
පාන්දර හතරේ කණිසම වදිනු ඇසේ. ඇස් ඇර ගන්නට බැරි නිදිමත, තවත් විනාඩි දහයක් හෝ ඇඳේ ගුළි වී ඉන්නට හිත කම්මැළි කරයි. ඒත් මෙතැනින් එහා එක විනාඩියක් හෝ එසේ නිදන්නට ලක්ෂිට පුළුවන්කමක් නැත. උදේ හතට කොළඹ ඉන්න නම් 4.45ට වත් දෙවුන්දරින් පිටත් විය යුතුය. 7.30 වන විට කොළඹ කොටුවෙන් බහින අන්තිම කෙනාත් බැස්සවිය යුතුය.
මේ හිමිදිරියේ උණුසුම් කිරි තේ කෝප්පයක් බීමේ වුවමනාව තිබුණත්, ඉන් පසු මහමඟ දී මතු විය හැකි අවශ්‍යතා නිසා ඈ තේ කෝප්පයේ ආසාව අමතක කර දමයි. ඇඳෙන් බැස, වතුර උගුරු දෙක තුනක් බී, මුහුණ කට සෝදා හැඳ පැලඳ කළුවරේම සැමියා සමඟ බස් පාරට ගමන් කරයි.
දික්වැල්ල, වලස්ගල සහ රදම්පල සිට හැමදාමත් රස්සාවට කොළඹ යන කාණ්ඩය එකතු කරගෙන දෙවුන්දරට එන ඩ්‍රයිවර් මල්ලී, එතැන් සිට කොළඹ බලා යන්නට ඒ සද්දන්ත බස් රථය නිලානි අක්කාට බාර දෙයි.
හේවා හල්පගේ ලක්ෂි සචින්තා නොහොත් ක්ෂේත්‍රයේ කාගෙත් නිලානි අක්කා, එතැන් පටන් මාතර කොළඹ අධිවේගයේ 100 - 110 වේගයට, 51 දෙනකු රැගත් සිය අධි සුඛෝපභෝගී බස් රථය පදවාගෙන හැල්මේ කොළඹ එයි. එසේ දිනපතා අධිවේගී මාර්ගයක දැවැන්ත සුඛෝපබෝගී බස් රථයක් පදවාගෙන යන මෙරට එකම කාන්තාව ඇයයි.
ඒ අත්දැකීම වෙනම ම එකක් බව ලක්ෂි සචින්තා නොහොත් නිලානි පවසන්නීය.
"පොදු මගී ප්‍රවාහන සේවයට වඩා කාර්යාල ප්‍රවාහනය වෙනස්. මොකද, හැමදාම යන්නේ එකම කණ්ඩායමක්. ඒ නිසා හැමෝම තුළ තිබෙන්නේ සාමුහික හැඟීමක්. මගේ බස් එකේ යන බහුතරය බැංකු නිලධාරීන්. වෛද්‍යවරු, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරු, නිලධාරීන්, නීතිඥවරු, වරායේ නිලධාරීන් ඇතුළු සමාජයේ යම් තරමක රැකියාවල නිරත අය. ඇත්තටම එහෙම නොවන කෙනකුට ඒ බස් ගාස්තුව ගෙවන්න අමාරුයි. මේ හැමෝම යමක් දරන්න පුළුවන් උදවිය."
ඇගේ බස් ජීවිතයට දැන් දශක දෙකකට වඩා වැඩි මිස අඩු නැත. වැටීම්, නැඟීම් ඒ කාලය තුළ ඕනෑ තරම් විය.
හයිවේ පර්මිට් එක මුලින්ම ලැබුණේ මගේ අයියට.
"නංගි මට පර්මිට් එක හම්බ වුණා. ඔයා බස් එක අරන් යනවද?"
"අයියා එදා මගෙන් අහපු දවසේ මගේ ඉහේ මලක් පිපුණා වගේ. මං පැනලා 'හා' කිව්වා. එතැන් පටන් අවුරුදු දෙකක් මම හයි වේ එකේ අයියගෙ බස් එක, මාතර-මහරගම දිව්වා.
පුංචි කාලේ ඉඳලා මම හැදුණේ වැඩුණේ බස් පරිසරයක. තාත්තගේ 'නිලානි මෝටර්ස්' ගරාජ් එකේ හැදුවේ බස් විතරයි. තාත්තගේ 'නිලානි බස්' තංගල්ල මාතර සහ කොළඹ මාතර දිව්වා. ඒ කාලයේ මාතර පහළ පීක්වැල්ලේ 'නිලානි ට්‍රාන්ස්පෝර්ට්' තාත්තා ගේ ව්‍යාපාරය හරි ප්‍රසිද්ධයි. ඒ නිසා ක්ෂේත්‍රයේ හුඟක් අය හිතුවේ ලොකු දුව නිසා මගේ නම තමයි, නිලානි කියන්නේ කියලා.
අයියට පස්සෙ මම. මට බාල මල්ලිලා දෙන්නෙක් සහ නංගියෙක්. දැන් නිලානි මෝටර්ස්' ගරාජ් එක කරන්නේ අයියා. ගෙදර ගරාජ් එක නිසා පොඩි කාලේ ඉඳලම බස් ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. මාතර සුජාතා විද්‍යාලයේ උසස් පෙළ කළාට පස්සෙ මම බාහිර උපාධිය කළා. ඊට පස්සේ තාත්තගේ බිස්නස් එකට සම්බන්ධ වුණා. මගේ මල්ලි මට වඩා අවුරුදු 15ක් බාලයි. නංගිත් හුඟක් පොඩියි. මල්ලිව මොන්ටිසෝරි දාන්නයි, නංගිව ඉස්කෝලේ දාන්නයි වෑන් එකේ අරන් ගියේ මම. ඒ යද්දි අහල පහළ ළමයිනුත් එකතු වුණා. අන්තිමේ ඒක ස්කූල් වෑන් එකක් බවට පත් වුණා.
අවුරුදු එකොළහක්ම මම ඒ පාසල් ප්‍රවාහන සේවය කළා. ළමයි වැඩි වෙද්දී journey බස් එකක් ගත්තා. අවුරුදු 19 ඉඳලා මම බස් එළවපු මං මේ වෙද්දී අවුරුදු 23ක්ම බස් එළවා තිබෙනවා. ඒකෙන් අවුරුදු නවයක් ම හයිවේ එකේ..."
අධි සුඛෝපභෝගී දැවැන්ත බස් රථයක් පොදු මඟී ප්‍රවාහනයේ යෙදෙනවා වෙනුවට, මෙයාකාරයෙන් කාර්යාල සේවා ප්‍රවාහනයේ යෙදෙන්නේ ඇයි දැයි කෙනකුට සිතෙන්නට පුළුවන.
ඊට හේතුව ගමනාගමන කොමිෂන් සභාවෙන් වූ අසාධාරණයක් බව ඈ පවසයි.
" මම හයිවේ එකේ අයියගෙ බස් එක ගෙනියපු කාලේ, එවකට ගමනාගමන කොමිෂන් සභාවේ සිටි සභාපතිතුමා බස් නැවතුමේදී මාව දැකලා කිව්වා, මට හරි සතුටුයි, ලංකාවටම මෙහෙම කාන්තාවක් ඉන්නේ ඔයා විතරයි.
අපි ඔයාට හයිවේ පර්මිට් එකක් දෙන්නම් ඔයාගෙම බස් එකක් ගේන්න..." කියලා. මගේ සතුට කියලා නිම කරන්න බැරි වුණා. ඒ වෙනකොට මම ඉතිරි කරලා තිබුණු සල්ලි ටිකයි, තාත්තගේ වාහනයක් ලීස් කරලා ගත්තු සල්ලියි දාලා, මම එක් කෝටි විසිහය ලක්ෂයකට මේ අධි සුඛෝපභෝගී බස් එක ගත්තා. ගෙනාවට පස්සේ මාස තුනක් ගියා. පර්මිට් එක දුන්නේ නැහැ.
බස් එක ගෙදර. මාසෙට 260,000 ගාණේ වාරික එකතු වුණා. ගෙවා ගන්න විදියක් නැති වුණා. ඉස්සරහා එන්ජිම තියෙන්නේ කියලා වෙලාවකට කිව්වා. තව වෙලාවකට තවත් හේතු කිව්වා. හැබැයි ඉස්සරහ එන්ජින් තියෙන බස් අදත් ඕනෑ තරම් හයිවේ දුවනවා. මම ඒ සභාපතිවරයාගේ වචනය විශ්වාස කරලා අමාරුවේ වැටුණා. අම්මා තාත්තා අයියා මේ හැමෝම මං ගැන දුක් වුණා. අන්තිමේ අයියා කිව්වා,
"මේක හරියන්නෑ නංගි. ඔයා කාර්යාල ප්‍රවාහනයවත් පටන් ගන්න. හයිවේ එක නිසා උදේ හවස කොළඹ යන ඔෆිස් කට්ටිය හොයා ගන්න බැරි වෙන එකක් නැහැ." කියලා.
ඇත්තටම මුලින් හිටියේ හත් දෙනයි. අතින් පාඩුවට තෙල් ගහගෙන කොළඹ ගිහින් ආවා.
හැබැයි මාස දෙක තුන යනකොට කටින් කට ගිහින් බස් එක පිරෙන්න සෙනඟ එකතු වුණා. කොළඹ බෝඩින් වෙලා හිටපු අය ඒ ලට්ට ලොට්ටත් මගේ බස් එකේම පටවා ගෙන ගෙවල්වලට අරගෙන ආවා. ගෙවල්වල ඉඳන් උදේ හවස මගේ බස් එකේ කොළඹ ගියා.
110ක් මගේ බස් එකේ කොළඹ ගිය කාලයක් තිබුණා. මාතර ඉඳන් 30 දෙනෙක්ම කොළඹ අලුත්කඩේ උසාවියට ආවා. අද ඒ තිස් දෙනාම යන්නේ කෝච්චියේ. පවතින ආර්ථිකයත් එක්ක හුඟ දෙනෙක් මගේ බස් එකෙන් ගිලිහුණා. කෝච්චියට මාරු වුණා. දැන් මගේ බස් තුනෙන් එක බස් එකක් නිකම්ම ගෙදර. සෙනඟ නැති වීම නිසා ලීසිං ගෙවමින් නඩත්තු කරන්න වෙලා.
මට තිබෙන ලොකුම ප්‍රශ්නය හයිවේ යන නිසා නිතරම ටයර් යන එක. එක ටයර් එකක් රුපියල් පනස් පන්දාහක්. ඇත්තටම ලංකාවේ අවුරුදු 9ක් තිස්සේ හයිවේ එකේ අධි සුඛෝපභෝගී බස් එකක් පදවන කාන්තාවකට ඉන්නේ මම විතරයි නම්, ඇයි මට පර්මිට් එක දෙන්න බැරි? ඒත් මාව කාටවත් පේන්නේ නැහැ.
උදේට ඔෆිස් කට්ටියව බැස්සුවාට පස්සෙ මම ඉන්නේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිට රථ ගාලේ.
දවසම බස් එක ඇතුළට වෙලා ඉන්න අපහසු නිසා, ප්‍රවාහන අමාත්‍යාංශයේ විවේක කාමරය පාවිච්චි කරන්න එතැන මැඩම් අවසර දී තිබෙනවා. ඇත්තටම කාන්තාවක් විදියට මට ඒක ලොකු සහනයක්. නැත්නම් හවස ආපහු ඔෆිස් කට්ටියව ගන්න කල් මට බස් එක ඇතුළටම වෙලා තමයි ඉන්න වෙන්නේ..."
ගැහැනුකම තුළ ඇති අපහසුතා රැසක් දරාගෙන ඇය කරන්නේ රැකියාවක් ම නොවේ.
"සමහර වෙලාවට මට හිතෙනවා, බස් එක මට වඩා කොච්චර ලොකුද? බස් එකට වඩා මම කොයි තරම් පුංචිද? ඒත් මම මේක එළවනවා නේ.. කියලා. ඒ වෙලාවට නම් මට මං ගැන පුංචි ආඩම්බරයක් දැනෙනවා.
මට ඉන්නේ දුවයි පුතයි. මං ආසයි මගේ දුව කවදා හරි ප්ලේන් එකක් එළවනවා දකින්න. මේ සියලු දුක් කරදර අස්සේ ඒ තමයි මගේ එකම සිහිනය..."
ඡායාරූප- වාසිත පටබැඳිගේ