
ශිෂ්‍යත්ව විභාගෙ ඉවරයි ! ප්‍රතිඵලත් වෙනදට වඩා කලින් ආවා. හුඟාක් ගෙවල්වල තියෙන්නෙ පාළු, නිහඬ, අලස ගතියක්. පන්ති උණුසුම නෑ. සම්මන්ත්‍රණ හඹා යෑමක් නෑ! උදේට පන්ති නෑ! රෑට පන්තිත් නෑ! අම්මලාටයි, ළමයින්ටයි දෙගොල්ලන්ටම නිවාඩු වාරය!
සඳමාලි මේ සියල්ල දිහා නිරීක්ෂණ බැල්මක් හෙළුවෙ තමන්ගෙ වයස අමතක කරල වැඩිහිටියෙක් වගෙ. එයා තාත්තත් එක්ක කාර් එකේ නැඟල ටවුමට ගියත් වටපිට බැලුවේ නෑ. තාප්ප, දැන්වීම් පුවරු, බිත්ති දකිනකොට සඳමාලි ඇස් පියා ගත්තා.
හැමතැනම තියෙන්නෙ ශිෂ්‍යත්වෙ පාස්වෙච්ච ළමයින්ගෙ ලොකු පින්තූර. නැත්තම් ටියුෂන් ගුරුවරුන්ගේ පින්තූර. ඒවා දකින කොට සඳමාලිගෙ හිත නරක් වෙනවා. වේදනාවක් ඇති වෙනවා. සඳමාලි ශිෂ්‍යත්වෙ ෆේල්.
සඳමාලි ඉස්කෝලෙ වැඩ ටික හරි ගාණට කළා. ඒත් ශිෂ්‍යත්ව පස්සේ පැන්නුවේ නෑ. මේ ඉස්කෝලේ මට හොඳා. ඇය හිත හදාගත්තා!
සඳමාලිගෙ ඔළුවට වැඩිහිටි නුවණක් ආවා.
කොයි ඉස්කෝලෙත් එකයි. කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ ප්‍රසිද්ධ ඉස්කෝලවල උගන්වන දේවල්ම ඒ විදිහටම සඳමාලිගෙ ජාතික පාසලෙත් ඉගැන්නුවා. ටීචර්ස්ලා හොඳයි ! කරුණාවයි. යාළුවොත් හොඳයි ! ගුරුපාර දිගේ පයින් ගිහින් පන්තියට යන්ඩ සඳමාලි හරිම ආසයි.
සඳමාලිගෙ පුංචි හිතට තවත් දේවල් කඩා වැදුණා!
ඉස්කෝලෙ යන්නෙ අම්මලාද ළමයි ද?
විභාගවලට ලියන්නෙ අම්මලාද ළමයි ද?
තමන්ගේ නායකයා තමන්ම මිස වෙන කවුරුත් නොවේ. බුදුන් වහන්සේ එහෙම උපදේශනයක් ලබා දී ඇති බව සඳමාලිට මතක් වුණා.
ඒ කියන්නෙ ? තමන්ගේ දේවල් තමන්ම තීරණය කිරීම හොඳ බවය. වැදගත් වන්නෙ නිවැරැදි බවයි!
මට මේ ඉස්කෝලෙ හොඳයි. සඳමාලි තරයේම හිතා ගත්තා!
මොනව වුණත් පුංචි හුටපටයක් නැත්තෙම නෑ! අම්ම ඉන්නෙ ටිකක් කේන්තියෙන්. ඉස්සර නම් එයා පිට කට්ටිය ඉස්සරහ තමන් වර්ණනා කරන බව සඳමාලිට මතක් වුණා.
"අපේ දුව හරි හපනා !"
අම්මා නිතරම කීවා. කෝ අපේ පුංචි දොස්තර නෝනා කියලත් සමහර වේලාවට එයා අහනවා. දැන් ඒ කිසි දෙයක් නෑ.
"අම්මා දැන් මල්ලි වර්ණනා කරනවා!"
හිතේ අමාරු තිබුණත් සඳමාලි හිත හදාගත්තා. තමන්ගේ ඉලක්කය වෛද්‍ය විද්‍යාලය බවත් ශිෂ්‍යත්වය ඊට කිසිදු බාධාවක් නොවන බවත් ඈ හිතාගත්තා.
සඳමාලි ඉස්තෝපුවේ ඇති කූඹි පාරක් දිහා බලාගෙන හිටියා.
පුංචි කූඹියෙක් විශාල චොකලට් කෑල්ලක් අරන් යනවා ! ඒක කූඹියා වගේ විසි ගුණයකටත් වඩා විශාලයි. සමහර වේලාවට කූඹියා ඒකට යටවෙනවා! ඒ එක්කම ඌ ඒක පෙරළාගෙන නැඟිටිනවා. තව සමහර වේලාවට කඩි වාගේ ලොකු සත්තු ඇවිත් ඒකට ඇඟිලි ගහනවා. පුංචි කූඹියා ඒ එකකටවත් ඉඩ දෙන්නෙ නෑ. ආත්ම විශ්වාසය හා කැපවීම විනා අලුත් පාඩමක් කුහුඹුවා ළඟ නැතැයි සඳමාලිට සිතුණා.
සඳමාලි පැය ගාණක් කූඹියා පස්සේ ගියා. අන්තිමේ ඌ තමන්ගෙ කූඹි ගුලෙන් ඇතුළට චොකලට් කෑල්ල ගත්තා. කූඹියා... පුදුම දහිරියසම්පන්න සතෙක් !
වැටි - වැටී නැඟිටිය යුතු යැයි සඳමාලිට හිතුණා.
ඇත්තම කීවොත් සඳමාලිට හිතේ දුකක් තිබුණා. ඒ අම්මා ආදරයෙන් කතා නොකිරීම ගැනය. අම්මාට කියන්නට බොහෝ දේවල් ඇය ළඟ තිබිණා. ඇතැම් විට අම්මාටත් එසේම වන්නට ඇත.
තාත්තා සමඟ කතා නොකර සැලකිය යුතු කාලයක් සිටිය හැකි වුවත් අම්මා සමඟ කතා නොකොට එක දිනක් හෝ කල් යැවීම අපහසුය. ගෙදර බුදුන් අම්මා යන වාක්‍යය සඳමාලිට සිහිපත් වුණා. ඇය අම්මා සමඟ හුරතල් වීමට උපාය මාර්ග සොයමින් සිටියා.
කවදත් ක්‍රීඩාවට නැඹුරු සඳමාලිට ක්‍රීඩාවේ එන අපුරු වචනයක් සිහිපත් වුණා. එය, හොඳම පරාජිතයා යන්න ය.
හොඳම පරාජිතයා යනු උපරිමයෙන් ක්‍රීඩා කොට සුළු ලකුණු ප්‍රමාණයකින් පරාජයට පත්වු තැනැත්තාය. රේණු අක්කා වරක් වයලීන් වාදන තරගයකින් හොඳම පරාජිතයා වුණා. ඒත් ඇගේ වාදන විලාසය ගැන එදා සියල්ලෝම කතා කළා. තව වරක් අසේල බොක්සින් තරගයකින් හොඳම පරාජිතයා බවට පත් වුණා. ඒත් හැබෑවටම ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළ බව කවුරුත් දන්නවා.
හොඳම පරාජිතයකු වීමට හැකි නම් එයත් නරක නැතැයි සඳමාලිට සිතුණා. මේ අතර අම්මා ඉතා ආදරයෙන් ඇය අමතනු ඇසුණා.
"සඳමාලි දුව ! මෙහෙ එන්ඩකො"
"මේ එනවා අම්මා!
සඳමාලි වහා දුවගොස් කුස්සියේ සිටි තම අම්මාට හේත්තු වුණා.
"මම අග්ගලා හැදුවා. රස බලන්නකෝ, තේ හදනකම්!"
සඳමාලි අග්ගලා ගෙඩියක් ගෙන රස බලන්නට වුණා. ඒවා වෙනදාට වඩා රසවත් බව ඇයට දැනුණා.
"හතේ ටීචර් කිව්වා, ඔයා පන්තියෙ දක්ෂම ළමයෙක් නිසා ප්‍රතිඵල නැවත බලන්න කියල!"
"හොඳයි අම්මේ!"
"මං හෙටම ඉල්ලුම් පත්‍රයක් දානවා!" අම්මා එසේ කියන අතර සඳමාලිගේ හිස අතගාන්නට පටන් ගත්තා.