
දෙවියන්වහන්සේගේ ඒජන්තවරයෙක් ලෙස පෙනී සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා දෙවියන්ව පෙන්වා කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක නිරතව සිටියේ දැයි කියා මේ වන විට විමර්ශනයක් සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මඟිනි.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආධ්‍යාත්මක ශාස්තෘවරයා ලෙස හඳුන්වන්නේ සිම්බාව්බේ දේශයේ වැසියෙක් වන ජෙරොම් මෙන්ම දෙවියන්ව ඉදිරියට දමාගෙන සිටින ඌබට් ඒන්ජල් දේවගැතිවරයාවය. එම පුද්ගලයාට පවා මේ වන විට ලොකු චෝදනාවක් එල්ලවී ඇත්තේ රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පුළුල්ව සොයා බැලීමක නිරත වෙමින් සිටින්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාත් සිය ආධ්‍යාත්මික ශාස්තෘවරයාගේ මඟ ගොස් තිබේ දැයි කියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මේ වන විටත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයින් ගැන මෙන්ම ජෙරොම්ගේ වැඩ ගැන බොහෝ තොරතුරු හෙළි කරගෙන හමාරය. ඊට අනුව ජෙරොම්ගේ සැලසුම වී තිබී ඇතැයි පෙනී ගොස් ඇත්තේ ඔහු අලුත්ම ආගමික නිකායක් බිහි කරමින් සිටින බවය. ඔහු පෙනී සිටින්නේ දුකට සහ ආබාධයන්ට පත්වූවන්ගේ කායික සහ මානසික සුවය ලබා ලබාදෙන දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් ලෙසිනි. ගල්කිස්සේ කුඩා ඉඩකඩක ක්‍රිස්තියානි භක්තිකයන් කිහිපදෙනෙකු තමාවෙත නම්මාගෙන ඇරඹි මෙම නව නිකාය ඔහු මේ වන විටත් රටවල් 14කට ව්‍යාප්තකර හමාරය. නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන්ට සිය විමර්ශනයේදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව ජෙරොම්ගේ ‘බෝර්න් අගේන්’ නව නිකායේ ශාඛා එකී රටවල් 14ම ක්‍රියාත්මක බවය. එක්සත් රාජධානිය, අමෙරිකාව, හොංකොං, ඩුබායි, සෞදිය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංගලාදේශය මෙන්ම යුරෝපා රටවල් රැසක්ම ඒ අතර වන බව පෙනී ගොස් හමාරය. එම රටවල සිටින අනුගාමිකයන්ගෙන් පවා මෙම නිකාය වර්ධනය කර ගැනීමට විශාල වශයෙන් මුදල් ගලා එන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇතත් එම මුදල් හුවමාරු වන මූලාශ්‍රය මෙතෙක් පැහැදිලිව අනාවරණය වී ඇති බවක් පෙනෙන්නට නැත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා බලමින් ඇත්තේ එම මුදල් හුවමාරුවන ආකාරය ගැනය.
ජෙරොම් ප්‍රනාන්දුගේ මෙම ආගමික නිකාය මෙරට පිළිගත් ආගමික සංවිධානයක් නොවූවත් ආගමික කණ්ඩායමක් ලෙස ඔවුන් ක්‍රියාත්මකව සිටින්නේ සංවිධානාත්මකවය. ඒ ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචිය අනිවාර්ය නොවන නීතියක් මෙරට ක්‍රියාත්මකව පවතින බැවිනි. නව ආගමික නිකායේ අසහාය නායකයා බවට පත්ව සිටින්නේ ජෙරොම් ප්‍රනාන්දුය. ඔහුගේ අනුගාමිකයින්ද සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරන්නන්ය. ඒ අය සමාජයට ලොකු බලපෑමක් කරන්නට තරම් ශක්තිවන්ත පිරිසකි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තේරීමේ බලය පවා ජෙරොම් සියතට ගෙන තිබුණේ ඒ හයි හත්තියෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්පුටුවල වැජඹුණු ජෙරොම්ගේ අනුගාමිකයන් ජෙරොම්ගේ පදේට නටමින් පසුගිය කාලය පුරාවටම ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගත්තේ ජෙරොම්ගේ ආගමික නිකාය ඇදහූවන්වය. ශ්‍රී ලංකා ක්‍රිකට් අද පත්ව ඇති තත්ත්වයට වගතිවයුත්තෙක් වන්නේ ජෙරොම් සහ ඔහුගේ අනුගාමිකයන්ය. අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී තීන්දු තීරණ ගන්නා තැන්වල සිටින ඔවුන් ජෙරාම් වෙනුවෙන් පණ දෙන්නට වූවත් සිටින්නේ සූදානමිනි.
මේ ආකාරයට හැම අතින්ම ශක්තිමත් අනුගාමිකයන් පිරිසක් සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ මෙරට තුළ සිය ආගමික නිකාය ව්‍යාප්ත කළ ජෙරොම් මේ වන විට ඔහු සිය නිකාය ලෝකය හමුවටද එය රැගෙන ගොස් හමාරය. මෙම නිකායේ අනුගාමිකයන් කොපමණ ප්‍රමාණයක් ලොව පුරා මේ වන විට ව්‍යාප්ත වී සිටීදැයි පැහැදිලි අනාවරණයක් නැතත් ඔවුන් බිලිබා ගන්නේ ඒ හැම රටකම බලවත් උදවිය බව නම් පැහැදිලිය. එසේ බලවත් තැන්ම අල්ලන්නේ බාධාවකින් තොරව සිය නිකාය ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙන බැවිනි. අපේ රටේද සිදු වූයේ ඒ දේමය. බලවතුන් අල්ලාගත් බැවින් ජෙරොම් කියන කරන දේවල් ගැන බලධාරීන්ට මෙතෙක් කාලයක් වගේ වගක් නොවීය. අඩුම තරමින් ඔහු දේශනා කරන්නේ කුමක් දැයි කියාවත් වගකිවයුතු කිසිවෙකුත් සොයා බලන්නට ගියේ නැත. එහෙත් ජෙරොම්ට වැඩ වරදින්නේ ඔහු බුදු දහම විකෘති කරමින් වැරදි අර්ථකථනයක් බෞද්ධ දර්ශනයට එක්කරන්නට ගොසිනි.
ඔහු උත්සාහ දරන්නේ හැම දෙයක්ම ඔහුගේ නිකාය හා ගළපා ගනිමින් ඔහු අදහන දෙවියන් වහන්සේ මේ හැම දෙනාටම වඩා ඉහළින් සිටින බව නොකියා කියන්නටය. බුදු දහම ගැන පමණක් නොව, කතෝලික දහමටද, ඉස්ලාම් දහමට ද ඔහු මූලධර්මවාදී ලෙස පහර ගැසුවේය. ශාලාවක් ඇතුළේ සිට සිය අනුගාමිකයන්ට සිය දර්ශනය ඉදිරිපත් කරනවා වෙනුවට සෙසු ආගම්වලට පහරගසමින් සිටි ජෙරොම්ට වැඩ වරදින්නේ ඔහු බෞද්ධ දර්ශනය විවේචනය කරමින් සිය අනුගාමිකයන්ට උත්තේජනයක් දුන් දේශනයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට පටන් ගැනීමත් සමඟිනි.
එම වීඩියෝ පටය සමාජ මාධ්‍යයට යොමු කරන්නේත් ජෙරොම්ගේ අනුගාමිකයන් විසින්මය. මෙම වීඩියෝ දර්ශනය කෙරෙහි සමාජයේ දැඩිව කතාබහක් ඇති වෙමින් තිබුණු පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ පවා විශේෂ අවධානයක් යොමු වන්නේ විවිධ පාර්ශ්ව විසින් ඒ ගැන ජනාධිපතිවරයාව ඒ ගැන දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ජෙරොම්ට වැඩ වරදින්නේ එම වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟිනි. දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ විධිවිධාන යටතේ ජෙරොම්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනවාත් සමඟ සිය බිරිය හා දියණිය සමඟ රටෙන් පිටව සිංගප්පූරුව බලා පැනගත් ජෙරොම් තාමත් මෙරටට ආවේ නැත. ඒ වෙනුවට ඔහු සිය බිරිය සහ දියණිය මෙරටට එවා දැන් සිය අනුගාමිකයන්ව අමතන්නේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහු මෙරට නැතැයි කියා වෙනසක් නැත. ඔහුගේ ආගමික නිකායේ හැම දෙයක්ම සිදුවන්නේ සැලසුම් කළ පරිදිය. ඒ අතර ඔහු දැන් පිටරට රැඳී සිටිමින් ලොව වටා ඇති සිය ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සිටිනු ලබන්නේ යැයි කියැවෙන්නේ අනුගාමිකයන් පවා වර්ධනය කර ගනිමිනි. ඒ අතර ඔහු අධිකරණයේ පිහිට පතා සිටින්නේ පොලිස් අත්අඩංගුවට ගැනීමකින් තොරව රට තුළට ඇතුළු වීමටය. ඒ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බැවිනි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජෙරොම් ආගමික ශාස්තෘවරුන්ට සහ අන් ආගමික මතයන්ට එරෙහිව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අතර නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මුළුමනින්ම සිය විමර්ශන ශක්තිය යොමු කර ඇත්තේ ජෙරොම් සම්බන්ධයෙන් වූ වත්කම් විමර්ශනය වෙතය. මෙහිදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සුවිශේෂි අවධානය යොමුව ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළට යාබඳව පිහිටා ඇති “මිරැකල් ඩෝම්“ නම් වූ ජෙරොම්ගේ ආගමික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල කෙරෙහිය. 5000ක පිරිසකට එකවර රැස්විය හැකි හැම පහසුකමකින්ම සැදුම්ලත් ඔපෙරො ශාලාවක් බඳු මෙම ගොඩනැගිල්ල මේ වන විටත් සමාජයේ දැඩි අවධානයට යොමුවී ඇති එකකි. ඒ නිසාම එම ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇත්තේ ජෙරොම්ගේ කියුම් කෙරුම් හේතුවෙන් නොසන්සුන් වූ පිරිස් විසින් ඊට පහරදී හානි කරතැයි සැක කරමිනි. ඒ අවට ප්‍රදේශයේ ඒ නිසාම පැය 24 පුරාම බුද්ධි අංශයේ නිලධාරින් පවා රැඳී සිටින්නේ පිටරට සිට වීඩියෝ තාක්ෂණයෙන් ජෙරොම් විසින් පවත්වන දේව මෙහෙයන්වලට සහභාගිවීමට එහි යන එන අය ගැන පවා ඇස ගසාගෙනය.
“මිරැකල් ඩෝම්“ නමින් නම් කර ඇති මෙම සුවිසල් ගොඩනැගිල්ල පිහිටි ඉඩම අක්කර දෙක තුනක භූමි ප්‍රමාණයකින් යුක්ත වූවකි. ගුවන් තොටුපොළට මෙන්ම අධිවේගී මාර්ගයට ආසන්නයෙන්ම පිහිටි මෙම ඉඩමේ වටිනාකම ඉතා ඉහළය. මෙම ඉඩම ගැන කළ විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එය ව්‍යාපාරිකයෙක් විසින් පරිත්‍යාග කළ එකක් බවය. ඇඟලුම් ව්‍යාපාරයකට ද සම්බන්ධ බව කියැවෙන මෙම ව්‍යාපාරිකයා කලකට පෙර පොලිසියේ සිටි නිලධාරියෙකි. පොලිස් ගරාජයේ ප්‍රධානියා ලෙස ද සේවය කර ඇති බව කියන ඔහු විසින් භීෂණ සමයේදී කළ සුවිශේෂී සේවයක් ඇගැයීමට පවා ලක්ව ඇති බව කියැවෙති. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය රටක ශිෂ්‍යත්වයක් හිමිව එහි ගිය ඔහු නැවත මෙරටට පැමිණ ඔසු සලක් ආරම්භ කර ඇති බව සඳහන්ය. අනතුරුව ඔහු ඇගලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙමින් දිනෙන් දින දියුණුවේ ඉනිපෙත්තට ළගා වී ඇත්තේ ව්‍යාපාර ලෝකයද ජයගනිමිනි. ක්‍රිස්තියානි භක්තිකයෙක් වන ඔහු ජෙරොම්ගේ ආගමික නිකායට පූර්ණ කාලීන සාමාජිකයෙක් ලෙස එක්ව ඇතැයි පැවසෙන්නේ දීර්ඝ කාලයක සිට ඔහු පීඩාවිඳී රෝගී තත්ත්වයකට ජෙරොම් විසින් කළ යාඥාවෙන් ලද සුවය හේතුවෙනි. මෙකී ව්‍යාපාරිකයා එකල යාඥා මෙහෙයන් සඳහා සහභාගිවීමට ගොස් ඇත්තේ ගල්කිස්සේ පිහිටි ආගමික මධ්‍යස්ථානයටය. එම ආගමික යාඥා මධ්‍යස්ථානය මුල්කාලයේ ජෙරොම් විසින් පවත්වා ගෙන ගොස් ඇත්තේ සිය නිවෙසේය.
ජෙරොම්ගේ යාඥාවෙන් නිධන්ගත රෝග රැසක් සුව වූ බව කියන මෙම ව්‍යාපාරිකයා එතැන් සිට ජෙරොම්ගේ ආගමික නිකායේ නිත්‍ය අනුගාමිකයෙක් බවට පත්ව ඇත්තේ ද තමන් සතුව තිබුණු බිලියන ගාණක් වටිනා ඉඩම ද පරිත්‍යාග කරමිනි.
මෙම ඉඩම ඔහු විසින් කලකට පෙර මිලදී ගනු ලබන්නේ මිලියන 72කටය. බොහෝ කලකට පෙරය. මෙම ඉඩම මිලදී ගන්නේම හෝටල් සංකීර්ණයක් එහි ඉදිකිරීම අරමුණු කරගෙනය. මෙම ඉඩම ජෙරොම්ට දෙන්නට ඔහුට හිත ගොස් ඇතැයි පැවසෙන්නේ ඉඩකඩ ඇති යාඥා මධ්‍යස්ථානයක අඩුව තදින්ම දැනෙන්නට වූ බැවිනි.
“ මෙම ඉඩම අයිති ව්‍යාපාරිකයා දවසක් ජෙරොම්ට කියල තියෙනවා එන්න එන්න සෙනඟ වැඩි වන නිසා යාඥා පවත්වන්න ඉඩකඩ ඇති තැනක් සොයා ගමු කියලා. ඔය වෙලාවේ ජෙරොම් ඔහුට කියල තියෙනවා මට හොඳ ඉඩමක් පෙන්නුම් කරනවා, තාම ඒක මට හම්බ වුණේ නැහැ කියල. එම ඉඩම හම්බුචෙච්ච දවසක ලොකු පල්ලියක් හදනවා කියල ඔහු පවසා තිබෙනවා. මෙම කතාබහෙන් අවුරුද්දක් විතර ගියාට පස්සේ මෙම ව්‍යාපාරිකයාට හිතිල තියෙනවා ජෙරොම්ගේ දේව මෙහෙයන්වලට ගියාට පස්සේ ලෙඩ රෝග පවා හොඳ වෙලා තමාට ලොකු සැනසීමක් වගේම ව්‍යාපාර දියුණුවක් ඇති වෙච්ච නිසා තමන්ට අයත් ඉඩම දේවස්ථානයක් ගඩනඟන්න දෙන්න ඕනේ කියල. දවසක් මෙම ව්‍යාපාරිකයා ජෙරොම්ට කියනවා කටුනායක ගුවන්තොටුපොළ කිට්ටුවම ඉඩමක් තියෙනවා, කැමති නම් අපි ඒකේ පල්ලිය හදමු කියලා.
ජෙරොම් ඒ වෙලාවේ කියල තියෙනවා මම දවසක ඇවිල්ල ඒ තැන බලන්නම් කියලා. ඊට දින කිහිපයකට පස්සේ මේ ඉඩමට ඇවිල්ල පරීක්ෂා කරල බලල ජෙරොම් පවසල තියෙනවා මට පෙන්නුම් කළ ඉඩම මේක තමයි කියල. ඒ අනුව තමයි මේ ඉඩමේ ‘මිරැකල් ඩෝම්’ එක හදල තියෙන්නේ.“
වත්කම් විමර්ශනයේදී ‘මිරැකල් ඩෝම්’ ගොඩනැගිල්ල ඉදිකිරීමට ඉඩම ලද ආකාරය ගැන හෙළිවී ඇති කරුණු උසස් පොලිස් නිලධාරියෙක් ඔහුගේ වචනවලින් ඒ ගැන කියන්නට වූයේ එසේය.
‘මිරැකල් ඩෝම්’ නිර්මාණයේදී එය ආකර්ෂණීය ස්ථානයක් ලෙස ඉදිකිරීම කෙරෙහි විශේෂ අවධානයක් ද ජෙරොම් විසින් යොමුකර ඇත. කටුනායක - වේයන්ගොඩ පාරේ ගුවන්තොටුපොළ සමීපයේ ඇති මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඊට දායකත්වය ලබා දුන්නේ යැයි කියැවෙන්නේ සිය අනුගාමිකයන් විසිනි. මෙම ගොඩනැගිල්ලෙහි වටිනාකම සැලකෙන්නේ රුපියල් කෝටි 330කි. මේ සඳහා වැය වූ හැම සතයක්ම ලබාදී ඇතැයි පැවසෙන්නේ අනුගාමිකයන්ගෙනි. මේ ගැන පවා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අවධානයට යොමුවී අවසන්ය. මෙම ඉඩම ජෙරොම්ගේ අතට පත්ව වසරක් යන්නට මත්තෙන් ‘මිරැකල් ඩෝම්’ ගොඩනැගිල්ලෙහි සැලසුම් පවා සකස් කර අවසන් කර ඇති බව එහිදී පෙනී ගොස් ඇත. ගොඩ වැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් පවා නාගරික සංවිධර්ධ අධිකාරීයෙන් මෙන්ම කටුනායක සීදූව නගර සභාවෙන් ලබාගෙන ද ඇත්තේ 2011 වසරේදීය.
මෙහිදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අවධානයට යොමුවී ඇත්තේ මෙම ගොඩනැගිල්ල සිය අනුගාමිකයන්ගේ පරිත්‍යාගවලින් ගොඩනැඟූ බව කීවත් සැබෑ ලෙසම අනුගාමිකයන්ගේ මුදලින්ම පමණක් මෙම ගොඩනැගිල්ල ඉදි කළේදැයි කියාය.
ඒ ගැන සොයා බලන විට පෙනී ගොස් ඇත්තේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ හැම ලියවිල්ලක්ම ඉතා පිළිවෙළකට සකස් කර තිබෙන බවය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පරිත්‍යාග කළ අයගේ නම් ලැයිස්තුවක්ද ඒ තුළ තිබී ඇති අතර, හැම පරිත්‍යාගයක්ම මිලියනයට ඉහළය. ඒ අතර හිතාගන්න බැරි පරිත්‍යාගශීලින් මෙන්ම ප්‍රභූරුවන්ද සිටින බව පෙනී ගොස් ඇත. ලැයිස්තුවක නම තිබූ පමණින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ලැයිස්තුවේ නම් සඳහන් අනුගාමිකයන්ගේ පරිත්‍යාගවලින් පමණක් මෙම ගොඩනැගිල්ල ඉදි කළා යැයි කියා විශ්වාස කරන්නේ නැත. නීතිපතිවරයාගේ පවා උපදෙස් ලබාගෙන නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට සූදානමින් සිටින්නේ හිතා ගන්න බැරි තරමේ විශාල මුදල් මෙම ගොඩනැගිල්ල ඉඩකිරීමට පරිත්‍යාග කළ බවට නම් සඳහන්ව ඇති ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කරන්නටය. ඒ ඔවුන් පරිත්‍යාග කළ බව කියන එම මුදල් පවා ඒ අය ද උපයාගත් ආකාරය ගැන සොයා බැලීමක්ද කරමිනි. ඒ මෙහි ලොකු ගේමක් ඇති බව බැලූ බැල්මටම පෙනී ගොස් ඇති බැවිනි.
ආගමික මධ්‍යස්ථාන බදුවලින් නිදහස් වූවත් ජෙරොම්ගේ ආගමික නිකාය මෙරට ක්‍රියාත්මක වන්නේ හැම සතයකටම බදු ගෙවමින් බදු ලිපි ගොනු පවා පවත්වාගෙන යමිනි. මෙම නිකාය යටතේ සමාගම් 06ක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද මෙම විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේය. ඒ සමාගම් ක්‍රියාත්මක වන්නේ විවිධ අරමුණ වෙනුවෙනි. එම සමාගම් සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්තම් විමර්ශන කොට්ඨාසයේ සිය අවධානය මේ වන විටත් යොමු කර හමාරය. ඒ හැම සමාගමක්ම පාහේ විගණනය කරන්නේ ජාත්‍යන්තර පිළිගැනීමකට පවා ලක්ව ඇත විගණන සමාගමක් විසිනි. ඒ නිසාම මෙහි ඇති හැම දෙයක්ම ඇත්තේ පිළිවෙළකටය. ඒ ඔවුන්ව කොටුකර ගන්නට බැරි වන තරමට හැම පැත්තකින්ම ලිපි ලේඛනවලින් ආවරණය වන ලෙසිනි.
මෙම විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇති සුවිශේෂ කරුණක් වන්නේ යාඥාවන් පැවැත්වීම වෙනුවෙන් ජෙරොම්ට ගෙවීමක් පවා සිදු කරන බවය. එම මුදල මාසයකට රුපියල් ලක්ෂ 15ක් තරම්ය. මෙම නිකායේ යාඥාවන් සිදු කරන තවත් සහයක දේවගැතිවරුන් 50 දෙනෙක් ද සිටින බව මෙහිදී අනාවරණය වී ඇත. ඒ අයට ද මෙතරම් මුදලක් නැතත් ගෙවීම් කරන බවද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේය.
‘මිරැකල් ඩෝම්’ හී ඉරිදාට පමණක් යාඥාවන් 08ක් පැවැත්වෙන බව ද මෙහිදී පෙනී ගොස් ඇත. ප්‍රධාන යාඥාව සිදු කරනු ලබන්නේ ජෙරොම්ය. බලවතුන්ගෙන් ‘මිරැකල් ඩෝම්’ ශාලාව පිරීයන්නේ එම අවස්ථාවේදීය. ඒ අතර සහයකයන් ද යාඥා මෙහෙයන් සිදු කළත් ජෙරොම්ට තරම් ඉල්ලුමක් ඒ අයට නැති තරම්ය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට ගල්කිස්සේ ඇති පල්ලියේ දේවමෙහෙයන් පවත්වන දේවගැතිවරයාගෙන් මෙන්ම ජෙරොම්ගේ පුද්ගලික ලේකම්වරියගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්නකර දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන හමාරය. එහිදී හෙළිවී ඇති තොරතුරු බොහෝය.එම තොරතුරුවල ඇත්ත නැත්ත ගැන මේ වන විට ඇත්තේ විමර්ශන මට්ටමේය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දැන් සොයා බලමින් සිටින්නේ ජෙරොම්ගේ නිකායට ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයේ ඇති ගිණුම්වල තැන්පත් වන බව කියන කතාවල ඇත්ත නැත්ත ගැනය. මේ හැම දේකින්ම සොයා බලන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා දෙවියන්ට මුවාවී සිය ආධ්‍යාත්මික ශාස්තෘවරයා බව කියන ඌබට් ඒන්ජල් දේවගැතිවරයා මෙන් කළු සල්ලි සුදු කරමින් සිටින අයෙක් දැයි කියාය.