සිංගප්පූරුවේ මාස්ටර් ෂී පෂාඕ හිමියන්ට බුහුමන් පිදුණු යතිවර ප්‍රතිභා ප්‍රභා | සිළුමිණ

සිංගප්පූරුවේ මාස්ටර් ෂී පෂාඕ හිමියන්ට බුහුමන් පිදුණු යතිවර ප්‍රතිභා ප්‍රභා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ අවස්ථා කිහිපයක්

සිංගප්පූරුවේ හදවත බඳු ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ගැඹුරු ධර්ම අධ්‍යාපනයකට තෝතැන්නක් බඳු 'බුදුන් වහන්සේගේ දළදා මාලිගාව' සහ 'කෞතුකාගාරය' ලෙස හැඳින්වෙන විහාරස්ථාන ද්විත්වයෙහි විහාරාධිපති වන්නේ මාස්ටර් ෂී පෂාඕ හිමියන්ය. ප්‍රඥාලෝකයේ, මෛත්‍රියේ සහ කරුණාවේ ප්‍රතිමූර්තියක් ලෙස ප්‍රකට උන්වහන්සේ සමාජ අභිවෘද්ධිය සඳහා සිය ජීවන ගමන කැප කළ ගෞරවනීය භික්ෂුවක් ලෙස ප්‍රකටය.

මාස්ටර් ෂී පෂාඕ යතිවරයානන් වහන්සේ විසින් බුදු දහමට සහ ශ්‍රී ලංකාවට වසර ගණනාවක් පුරාවට සිදු කළ මෙහෙය අගයමින් බුහුමන් පිදූ 'යතිවර ප්‍රතිභා ප්‍රභා' මහෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ඉකුත් ජුනි 11 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහිදී පැවැත්විණි.

කොළඹ ගංගාරාමය විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම බුහුමන් පිදීම සිදුකෙරිණි. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපුජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්, සියම් නිකායේ අස්ගිරි පර්ශ්වයේ ඥානරතන­ාභිධාන මහා නායක ස්ථිවිර අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ධම්මදිස්සි ශ්‍රී පඥානන්ද හිමිපාණන්, අමරපුර නිකායේ මහනායක තැන්පත් කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමිපාණන්, ගංගාරාමය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, සත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මාස්ටර් ෂී පෂාඕ යතිවර ප්‍රතිභා ප්‍රභා මහමෙරක මෙහෙවරට උපහාර එක් කළහ.

මීට පෙර 1992 දී ශ්‍රී ලංකා මහා සංඝරත්නයේ උත්තරීතර සභාව උන්වහන්සේට “ශාසන කීර්ති ශ්‍රී සීවලී” යන පදවියත් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අස්ගිරි මහා සංඝරත්නයේ උත්තරීතර සභාව, ධර්ම ප්‍රචාරණයට සහ ගෞරවනීය ආධ්‍යාත්මික නායකයකු ලෙස මාස්ටර් ෂී පෂාඕ යතිවරයාණන් වහන්සේගේ කාර්යභාරය අගයමින් උන්වහන්සේට සම්භාවනීය සංඝ පදවියක් පිරිනමමින් ගෞරව කළහ.

කොළඹ ගංගාරාමය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන් සමඟ දශක තුනක දීර්ඝ, සුහද සහ ඵලදායී සම්බන්ධයක් පවත්වන මාස්ටර් ෂී පෂාඕ හිමියෝ සිංගප්පූරුව, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් සමඟ ඇති කරගත් සබඳතාවලින් ශ්‍රී ලංකාවට ද ප්‍රතිලාභ රැසක් සැලසී ඇත.

මාස්ටර් ෂී පෂාඕ හිමියෝ 1992 සහ 1994දී සංඝරත්නය සඳහා ප්‍රයෝජනවත් ආධාර ලබා දෙමින් කොළඹ ගංගාරාමය විහාරස්ථානයට සිය සහයෝගය ලබා දුන් අතර, 2004දී සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඩොලර් 200,000ක් සහ 2010 දී ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ඩොලර් 100,000ක් පරිත්‍යාග කළහ. ශ්‍රී ලංකාවේ නා සෙවණ ව්‍යාපෘතිය සඳහා 2014 ජුනි මාසයේදී සිංගප්පූරු ඩොලර් 125,000 පරිත්‍යාග කළ උන්වහන්සේ 2021 පෙබරවාරි මස ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු පාසලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සහයෝගය ලබා දී ඇත.

1959 ජූනි 22 වැනිදා චීන සම්භවයක් සහිතව සිංගප්පූරුවේදී මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් උපත ලැබූහ. උන්වහන්සේගේ ගිහි නම ලායි මෙන්ග් වා ය. මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ ආධ්‍යාත්මික ගමන ආරම්භ වන්නේ 1970දී බුදුදහම සරණ යෑමත් සමඟය. පූජ්‍ය ශි චං හෙන්ග් විසින් මඟ පෙන්වනු ලැබූ උන්වහන්සේට ජූ හුවාං යන ධර්ම නාමය ලැබුණේ ප්‍රඥාලෝකය ලබා ගැනීමට හා ප්‍රඥාව වර්ධනය කිරීමට උන්වහන්සේ තුළ ඇති කැපවීම සංකේතවත් කරමිනි. වසර නවයකට පසු 1979 අගෝස්තු 10 වැනිදා උන්වහන්සේ සිංගප්පූරුවේ ලෝන්ග් ෂාන් සී ආරාමයේදී ශි මාඕ හුවා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවිදි බිමට ඇතුළු වූ උන්වහන්සේ එතැන් පටන් “ආලෝකයේ හදවත” යන අර්ථය ඇති ෂිං ගුවාන් යන ධර්ම නාමය ද, “ධර්මයේ පහන” යන අර්ථය ඇති පෂාඕ නාමයද ද වැලඳ ගත්හ. මාස්ටර් ෂී පෂාඕ හිමියන්ට ලොව පුරා පිළිගැනීම් සහ ප්‍රශංසා අඛණ්ඩව ලැබී ඇති අතර, 1996දී තායිලන්ත රජුගෙන් චොකුන් ෆ්‍රා විතේතමනුසිත් යන පදවි නාමයත් 1997දී තායිලන්ත රාජ කුමරිය විසින් කීර්තිමත් ධර්ම චක්‍ර රන් චක්‍ර සම්මානයත් 2000දී මියන්මාර රාජ්‍යයෙන් මහා සද්ධම්ම ජෝතිකාධජ යන ගෞරවනීය පදවියත් 2004 දී, සිංගප්පූරු ජනරජයෙන් මහජන සේවා පදක්කම් සම්මානයත් හිමි විය. මියන්මාර රාජ්‍යය විසින් 2010දී මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේට නැවත වරක් අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ යන පදවිය පිරිනැමීය. 2011දී උන්වහන්සේට සිංගප්පූරු ජනරජයෙන් මහජන සේවා තාරකාව සම්මානයත් පිරිනමා ඇත.

Comments