මෝචරියක මිනී කපන ලංකාවේ එකම යුවතිය සොයා සිළුමිණ ගිය ගමන | සිළුමිණ

මෝචරියක මිනී කපන ලංකාවේ එකම යුවතිය සොයා සිළුමිණ ගිය ගමන

පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ මෘත ශරී­රා­ගා­රය ඉදි­රි­පි­ටදී අම­රා­වතී

රණය කාටත් පොදු ය. වෙනසකට ඇත්තේ මරණයට හේතුවන කාරණය පමණි. අසනීපයකට ගොදුරුව කෙනෙකු මිය යද්දී තවත් අයකු මරු වැලඳ ගන්නේ හදිසි අනතුරකිනි. ජීවිතයට ඇති ආදරය අත්හරිමින් සියදිවි හානිකර ගන්නෝ මෙන්ම ඝාතනයට ලක්වන්නෝ ද සිටිති. දීර්ඝ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යන පුද්ගලයන් හැරුණු විට මෙලොව හැර යන බොහෝ දෙනකුගේ මළ සිරුරු ඥාතීන් වෙත භාර දෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුවය. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වීමේ මූලීක අරමුණ මරණයට නිශ්චිත හේතුව හඳුනා ගැනීමය. ඇතැම් විට සියදිවි නසා ගැනීමක් ලෙසට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් අධිකරණ වෛද්‍යවරයකු විසින් පවත්වන පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් ඝාතනයක් බවට අනාවරණය වූ අවස්ථා එමටය. මෙම කරුණු සැලකීමේදී පශ්චාත් මරණ පරීක්ෂණය සුළු පටු වගකීමක් ඇති කාර්යයක් නොවන බව පැහැදිලිය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු වන සුළු අත්වැරදීමක් නිසා මිනීමරුවකුට වුවද ගැලවී යා හැකිය. මෙම භාරධූර කාර්ය සඳහා මළ සිරුර කපමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහාය වන කණ්ඩායමට අයත් තිදෙනා අතරින් එක් අයකු කාන්තාවක බව අසන්නට ලැබීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බලන්නට අපි පසුගියදා එහි ගියෙමු. 

ඇය නමින් ජයසුන්දර මුදියන්සේලාගේ අමරාවතී ය. දෙදරු මවක වන ඇගේ වයස අවුරුදු 41කි. ගිරාඳුරුකෝට්ටේ උපත ලද අමරාගේ මවුපියන් ගොවීන්ය. සහෝදරයන් පස් දෙනකු හා එක් සහෝදරියක සිටින ඇය අධ්‍යාපනය ලැබ ඇත්තේ බතලයාය මධ්‍ය මහා විදුහලෙනි. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටි ඇය අධ්‍යාපනයට මෙන්ම විෂයය බාහිර ක්‍රියාකාරකම්වලට ද එක සේ දක්ෂ වූවාය. එල්ලේ හා වොලිබෝල් ක්‍රීඩාවෙන් පළාත් හා දිස්ත්‍රික් තරග නියෝජනය කළ අමරා පාසලේ ශිෂ්‍ය නායිකාවකි. කවපෙත්ත හා වොලිබෝල් ක්‍රීඩා වලින් ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ඇය කුඩා කල සිටම මවුපියන් හා සහෝදරයන් සමඟ ගොවිතැන් කරමින් මහ පොළොව හා ඔට්ටු වූවා ය. ඒ ඔස්සේ ගොඩනඟා ගත් ශක්තිය, වීර්යය, නොපසුබස්නා උත්සාහය ඇගේ කතාවේ ඕනෑවටත් වඩා ගැබ්ව තිබේ.

මෙරට මෝචරියක මළ සිරුර විච්ඡේදනය කරන එකම කාන්තාව වන අමරා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෝචරියේ වැඩට ගොස් ගත වූ වසර 2 1/2 ක කාලයේදී අධිකරණ වෛද්‍යවරයාට සහාය වෙමින් විච්ඡේදනය කරන ලද මළ සිරුරු සංඛ්‍යාව සියයකට වැඩිය. හිස දෙකඩ කර මොළය පිටතට ගැනීමත් පපුව පළා හදවත ගලවා ගැනීමත් උදර ප්‍රදේශය විවෘත කර වකුගඩු හා අක්මාව අතට ගැනීමත් අමරාට දැන් කජු කන්නා සේ පහසුය. මළ සිරුරක් එම්බාම් කිරීම සඳහා කැපීමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කැපීමත් අතර අහස පොළොව තරම් වෙනසක් තිබේ. එම්බාම් කිරීමේ අරමුණ මළ සිරුර නරක් නොවී දින කිහිපයක් කල්තබා ගැනීමය. මෙහිදී එම්බාම්කරුට පැවරෙන තවත් වගකීමක් වන්නේ මියගිය පුද්ගලයාගේ සිරුර හැකි තරම් ජීවමාන ස්වරූපයට සකස් කිරීමය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සෑම ශරීර කොටසක් පිළිබඳම දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මරණයට හේතුව හෘදයාබාධයක් ද හිසට එල්ල වූ තදබල පහරක් ද විසක් ශරීර ගතවීමක්ද නැතහොත් අභ්‍යන්තර රුධිර වහනයක් ද ආදී කාරණා අධිකරණ වෛද්‍යවරයා තහවුරු කරගනු ලබන්නේ ශරීර කොටස් පරීක්ෂා කිරීමෙනි. ඒ සඳහා සෑම ශරීර කොටසක්ම ඉතා සූක්ෂමව විච්ඡේදනය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. මේ භාරධූර කාර්ය සඳහා අධිකරණ වෛද්‍යවරයාට සහාය වන අමරාවතී මිනී කපන්නට යොමුව ඇත්තේ ද අපූරු ආකාරයකටය. ඒ පිළිබඳව ඇය මෙසේ හඬ අවදි කළාය. 

“පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහන සේවිකාවක ලෙස මම සේවයට ආවේ 2005දී. මුලින්ම සේවය කළේ පේරාදෙණිය දන්ත රෝහලේ. ටික දවසකින් දන්ත රෝහලේ ලේඛන අංශයට යොමු කළා. මාසයක් විතර එතන වැඩ කළාට පස්සේ තමයි මාව වාට්ටුවක වැඩට දැම්මේ. අවුරුදු තුනක් එතන වැඩ කරද්දී පුදුමාකාර අත්දැකීම් තොගයක් ලැබුණා. එක දවසක් රෑ වැඩ කරද්දී ලෙඩෙක් මැරුණා. මළ සිරුරේ ඔළුව හදලා ඇස් වහලා අත් කකුල් ගැට ගහන වැඩ ටික කරන්න වුණේ මට. එදා ගෙදර ගියාම මතක් වුණේම මැරුණ කෙනාගේ මූණ. නින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ තවත් මළ සිරුරු ඒ විදිහට හදන්න වුණාම ඒ වැඩේ මට සාමාන්‍ය වුණා.”

පාලනාධිකාරිය විසින් අමරාවතී ශල්‍යාගාරය වෙත මාරු කරනු ලබන්නේ මේ අතරවාරයේය. එහිදී වෛද්‍යවරු ශරීර අභ්‍යන්තරයේ සිදු කරන සැත්කම් සඳහා සිරුරු විවෘත කරනු ඇය දුටුවා ය. අවුරුදු 11 ක සේවා කාලයක් ශල්‍යාගාරයේ සපිරූ අමරාවතී රෝහලේ බාහිර රෝගී අංශයට මාරුවක් ලැබ ගියාය. ඒ වන විට දෙදරු මවක වූ ඇයට රාත්‍රී කාලයේ සේවය කිරීම ප්‍රශ්නයක් වූයේ දරු දෙදෙනාගේ වැඩකටයුතුවලට ඉන් විවිධ බාධා එල්ල වීම නිසාය. ගැටලුවට විසඳුම් සොයා මිනී කපන්නට යොමු වූ ආකාරය අමරාවතී මෙසේ විස්තර කළාය.

“අධිකරණ වෛද්‍යතුමාගේ කාර්යාලයට සෞඛ්‍ය කාර්යය සහායකයෙක් අවශ්‍ය බව දැනගත්ත ගමන් මම ඒකට ඉල්ලුම් කළා. දරු දෙන්නගේ ප්‍රශ්න නිසා මට ඕන වුණේ උදේ 7.00 ට වැඩට ඇවිත් හවස 5.00 ට ඕෆ් වෙලා ගෙදර යන්නයි. විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහත්තයා මාව 2021 අප්‍රේල් 09 වැනිදා වැඩට ගත්තා. අදටත් මම වැඩ කරන්නේ ඒ මහත්තයා යටතෙයි. මුලින් මට තිබුණේ ලියකියවිලිවල වැඩ. ඒවා කරලා අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. මිනීමැරුම්, සියදිවි හානිකර ගැනීම්, සාමාන්‍ය මරණ වගේම ඉපදිලා පැය ගාණකින් මිය යන දරුවන්ගේ පවා පශ්චාත් මරණ පරීක්ෂණ කරනවා. මරණයක් සමඟ බද්ධ වී තිබෙන නීතිමය තත්ත්වයන් ගැනත් යම් අවබෝධයක් වැඩ කරද්දී මට ලබා ගන්න පුළුවන් වුණා.”

උදයවරුවේ ලියකියවිලිවල වැඩ ඉවර කරන ඇය සවස්වරුවේ මෝචරියේ වැඩ ගැන අවදියෙන් සිටින්නීය. හදිසි මරණ පරීක්ෂක ලෙස කටයුතු කරන අමල් ජයවර්ධන ද මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ පිළිබඳ යම් යම් දෑ අමරාට පැහැදිලි කර දුන්නේ ඇගේ විමසීම්වලට පිළිතුරු ලෙසිනි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු විච්ඡේදන කටයුතුවල වසර දාහතක් තිස්සේ නියැළෙමින් ඒ සම්බන්ධව මනා පළපුරුද්දක් ඇති සංජීව පුෂ්පකුමාර සහ ජගත් නිශාන්ත ඒ සම්බන්ධ දැනුම් ගබඩාව පුළුල් කර ගැනීම සඳහා අමරාට ලබා දෙන්නේ නොමඳ සහායකි. මළ සිරුරක් විච්ඡේදනය කරන අයුරු බලාසිටි අමරාට එය තමන්ට ද කළ හැකි යැයි සිතුණත් එවැන්නක් සඳහා ඉල්ලීමක් කරන්නට තරම් ඇගේ සිත එඩිතර නොවිණි. මුල් වතාවට මළ සිරුරක් කපන්නට මඟ පෑදුණු අයුරු ඇය මෙසේ විස්තර කළාය.

“අධිකරණ වෛද්‍ය තුමයි මරණ පරීක්ෂක තුමයි සංජීව හා ජගත් මහත්තයාලයි ඉන්න වෙලාවක මම ඇහුවා මළ සිරුරක් කපන්නද කියලා. කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. එදා පශ්චාත් මරණ පරීක්ෂණයට ගෙනැත් තිබුණේ පිරිමි මළ සිරුරක්. ඔළුවට මැෂින් එක තියලා කපන්න ගන්නකොටම මට අමුත්තක් දැනුණා, මේ මනුස්සයාට රිදෙනවද දන්නේ නෑ කියලත් හිතුණා. හිතට හයිය අරන් හිස්කබල ඉවත් කළා. මොළේ පැත්තකින් තියලා නිකට ළඟින් වෙන් කරලා පහළට කපද්දී දැනුණ හැඟීම අමුතුම එකක්. හැම අවයවයක්ම කපලා වෙන් කරලා වෙන වෙනම තිබ්බා. සර් බලාගෙන ඉඳලා කිව්වා අමරා හොඳට වැඩේ කළා කියලා. ඒ වචන මට ලොකු හයියක් වුණා. මිනී එකක් දෙකක් කපනකල් පොඩි අමුත්තක් දැනුණත් දැන් එහෙම නැහැ. සමහරු ජීවත් වෙන්නේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙනනෙ. ජීවිතය මොන තරම් අනිත්‍යය ද කියන බුදු වදන ගොඩක් අයට මැරෙනකල්ම තේරෙන්නේ නැහැ. මට නම් මළ සිරුරු දැකලම මේ අනිත්‍ය බව හොඳින් තේරුම් ගියා.” 

සාමාන්‍ය මරණයකදී සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයකදී මළ සිරුරක ඉදිරිපස කොටස පමණක් විච්ඡේදනය කෙරෙන නමුත් මිනීමැරුමක් හෝ වෙනත් සුවිශේෂී සිද්ධියක් මත සිදුවන මරණයකදී එය එසේ නොවන්නේය. එහිදී සිරුරේ ඉදිරිපස මෙන්ම පිටුපස ද පරීක්ෂණයට භාජනය කරයි. එය තරමක් ව්‍යාකූලය. එසේ වුවත් දැන් අමරාට මේ සියල්ල සාමාන්‍යය. සියලුම වර්ගීකරණයන් යටතේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළ සිරුරු ක්‍රමානුකූලව විච්ඡේදනය කිරීමට තරම් ඇය දැන් මෙම කාර්යයේ නිපුණය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ අමරාගේ හැකියාව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.

“ස්ව කැමැත්තෙන් සියලු දේ ඉගෙන ගැනීමට ඇති වුවමනාව අමරා තුළ මම දකින සුවිශේෂ ගුණාංගයක්. කාන්තාවක් විදිහට මේ දේවල් දරාගෙන වැඩ කරනවා කියන එකම ලොකු අභියෝගයක්. අපි හිතුවටත් වඩා ඉතා පහසුවෙන් අමරා ඒ සියල්ල ග්‍රහණය කර ගත්තා. මම ලංකාවෙත් විදේශීය රටවල්වලත් මේ වනවිට විශේෂඥ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කර තිබෙනවා. ලංකාවේ මෝචරියක කාන්තාවක් වැඩ කරනවා දුටු පළමු අවස්ථාව මෙයයි. මළසිරුරක් විච්ඡේදනය කරනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. මේක විශාල අභියෝගයක්. මොකද අපි වගකියන්නේ අධිකරණයට. කාන්තාවක් මේ වගේ කාර්යයක් සඳහා යොමු වීම එක්තරා විදිහක අභියෝගයක් වුණත් අමරා ඒක ජය ගත්තා.”

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන අමරා පිළිබඳ මෙසේ පැවසුවේය. "මෝචරියක බොහෝ දෙනා සේවය කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. විශේෂයෙන් කාන්තාවක් මේ වගේ තැනක වැඩ කරනවා කියන එක හිතන්නත් අමාරුයි. ඒ වගේ වාතාවරණයක අමරා මළ සිරුරු කපමින් සිදු කරන වැඩේ අගය කළ යුතු එකක්. ඇය කිසිම දවසක කිසිම වැඩක් සම්බන්ධයෙන් පසුගාමී ස්වභාවයක් දක්වලා නැහැ. අදටත් බොහොම කැමැත්තෙන් මේ කටයුතුවල නිරත වෙනවා. ඒක එක්තරා විදිහකට අපිටත් ලොකු ශක්තියක්.”

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොටස්වලට වෙන් කරන මළ සිරුර මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව මල් ශාලාවකට භාර දීමෙන් පසු සිරුර යළි යථා තත්ත්වයට පත් කරනු ලබන්නේ එම්බාම්කරු විසිනි. ඒ සිංහල හා දෙමළ මළ සිරුරු සම්බන්ධයෙනි. ඉස්ලාම් භක්තිකයකු මියගිය පසු සිරුර එම්බාම් නොකර ඥාතීන්ට භාර දෙන්නේ මුස්ලම් සංස්කෘතියට අනුව මියගොස් පැය 24ක් ගතවීමට පෙර මළ සිරුර භූමදානය කරන බැවිනි. එම අවස්ථාවලදී මළ සිරුර විච්ඡේදනය කිරීමට පෙර තිබූ තත්ත්වයට පත් කරනු ලබන්නේ කපා දැමූ කොටස් යළි මැසීම මඟිනි. එම කටයුත්ත ද යස අපූරුවට නිමා කරන්නට අමරාට ඇත්තේ අපූරු දක්ෂතාවකි.

ඡායාරූප - රුවන් මීගම්මන

Comments