ඉහළ ගිය දුරකතන මිල පහළට ආවේ මෙහෙමයි | සිළුමිණ

ඉහළ ගිය දුරකතන මිල පහළට ආවේ මෙහෙමයි

- රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් ජංගම දුරකතන වර්ගවල දැනට ඇති මිල ගණන් 20 % කින් පමණ අඩු කිරීමට ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයෙන් තීරණයක්
- ලොකු මිල පරාසයකින් අඩු වීමක් පෙන්නුම් කරන්නේ වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි වූ දුරකතන මාදිලි
- ඩොලරයේ අගය දුර්වල වීමෙන් ජංගම දුරකතන වෙළෙඳපොළ යළි සක්‍රිය වෙයි
- පසුගිය කාලයේදී මෙරට ජංගම දුරකතන අලෙවිය 40% කින් පමණ කඩා වැටීමට ලක් වුණා

න්නිවේදන කටයුතු සදහා මේ වන විට භාවිත කරනු ලබන ප්‍රමුඛතම උපාංගය වන්නේ ජංගම දුරකතනයයි. ජංගම දුරකතන ලොවට හදුන්වා දුන් මුල් කාලයේදී එය හුදෙක් ඇමතුම් ලබා ගැනීමට පමණක් සීමා වුවත් මේ වන විට එය අතිශය නවීන සන්නිවේදන මෙවලමක් බවට පත්වී ඇත්තේ දුරකතන භාවිත කරන්නන්ගේ දෙනික ජීවිතය හසුරුවන ගමන් සගයා බවට ද පත් වෙමිනි.

ලොව පුරා ජනතාව ඉතාම වේගයෙන් ඩිජිටල්කරණය සමඟ මුහු වී ඇති පසුබිමක එම ජනතාවගේ විවිධ වූ අවශ්‍යතා පහසුවෙන් සපුරාලීම උදෙසා ස්මාර්ට් ජංගම දුරකතන විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබේ. පැහැදිලි ලෙසම අන්තර්ජාල භාවිතය සඳහා ස්මාර්ට් ජංගම දුරකතන ඉමහත් දායකත්වයක් ලබා දී ඇති අතර, අද වන විට අන්තර්ජාලය සමඟ ඉතාම පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කිරීමට අප රටේ පමණක් නොව ලොව පුරාම ජනතාව පෙලඹී ඇත. 

මෙරට ජනතාවගේ ජංගම දුරකතන භාවිතය පිළිබඳ විමසා බැලීමේදී බොහෝවිට එක් පුද්ගලයකු සතුව ජංගම දුරකතන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්තා අනුව පැහැදිලි වේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවල සඳහන් වන්නේ ද මෙරට සමස්ත දුරකතන ඝනත්වය (පුද්ගලයන් 100 කට ඇති සම්බන්ධතා ප්‍රමාණය ) 161.1%ක් වන බවයි.

කෙසේ වුවත් පසුගිය කාල වකවානුව තුළ රටේ ආර්ථික වර්ධනය ආපස්සට හැරවූ විදේශ විනිමය මුදල් හිඟවීමේ ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජංගම දුරකතන වෙළෙඳපොළ ශීඝ්‍ර පසුබෑමකට ලක් වූ අතර, ඒ හේතුව නිසාම විවිධ වර්ගයේ ජංගම දුරකතන හා උපාංග මිල ගණන් ද අසාමාන්‍ය අයුරින් ඉහළ ගොස් තිබුණු බව නිරීක්ෂණය විය. මේ මිල ගණන් ඉහළ යෑම හමුවේ ජංගම දුරකතන අලෙවියේදී වෙනදා දක්නට ලැබුණු ප්‍රබෝධමත් භාවය දක්නට නොලැබීම විශේෂත්වයක් විය.

මේ අතර ඉකුත් වසරක පමණ කාලය තුළ රුපියලේ අගය වේගයෙන් පහළ දමමින් ශක්තිමත් වුණු ඩොලරයේ අගය පසුගිය දිනවලදී යළිත් දුර්වල වෙමින් තිබුණු අතර, එම තත්ත්වය ජංගම දුරකතන වෙළෙඳපොළ යළි සක්‍රිය වීම සඳහා පැහැදිලි උත්තේජනයක් ලබා දුන්නේය. ඒ සමඟ ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කරන ලද්දේ රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් ජංගම දුරකතන වර්ගවල දැනට ඇති මිල ගණන් 20% කින් පමණ අඩු කිරීමටය.

එලෙස මිල ගණන් අඩු වීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම සඳහා එම සංගමය පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වූ අතර, එහිදී ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යළිත් වතාවක් රුපියල ශක්තිමත් වීමේ ආර්ථික පරිසරය තුළ ජංගම දුරකතනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවය. 

"දැනට පවතින වටාපිටාව තුළ අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන විවිධ වූ වර්ගවල ජංගම දුරකතන අලෙවි කරන මිල මෙලෙස පහත දැමීමට අප තීරණය කර තිබෙනවා.

විදේශ රටවලින් දුරකතන ආනයනය කර අලෙවි කරන ආයතන 150ක් පමණ අප රටෙහි ක්‍රියාත්මක වෙනවා. එම ආයතන මඟින් ජනප්‍රිය මාදිලිවල දුරකතන වර්ග රැසක් මෙරටට ආනයනය කරන අතර, iphone, Samsung, Huawai, Oppo, TCL, Tecno,Vivo,, ZTE, Infinix, Motorola, Nokia, OnePlus, Cat, Honor, Sony යන දුරකතන මාදිලි ඒ අතර ප්‍රධාන වේ.

"පසුගිය කාලයෙහි පැවැති වෙළෙඳපොළ තත්ත්වය හමුවේ රුපියල් 225,000කට පමණ අලෙවි වූ ඇපල් අයිෆෝන් 14 ජංගම දුරකතනයක් නව මිල ගණන් අනුව රුපියල් 175,000 පමණ දක්වා අඩු වෙනවා. එය 28% ක පමණ මිල අඩු වීමක්. ඒ වගේම අනිත් දුරකතන මාදිලිවල මිලත් ඩොලරයේ දුර්වල වීමට සාපේක්ෂව අනිවාර්යයෙන්ම අඩු වෙනවා. විශේෂයෙන්ම ලොකු මිල පරාසයකින් අඩු වීමක් පෙන්නුම් කරන්නේ වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි වූ දුරකතන මාදිලියි."

වැඩිදුරටත් අදහස් දැක්වූ ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ මිල ගණන් ඉහළ ගොස් තිබූ පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙරට ජංගම දුරකතන අලෙවිය 40% කින් පමණ කඩා වැටීමට ලක්වී තිබූ බවයි.ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වීම එම කඩා වැටීමට හේතුව බව ද අවධාරණය කළ ඔහු එවැනි අවස්ථාවලදී දුරකතන මිල වැඩි කිරීමට ක්‍රියා කළ පරිද්දෙන්ම රුපියල ශක්තිමත් වූ අවස්ථාවේ එහි වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දිය යුතු බවද සදහන් කළේය. කෙසේ වුවත් ඉදිරියේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය යළි වැඩි වුවහොත් මෙලෙස පහත දැමූ මිල ගණන් යළි වෙනස් විය හැකි බව ද ඔහු අනාවරණය කළේය.

Comments