කොරල් බලන්න යමුද පෝට් සිටි | සිළුමිණ

කොරල් බලන්න යමුද පෝට් සිටි

ඒ සන්දියේ ගැමියෝ ගෝල්ෆේස් එකට කිව්වේ ගෝල්පීස් එක කියාය. ගෝල්පීස් එකේ මුහුදු හුළං විඳින්නකුට සරුංගල් යවන්නට ආ ගැමියන් කාටවත් කොළඹ කොරල් බලන්නට ලැබුණේ නැත. චන්ද්‍රිකා ජනාධිපති යුගයේ ප්‍රවාහන ඇමති වූයේ ෆවුසිය. එකල විදේශීය සමාගමක් ගෝල්ෆේස් ඉඩම තම අයෝජන කටයුත්තකට ඉල්ලා සිටින ලදී. ඒ වෙනුවෙන් ඒ සමාගම ගෝල්ෆේස් භූමියට සමාන භූමිභාගයක් ඒ ඉදිරිපිට ගොඩකරදීමටත්, ගෝල්ෆේස් සිට ගල්කිස්ස දක්වා මුහුදු වෙරළට සමාන්තරව ගාලුපාර හා සමාන පාරක් ගොඩනඟා දීමටත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒත් ඒ එකක්වත් ක්‍රියාත්මක වූයේ නැත.

නමුත් පසුව පෝට්සිටිය ක්‍රියාත්මක විය. අප පසුගියදා පෝට්සිටියට ගියේ පෝට්සිටිය බලන්නට නොව පෝට්සිටියේ දියකඩනයට සමාන්තරව වගා කොට ඇති කොරල් බලන්නටය. ඒ කියන්නේ දැන් කොරල් බලන්නට හික්කඩුවේ හෝ ත්‍රිකුණාමලයට යන්නට උවමනාවක් හෙට අනිද්දාට අනිවාර්ය නොවනු ඇත. 

අප සිටියේ මුහුදේ ඇති ටෝලර් යාත්‍රාවට රැගෙන එන වාහනය පැමිණෙන තුරුය. වාහනයට නැඟගත් අපට ඒ වටා වූ ගොඩනැඟිලි ටිකෙන් ටික කුඩාවී පෙනෙන්නට විය. ඉන්පසු අප ළඟා වූයේ ටෝලර් යාත්‍රා නතර කර ඇති තොටුපළක් වැනි තැනකටය. අප බලා සිටිද්දීම මංගල ජෝඩු එහිවූ ටෝලර් යාත්‍රා කුලියට ගෙන ඡායාරූප ශිල්පීන් සමඟ දියබත් වූයේ 'ප්‍රිෂූට්' සඳහාය. මනමාලයා මනමාලිය විවිධ ඉරියව්වලින් හිඳ මුහුදේ ගමන් ගන්නා ටෝලර් යාත්‍රාවේ සිට ගන්නා ඡායාරූප ආස්වාදජනක සිද්ධියක් විය. වටේටම දක්නට වූයේ කොළඹ දැවැන්ත ගොඩනැඟිලි කෙමෙන් ඈතට කුඩාවට පෙනෙන සුන්දර දසුනකි.

අප ගමන් කළේ පෝට්සිටිය වටා කෘත්‍රිමව ගොඩනැඟූ දියකඩනයට (Break Water) සමාන්තරවය. මෙම දියකඩනය සඳහා යොදාගෙන ඇත්තේ දැඩි කොන්ක්‍රීට් කළුගල්ය. මේ සඳහා යොදාගෙන ඇති වැලි සහ කළුගල් ප්‍රමාණය කියුබ් මිලියන 3.5කි.

ඇත්තටම මේ කොරල් නමින් හඳුන්වනු ලබන්නේ අතීතයේ ඉඳන් ම නව ගොඩබිම් නිර්මාණය කරන්න උපකාරී වුණු "සිලෝමාන්ත්‍රධර" කියන සත්වයාටය. ඇතැම් වෙලාවට ඔවුන්ගේ සැකිලි පවා මේ නමින්ම හඳුන්වනු ලැබේ. කොරල් සතා බහුබාවෙක් විදියටයි හැඳින්වෙයි.

Polyps කියලා හඳුන්වන මොවුන් ජෙලි සත්ත්ව ගණයට සමානකම් දක්වයි. ටියුබ් කොරල්, ඇඟිලි කොරල්, පන්ගස් කොරල්, රෝස කොරල්, මුහුදු පිහාටු වැනි කොරල්, මුහුදු අවාන් වැනි කොරල්, පඳුරු සහිත කොරල් යනාදී වශයෙන් කොරල් ප්‍රභේද විශාල ප්‍රමාණයක් ලොව පුරා ව්‍යාප්ත වී ඇති බැව් පෙනේ. පියවි ඇසට පෙනෙන ආකාරයට, කොරල් යනු අජීවී දෙයක් ලෙස පෙනුනත් ඇත්ත නම් සජීවී දෙයක් වීම ය. කොරල් නිර්මාණය වන්නේ සිලෙන්ටෙරාටා වංශයට අයත් වන බුහුබාවා නැතහොත් පොලිප් යන නමින් හඳුන්වන ඉතා කුඩා ජීවීන් සමූහයකිනි. මෙකී ජීවීන් මිලිමීටරයක තරම් කුඩා ප්‍රමාණයේ සිට අගල් 8ක් දක්වා ප්‍රමාණයේ විවිධ ප්‍රමාණයෙන් සිටී. එම කුඩා ප්‍රමාණයේ කොරල් ජීවීන් Zooxanthellate ගණයට අයත් වන අතර ඔවුහු ජනාවාස ලෙස ජීවත්වනු දක්නට හැකිය. අති විශාල කෙරල්පර සාදන්නේ මොවුන්ය.

පෝට්සිටි දියකඩනය ආශ්‍රිතව කොරල් වගා කිරීමට අවශ්‍ය සාධක සියල්ල ඇති බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. එනම් පිරිසුදු ජලය, පැහැදිලි සූර්යාලෝකය, නියත ලවණ සාන්ද්‍රණය සහ සෙල්සියස් අංශක 20ට (20.) වැඩි උෂ්ණත්වය යන කොරල් වර්ධනය හා ඒවායේ මනා පැවැත්මට අවශ්‍ය සාධක වඩාත් හොඳින් මෙම පෝට්සිටිය වටා ඇති දියකඩන කලාපය සංකේන්ද්‍රණය වී ඇත. මෙරට කොරල් නැරඹීම සඳහා වඩාත් ජනප්‍රිය හික්කඩුව හා ත්‍රිකුණාමල ප්‍රදේශ වුවත් තවත් ප්‍රදේශ දැකගත හැකිය. එම කලාප නම් අම්බලන්ගොඩ - මාතර වෙරළ තීරය, තංගල්ල - රැකව වෙරළ තීරය, මහා රාවණ - කුඩා රාවණ ප්‍රදේශය, මඩකලපුව - පාසිකුඩා කල්කුඩා ප්‍රදේශය, ත්‍රිකුණාමලය - නිලාවේලි කුච්චවේලි වෙරළ තීය, පේදුරු තුඩුව - ඩෙල්ෆ් සහ යාපනය අවට දූපත්, මන්නාරම - කල්පිටිය වෙරළ තීරයන්ය.

පෝට්සිටියේ කොරල් වගාව මෙරට කොරල් නැරඹීමේ නවතම කේන්ද්‍රස්ථානය ද විලාසිතාව ද වනු නියතය. හික්කඩුවේ කොරල් බලන්නට සංචාරක ආකර්ෂණය ඇතිවූ ආකාරය ද අපූරු කතාවකි.

හික්කඩුව කොරල්වලට ප්‍රසිද්ධ වන්නට කලියෙන් තිබී ඇති එකම නවාතැන 'ආණ්ඩුවේ' රෙස්ට්හවුසිය පමණකි. තානායම පසුපස මුහුදේ විශාල ගස් සමූහයක් සහිත ගල්මල් උයනක් ඇති බව ධීවරයන් දැක තිබේ. මෙම ස්ථානය "වල්දූව" නමින් ගැමියෝ එකල හඳුන්වා ඇත. මෙම ගල්මල් උයන ගැන ධීවරයන් නිතර නිතර කතා කිරීම නිසා සංචාරකයන්ට එය දැක බලා ගැන්මට අවශ්‍යව ඇත. විදේශීය සංචාරකයන්ගේ උනන්දුව හා ආශාව නිසා ඔවුන්ට මෙම ගල්මල් උයන පෙන්වීමට ධීවරයෝ කීප දෙනෙක් එක්වූහ. කුඩා පෙට්ටියක පතුලට වීදුරු තහඩුවක් සවිකර ඔරුවේ සිට එමඟින් ගල්මල් උයන නැරඹීමට සැලැස්වීමට මෙම මිනිසුන් කිහිපදෙනා කටයුතු කළහ. මුල් වකවානුව තුළ එතරම් සංචාරකයන් මෙම තානායමට නොපැමිණිය ද පැමිණි සෑම සංචාරකයෙක්ම ගල්මල් උයන නැරඹීමට ඉන්පසු අමතක කළේ නැත. සංචාරක ඇමැතිවරයා වීදුරු යටිපතුලක් ඇති බෝට්ටුවක් පරිත්‍යාග කිරීමත් සමඟ මෙය දැවැන්ත සංචාරක ආකර්ෂණයක් දිනා ගත්තේ පළාතම එකම සංචාරක නිකේතන පුරවරයක් බවට පත්කරමිනි. අන්තිමට මේ නිවාඩු නිකේතන බොහොමයක නමට මුලින් 'කොරල්' යන විශේෂ පදය ද යෙදාගනු ලැබීය. අප මේ පෝට්සිටියේ කොරල් බලන්නට ගියේ ඒවා බොහොමයක් වර්ධනය වෙමින් පවතින කාලයකය. තව ටික කාලයකින් ගෝල්ෆේස් හරියේ 'කොරල්' බලන්නට යන බෝට්ටුවල නාමපුවරු අපට දැකගත හැකිවෙනවා සිකුරුය.

කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269ක් නැතහොත් අක්කර 664ක් පමණි. නමුත් ඒ වටා ඉදිකර ඇති අප පසුගියදා කොරල් වගාව නිරීක්ෂණය කරමින් ගමන් කළ දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත අවකාශය හෙක්ටයාර 446ක් නැතහොත් අක්කර 1102කි. මෙකී සමස්ත භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත් කර ඇත. එම භූමියේ හෙක්ටයාර 269න් ගොඩනැඟිලි ඉදිකළ හැක්කේ හෙක්ටයාර 178ක එනම් අක්කර 439ක ප්‍රදේශයක පමණි. සෙසු හෙක්ටයාර 91, නැතහොත් අක්කර 224 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇළ මාර්ගය ආදී පොදු පොදු යටිතල පහසුකම් වෙනුවෙනි. ගොඩනැඟිලි ඉදිකළ හැකි හෙක්ටයාර 178න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලබාදී ඇත්තේ හෙක්ටයාර 116ක් එනම් අක්කර 286ක් පමණි. ඉතිරි හෙක්ටයාර 62, එනම් අක්කර 153 රජයට ඍජු පරිහරණය හෝ වෙනත් කවර නම් පාර්ශ්වයකට බදු දීමේ අයිතියකින් යුක්තය.

මේ කොළඹ වරාය නගරයේ කොරල් ව්‍යාපෘතියේ පරිසර උපදේශකවරයා වන්නේ ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. විජේසූරියය. ඔහු පවසන්නේ පෝට්සිටිය ගොඩනැඟීම ආරම්භයට පෙර ගාලුමුවදොර සිට කිලෝමීටර් 2.3ක් දුරින් වූ කොරල්පර සමූහයක් නිරීක්ෂණයට ලක්වූ බවය. "පෝට්සිටිය ගොඩනැඟීමේදී අප දැඩි ලෙස සැලකිලිමත් වුණා. ඔය කියන ස්වභාවික කොරල්පරවලට වැලිවලින් හානියක් වෙනවද කියලා. මේ ගොඩනැඟිලි තියෙන දියකඩනය (Break Water) නිසා තමයි පෝට්සිටිය භූමිය ආරක්ෂා වෙලා තියෙන්නේ. දැන් මේ දියකඩනයට සමාන්තරව තමයි කොරල් අපි වගා කරන්නේ. මේ කොරල් ස්වභාවිකව වර්ධනය වෙනවා."

ලංකාවේ වෙනත් ප්‍රදේශවල ඇති කොරල් සමඟ සංසන්දනයේදී මේ පෝට්සිටියේ කොරල්වල විශේෂත්වයක් වන්නේ ඒවා හික්කඩුව කොරල් උද්‍යානයේ මෙන් වාරකන් කාලයේ ඒවා ජලයෙන් උඩට මතු නොවීමය. ජර්මන් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියකු මෙන්ම පරිසර හිතකාමියකු වන වුල්ෆ්ගන් ක්ලවුස් (WOLFGANG KLAUS) හික්කඩුවේ කොරල්පර ගැන වරක් පවසා ඇත්තේ ගල්මල් උයන විනාශ වී යාමට හේතුව හික්කඩුව වරායේ සිදුවන ක්‍රියාකාරකම් සහ ඩයිනමයිට් යොදා මාළු මැරීම ආදී කරුණුත්, වැලිවලින් ගල්මල් වැසීයාම නිසා හික්කඩුව කොරල් උද්‍යානය අභියෝගයකට ලක්වී ඇති බවය. ඒත් මේ පෝට්සිටියේ කොරල් වගාවට නම් ඔය කියන කිසිදු අපල උපද්‍රවයක් නැත.

කොළඹ වරාය නගරයේ කොරල් ප්‍රවර්ධන මෙම ව්‍යාපෘතියේ ආයෝජන ප්‍රවර්ධන අලෙවි නිලධාරිනිය වන්නේ රධිකා ඔබේසේකරය.

"කොළඹ මධ්‍යයේ ව්‍යාපාරික කලාපයෙන් විහිදෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, වෙරළබඩ හා ඒ ආශ්‍රිත පාරිසරික පිහිටීම් සහ සමුද්‍ර වාසස්ථාන සංවර්ධනය තුළින් පාරිසරික සංරක්ෂණය සඳහා නිබඳ කැපවීමක් පෙන්නුම් කරනවා. මෙයට සැලකිලි යුතු සාක්ෂියක් මෙන්ම පූර්වාදර්ශය වන්නේ වරාය නගරය වටා පිහිටා ඇති කිලෝමීටර් 3.7ක් දිගට විහිදෙන කෘත්‍රිම දියකඩනයත් එම දියකඩනයට සමාන්තරව සශ්‍රීකව පවතින කොරල්පර කියන්න පුළුවන්. මෙම සශ්‍රීක කොරල්පර, අනාගතයේදී උග්‍ර වෙතැයි අපේක්ෂිත පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් නිර්මාණය කරන ලද පුළුල් ගල්පර කොරල්පර සංරක්ෂණ වැඩසටහනක කොටසක් බව කියන්න පුළුවන්. මෙම ප්‍රයත්නයන් ගෝලීය, කලාපීය සහ දේශීය පරිමාණයෙන් සාගර සංරක්ෂණ ප්‍රයත්නයන් මිණුම් සලකුණු කිරීමට ද මුලපිරීම සකසා ඇති බව කියන්න පුළුවන්. දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික බලපෑම් හේතුවෙන් කොරල්පර උග්‍රවන තර්ජනවලට මුහුණ දෙන ගෝලීය පසුබිමක කොළඹ වරාය නගරය විසින් ආරම්භ කරන ලද කලාපීය ප්‍රථම කොරල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වැඩසටහන පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසාධනය සඳහා පහසුකම් සැලසීම උදෙසා ඉතා වැදගත් බව පවසන්න පුළුවන්." කොළඹට කොරල් යුගයක් උදා කරන මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයතනයීය සහකාර කළමනාකරු දිනේෂ් ලියනගේ තම අදහස් දැක්වූයේ අප මහ මුහුදේ මේ කොරල් නරඹමින් සිටියදීය.

"කොළඹ වරාය නගරය මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින්, විශේෂ සාගර ජීවීන් විශේෂයෙන් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන කෘත්‍රිම කොරල් තවානක් ද ස්ථාපිත කර තිබෙනවා. දිය යට නැව් සුන්බුන් කෞතුකාගාරයක් පිහිටුවීම සඳහා වරාය නගරය විසින්, ඉවත් කරන ලද යාත්‍රා 13ක් නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කර ඇති අතරම, එය දියකඩනය සහ වෙරළ අතර ඇළ ඉවුරේ පිහිටා ඇති මෙම දිය යට ආකර්ෂණීය ප්‍රදේශය විවිධ මත්ස්‍යයන් සහ සාගර ජීවීන් සඳහා වඩාත් යහපත් සහ හිතකාමී වාසස්ථානයක් ලෙස සැකසීම අපේ සැලැස්මයි."

"මෙම අරමුණ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගත් විට, කොරල්පර ප්‍රතිසංස්කරණයේ වේගය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනවා පමණක් නොව, අනාගත පරපුරට ප්‍රතිලාභ සැලසෙන පරිදි නගරයේ කොරල්පර ආරක්ෂණ හැකියාවද අනිවාර්යයෙන් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එය ගෝලීය විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ පරිසර හිතකාමී සංචාරකයන්ගේ අවධානය ආකර්ෂණය කරගනිමින් ඔවුන් කොරල්පර සංරක්ෂණය සඳහා අද්විතීය පර්යේෂණ සහ සංවර්ධන අවස්ථාවන්ද ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් කොළඹ වරාය නගරය සමුද්‍ර/සාගර ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙසත්, කොරල්පර විශේෂ ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම සඳහා නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙසත් ස්ථානගත වෙමින් පවතිනවා. ඒ වගේම එසේ කිරීමෙන්, එය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ප්‍රමුඛ පාරිසරික භාරකාරත්වයේ සිය භූමිකාව යළිත් තහවුරු කරනවා නියතයි!

පරිසරවේදීන් විසින් දැනට ගණන් බලා ඇති අන්දමට මත්ස්‍ය වර්ග ඇතුළු සත්ත්ව විශේෂයන්ගෙන් 90%ක් පමණ ඍජුව හෝ වක්‍රව කොරල්පර මත යැපෙති. ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මෙරට පවතින කොරල්පර ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 300ට අධික සංඛ්‍යාවක් වාසය කරන බව අනාවරණය වී ඇත.

කොරල්පර ආශ්‍රිතව පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන්, කවඩි, ස්පොන්ජ, ඉකිරි, ස්නැපර්, ගිරා මසුන්, ඒන්ජල්ස්, ගෝට් මසුන්, බැරකියුඩා, ආද්‍රා, ගෝන්සු මාලුවා වැනි මත්ස්‍ය වර්ග බහුලව දැකිය හැකිය.

මෑතකදී අපට ගෝල්ෆේස් භූමිය ආසන්නයේ කැස්බෑවුන්ද දැකගත හැකි විය. ලොව වටා විශාල වශයෙන් සංචරණය වන සංචාරකයන් කොරල් උයන් සහිත ප්‍රදේශ සහ ඒ ආශ්‍රිතව වසන විසිතුරු මත්ස්‍යයන් නැරඹීමට දැඩි ඇල්මක් දක්වන බව පරිසරවේදීන්ගෙන් දැනගත හැකි විය. ඊටත් වඩා කොරල්පර පිහිටි ප්‍රදේශ ජලජ සම්පත් පර්යේෂණවලට ද ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය සාධකයකි. මෙසේ බලන කල කොළඹ කොරල්පර ව්‍යාපෘතිය ඇත්තෙන්ම පරිසර සමතුලිත භාවයටත්, සංචාරක ආකර්ෂණය දිනා ගෙන මෙරටට අනාගතයේ විදේශ විනිමය ගෙන එන්නට සමත් වෙනු ඇතැයි සිතුණේ එහි වූ සුන්දරත්වය විඳීමෙන් පසුවය.


ඡායාරූප - සුලෝචන ගමගේ

Comments