ඩෙංගු මර්දනයට දායකත්වයක් දෙන ස්ථීර නැති සේවකයින් ගැන තීරණයක් | සිළුමිණ

ඩෙංගු මර්දනයට දායකත්වයක් දෙන ස්ථීර නැති සේවකයින් ගැන තීරණයක්

ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටී.
 
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු මදුරු මර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් හා ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින්ද රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
 
විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී පාර්ලිමේන්තුවේදී මෙවන් සංවාදයක් ඇති විය.
 
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මේ මොහොත වනවිට ඩෙංගු ප්‍රශ්නය ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ‍ඩෙංගු මර්ධනය සඳහා පුහුණුවක් ලබපු පිරිසක් බඳවා ගත්තා. ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අතිශය වැදගත් කාර්යභාරයක් සිදුකළ ඒ කණ්ඩායම ස්ථීර කරලා නැහැ. ඒ නිසා මේ තාවකාලික පත්වීම් ලබා තිබෙන පිරිසට ස්ථීර පත්වීම් ලබාදෙන ලෙසට මම ඉල්ලීමක් කරනවා. එතකොට ඩෙංගු මර්ධ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකිවේවි.
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල (ශ්‍රී.පො.පෙ) - මම විපක්ෂනායකතුමා සමඟ සියයට සියයක් එකඟයි. මේ අය 2016 බඳවා ගත්ත කණ්ඩායමක්. මේ පිරිසට මූලික සුදුසුකම් කිසිවක් තිබුනෙ නැහැ. මේ වනවිට ඒ අය අවුරුදු 8ක් වැඩකරල තිබෙනවා. දැන් මූලික සුදුසුකම් බලන්න බැහැ. ශ්‍රම බලකායට රැකියා දෙනකොට මේ අයටත් රැකියා දෙන්න කියල කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මැනේජ්මන්ට් ස්ර්විස් එකෙන් එයට එකඟ නැතිබව දන්වා තිබෙනවා. මම එයට එකඟ නැහැ. මම මේක අතාරින්නේ නැහැ. නැවත වරක් කැබිනට් එකට මේක ගේනවා. දැනට ඔවුන්ට ගෙවන්නෙ දවසකට රුපියල් 700යි. ඔවුන් කරන සේවය දිහා බැලුවම මේ වැටුපට ඉන්න එකත් පුදුමයි.
 
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - සාමාන්‍යයෙන් අපි විවේචන ඉදිරිපත් කරනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඒ ධනාත්මක ප්‍රතිචාරයට අපි ස්තූතිය පළ කරනවා.
 
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) - මේ වනවිට ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්ධනය පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඊට අමතරව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන මට්ටමින් ඩෙංගු මර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ කණ්ඩායම් ස්ථීර කිරීමක් වෙලා නැහැ. ඒ අයගේ සේවය ස්ථීර කරන්න කියලත් අපි ඉල්ලනවා.

Comments