
උතුරු දුම්රිය මාර්ගය ආරම්භ වූයේ 1905 වසරේදීය. ත්‍රස්තවාදී තර්ජන නිසා උතුරු දුම්රිය මාර්ගයේ වවුනියාව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවාව මුළුමනින්ම නවතා දැමුණි. 1989 ජූනි මාසයෙන් පසු කිසිදු දුම්රියක් වවුනියාවෙන් ඔබ්බට ධාවනය නොවුණි. වසර 25කට අධික කාලයක් එසේ වසා දැමුණු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණේ 2009 වසරේ ත්‍රස්තවාදී තර්ජන අවසන් වීමෙන් පසුව ඉන්දීය ණය ආධාර යටතේ එම මාර්ගය යළි ඉදි කිරීමෙන් පසුවය. එසේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ එම දුම්රිය මාර්ගය යළි ඉදි කෙරුණේ පැයට කිලෝමීටර් 100කට අධික වේගයෙන් ගමන් කළ හැකි වන පරිදිය. එමෙන්ම නවීනතම දුම්රිය සංඥා පද්ධතියක් ද සහිතවය.
එහෙත් වසර 25කට අධික කාලයක් උතුරේ අවසන් දුම්රිය නැවතුම්පොළ වූ වවුනියාව එදා මෙදාතුර කාර්ය බහුල දුම්රිය ස්ථානයක් විය. එකල කොළඹ සිට වවුනියාව දක්වා දිනපතා මඟී දුම්රිය 10ක් හා ඉන්ධන දුම්රිය දෙකක් ධාවනය කෙරිණි. මෙසේ දුම්රිය 12ක් දිනපතා ධාවනය කිරීමට අමතරව සේවා දුම්රිය හා අතිරේක දුම්රිය ද ධාවනය කිරීම නිසා මහව සිට වවුනියාව (ඕමන්තේ දක්වා) වන දුම්රිය මාර්ගය ක්‍රමයෙන් දුර්වල විය. මේ තත්ත්වය තවත් වර්ධනය වූයේ ඉන්දියාවෙන් එම් - 10 පංතියේ අධික බරකින් යුත් දුම්රිය එන්ජින් ආනයනය කිරීමත් සමඟය. එම දුම්රිය එන්ජින් ධාවනය කළේ වසර 100කට අධික දුම්රිය මාර්ගයක නිසා මහව සන්ධියේ සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය තව දුරටත් දුර්වල විය. මේ තත්ත්වය නිසා උතුරු දුම්රිය මාර්ගය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දීය ණය ආධාර සැපයිණි. ඒ අනුව මහව සන්ධියේ සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රධාන අදියර දෙකක් යටතේ මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය ජනවාරි මස 8 වෙනිදා ආරම්භ කෙරිණි. ඒ අනුව අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා හා වවුනියාව සිට ඕමන්තේ දක්වා ප්‍රථම අදියර යටතේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරිණි.
එම දුම්රිය මාර්ග කොටසේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම මාර්ගයේ දුම්රිය ධාවනය ලබන ජූලි මස 16 වෙනිදා සිට සිදු කෙරෙනු ඇත.
මහව සන්ධියේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 128 කි. මේ මාර්ගය වසර 118කට අධික කාලයකින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැත. ප්‍රථම අදියරේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව කොළඹ සිට යාපා පටුන බලා යළිත් දුම්රිය ගමන් ආරම්භ කරනු ඇත. එහෙත් ගැටලුව වන්නේ මහව සිට අනුරාධපුරය දක්වා වන කිලෝමීටර් 68ක දුරකින් යුක්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉතා අවම වේගයකින් සිදු කිරීමයි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 40කට සීමා වී තිබේ. ඇතැම් තැන්හි වේගය පැයට කිලෝමීටර් 10ට සීමා වී තිබුණද ඉන්දීය ණය සහන ආධාර යටතේ එහි 2 වැනි පියවරේදී එම දුම්රිය මාර්ග කොටස ද සම්පූර්ණයෙන්ම නවීකරණය වනු ඇත. එහෙත් ඉදිරියේ වර්ෂා කාලය වන බැවින් දුම්රිය සේවාව පවත්වා ගෙන ගොස් 2024 ජනවාරි මාසයේ සිට යළිත් දුම්රිය මාර්ගය මාස 6ක් වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ සහ ඉන්දීය ඉර්කෝන් සමාගම ගිවිසුමකට එළැඹ සිටී.
මේ ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් කෝටි 2738කි. මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර 128ක් වන අතර, මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ග කොටසට කිලෝමීටර් 66.4ක් අයත් වේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 600කගෙන් යුත් සේවක කණ්ඩායමක් සහ විවිධ යන්ත්‍රෝපකරණ 200ක් පමණ උපයෝගී කරගනු ඇත.
මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය වන්නේ එම දුම්රිය මාර්ග කොටසේ දැනට භාවිත වන බ්‍රිතාන්‍ය සමයේ ස්ථාපිත කළ සැමෆෝ සංඥා ක්‍රමය (ටැබ්ලට් ක්‍රමය) ඉවත් කර ඒ වෙනුවට වර්ණ සංඥා ක්‍රමයක් ද යොදමිනි. ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදය බොහෝ දුරට අවම වන අතර දුම්රිය ආරක්ෂාව ද ඉහළ මට්ටමක පවතී. මේ දක්වා එක් දුම්රියක් ප්‍රධාන දුම්රිය ස්ථානයකින් ධාවනය කර එය ඉදිරියේ ඇති දුම්රිය ස්ථානයට යන තෙක් බලා සිටින්නට පසු පසින් පැමිණෙන දුම්රියට සිදු විය. නව සංඥා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසුව එක් පසෙකට කඩිනමින් දුම්රිය දෙකක් ධාවනය කිරීමට හැකි වන පරිදි සංඥා පද්ධතිය ස්ථාපිත කෙරේ. එම නිසා රියදුරන්ට දුම්රිය ආරක්ෂිතව ධාවනය කිරීමට හැකි වනු ඇත.
මහව සන්ධියේ සිට අනුරාධපුරය දක්වා නවීකරණය වන දුම්රිය ස්ථාන සංඛ්‍යාව 6කි. ඒ අතර අඹන්පොළ, ගල්ගමුව, සෙනරත්ගම, තඹුත්තේගම, තලාව හා ශ්‍රාවස්ථිපුර වේ. ඊට අමතරව රන්දෙනිගම හා අනුරාධපුර නව නගරය උප දුම්රිය ස්ථාන දෙකද සංවර්ධනය කෙරෙනු ඇත. දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟම ගල්ගමුව, තඹුත්තේගම හා තලාව දුම්රිය ස්ථානයන්හි පිහිටුම් ද වෙනස් වනු ඇත. ඒ අනුව ගල්ගමුව හා තලාව දුම්රිය ස්ථාන මහා මාර්ගය අසලට ගෙන යාමත් තඹුත්තේගම දුම්රිය ස්ථානයේ සිට මහා මාර්ගයට කඩිනමින් යෑමට හැකි මාර්ගයක්ද ඉදි කෙරෙනු ඇත.
දුම්රිය වර්ණ සංඥා පද්ධතිය මුළුමනින්ම නවීකරණය කිරීම වෙනුවෙන් ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 450ක මුදලක් මේ වන විටත් වෙන් කර ඇත.මේ මාර්ගය ඉදි කිරීමෙන් පසුව 2024 පොසොන් පොහෝ දින සිට අනුරාධපුරය දක්වා පැය 3කටත් අඩු කාලයකින් ගමන් කිරීමට හැකි වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පැවසුවේ දුම්රිය මාර්ගය ඉදි කිරීම පිණිස පිහිටි භූමිය ශක්තිමත් කළ යුතු හෙයින් අනිවාර්යයෙන්ම දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නට සිදු වන බවයි. මාර්ගය සම්පුර්ණයෙන්ම ඉදි කිරීමෙන් පසුව පැය 5ක පමණ කාලයකින් යාපනය දක්වා ගමන් කළ හැකි බවත් එමඟින් දැනට වඩා පැය එකහමාරක වාසියක් ජනතාවට ලැබෙන බවත් මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද මුල් තැනක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය පාශ මාර්ගයද (ප්‍රධාන දුම්රිය ස්ථානවල වේදිකාවක් නොමැති දුම්රිය නවත්වන මාර්ගය - Loop Line) දිගින් වැඩි කර මැදිරි 20ක් පමණ දිගකින් යුත් දුම්රියක් වුවද එම මාර්ගයේ නවතා තැබිය හැකි පරිදි දීර්ඝ කෙරෙනු ඇත. දුම්රිය ස්ථාන නවීකරණයක් මේ යටතේ සිදු නොවුණද වර්ණ සංඥා පද්ධතියට ගැළපෙන ලෙසින් දුම්රිය ස්ථානයන්ද නවීකරණයට කටයුතු යොදන බව ද සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙයි.
කන්කසන්තුරයේ සිට ඉන්දියාව දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භ කරන හෙයින් උතුරට දිවෙන දුම්රිය සේවාව බෙහෙවින් ජනප්‍රිය වනු ඇත. එසේම ඉන්දීය ඉර්කොන් සමාගම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයේදී අපේ රටේ දේශීය තාක්ෂණය ද යොදා ගෙන තිබේ. ඒ යටතේ ට්‍රැක්ටර් වැනි වාහන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලදී. මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමෙන් පසුව අනුරාධපුරය හා යාපනය අතර දුම්රිය සේවාව ක්‍රියාත්මක වන නමුත් කොළඹ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රියන්ගෙන් රජරට රැජන දුම්රිය (බෙලිඅත්ත සිට) හැරෙන්නට අනෙක් දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීමට නියමිතය.
දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරියේදී විශාල ආදායමක් දුම්රිය මාර්ග නවීකරණය නිසා හිමි වනු ඇත. එමෙන්ම නව දුම්රිය කීපයක් ද ධාවනයට එක් කිරීමට සිදු වනු ඇත. ඉන්දු ලංකා මුහුදු ගමන් නිසා උතුරේ ජනතාව පමණක් නොව දකුණේ ජනතාව ද සැලකිය යුතු පිරිසක් දුම්රිය මාර්ගය භාවිත කරනු ඇත. ඒ ඉන්දියාවට යෑමට ඇති ලාභදායි ප්‍රවාහන මාධ්‍යය නිසාය.
මහව හන්දියේ සිට ඕමන්තේ දක්වා වන උතුරු දුම්රිය මාර්ගය නවීකරණ කටයුතු යට ගොස් තිබූ අවස්ථාවේ ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයතු කර ඉන්දීය ණය සහනාධාර ඒ වෙනුවෙන් ලබාගෙන මාර්ගය ඉදි කිරීම කඩිනම් කිරීමට කටයුතු යොදන ලද්දේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි. එහි පළමු අදියර එළැඹෙන ජූලි මාසයේ අවසන් කිරීම ඇත්තෙන්ම අප ලද වාසනාවකි.