානා සම්බන්ධයෙන් කොතෙක් මෙහෙයුම් සිදු කළ ද, මෙවැන්නකට එක් වූයේ පළමුවතාවටය. ඇරත් එම බළකායේ කිසිදු සාමාජිකයකුට මුහුදු පතුලේ ටයිටැනික් සුන්බුන් ගවේෂණය කිරීමේ උන්මාදයක් ද නොතිබිණි. ඔවුන්ගේ එකම ඉලක්ක වූයේ ටයිටන් හි ඔක්සිජින් ධාරිතාව හීනවී යෑමට පෙර එහි සිරවී සිටි මඟීන් බේරා ගැනීමය.

ඒ සඳහා මෙහෙයුම් කඩිනම් කෙරිණි. අවසානයේ ඔක්සිජන් ධාරිතාව අවසන් වූයේ යැයි උපකල්පනය කළ පසුගිය බ්‍රහස්පතින්දා ටයිටන් අතුරුදන් වූ කලාපයෙන් සුන්බුන් කිහිපයක් සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ වික්ටර් 6000 නිරීක්ෂණ උපකරණයේ ආධාරයෙනි. එහි තිබුණේ ටයිටන් සබ්මර්සිබලයේ වල්ගා කොටස, ඉදිරිපස කුඩා කොටසක් සහ බඳ කොටසක් ඇතුළු කුඩා සුන්බුන් කිහිපයකි. එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත් වූ රියර් අද්මිරාල්වරයා ටයිටන් සබ්මර්සිබලයේ ඉරණම ලොවට තහවුරු කළේය. එහි ගමන් කළ මඟීන් පස්දෙනාගේ මළ සිරුරු සොයා ගැනීමේ දුෂ්කරතාව ගැනත් සඳහන් කළ අතර, මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කළ බව ද දැනුම් දුන්නේය. දින පහක් පුරා වර්ග කිලෝමීටර් විසිදහසකට වැඩි වපසරියකින් යුතු උතුරු අත්ලාන්තික් මුහුදු කලාපයක් සෝදිසියට ලක් කරමින් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය කළ මෙහෙයුම් කණ්ඩායම්වල සියලු සාමාජිකයන්ගේ අඛණ්ඩ උත්සාහය අත්ලාන්තික් සාගරයේ දිය කර හරිමින් ටයිටන් සබ්මර්සිබලයේ හිතුවක්කාර චාරිකාව එසේ නිමාවට පත්විය. එය මුහුදු ගවේෂකයන්ට තවත් වසර ගණනාවක් යනතුරු ටයිටැනික් නටබුන් ගැන කතා නොකිරීමට තරම් භීතිය දනවන සුලු ඛේදවාචකයක් මෙන්ම අධික මුදලක් වැය කරමින් මෙවැනි අවදානම් සහිත ගමනකට එක්වීමට ලොව ධනවතුන් තැති ගන්වන සුලු විනාශයකි.

Comments