ජුනි මස 19 යෙදෙන ජාතික පිරිවෙන් දිනය නිමිත්තෙනි
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මාදෝවිට වජිරබුද්ධි හිමි
ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනය සකස් කිරීම සඳහා උපකාරී වූ අධ්‍යාපනයේ මූල බීජය පිරිවෙන බව බොහෝ ජනතාව නොදන්නා කාරණයකි. ක්‍රි.පු තෙවැනි සියවසේ සිදු වු අසිරිමත් මහින්දාගමනය අප රටේ ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික සහ අධ්‍යාපනික විප්ලවයේ සමාරම්භක පියවර වේ. මෙම ආගමනය පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භක අඩිතාලම වු අධ්‍යාපනයේ ප්‍රාරම්භය සටහන් කරන්නක් වේ. මිහිඳු තෙරුන් අප රටට වැඩම කරද්දී මාගධී බසින් තිබු ත්‍රිපිටකය, මාගධී අට්ඨකතා ද රැගෙන ආහ. මිහිඳු තෙරුන් සමසක් පමණ වේදිස නගරයේ වැඩ වාසය කරමින් හෙළ බස හදාරා හෙළ බසින්ම දම් දෙසූ බව මහාවංසාදී මූලාශ්‍රවල සඳහන් වේ.
මහින්දාගමනය සිදු වන සමයේ ඉන්දියාවේ බ්‍රාහ්මීය අක්ෂරවලින් සෙල්ලිපි පෝෂණය වු යුගයකි. මහින්දාගමනයත් සමඟ ලක්දිවට බ්‍රාහ්මී අක්ෂර කලාව ව්‍යාප්ත වු අතර ලක්දිව සිංහල අක්ෂර කලාව වර්ධනය වීමට ද එම බ්‍රාහ්මී අක්ෂර රටාව උපකාරී විය. වෙස්සගිරි, මිහින්තලේ, රිටිගල, තෝනිගල, ආනයික්කුට්ටිකන්ද ආදී ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව එකල ඉන්දියාවේ භාවිත කළ අක්ෂරවලින් බ්‍රාහ්මී අක්ෂර තිස්දෙකක් ලක්දිව භාවිත කළ බව හෙළි විය. මිහිඳු හිමියන් ක්‍රමානුකූලව ශිල්ප ශාස්ත්‍ර සහිත අධ්‍යාපනය සඳහා මං විවර කර ගැනීමට සංඝමිත්තා තෙරණිය සහ මහින්දාගමනය උපකාරී කර ගත්හ. සිරි මහා බෝධි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරද්දී බෝධිභාර කුල වශයෙන් ලක්දිවට කුල ශ්‍රේණි විසි පහක දෙසීය දහයක පිරිසක් පැමිණි බව ග්‍රන්ථවල සඳහන් වේ. දේවතා, ක්ෂත්‍රීය, සිටු, බ්‍රාහ්මණ, කුටුම්භක, වාණිජ, දුණුවා, තරච්ඡ, කුලිංග, කපු, බැලත්ථ, පේෂකාර, කුම්භකාර, ගන්ධකාර, සන්නාලි, අරක්කැමි, ලෝකුරු, සුවණ්ණකාර, වඩු, සිත්තරු, බෙරව, ඡත්තකාර සහ උද්‍යානපාල යන කුල වෘත්තීය ශ්‍රේණි විසි පහෙන් එක කුල ශ්‍රේණියකින් අට දෙනා බැගින් දෙසීය දහයක් අප රටට පැමිණියහ.
මෙම පිරිස් නිසා ලක්දිව පේෂ කර්මාන්ත, වඩු, රන්, රිදී, කුඹල් කර්මාන්තවල විශේෂ දියුණුවක් උදා වු අතර ලංකාවේ කෘෂිකාර්මික ආර්ථික රටාව සංවර්ධනය විය. පසුකාලීනව සාමාජික සහ අධ්‍යාපනික නවෝදයක් කරා පිය නැඟීමට මෙම කුල ශ්‍රේණි පිටිවහලක් වු අතර ගිහි පැවිදි පිරිස ද ක්‍රමයෙන් සංවර්ධනය විය. පාලි අට්ඨකතා සාහිත්‍යයෙන් අනාවරණය වන පරිදි පැවිදි පිරිස් සඳහා "ආරාම" බිහි වු අතර එම ආරාම අධ්‍යාපනයේ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය විය. ඒවාහි ගිහි පැවිදි ශිෂ්‍යයෝ අධ්‍යාපනය හදාළහ. පැවිදි පිරිස් ආරාමික ජීවිතයට අදාළ වත්පිළිවෙත්, විනය සූත්‍ර, අභිධර්ම පිටකය, ජ්‍යොතිෂ්‍යය ආදීය හදාළ අතර ගිහි ශිෂ්‍යයෝ ගණිතය, ලේඛනය, වෙළෙඳාම සහ ගව පාලනය, පේෂ කර්මාන්තය, බට කර්මාන්තය, කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනය ආදී විෂය දැනුම ලබා ගත්හ.
පිරිවෙන් සහ ආරාමික අධ්‍යාපනයේ මීළඟ නවෝදය උදාවන්නේ අනුරාධපුර මහා විහාර, අභයගිරි, ජේතවන යන මූලස්ථාන කේන්ද්‍ර කරගෙන බව ඉතිහාසයේ ප්‍රකට වේ. ඒවායේ සිංහල, පාලි, සංස්කෘත, දමිළ සහ චීන වැනි විදේශ භාෂාද මාධ්‍යය කරගෙන බහු භාෂා භාවිතයක් සිදු විය. මෙම මූලස්ථාන තුනෙන් අනුරාධපුර මහා විහාරය ලක්දිව පළමු ආරාමය වු අතර එහි වාසය කළ භික්ෂුන් මහා විහාර වාංශික ලෙස හැඳින් වූහ. දේවානම්පියතිස්ස යුගයේ ( ක්‍රි.පු. 247 - 207) ආරම්භ වූ මහා විහාරය (ක්‍රි.පු. 101 - 77) යුගයේ උපරිම මට්ටමින් දියුණු විය. ථෙරවාදී භික්ෂුන්ගේ මූලස්ථානය වු මහා විහාරය පිහිටුවීමෙන් පසු ආරාම අධ්‍යාපනයේ සංවර්ධනය උදෙසා කාලපාසාද, සුණ්හාත, දීඝචංකමණ, එලග්ග, මරුගණ යනුවෙන් පිරිවෙන් කීපයක් ද බිහි විය. භික්ෂුන් පිරි වහන තැන හෙවත් ත්‍රිපිටකය සහිත ධර්ම ශාස්ත්‍ර හදාරන ස්ථානය පිරිවෙන නම් විය. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ මහා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ තෙරුන් පවා හෙළ අටුවා පාලි හෙවත් මාගධී භාෂාවට පරිවර්තනය කිරීම පිණිස ලක්දිවට වැඩම කළ කල්හි අනුරාධපුර මහා විහාරයට වැඩම කොට මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදාය ප්‍රගුණ කළ බව මහාවංසය වාර්තා කරයි.
අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ ආරාම අධ්‍යාපනය පොලොන්නරු, දඹදෙණි ආදී යුග පසු කරමින් ආරාමික අධ්‍යාපනය නඟා සිටුවීමට රාජ්‍යය අනුග්‍රහය ලබමින් මෙරට අධ්‍යාපනයට විශිෂ්ට ප්‍රගතියක් එකතු කිරීමට සමත් විය. මහා විහාරය, අභයගිරි, ජේතවන විහාරය සම්බන්ධ භික්ෂූහු ථෙරවාද මෙන්ම මහායාන ධර්මය ද පෝෂණය කරමින් ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ජනිත කිරීමට සමත් විය. ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදාය සහ අධ්‍යාපන ක්‍රමවේද සංවර්ධනය වන විට ලක්දිව භාණක පරම්පරා රැසක් බිහි වු අතර සම්පූර්ණ ත්‍රිපිටකය පවා වනපොත් කළ භික්ෂූහු ආරාම අධ්‍යාපනය නිසා බිහි වුහ. මේ අතර අනුරාධපුර යුගයේ අග භාගයේ ආරම්භ වී පොලොන්නරුව යුගයේ සංවර්ධනය වු අෂ්ට මූලායතන නිසා ආරාම අධ්‍යාපනය කෝට්ටේ රාජධානිය සමයේ ද ප්‍රචලිතව පැවැති බව ඉතිහාසය සාක්ෂි දරයි. මහනුවර රාජධානි සමය දක්වාම ගිහි පැවිදි සියල්ලෝ ආරාම අධ්‍යාපනය ඔස්සේ තම දැනුම සහ වෘත්තීය කුසලතා ප්‍රගුණ කර ගත්තේ ආරාම අධ්‍යාපනය මඟිනි. සිංහල පාලි ග්‍රන්ථ රැසක් බිහි වූ අතර බුදු දහමින් පෝෂිත ගද්‍ය පද්‍ය චම්පු කාව්‍ය ග්‍රන්ථ රැසක් ද අපට දායාද විය. ගෘහස්ථ ජනතාව සතු ශ්‍රද්ධා භක්තිය ඔපවත් වන සේ පැවිදි පිරිස ධර්මානුශාසනා කළ අතර මහනුවර රාජධානි සමයේ එම සම්ප්‍රදාය කඩ වන ආකාරයට ක්‍රියාවන් සම්පාදනය විය. කන්ද උඩරට තුළ කුල භේදය නිසා මහනුවර යුගයේ වලව් පැලැන්තිය නියෝජනය කරන භික්ෂු සමාජයක් බිහි විය. එම පිරිස අඹුදරුවන් පෝෂණය කරමින් තමන් සතු මුදල් රැක ගැනීමට ශාසනය සහ මහනකම පිටිවහලක් කර ගත්හ. පාලි ගාථාවක් අර්ථ ගැන්වීමට දැනුමත් මෙම පිරිසට නොතිබූ අතර සිංහලෙන් ධර්ම දේශනාවක් පැවත්වීමට පවා එම භික්ෂු පිරිසට නොහැකි විය. ගණින්වහන්සේලා යනුවෙන් සමාජයේ සම්මතයට පාත්‍ර වු මෙම දුශ්ශීල සමාගමෙන් ශාසනය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගත් සාමණේර භික්ෂුවක් එකල ශාසනය තුළ වැඩ සිටියේය. ඒ වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණෝ ය. පිණ්ඩපාතයේ වැඩම කරමින් ගිහි පැවිදි ශාසනමාමක පිරිස්වල ප්‍රබෝධයක් උදා කළ සරණංකර හිමියෝ ලෙව්කේ රාල හෙවත් බාලාවතාර නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථය හදාරා මහනුවර නියමකන්ද විද්‍යාස්ථානයෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් සියම් රටින් උපසම්පදාව රැගෙන විත් ශාසනික සහ ආරාම අධ්‍යාපනයේ ප්‍රබෝධයක් උදාකර ලීමට හුදකලා සටන් කර ජයගත් මහාවීර බුද්ධ පුත්‍රයෙකි. ඉක්බිති ක්‍රමානුකූලව සබරගමුව සහ වයඹ පළාත් ආශ්‍රිතව විහාර පරම්පරා ඔස්සේ ලක්දිව සඟ පරපුර සංවර්ධනය වු අතර ලක්දිව පුරාම සිල්වත් බහුශ්‍රැත භික්ෂු පිරිස් ස්වල්පයක් වැඩ සිටියහ. අලුත පැවිදි වන පිරිසට ශාසනික වත් පිළිවෙත්, පාලි භාෂාව ආදිය ප්‍රගුණ කර දීමට වලානේ සිද්ධාර්ථ නාහිමියෝ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන පිහිටු වීය. එහි ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කළ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ 1873 වර්ෂයේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පිහිටු වූහ. 1875 වර්ෂයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවීමට ක්‍රියා කළේ රත්මලාන ශ්‍රී ධම්මාලෝක සහ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමිවරු විසිනි. ස්ථාන දෙකෙහි ත්‍රිපිටක ධර්මය හා ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කළ සියම් අමරපුර රාමඤ්ඤ නිකායේ මහා යතිවරු ලක්දිව විවිධ පළාත්වල ශාඛා ප්‍රශාඛා පිරිවෙන් ස්ථාපිත කරමින් පාරිවේණික අධ්‍යාපනය විධිමත් කළහ.
නුතන අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ උපදෙස් මත ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවට විධිමත් අධ්‍යාපනයක් ලැබෙන පරිදි පාරිවේණික අධ්‍යාපනය සකස් කර ඇත. 1904 දී ස්ථාපිත ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සංගමය විභාග පරීක්ෂණ නිසා සිංහල පාලි සංස්කෘත ආදී භාෂාවල අභිවර්ධනය ද උදාකරලීමට පාරිවේණික අධ්‍යාපනය සමත්වී ඇත. ලක්දිව පිහිටි ක්‍රියාකාරී පිරිවෙන් සංඛ්‍යාව අටසිය විසි හතරකි. මෙම පිරිවෙන් සියල්ල මූලික පිරිවෙන් මහා පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යන කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කර ඇත. එයට අමතරව ලක්දිව භික්ෂුණි සහ දස සිල් මාතාවන්ගේ ධර්ම ඥානය පෝෂණයට අදාළව භික්ෂුණි අධ්‍යාපන ආයතන කිහිපයක් ද ස්ථාපිත කර ඇති අතර එය පාරිවේණික සහ ආරාම අධ්‍යාපනයේ සුවිශේෂී පියවරකි. අනුරාධපුර පැරණි ආරාම අධ්‍යාපනය තුළ දහස් ගණන් භික්ෂු භික්ෂුණීන් අධ්‍යාපනය හදාළ බව අපේ අට්ඨකථා සාහිත්‍යයෙන් ද අනාවරණය වේ. මේ අනුව හත්දහස් පන්සියයක් පමණ ගිහි පැවිදි ආචාර්ය වරුන්ගේ අධීක්ෂණයෙන් 50,000 කට නොවැඩි ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව පාරිවේණික අධ්‍යාපනයේ නිරත වෙති.
විශේෂයෙන් සම්බුද්ධ ශාසනය දිනෙන් දින බබළ වන්නේ සිල්වත් ගුණවත් බහුශ්‍රැත ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණීන් නිසාවෙනි. සම්බුදු දහම බබළන්නේ ද විවෘත සාකච්ඡාවලට විෂය වීමෙන් පමණි. මෙම කරුණු කාරණා සියල්ල සම්පූර්ණ කරමින් විෂයානුබද්ධ දැනුම සහ ආකල්පවලින් පරිපූර්ණ ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීමට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හිමියන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරු දිවා රාත්‍රි ඇපකැප වී ක්‍රියා කරති. පිරිවෙන් භාරව කටයුතු කරන කෘත්‍යාධිකාරී පරිවෙණාධිපති හිමිවරුන්ගේ අභිප්‍රාය ද තම පාරිවේණික මධ්‍යස්ථාන ඔස්සේ සම්බුද්ධ ශාසනයට වැඩදායක භික්ෂු - භික්ෂුණී පිරිසක් මෙන්ම රටට වැඩදායක ගුණ නැණ බලෙන් යුතු ගෘහස්ත ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කරලීම ය. සදාකාලික නොවෙනස්වන කිසිවක් ලොව නොමැත පිරිවෙන් අධ්‍යාපනයේ ද එසේය. විවිධ බාධක කම්කටොලු මැද පාරිවේණික අධ්‍යාපනය වර්ෂ දෙදහස් තුන්සියකට වැඩි කාලයක් තුළ විකාශනය වී ගිහි පැවිදි පඬිවරු රැසක් සසුනට ජාතියට දායාද කර තිබේ. විද්‍යෝදය විද්‍යාලංකාර මහා පිරිවෙන් දෙක නිසා ජාතික විශ්වවිද්‍යාල දෙකක් ද රටට දායාද වී තිබේ. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයයි.
ශාසනික සහ ධර්ම ශාස්ත්‍රිය පරිහානියෙන් ශාසනය සහ භාෂා ශාස්ත්‍ර ආලෝකය උදා කරමින් අඳුර දුරලු මහනුවර යුගයේ වැඩ විසු වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ නිකායත්‍රයේම ගරු බුහුමනට පාත්‍රව වැඩ විසූහ. එකල ස්ථාපිත මල්වතු අස්ගිරි උභය මහ විහාර ද නිකායත්‍රයේ අභිවෘද්ධියට දායද විය.
එම නිසා ලක්දිව අවසන් සංඝරාජ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජන්ම දිනය සිදු වූ දින ජාතික පිරිවෙන් දිනය ලෙස ගිහි පැවිදි ජනතාවද පාරිවේණික ප්‍රජාව ද සදා අනුස්මරණීයව සිහිපත් කිරීම කෘතවේදීත්වය පිළිබිඹු කරන සාධකයකි. ත්‍රිපිටක ධර්මය, අටුවා ටීකා, පාලි භාෂාව සහිත පෙරදිග භාෂා සහ සමස්ත බෞද්ධ සාහිත්‍ය රැකබලා පෝෂණය කිරීමේ ගෞරවය පිරිවෙන් අධ්‍යාපනයට හිමි සුවිශේෂී වරප්‍රසාදයක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි.