ජීවිතේට ආදරේ අත්‍යවශ්‍ය දෙයක් | සිළුමිණ

ජීවිතේට ආදරේ අත්‍යවශ්‍ය දෙයක්

- අවස්ථා මඟ හරින්න මම සූදානම් නෑ
- සීමා තියාගන්න තරම් අවස්ථා ලැබෙන්නෙ නෑ

Inter නැෂනල්-2 හි ‘හුංගි ’ කාටද අමතක. හුංගි කටකාර කෙල්ලකගේ චරිතය රඟපාපු තිලිණි ජයමාලි ජයසේන නැවතත් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත්. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන අසංක සායක්කාරගේ Sixpac හි මල්ෂා ලෙසින්. තිලිණි ජයමාලි කවදත් ජනප්‍රිය ධාරාවේ ස්වරූපයෙන් වෙනස් වුණ රංගන හැකියාවක් හා රුවකට උරුමකම් කියන තරු ලක්ෂණවලට වඩා චරිතාංග රංගන ශිල්පිනියක් සතු ලක්ෂණ දැකිය හැකි නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. අද සොඳුරු කතාබහ ඔබ ආදරේ කරන Sixpac හි මල්ෂා එහෙමත් නැත්නම් තිලිණි ජයමාලි සමඟ...

මේ දවස්වල මොකද වෙන්නේ? 

අසංක සායක්කාර අයියා තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරන Sixpac නාට්‍යය එක්ක සහ ජනක් ප්‍රේමලාල් මහතාගේ “ආඬි හතයි කැඳ හැළියයි“ කියන වේදිකා නාට්‍යයේ වැඩ කටයුතු කරනවා. වෙන නිර්මාණ නම් අඩුවෙන් භාරගත්තේ.

ඇයි ඒ?

මේ ගත වෙන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් මාසය. ඒ නිසා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විභාගයට මුල් තැන දීලා කටයුතු කරන කාලයක්.

ඔබට Sixpac හි මල්ෂා වෙන්න ලැබුණේ කොහොමද?

සායක්කාර අයියාව මම මුලින්ම අඳුන ගන්නේ වේදිකා නාට්‍ය හරහා. ඒ නිසා Sixpac නාට්‍යය පටන් ගන්න කලින් ඉඳලම කිවුවා මෙහෙම නාට්‍යයක් කරනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඊට පස්සේ මේ චරිත හය තෝරන්න වර්ක් ෂොප් එකක් තිබුණා. මම ඒකටත් සහභාගි වුණා. එතැන ළමයි 20 - 25ක් වගේ හිටියා. හය දෙනාම එතැනින් තෝරා ගන්න තමයි මුලින් තීරණය කරලා තිබ්බේ. අවසානයේ මම විතරයි ඒ හය දෙනා අතරට තේරුණේ.

මල්ෂා කියන්නේ කොහොම චරිතයක් ද?

නුවර ඉඳන් කොළඹ ආව අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් උගත් මට්ටම වැඩි දියුණු කර ගන්න උත්සාහ කරන චරිතයක්. ඒ හැර සමාජීය වශයෙන් තියෙන දැනුම අඩුයි. හැමවෙලේම දැනුමෙන් උත්තර දෙන්න තමයි බලන්නේ. නමුත් සහෝදරත්වය ආදරණීය බව කියන හැම දෙයක්ම ගමෙන් ආව තරුණියක් විදිහට ඈ සතුයි. අර අපි ගමේ කෙල්ලෙක් දකින වෙන රූපයක් තියෙනවනේ. අන්න ඒ රූපය මවන්න තමයි සායක්කාර අයියා උත්සාහ කරලා තියෙන්නේ. මමත් ඒ මල්ෂාට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

මල්ෂාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. පාරේදී දැක්කම වුණත් Sixpac හි මල්ෂා නේද කියලා කතා කරන අවස්ථා තියෙනවා. ගොඩක්ම මම ප්‍රතිචාර දකින්නේ නම් යූ - ටියුබ් එක හරහා. නාට්‍යය බලලා දාලා තියෙන කමෙන්ට්ස් තුළින්.

කාලෙකට කලින් ‘හුංගි’ කියන චරිතයෙන් තමයි ජයමාලි ප්‍රේක්ෂකයින් අතරට ආවේ, මේ ආව ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ

Inter නැසනල්-2 හි තමයි ‘හුංගි’ හිටියේ. ඒකත් සායක්කාර අයියාගේම පිටපතක්. අධ්‍යක්ෂණය කළේ සුජීව ප්‍රියාල් අයියා. ‘හුංගි‘ කියන චරිතය අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. ඒ එක්කම ‘හුංගි‘ සහ ‘මල්ෂා‘ කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ‘හුංගි‘ චරිතයෙන් පස්සේ මට ගොඩක් නිර්මාණ වලට අවස්ථාව ලැබුණත් විශ්වවිද්‍යාල කටයුතු එක්ක ඒ දේවල් කර ගන්න බැරි වුණා. කොහොම හරි මල්ෂා කියන චරිතය ලැබීමත් එක්ක හුංගිට ආදරේ කරපු අයත් මල්ෂාව හොඳින් භාරගෙන තියෙනවා කියන එක ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා. ඒ ගැන නිහතමානි සතුටක් තියෙනවා.

මල්ෂා සහ ජයමාලි අතර සමානකම් තියෙනවද?

අනිවාර්යයෙන් ගොඩක් සමානකම් තියෙනවා. සෙට් එකේ රඟපාද්දී මම මොනවා හරි කිවුවොත් දැන් මල්ෂා ද කතා කරන්නේ ජයමාලි ද කතා කරන්නේ කියලා හොයාගන්න බැහැ කියලා අපේ කෘෘ එකේ අයත් කියනවා. අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ තමන්ව චරිතය තුළින් නොපෙන්වා ඉන්න. මල්ෂා තුළින් ජයමාලිව පෙනිලා වැඩක් නැහැ කියලා මම හිතන්නේ. නමුත් මමත් ගමෙන් ආව කෙල්ලෙක්. මමත් ඔහොම ගැහැනු ළමයි, පිරිමි ළමයි ඉන්න බෝඩිම්වල ජීවත් වෙලා තියෙනවා. ඒ හා සමාන අත්දැකීම් තියෙන නිසා මගේ ජීවිතෙත් තියෙනවා. නමුත් බෝඩිමකට එහා ගිය එකක් නාට්‍යය තුළ තියෙන්නේ. ඒ නිසා බෝඩිමක් කිවුවොත් වැරැදියි. ඒක ගැහැනු ළමයි පිරිමි ළමයි ඉන්න සාමාන්‍ය ගෙදරක්. බෝඩිමක ස්වභාවය එතැන නැහැ. ඒක එක පවුලක්. ඒ පවුල ඇතුළේ අපි කොහොමද හැසිරෙන්නේ කියන එක තමයි Sixpac තුළින් ප්‍රේක්ෂකයාට අරන් එන්නේ.

ජයමාලිට රංගනය තුළ සීමාවන් තියෙනවද?

සීමාවන් නැතුවම නෙවෙයි. නමුත් සීමාවන් පනවාගෙන තෝරා ගන්න තරම් අපිට නිර්මාණ ලැබෙනවා අඩුයි. ලැබෙන්නේ මොන චරිතයද, ඒ චරිතය මගේ මට්ටමින් කරන්න පුළුවන් ද කියන එක බලලා, මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම ඒ අවස්ථාව මඟ හරින්න සූදානම් නැහැ. මොකද එහෙම තෝරාගෙන ස්ටඩි කරලා කරන්න තරම් නිර්මාණ නැති නිසා තෝරන්න දෙයක් නැහැ.

පෞද්ගලික ජීවිතේ ගැන කතා කරොත්, ආදරේ දකින්නේ කොහොමද?

ජීවිතේට ආදරේ අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම දකින්නේ. ඒක ගැහැනු ද පිරිමිද කියන එක අදාල නැහැ. හැම කෙනෙක්ටම අත්‍යවශ්‍යයි. ආදරේ එක්ක අපි ජිවිතේ තීරණ ගන්න අවස්ථා තියෙනවා. අපිට තියෙන ආදරේ ශක්තිමත් නම් හොඳ තීරණ ගන්න පුළුවන්. ආදරේ නැති මනස හරි ව්‍යාකූලයි. ඒ නිසා මම හිතනවා හැමෝටම ආදරයක් තියෙනවා නම් මානසික සුවෙන් ඉන්න පුළුවන් ශක්තිමත් ආදරයක් වෙන්න ඕනේ.

එහෙම ශක්තිමත් ආදරයක් ජයමාලිට තියෙනවද?

තියෙනවා. ඒ ගැන විස්තර පසුව කියන්නම්.

Comments