අක්මාවේ මේදය මට්ටු කරන හෙළ වෙද රහස් | සිළුමිණ

අක්මාවේ මේදය මට්ටු කරන හෙළ වෙද රහස්

මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතය වෙනස් කිරීමට බලපෑම් කරන ප්‍රබල හේතුවක් ලෙස රෝග හැඳින්විය හැකිය. ඒ අතරින් බෝ වන රෝගවලට වඩා අප බිය වන්නේ බෝ නොවන රෝගවලටය. අතීතයට වඩා වර්තමානයේදී බෝ නොවන රෝග බහුල වෙමින් තිබේ. එදා සහ අද වෙනස අපට හොඳින් පෙනෙන්නේ මේ රෝගී තත්ත්වයන් නිසාම නොව මිනිසුන්ගේ අැවතුම් පැවතුම් හා සිතුම් පැතුම්වල ඇති වෙනස නිසාය. නිදසුනක් ලෙස එදා අලුයම අවදි වී කිතුල් හකුරු කෑල්ලක් සමඟ රණවරා, බෙලිමල්, රසකිඳ වැනි ඖෂධීය පානයකින් පවස නිවාගත් ජනයා අද මේද රහිත හෝ මේද සහිත කිරි තේ කෝප්පයක් උදේ පාන්දරම පානය කරනු දැකිය හැකිය.

එදා ලුණු කැඳ හෝ කොළ කැඳ කොප්පයක් බිව් ජනයා වෙනුවට පිෂ්ටය බහුල කෙටි කෑම වර්ග ආහාරයට ගන්නා ප්‍රජාවක් අපි දකිමු. එදා දහඩිය හෙළා මහන්සි වී වැඩ කළද අද වායුසමීකරණය කරන ලද කාමරවලට වී සුව පහසු ආසනවල පැය ගණනක් වාඩි වී සිටින මිනිසුන් අපි දකිමු. මේ සියලු කාරණාවල අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ බෝ නොවන රෝග වර්ධනය වීමයි. ඒ අතරින් මේද අක්මා රෝගය හෙවත් ෆැටි ලිවර් අද වැඩි දෙනෙක් ගොදුරු වන රෝගයක් බවට පත්වී තිබේ. එහෙත් මේද අක්මා රෝගය යනු සුව කළ හැකි රෝගයක් විනා අනවශ්‍ය ලෙස බිය විය යුතු රෝගයක් ‍නොවේ. නමුත් ඒ සඳහා නිසි කලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වීමට ද ඉඩ තිබේ.

සෙවණගල කිරිඉබ්බන්ආර වීරප්පෙරුම වෙදපරපුර නමින් වර්තමානයේ ප්‍රකට මේ වෙද පරපුර අද්දරගෙදර වෙද පරම්පරාවේ හා තෙලිජ්ජවිල විෂ වෙද පරම්පාරවේ දැනුම එක්තැන් කරමින් බිහි වූ වෙද පරම්පරාවකි. මෙම පරම්පරා දෙක එක්තැන් කර මෙම ප්‍රාතිහාර්ය පාන හෙළ වෙදැදුරා නිහාල් බන්දුල වීරප්පෙරුම ය. හෙතෙම ෆැටි ලිවර් හෙවත් මේද අක්මා රෝගය සුවපත් කිරීම සඳහා මෙරට සිටින සුවිශේෂි වෙදැදුරෙකි. මේ, එම රෝගයට සිදු කරන ප්‍රතිකාර පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

අප ශරීරය තුළ පවත්නා අවයව හා ඉන්ද්‍රියන් අතුරින් විශාලතම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. මෙමඟින් අපගේ ශරීරයට ලබා දෙන ප්‍රයෝජන රාශියකි. අක්මාව මඟින් සිදු කරනු ලබන්නේ අප එදිනෙදා ගනු ලබන ආහාර ජීර්ණය වීම සඳහා අවශ්‍ය කරන එන්සයිම නිපදවීමයි. උදාහරණයක් ලෙස ආහාර දිරවීමට අවශ්‍ය පිත නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබන්නේ අක්මාව මඟිනි. මින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් සකස් කර දෙන අතර යකඩ ගබඩා කර තබාගෙන ශරීරයට යකඩ අවශ්‍ය වන විට මුදාහැරීම සිදු කරයි. ආහ­ාරවලින් ලබාගන්නා පෝෂණය ශක්තීන් බවට පත් කිරීම, රුධිරය කැටි ගැසීමට උපකාරීවන දෑ නිපදවීම මින් සිදු කරයි. උදාහරණයක් ලෙස ශරීරයේ ලොකු ලේ ගැලීමක් සිදුවන විට විටමින් කේ නිපදවා එය පාලනය කිරීමේ කාර්ය සිදු කරන්නේ අක්මාව මඟිනි. එසේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියා බොහොමයක් සිදු කරගන්නේ අක්මාව මඟිනි. ශරීරයට කිසියම් විෂක් හෝ බැක්ටීරියාවක් ඇතුළු වූවිට ඊට ප්‍රතිරෝධීව ක්‍රියා කර විෂහරණය කිරීමේ හැකියාවක් අක්මාවට තිබේ. ක්‍රියාවන් සිදු කරන්නේද අක්මාව මඟිනි. මේ ආකාරයට අපගේ ශරීරය සෞඛ්‍යය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා අක්මාව මඟින් විශාල දායකත්වයක් ලබා දේ.

යම් හෙයකින් මේ සියලු කාර්යයන් සිදු කරන අක්මාව රෝගී වුවහොත් එකී සියලු කාර්යයන් බිඳවැටෙන අතර එය අපගේ ශරීරය සෞඛ්‍ය දුර්වල කිරීමට හේතු වේ. මෙලෙස අක්මාව රෝගී තත්ත්වයට පත් කරන සාධකයක් ලෙස ෆැටී ලිවර් නැතිනම් අක්මාවේ මේදය තැන්පත් වීම පෙන්වා දිය හැකිය. මෙම රෝග තත්ත්වය අද වන විට බොහෝ දෙනෙකුට වැලඳෙන සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත් වී ඇත. වයස් භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරු වන අතර, කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ට මෙම රෝගය වැලඳීමේ වැඩි ඉඩකඩක් පවතී. ඒ අනුව වයස අවුරුදු 40ත් 65ත් අතර මැදි වයසේ පුද්ගලයන්ට මෙම රෝගය වැලඳීමේ ප්‍රවණතාව වැඩි වේ. සාමාන්‍යයෙන් ඕනෑම අයකුගේ අක්මාවේ මේදය තැන්පත්ව පවතින අතර, නීරෝගි අයකුගේ එහි අගය සියයට 5ක් පමණ වේ. නමුත් එය රෝගී තත්ත්වයක් දක්වා උත්සන්න වූ විට සියයට 40ට වඩා ඉහළ අගයක් දක්වා වර්ධනය වේ. මෙලෙස අක්මාවේ පැවතිය යුතු මේද ප්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීම වර්ධනය වීම ෆැටි ලිවර් (Fatty liver) නැති නම් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගී තත්ත්වය ලෙස හඳුන්වයි. මෙහි රෝග ලක්ෂණ රෝගය වැලඳුණු මුල් අවධියේදී පෙන්නුම් නොකරන අතර, අක්මාවේ මේදය සියයට 40 ඉක්මවූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගනී.

මේ ආකාරයට අධික ලෙස මේදය තැන්පත් වීම නිසා ඇති වන පොදු රෝගී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාර්ථක ප්‍රතිකාරයක් මේ දක්වා බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැත. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා ප්‍රතිකාර පැවතීම අප කාගේත් වාසනාවකි. මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා අක්මා පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය වේ. මේ සඳහා බටහිර පරික්ෂණ ක්‍රම වගේම දේශීය නාඩි ශාස්ත්‍රය ද විශාල පිටු බලයක් ලබා දෙයි. අක්මාවේ මේදය තැන්පත් වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් අදියර තුනක් යටතේ සාකච්ඡා කළ හැකි බව වෛද්‍ය බන්දුල වීරප්පෙරුම පෙන්වා දෙයි.

“පළමුව අක්මාවේ මේදය තැන්පත් වීම වැඩි වීම හේතුකොටගෙන අක්මාව ඉදිමීමට පටන් ගන්නා අතර එමඟින් පටකවලට හානි සිදු වෙනවා. මෙම තත්ත්වය බටහිර වෛද්‍ය විද්‍යාවේ ස්ටීටෝහෙපටයිටිස් (steatohepatitis) ලෙස හැඳින් වෙනවා. එලෙස අක්මාවේ පටකවලට හානි වූ ස්ථානවල කැළැල් ඇති වීමට පටන් ගන්නා අතර එම තත්ත්වය ෆයිබ්‍රෝසීස් (Fibrosis) ලෙස හඳුනා ගනු ලබනවා. ලප කැළැල් පටක නීරෝගි පටක ප්‍රතිස්ථාපය සිදු කරන අවස්ථාවේදී අක්මාවේ සිරෝසීස් තත්ත්වය ඇති විය හැකියි. අක්මාවේ සිරෝසීස් යනු බරපතළ හානිකර තත්ත්වයක්. නිරෝගි පටක ප්‍රතිස්ථාපනය කරන තද කැළැල් පටක අක්මාවේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කරන අතර, මේ තත්ත්වය වර්ධනය වීමත් සමඟ අක්මාවේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අවහිර වෙනවා.”

මේද අක්මා රෝගයේ ආකාර මොනවාද යන්න පිළිබඳ විමසා බැලීමේදී, දිගුකාලීනව මත්පැන් භාවිතය නිසා ඇති වන රෝගී තත්ත්වය මද්‍යසාර (Alcoholicfatty liver) මේද අක්මා රෝගය ලෙස හඳුන්වයි. මේ තත්ත්වය සිරෝසීස් තත්ත්වය දක්වා වර්ධනය වන ආකාරය දැකිය හැකිය. දෙවැන්න මද්‍යසාර නොවන (Nonalcoholicfatty liver) මේද අක්මා රෝගයයි. මේ රෝග තත්ත්වයන් දෙකේදීම ලොකු වෙනසක් පෙන්නුම් නොකරන අතර රෝග පරීක්ෂණයක් සිදු කිරීම මඟින් මේ දෙක වෙන් වෙන්ව හඳුනා ගත හැකිය.

මෙම රෝගය වැ‍ෙලදෙන්නේ කාටද යන්න විමසා බැලීමේදී දීර්ඝකාලයක් අධිකව මත්පැන් පානය කරන පුරුෂයන් හා ස්ත්‍රීන්, ආර්තවය නතර වූ ස්ත්‍රීන්, නිතර මේදය ඉහළ මට්ටමක පවතින තරබාරු ශරීර පවතින අය, මානසික ආතතිය ඇති අය, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරොල් ඇති අයට පහසුවෙන් මේ රෝගී තත්ත්වයට ගොදුරුවේ.

අධික තරබාරුකම, දීර්ඝකාලයක් ඉන්සියුලින් ගැනීම, වැරදි ආහාර රටා, අධික මත්පැන් පානය, ව්‍යායාම නොකිරීම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, අධික රුධිර පීඩනය, වේදනා නාශක වැනි ඇතැම් ඖෂධ වර්ග දීර්ඝකාලීනව භාවිත කිරීම, පෝෂණ ඌණතා, සිරුරේ බර අඩුවන ඖෂධ ලබා ගැනීම සහ සැත්කම් කිරීම ආදී හේතු නිසා අක්මා සෛල විනාශ වී අක්මාවේ ඇති මේදය නිසියාකාරව දහනය නොවීම ආදිය මේද අක්මා රෝගය ඇති වීමට බලපාන හේතු ලෙස පෙන්වාදිය හැකිය.

මේද අක්මා රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳ විමසා බැලීමේදී උදරයේ වේදනාව හෝ උදරයේ දකුණු පැත්තේ ඉහළ පූර්ණ බවක් දැනීම (බඩ පුරවා දැමීම), උදරය ඉදිමීම, ඔක්කාරය, ආහාර රුචිය නැතිවීම, ඇස් කහ පැහැයට හැරීම (සෙංගමාල ලක්ෂණ පෙන්වයි), කකුල්වල කැක්කුම හා ඉදිමුම, අධික තෙහෙට්ටුව, හෝමෝන ගැටලුවක් නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය, ශරීරය තම පාලනයෙන් ගිලිහී යෑම ආදීය පෙන්වා දිය හැකිය.

රෝග විනිශ්චය සඳහා කළ හැකි පරීක්ෂණ අතර අක්මාවේ ඡායාරූප ගැනීම (Ultrasound), සීටී ස්කෑන් (CT Scan), රුධිර පරීක්ෂණ (htoc - hgpc පරීක්ෂණය මූලික කරගෙන ඖෂධ ලබාදීම ද සිදු කරයි), අක්මා පටක සාම්පල පරීක්ෂාව (Liver Bioxy), හයිඩා ස්කෑන් ( Hida scan) ආදී පරීක්ෂණ වේ.

මෙම සියලු රෝගී තත්ත්වයන් සඳහා බන්දුල වීරප්පෙරුම වෙදමහතා විසින් ප්‍රතිකාර ලබා දෙන අතර එය රෝගීයාගෙන් රෝගියාට රෝගය වැලඳී ඇති ආකාරය අනුව වෙනස් වේ. ඒ පිළිබඳව හෙතෙම පවසන්නේ මෙවන් අදහසකි.

“මේද අක්මා රෝගය වැලඳුනු රෝගීන් එකිනෙකාට වෙනස්. සමහරු රෝගය ආරම්භයේම පැමිණෙනවා. සමහරු කලක් ගතවී පැමිණෙනවා; සමහරු රෝගය උත්සන්න වුණාම එනවා. ඒ විදියට එන හැමෝම සුව කරනව කියන්න බැහැ. ඕනම රෝගයක් හැදීගෙන එන අවස්ථාවේ අඳුනගෙන බෙහෙත් කරනවා වගේ නෙමෙයි ඒක වර්ධනය වුණාම බෙහෙත් කරන එක. කෙනෙක් මේ රෝගී තත්ත්වය වැඩි වර්ධනය වීමට ප්‍රථම මගේ ළඟට ආවොත් එය නිට්ටාවටම සනීප කළ හැකියි. සමාන්‍ය තත්ත්වයට වර්ධනය වී පැමිණියොත් සුව වෙන්න තරමක කාලයක් ගතවෙනවා. නමුත් රෝගය වර්ධනය වී අවසන් මොහොතේ පැමිණියොත් සුවපත් කරන්න බැහැ. මේ තත්ත්වය අවස්ථා තුනකට වෙන්කර දක්වා තිබෙනවා. පළමු අදියර, දෙවැනි අදියර සහ තුන්වන අදියර ලෙස. මේ තුන්වන අදියරට පැමිණි රෝගියකු කිසිවකුට සුවපත් කළ නොහැකියි. මා ප්‍රාර්ථනා කරන්නේ එවැනි රෝගියෙක් දකින්නවත් නොලැබේවා කියලයි. මොකද ඔහු හෝ ඇය ඒතරම්ම දුක් විඳින අවස්ථාවක් ඒක. ඒ වෙද්දි ඔහු මනුෂ්‍යයෙක් නෙමෙයි අමනුෂ්‍යයෙක් ගානට විරූපී වෙලා. ශරීරයේ හම ගොරෝසු වෙලා, කළු වෙලා. 

මෙම රෝගී තත්ත්වයෙන් වළකින්න නම් ආහාරපාන ගැනීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්යයි. විශේෂයේන් කෘතිම රසකාරක යෙදු ආහාරපාන ගැනීමෙන් වළකින්න ඕන. මේ වන විට මෙහි බලපෑම කෙතරම්ද යත් කුඩුවලින් මනුෂ්‍යයකු ගලවා ගැනීමට හැකි වුවත්, මේ රසකාරක වලින් මිනිසුන් මුදවා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම දෛනික ඇවතුම් පැවතුම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දහදිය වැටෙනතුරු ව්‍යායාම කිරීම වගේම කිලෝමීටර් දෙක තුනක් ඇවිදීම මේ සඳහා ඉතාම යෝග්‍යයි.

මේ සඳහා අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රීය ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නේ කළුදුරු, සුවඳ කොට්ටං, එරඬුමුල්, ලුණුවිල, අමු ඉඟුරු, රසකිඳ, ඉඟුරුපියලි අල, කොළ අරළු, කහඹිලියා මුල්, සිරිතේක්කු සහ සාරණමුල් එක වර්ගයකින් ග්‍රෑම් හතහමාර බැගින් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර පසෙකින් තබා දශමූල කසාය ගෙන හොඳින් සිඳුවා කාලක් පෙරාගන්න. එයට එළගව මූත්‍රා බෝතල් දෙකක් මිශ්‍ර කර යට කී ඔෂධ එක්කර හොඳින් කලවම් කර එක් දිනක් භාවනා දෙන්නේය (දිනක් තිබෙන්නට හැරීම). අනතුරුව පිරිසිදු ළිං දිය බෝතල් හතක් මිශ්‍ර කර මැටි හට්ටියකට දමා දින එකහමාරක් පමණ මඳ ගින්නේ බෝතලයක් පමණ වන තෙක් සිඳුවා ගන්න. පසුව එය පෙරා ගන්න. එලෙස සකසාගත් ඖෂධය කල්තබා ගැනීම සඳහා ඇල්කොහොල් එක්කළ නොහැකි බැවින් (ඇල්කොහොල් එක්කළොත් රෝගියා මිය යයි) කිරල ඇබයක් හෝ මුඩියකින් වසා හොඳින් තද කර රෙදි කඩකින් මූඩිය නොගැලවෙන සේ ආවරණය කර ගැටගසා ළිඳක බහා තැබිය යුතුය. රෝගියාට එය ලබා දීමට අවශ්‍ය විට එය ළිදෙන් ගෙන ලබාදී නැවත ළිඳෙහි බහා තැබිය යුතුය. මෙම ඖෂධය ලබා දිය හැක්කේ වයස අවුරුදු 30 ට වැඩි රෝගීන්ට පමණක් වන අතර, වරකට මේස හැඳි දෙක බැඟින් ගෙන ඊට දෙහි බින්දු තුනක් එක්කර දිනකට තුන්වරක් ලබා දීම කළ යුතුය.

Comments