ගොවීන්ට ‘හරිත මුද්‍රාව‘ සහතිකයක් | සිළුමිණ

ගොවීන්ට ‘හරිත මුද්‍රාව‘ සහතිකයක්

කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩසටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.
 
මෙම හරිත මුද්‍රාව (Green Seal)  හඳුන්වා දීමේ වැඩ සටහනක් ඊයේ (20) බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී ආරම්භ විය.
 
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.
 
ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර් ජාතික පිළිගැනීමක් ලබා දීම සඳහා මෙම හරිත මුද්‍රාව වැඩ පිළිවෙළ පියිවහලක් වේ. විශේෂයෙන් ලොව පුරා කෘෂි නිෂ්පාදන සඳහා අනුගමනය කරන යහ කෘෂිකාර්මික පුරුදු මගින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කෙරේ.
 
මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මින් පෙර කාබනික යෙදවුම් මෙරට කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීම පිළිබඳව මින් පෙර විශේෂ අවධානයක් යොමු කර තිබුනත් මේ වනවිට නැවතත් රසායනික පොහොර සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර තිබෙන නිසා යහ කෘෂිකාර්මික පුරුදු සම්බන්ධව සමාජයේ අවධානය ගිළිහී ගොස් ඇති බව පැවසීය.
 
කෙසේ වුවද කෘෂි ආංශික නිපුණතා සභාව විසින් නැවතත් යහ කෘෂිකාර්මික පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කර ගොවි නිෂ්පාදන අන්තර්ජාතික ප්‍රමිතිකරණයට ලක් කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමට පියවර ගැනීම විශිෂ්ට කටයුත්තක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

Comments