විදෙස් ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීමක් | සිළුමිණ

විදෙස් ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීමක්

මෙරට ආර්ථික සංවර්ධනය කරා යෑමට ආර්ථිකයේ ප්‍රගතියට සහ සමෘද්ධිමත් භාවය ඇතිකරලීම සහ රට නැවත ප්‍රකෘතිමත් කිරීමට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදෙස් ප්‍රේෂණවල දායකත්වය වඩා සුවිශේෂී වෙයි. 2023 ජනවාරි සිට මැයි මාසය දක්වා බිලියන 2.3ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇත. එය මසකට රුපියල් මිලියන 400කට වැඩි අගයක් ගන්නා අතර, එය සැලකිය යුතු ප්‍රගතියකි.

කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය පුරා බොහෝ රටවල පැතිර ගිය ආර්ථික කඩා වැටීම යළිත් ප්‍රකෘතිමත් වෙමින් පවතී. ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය සහ සෑම රටකටම යම් ආකාරයකට බරපතළ ලෙස බලපෑමක් කළ ද වර්තමානය වන විට බොහෝ රටවල් නැවත ආර්ථික අංශයේ ප්‍රගමනය කරා ගමන් කරමින් පවතී. එසේම මෙරටේ ද පසුගිය කාලයේ පැවැති පසුබෑමෙන් පසුව ආර්ථිකමය අංශයෙන් යම් වර්ධනීය ඉලක්ක කරා යම් ආකාරයක සාධනීය පියවරක් ඉදිරියට පැමිණ ඇත.

පසුගිය වසරවල ඩොලර් හිඟය නිසා ශ්‍රී ලංකාව ද බරපතළ ගැටලුවලට මුහුණ පෑවේය. ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවිය යුතු විය. එහිදී කෙටිකාලීන විසඳුමක් වන විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදෙස් ප්‍රේෂණ යම් දුරකට මේ වන විට වැඩිවෙමින් පවතී.

විදෙස් ප්‍රේෂණ වැඩි වීමට බලපානු ලබන හේතු කාරණා කිහිපයක් වෙයි. ප්‍රධාන වශයෙන් පසුගිය කාලයේ විදෙස් ශ්‍රමිකයන් ලෙස විදෙස් ගතවූ පිරිස විශාල ලෙස වැඩි විය. ආර්ථික අර්බුදයත් සමඟ මෙරටේ උද්ධමන වේගය ඉහළ යෑම, ඇතැම් රැකියාවල සුරක්ෂිතභාවයක් නොමැති වීම, ලැබෙන වැටුප ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවීම යනාදී කරුණු නිසා මෙරට පුද්ගලයන් බහුල ලෙස විදෙස් ගතවීම සිදුවිය. ඒ හරහා මුදල් මෙරටට ගලා ඒම ඉතා වැදගත් වෙයි.

කෙසේ වුවත් මෑතකාලීනව මෙරටේ විදෙස් ගතවීම් වැඩි වී ඇතත් නුපුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත වීමෙන් ඇතැම් අවස්ථාවල රැකියා ලබා ගැනීමේ අසීරුතාවලට මුහුණ පෑමට සිදු වෙයි. මෙරටින් විදෙස්ගත වන සියලුම රැකියා අපේක්ෂකයන්ට යම් පුහුණුවක් ලබා දී විදෙස් ගත කිරීම ඉතා වැදගත් වන්නේ එනිසාය. වෘත්තිකයන් විදෙස්ගත කිරීම හරහා වැඩි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් උපයා ගැනීමට ද හැකියාව ලැබෙයි. රජයට අයත් ආයතන හරහා මේ අය පුහුණු කර නවීණ තාක්ෂණික උපකරණ භාවිත කිරීම පිළිබඳ හොඳ පුහුණුවක් දී විදේශගත කළ හැකි නම් එය වඩා වැදගත් වෙයි. එවිට පුහුණු සේවකයන් විදෙස් ගත කිරීමෙන් ඒ අයට විශාල වැටුපක් ලබා ගැනීමට හැකි වෙයි. පුහුණු ශ්‍රමිකයන් වෘත්තිකයන් විදෙස්ගත වීමේදී ඔවුන්ට වන තාඩන පීඩන ද අවම වෙයි.

ඉදිරියේදී ප්‍රතිව්‍යුහගත කර ඇති පරිදි ඩොලර් බිලියන 55ක් විදෙස් ණය ගෙවීමට සිදු වෙයි. මේ විදෙස් ණය මුදල් ගෙවන්නේ කෙසේද යන ගැටලුව ඉදිරියේදී මතු වෙයි. නැවත මේ ණය මුදල් ගෙවීම සිදුවීමෙන් පසුව අඩු වෙමින් පවතින ඩොලර් අගය නැවත වැඩි වීම සිදු වෙයි. ඒ සඳහා විශේෂයෙන් විදෙස් ප්‍රේෂණ මුදල් තවදුරටත් වැඩි කර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය. ඒ සඳහා ඩොලර් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් 2020 සහ 2022 කාලයට නැවත ගමන් කිරීමට සිදුවිය හැකිය. අපනයන ආදායම ඩොලර් බිලියන 2කි. ආනයන වියදම ඩොලර් බිලියන 3කි. රජය ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රේෂණ වැඩි කර ගැනීමට නව දිරි ගැන්වීම් සිදු කළ යුතුය. දැනට පවතින තත්ත්වය අනුව වසරකට බිලියන 5ක් ගෙවීම සිදු කළත් ඒ සඳහා අවුරුදු 12 කාලයක් ගත වෙයි. බිලියන 60ක මුදලක් ණය ඉතිරි වනු ඇත.

එසේම සංචාරක කර්මාන්තයත් මේ වනවිට යම් සාධනීය මට්ටමකට පත්ව ඇත. නමුත් එය ධරණීය තත්ත්වයක් නොවේ. සංචාරක කර්මාන්තය මීට වඩා විධිමත් ආකාරයට දියුණු කළ හැකිය. විශේෂයෙන් මේ රටේ සංස්කෘතික උරුමයක් පවතින හෙයින් ඒවා නැරඹීමට යම් විශේෂ ක්‍රමවේදයන් සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුය. එසේම ස්වාභාවික පිහිටීම අනුව ඇති සුන්දර ස්ථානවල සංචාරකයන් සඳහා කිසිදු පහසුකමක් සලසා නැත. සංචාරක කර්මාන්තය ආකර්ෂණය කරගත හැකි පහසුකම් එවැනි ස්ථානවල සකස් කළ යුතුය. විශේෂයෙන් හෝටල්, නවාතැන් වැනි ස්ථාන ඉදිකළ යුතුය. ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය වටපිටාව සැකසීම රජයක වගකීමකි.

සංවර්ධිත බටහිර රටවලින් පැමිණෙන සංචාරක ප්‍රමාණය අඩු වී ඇත. අපට ඩොලර් වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවලින් පැමිණෙන සංචාරකයන් හරහා ලැබෙයි. රටේ ඇති වඩා ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වඩා ආකර්ෂණය වන ආකාරයට තානාපති සේවාව මඟින් ව්‍යාප්ත කළ යුතුය. තානාපති සේවාවේදී අපේ රට ප්‍රවර්ධනය කිරීම කළ යුතු වුව ද එවැන්නක් සිදු නොවෙයි.

එසේ විදෙස් ප්‍රේෂණ ලැබෙන මේ මාර්ග දෙකම විශාල ලෙස වර්ධනය කර ගැනීමට රජයට මැදිහත් විය හැකිය. විධිමත් ආකාරයෙන් ඉල්ලුම අනුව විදෙස් ගත කිරීම සිදු කළ යුතුය. එසේම අපනයන කර්මාන්තය දියුණු කළ යුතුය. විශේෂයෙන් අගය එකතු කළ වටිනාකම අනුව භාණ්ඩ අපනයනය කළ යුතුය.

සාම්ප්‍රදායික ලෙස තේ, පොල් සහ රබර් අපනයනය කිරීමට වඩා වෙනත් නිමි භාණ්ඩ අපනයන ක්‍රමවේද සකස් කළ යුතුය. විදෙස් වෙළෙඳපොළ නව අපනයන සෙවිය යුතුය. තේ කර්මාන්තය විදේශ වෙළෙඳපොළ ආකර්ෂණය කර ගත හැකි ආකාරයට නව ක්‍රමවේද අනුව සකස් කළ යුතුය. රබර්වලින් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කළ හැකිය. ස්වභාවික රබර් භාවිත කර කාර්මික භාණ්ඩ රැසක් නිෂ්පාදනය කළ හැකිය. අමුද්‍රව්‍යවලට අපනයනයට වඩා කාර්මික භාණ්ඩ නිෂ්පාදන ලෙස විදෙස්ගත කිරීමට හැකි නම් එය වඩා වැදගත් වෙයි.

වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට හැකි වන ලෙස විදේශ වෙළෙඳපොළට නව නිමිභාණ්ඩ හඳුන්වා දිය හැකි නම් විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගත හැකි වෙයි. කොකෝවා අපනයනයේදී විශේෂයෙන් චොක්ලට් නිෂ්පාදනය ලෙස අපනයනය කළ හැකි නම් වැදගත් වෙයි. අපිට පලතුරු විශාල වශයෙන් අපනයනය කිරීමට විදෙස් වෙළෙඳපොළවල් සාදා ගැනීමට හැකි නම් එය විශාල වශයෙන් අපිට විදෙස් විනිමය ලබා ගැනීමට හැකි ක්ෂේත්‍රයකි.

අපි කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සිදු කළ රටකි. විශේෂයෙන් කැලණි ටයර් සඳහා හොඳ ඉල්ලුමක් පැවැති නමුත් අද වන විට ඒ කර්මාන්ත ශාලා සඳහා කුමක් සිදු වීද යන්න ජනතාව දැනුම්වත් වී නැත. එසේම විදෙස් රටවල වාහන කර්මාන්ත මෙරට තුළත් ගොඩනැඟීමට හැකි නම් ඒවා එකලස් කිරීමේ කර්මාන්ත ඉදි කිරීම මඟින් විශාල වශයෙන් විදෙස් මුදල් උපයා ගැනීමට හැකියාව ඇත.

විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී ඇති විශාල ගැටලුවක් නම් අනුමත කර ගැනීමේදී විශාල වශයෙන් කොමිස් මුදල් ලබා දීමට සිදුවීමයි. ඉන්දුනීසියාව සහ මැලේසියා වැනි රටවල කොමිස් ලබා දීම ඉතා අඩු මට්ටමක පවතී. ලංකාවේ 35%ක් කොමිස් ලබා දීමට සිදුවීමෙන් විදෙස් ආයෝජකයන් අපේ රටේ ආයෝජනය කිරීමට මැළිකමක් දක්වයි. මේ ක්‍රමවේද වෙනස් කළ හැකි නම් අපිට විශාල වශයෙන් විදෙස් ආයෝජන හරහා විදෙස් විනිමය ලබා ගැනීමට හැකි වෙයි. රට ගැන හැඟීමක් ඇති පුද්ගලයන් පරිපාලන ක්ෂේත්‍රයේ සිටීම ඉතා වැදගත් වෙයි. වගකිව යුතු සියලු පාර්ශ්ව අපේ රට දැන් වැටී ඇති තත්ත්වයෙන් ගොඩනැඟීමට කටයුතු කළ යුතුය. ඩොලර් අගය මේ වනවිට ක්‍රමානුකූලව අඩු වී ඇත.

අපි ණය ගෙවීම ආරම්භ කළහොත් මීට වඩා දරුණු තත්ත්වයකට අපිට මුහුණ පෑමට සිදු වෙයි. ඒ නිසා එයට මුහුණ දීමට හොඳ සැලසුමක් තිබිය යුතුය. ණය මුදල් ලබා ගෙන පවත්වා ගෙන යන ස්ථාවරත්වයක් මේ වන විට රටේ පවතී. ඩොලර් බිලියන 2.9ක් ණයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගෙන ඇත. අපි නැවත ආයෝජනය කරමින් ආදායම් උපයා ගැනීම සිදු නොකළහොත් අපිට කිසිම අදායමක් නොමැතිව තවත් බිලියන ගණන් ණය මුදලක් එකතු වීම සිදු වෙයි. මේ නිසා ප්‍රේෂණ වැඩිකර ගැනිම දිරිමත් කිරිම මෙන්ම, අපනයන සඳහා අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් අපි නව ආදායම් මාර්ග සෙවිය යුතුය.

පසුගිය කාලය පුරා රටේ ආර්ථික අස්ථාවරත්වයත් සමඟ ජනතාව විදෙස් ගත වීම සිදු වූයේ කිසිදු සැලසුමක් ඇතිව නොවෙයි. රජය මැදිහත්වී මිනිසුන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වන්නේ ඒ හෙයිනි. එසේ විධිමත් ආකාරයට රට රැකියා සඳහා පිටත් කර හැරීමට රජය මැදිහත් වී පුහුණු කිරීම් කළ හැකිය. විශේෂයෙන් තරුණ ප්‍රජාව පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීම අවශ්‍ය වේ. තරුණ සේවා සභාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි ආයතන මැදිහත් වී පුහුණු ශ්‍රමිකයන් යැවීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේම තානාපති සේවාවන්ට ද විශාල කාර්යභාරයක් වෙයි. එනම්, කුමන ක්ෂේත්‍ර සඳහා ද ඒ ඒ රටවල රැකියා අවස්ථා පවතින්නේ යන කරුණ පිළිබඳ මෙරට දැනුම්වත් කළ යුතුය. එවිට අපේ රටට ඒ ඒ ක්ෂේත්‍ර සඳහා පුහුණු කිරීමට හැකියාව ඇත. ඒ සඳහා නිසි සම්බන්ධීකරණයක් කළ යුතුය.

විදෙස් විනිමය උපයා ගැනීමට ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනවල 29%ක් ඉල්ලුම අඩු වී ඇත. අපි වෙළෙඳපොළ අලුතින් සකස් කර ගත යුතුය. ලංකාවේ ඇඟලුම් අපනයනවලට අලුතින් රටවල වෙළෙඳපොළ සෙවිය යුතුය. නැඟෙනහිර ආසියාතික රටවල් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගත යුතුය. නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු වන්නේ එහෙයිනි. සියලු රටවල් සමඟ සහයෝගයෙන් සම්බන්ධතා ඇති කර ගත යුතුය.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වඩා ඉල්ලුමක් වෙයි. විදෙස් රටවල් සමඟ සම්බන්ධතා ඇති කරගත හැකිය. විදේශ රටවල හොඳ ඉල්ලීමක් මේ තොරතුරු තාක්ෂණ අංශයේ ඇත. අපේ රටේ ඒ වැනි ක්ෂේත්‍ර දියුණු කළ හැකියි. ඒ සඳහා විදෙස් රටවල් සමඟ සම්බන්ධතා ඇති කර ගත යුතුයි. කුමන ක්ෂේත්‍රයක නියැළී සිටියත් උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම ලබා දීම වැදගත් වෙයි. ඉංග්‍රීසි භාෂා මෙන්ම වෙනත් රටවල භාෂා දැනුම ලබා දිය යුතුයි.

ලංකාවේ නිෂ්පාදනය කිරීමට හැකි දේ විදෙස්වලින් ගෙනැවිත් නැවත ප්‍රතිඅපනයනය කිරීම සිදු වෙයි. නමුත් ඒ ඇතැම් භාණ්ඩ විදෙස් රටවලින් ආනයනයක් සිදුනොවිය යුතු අතර ලංකාවේ වැඩෙන ශාක මඟින් මෙරට නිෂ්පාදනය කළ හැකි දෑ වෙයි. ඇතැම් නිෂ්පාදන මෙරට දියුණු කළ හැකියි. විශේෂයෙන් බුලත්, පුවක්, ගම්මිරිස්වලට විදෙස් ඉල්ලුමක් ඇත. එවැනි දේ සඳහා ජනතාව දිරිගැන්වීමට කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව සුළු අපනයන සම්බන්ධ අමාත්‍යාංශ සුළු අපනයන දෙපාර්තමේන්තු සොය බැලිය යුතුය. අපනයන සංවර්ධන නිලධාරීන් සහ රජය මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ නිලධාරින් සුළු අපනයන භෝග සම්බන්ධ නිලධාරීන් කෘෂි නිලධාරින් සම්බන්ධීකරණ වී මෙවැනි වැඩසටහන් පිළීබඳව තොරතුරු රැස් කර රජය දැනුම්වත් කළ යුතුයි. අමාත්‍යාංශවල නිලධාරීන් මේ සම්බන්ධයෙන් කාර්ය භාරයක් පැවැරිය යුතුයි. රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණයක් ඇති කළ යුතුයි. දේශිය වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ප්‍රමිතිය වැඩි කිරීම කළ හැකියි. එසේම බතික් කර්මාන්තය දියුණු කළ හැකියි. දේශිය අත්කම් නිර්මාණ මෙන්ම වෙනත් මෙරටට ආවේණික භාණ්ඩ මෙරටින් අපනයන කළ හැකියි. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් මෙරටට සොයා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් 2020 සහ 2022 කාලයට නැවත ගමන් කිරිමක් සිදුවිය හැකියි.

Comments