“මේ ළමයින්ගේ හැදියාව නම් අන්තිමයි. කොහේ ඉඳලා එන එවුන්ද මං දන්නේ නෑ" වැඩිහිටි කාන්තාවක් දෙස් දෙවොල් තියමින් සිටියේ කාට දැයි දැනගන්නට මම ඇබින්දක් කර පොවා බැලුවෙමි. ඇගේ අප්‍රසාදය ඉලක්ක වී තිබුණේ කොලු නඩයකටය. සැබැවින්ම ඔවුන් හැසිරෙමින් සිටියේ බැලූ කවරකුගේ වුව සිත අප්‍රසන්න බවක් ඇති වන ආකාරයෙනි. අර කාන්තාව බැණ වැදෙමින් සිටියේ මේ කොලු නඩයේ හැදියාව ගැනය.
කවරකුට වුව තමා කැමති ආකාරකට හැසිරීමේ නිදහස තිබෙන නමුදු , බැලූ බැල්මට අර කාන්තාවගේ චෝදනාවේ ද වරදක් දකින්නට නුපුළුවන. ඔවුන් හැසිරුණේ අන් අයට අපහසුවක් පීඩාවක් සිදුවන ආකාරයෙනි. එබැවින් " හැදියාවක් නැතිකම" පොදුවේ කාගේත් මන සුව බිඳින්නකි.
හැදියාව, හැසිරීම් යනාදී කාරණා සම්බන්ධයෙන් කතාබහ කරද්දී අපේ මුලින්ම සිතට නැඟෙන්නේ සාරධර්ම හා අගනාකම් යනාදියයි. ඕවා කන්නට දැයි යමකු අසන්නට ද ඉඩ තිබේ. එහෙත් ඕනෑම තැනැත්තකුගේ ආකල්ප, ක්‍රියා පිළිවෙළ හා හැසිරීම, තීන්දු ගැනීම හා ස්වයං අභිවෘද්ධිය යනාදී සියල්ල තීන්දු වන්නේ යමකු සතු අගනාකම්වලට අනුවය. එය අනෙක් අයගේ මෙන්ම තමන්ගේ ද මානසික සෞඛ්‍යය කෙරේ බලපාන්නකි. එය මුළුමනින්ම පාහේ උපතින් ගෙන එන්නැතැයි සිතිය නොහැකිය. ස්ථිරසාරවම පුද්ගලයකු මේ අගනාකම් රැඳෙන නමුත් එය අත්දැකීම්, ආශ්‍රය හා දීර්ඝ කාලීන පුරුදු යනාදියෙන් හේතුවෙන් වෙනස් වන්නට ඉඩ තිබේ.
තවත් අතකින් මෙය පුරුෂාර්ථ වශයෙන් ද හැඳින්විය හැකිය. සැබැවින්ම පුරුෂාර්ථ, අගනාකම් යනු මොනවාද ? එක්තරා පර්යේෂණයකදී මේ හඳුන්වා දී තිබුණේ අපි තෝරා ගැනීම හා අපේ හැසිරීම තීන්දු කරන මූලික විශ්වාස ගොන්නක් වශයෙනි. තවත් වචනවලින් කිවහොත් අප සමාජය හා ගනුදෙනු කරන්නේ කෙසේද? අප සමාජය වටහා ගන්නේ කෙසේද? යන කාරණා තීන්දු කරන මූලිකාංග වශයෙන් මේ අගනාකම් හැඳින්විය හැකිය.
එය එක්තරා ආකාරයකින් සහජ, බොහෝවිටම උපවිඥානයෙහි පිහිටන එමෙන්ම අපේ අනන්‍යතාව හා එකිනෙක බැඳුණු සංකල්පයක් වෙයි. අපේ චිත්තවේග ආකල්ප හා ක්‍රියා පිළිවෙළ අනුව පදනම්ව මූලිකවම අප ද ඉනික්බිති අනෙක් අයද මනින මිම්ම වශයෙන් මේ අගනාකම් හැඳින්විය හැකිය. මේවා ගැඹුරින් අධ්‍යයනය කිරීම හරහා පුද්ගල අභිවෘද්ධිය උදෙසා යහපත් හා සාර්ථක අන්තර් පුද්ගල සම්බන්ධතා සඳහා මෙන්ම සාර්ථක සමාජ ජීවිතයක් සඳහා අගනාකම්වල ඇති වටිනාකම අපට හඳුනා ගත හැකිය. අගනාකම් යනු නොවෙනස් වන ගති ලක්ෂණයක් නොවේ. ඒවා නිතර වෙනස් වීමට ලක්වන, වෙනස් කළ හැකි කාලයත් සමඟ අපේ අත්දැකීම් සමඟ, අපේ සම්බන්ධතා හා අවබෝධය සමඟ වෙනස්වන ඒවාය. ස්වයං අවබෝධය, අධ්‍යාපනය හා පර්යාලෝකනය හරහා අපගේ අගනාකම් වැඩි දියුණු කර ගන්නට පුළුවන් වෙයි. පුද්ගල අගනාකම් නිරන්තරම පාහේ ඔබේ මනසුව සඳහා හේතු වෙයි. පුද්ගල අගනාකම් යනු අපේ මනසේ සැඟව තිබෙන, බාහිර ලෝකයත් සමඟ අප කටයුතු කරන විට අප පාලනය කරන විශ්වාස සහ හැඟීම් සමුදායයි. සමාජ ජීවියකු හැටියට අපට කෙතරම් දුරක් ගිය හැකි දැයි තීන්දු කරන්නේ අප සතුව තිබෙන අගනාකම්ය. අනෙක් අතට චරිතය සහ අවංකකම රැඳී පවතින්නේ මේ පුද්ගලික අගනාකම් මත වීම විශේෂ කාරණයකි. උත්පත්තියෙන්ම යමකුට මේ ගති ලක්ෂණ පිහිටන්නට හැකි නමුත් අප ජීවිත අධ්‍යයනය තුළින් ලබා ගන්නා, උකහා ගන්නා සාරධර්මවලට බොහෝවිට අපේ ප්‍රමුඛතාව ලැබෙයි. එබැවින් අද සමාජයට අවශ්‍ය විනය හා අවබෝධය ලබා දෙන්නට සාරධර්ම හා අගනාකම් සමත් වෙයි. එහිලා අපට දකින්නට ලැබෙන කොළ පැහැ ආලෝකය නම් මේ සාරධර්ම හා අගනාකම් කාලයත් සමඟ දියුණු කර ගන්නට වර්ධනය කර ගන්නට අපට හැකි වීමයි. අනෙක් අතට මවුපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන් මෙන්ම හිතමිතුරන්ගෙන් ද සාරධර්ම හා අගනාකම් සංවර්ධනය සඳහා ලැබෙන්නේ මහඟු පිටුබලයකි. තීන්දු තීරණ ගැනීමේදී යම් අවස්ථාවකට මුහුණ දීමේදී යම් අවස්ථාවක හෝ තැනක හැසිරෙද්දී එහි වැරැද්ද නිවැරැද්ද, ගැළපෙන නොගැළපෙන බව තීන්දු කරන්නට අපට උදවු වන්නේ අප සතු සාරධර්ම හා අගනාකම්ය.
මෙවේලෙහි යමකු තර්ක කරන්නට ඉඩ ඇත්තේ සාරධර්ම හා අගනාකම්වලට කොටුවීමේදී පුද්ගලික නිදහස සීමා වන බව කියමිනි. එහෙත් තමා කොපමණ දුරකට සීමා පනවා ගත යුතු දැයි අවබෝධ කර ගත යුත්තේ අප විසින්මය. එයද අප සතු අගනාකම්වල මට්ටම අනුව තීන්දු වන්නකි. උදාහරණයක් වශයෙන් පවසතොත් යමකු තමන්ගේ ආහාරපාන ගැන සීමාවක් පවත්වාගෙන යන්නට හුරු වී සිටි. මේ පාලනය ඔහුගේ අගනාකම්, විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔහු සතු අගනාකම් නිසා සිදු වන්නක් විය හැකිය. එහෙත් සෞඛ්‍යය ගැන පරෙස්සමකින් තොරව ආහාරපාන ගන්නා පුද්ගලයකුට මතු දවසකදී අත්විඳින්නට සිදු වන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නට අප මුලින් කී පුද්ගලයාට සිදු නොවේ. එක් අතකින් අපට පැවසිය හැක්කේ සාරධර්ම හා අගනාකම් අපේ ජීවිතය පවත්වාගෙන යන්නට පහසුවක් බවය.
දැන් අප සොයා බැලිය යුත්තේ සැබැවින්ම ඒවායින් වැඩක් තිබේ දැයි අසන පුද්ගලයන් වෙනුවෙන් උත්තරයක් දෙකක් සොයා ගැනීම ගැනය. ඔව්, එහි ඇති ප්‍රයෝජන රාශියකි. පළමුවැන්න නම් එය අපට ඔබේම අභ්‍යන්තරය පිළිබඳ පර්යේෂණයක යෙදෙන්නට උදවුවක් වෙයි. මිල මුදල් හා තනතුර කෙසේ වෙතත් අප සෑම කෙනෙකුම අද ඉන්නේ මීට දස වසරකට පෙර සිටියාට වඩා වෙනස් තැනකය. ඔබ වැඩිහිටියකු නම් ඔබට ඔබේ ළමා කාලය හා අද දවස ගැන සංසන්දනය කරන්නට පුළුවන. එසේ සංසන්දනය කරද්දී ඔබ යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇති බව දැනෙන්නට පුළුවන. එහෙත් මේ සාර්ථකත්වය බොහෝ දුරටම ඉබේ පහළ වූවක් නොවේ. එයට පදනම ඇත්තේ ඔබ විසින් නිසි කලට නිසි ආකාරයෙන් ලබා ගත් තීන්දු තීරණ රාශියක ප්‍රතිඵලයක් වශයෙනි. අප නොදන්නවාට මෙකී නිවැරැදි තීන්දුවලට එළැඹීමට අපට වැඩිමනත් දායකත්වයක් ලබා දී ඇත්තේ අප තුළ තිබෙන අගනාකම්ය. අසාර්ථක හෝ සතුටින් කල්පනා කරන්නට නොහැකි තැනක සිටින හෝ තැනැත්තකුට ඒ තත්ත්වය අත්වී තිබෙන්නේ ද බොහෝ විටම ඔහු විසින් ගත් වැරදි තීන්දු නිසා වන්නට පුළුවන. එසේ වුවද අත්දැකීම්, අධ්‍යාපනය හා ආශ්‍රය තුළින් කවර මොහොතක හෝ පටන් අපට අපේ අගනාකම් දියුණු පවුණු කර ගත හැකිය.
යමකු තුළ තිබෙන සාරධර්ම හා අගනාකම් ඔහුට හෝ ඇයට තීන්දු තීරණ ගැනීම සඳහා උදවු වෙයි. වඩාත් ප්‍රබල ප්‍රතිඵල අත්කර ගත හැකි වන්නේ නිවැරැදිම තීන්දුවලට එළැඹීමෙනි.
ඒ නැතත් අපට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී බොහෝ තීන්දු තීරණ ගන්නට සිදු වෙයි. සමහර විට ඒවා ඉතා සරල තෝරා ගැනීම් වන්නට ඉඩ තිබේ. එහෙත් සරල තේරීමක් වුව වැරැදුණහොත් අපට යම් ආකාරයක මානසික පීඩාවක් දැනේ. අනාගත සාර්ථකත්වය ගැන කල්පනා කරනවා මෙන්ම එදිනෙදා ජීවිතයේ මනසුව රැක ගැනීම පිණිස ද නිවැරැදි තීන්දු ගැනීම බෙහෙවින් වටී. පියවරෙන් පියවරට ජීවිතය ඉහළට ගෙන යන්නට අපට නොපෙනී අපට උදවු කරන බලවේගයක් වශයෙන් මේ අගනාකම් හඳුන්වන්නට පුළුවන.
අනෙක් අතට මේ තීන්දු තීරණ ගැනීම අපට කලබලකාරී මනසකින් කළ නොහැකි වෙයි. ඒ සඳහා නිස්කලංක සාමකාමී මනසක් අපට අවශ්‍යය. නිවැරදිම තීන්දු තීරණ ලබා ගැනීමට අපට අවශ්‍ය කරන මානසික නිස්කලංකබව හා නිදහස අප අත් විඳින්නේ අප සතු අගනාකම්වලට සාපේක්ෂවය.
අපට එදිනෙදා ජීවිතයේදී කොපමණ කම්කටොලුවලට මුහුණ දෙන්නට සිදුවේ දැයි කිව නොහැකිය. එහෙත් ඒවායින් පැනයන්නට අපට පුළුවන්කමක් ද නැත. කොයියම් ආකාරයකින් හෝ ඒවාට මුහුණ දෙන්නට අපට සිදු වෙයි. ඊට යම් ආකාරයක ධෛර්යයක් හා අත්දැකීමක් අවශ්‍යය. මේ ධෛර්යය හා අත්දැකීම පොම්ප කරන මූලාශ්‍රය වශයෙන් ඔහු හෝ ඇය සතු අගනාකම් හැඳින්විය හැකිය.
අපේ මනසුව බිඳී යෑමේ ඉහළ අවදානමක් ඇත්තේ අන්තර් පුද්ගල සබඳතාවලදීය. කෙනෙකුගේ හිත රිදවීම හෝ කෙනකු නිසා හිත රිදවා ගැනීම අප අතින් සිදු වෙයි. මේ සියල්ල සෘජුවම බලපාන්නේ අපේ මානසික සෞඛ්‍ය කෙරෙහිය. එසේ සිදු වන්නේ අප ගන්නා තීරණ හෝ අපේ හැසිරීම් රටාව අනෙකා ග්‍රහණය කර ගන්නා ආකාරය අනුවය. යමකු තුළ ඇති අගනාකම් වැදගත් වන්නේ ඔහුගේ හෝ ඇගේ තීරණ ගැනීම්, හැසිරීම් රටාව සෘජුවම ඒ සමඟ බැඳී පවතින බැවිනි.
පුද්ගලයන් සතුව තිබෙන සාරධර්ම හා අගනාකම් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. මනෝවිද්‍යාඥයන් පවසන්නේ සෑම තැනැත්තකුම තමා සතු අගනාකම් පිළිබඳ අවබෝධයෙන් හා වටහා ගැනීමකින් යුතුව පසු වීම වැදගත් බවය. මේ අගනාකම් ක්ෂේත්‍ර ගණනාවක් වසා පවතින්නට පුළුවන. මේ ක්ෂේත්‍ර හඳුනා ගැනීම අපට බොහෝ වැදගත් වන්නේ ඒ තුළ අපේ දියුණුව හා අභිවෘද්ධිය සැඟව තිබීමට ඉඩ තිබෙන බැවිනි. දක්ෂතා හා කඩඉම්, අධිෂ්ඨානය, පරිත්‍යාගය, නිර්මාණශීලී බව, සහයෝගී බව, කුතුහලය, සහකම්පනය, දිරි දීම, උද්යෝගය, සාධාරණ බව, පවුල, මිත්‍රත්ව, සතුට, අවංක බව, ගෞරවය, නම්‍යශීලීත්වය, නිදහස, විනෝදය, සතුට, සෞඛ්‍යය, හාස්‍යය, බුද්ධිය, කරුණාවන්ත බව, අධ්‍යාපනය හා නායකත්වය යනාදී වශයෙන් මහා දිග ලැයිස්තුවක් දිගහරින්නට අපට පුළුවන.
අප සතුව ඇත්තේ මේවායින් කවර දේ හා සම්බන්ධ අගනාකම් දැයි වටහාගෙන සිටීම අපට බෙහෙවින් වැදගත් වෙයි. ඒ සඳහා අපට කළ හැකි සරල කාර්යයක් වන්නේ අපේ අගනාකම් සටහන් කර තැබීමයි. අගනාකම් ලයිස්තුවක් සටහන් කොට ඒවායින් අප සතු ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්නට අපට පුළුවන.
අප වැඩිමනක්ව අගය කරන පුද්ගලයන් ගැන අවධානය යොමු කිරීම ද අපේ අගනාකම් ගැන අවබෝධයක් ලබා ගැනීමට උදව්වකි. අප යම් තැනැත්තකුට කැමැති වන්නේ ඔහු සතු ඇතැම් ගුණාංග හා අගනාකම්වලට අප ද කැමැති බැවිනි. උදාහරණයක් හැටියට ගතහොත් ඔබ එක්තරා ක්රීඩකයකුට මනාප වෙයි. ඔහුගේ චරිතයට, ඔහුගේ හැසිරීම් රටාවට, ඔහුගේ ක්‍රීඩා විලාසයට කැමැති වෙයි. හාරා අවුස්සා බැලුවත් කැමැති වන්නේ ඔහුගේ සටන්කාමී තරග විලාසයටයි. එයින් ඔබට තේරුම් ගත හැකි වන්නේ තරගකාරීත්වය, ලෙහෙසියෙන් පරාජය භාර නොගන්නා බව වැනි ඔහුගේ අගනාකම් ඔබ සතුව ද තිබෙන බවයි.
තවත් සරල ආකාරයකින් පවසතොත් ඔබේ සැබෑ හැඩරුව ලෝකයට පෙන්වන කැඩපත වන්නේ ඔබ සතු අගනාකම්ය. එය ඔබ ඔබ නිසා අනෙකකු අපහසුවට පත් වීමක් මෙන්ම අනෙකකු නිසා නිසා ඔබ අපහසුවට පත් වීමද වළක්වන සාමාජයී ජීවිතය වඩාත් පහසු කරන දායාදයකි. ඊටත් වඩා එය වැදගත් වන්නේ එය කවරකුගේ වුව පුද්ගල අභිවෘද්ධියටත් මනසුව රැකෙන්නටත් බලපාන්නා වූ බැවිනි.