
- හොඳ නිර්මාණකරුවෙක් හැටියට සමාජය මාව පිළිගන්නවට මම කැමැතියි
- හැම මනුස්සයෙක්ටම හොඳ රසවින්දනයක් ලබා දීම තමයි ලංකාරේ කියන ප්‍රසංගයේ අරමුණ
2018 වසරේ ඕස්ට්‍රේලියාවේදී සංවිධානය කර තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ හා සමගාමීව පැවති ජන සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්නට වරම් හිමිකරගත් ඔහු සමන් ලෙනින්. රාජ්‍ය සහ අන්තර්ජාතික මට්ටමින් සම්මාන උලෙළ කීහිපයකදීම හොඳම ගායකයා වශයෙන් සම්මානයට ප්‍රාත්‍ර වීමට තරම් භාග්‍යවන්ත වූ මොහු මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත “ලංකාරේ ”ප්‍රසංගය වෙනුවෙන් තරමක කාර්‍යබහුල වී සිටින අතර තුර රසඳුන අප සමඟ කතා බහට එක් වුණේ මෙලෙසින්.
ඇත්තටම කවුද මේ සමන් ලෙනින් කියන්නෙ ?
සමන් ලෙනින් කියන පුද්ගලයා බාහිරින් සරලයි වගේ පෙනුණට ඇත්තටම තරමක් සංකීර්ණ චරිතයක්. මම කැමති හොඳ නිර්මාණකරුවෙක් හැටියට සමාජය මාව පිළිගන්නවට. ඒ වගේම මම කලාකරුවන් අතරත් විශිෂ්ඨ කලාකරුවෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්.
මේ දවස්වල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?
මේ දවස්වල මමත් මගේ බිරිඳ නිලක්ෂි හැල්පිටියත් දෙන්නම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් වෙනුවෙන් සූදානම් වෙනවා. මේ වෙද්දි අපි ඉන්නේ ඒ ප්‍රසංගය පැවැත්වීමට නියමිත රටේ. ඒ කියන්නේ ඕස්ට්‍රේයාවේ. ප්‍රසංගයේ වැඩ කටයුතුත් එක්ක අපි මේ දිනවල කාර්යයබහුල වෙලා ඉන්නවා.
“ලංකාරේ ” මොකද්ද මේ ඔබේ අලුත්ම වැඩකටයුත්ත ?
ලංකාරේ සංදර්භය ගැන කතා කළොත් වර්තමානය වෙනකොට අපේ කලාකරුවෝ රසවින්දනය වෙනුවෙන් පුරුදු කරපු මානසික තත්ත්වයන් ටිකක් තියනවා. ඒවත් එක්ක රසිකයන්ගේ රසවින්දන රටාවන් හීනවෙලා. නිර්මාණයක් එළිදැක්වීමේ අවසන් ඵලය වියයුත්තේ ඔළුගෙඩි ගාණ වැඩි කරන එක නෙමෙයි කියන තැනයි මම ඉන්නේ. ඒ නිසා හැම මනුස්සයෙක්ටම හොඳ රසවින්දනයක් ලබා දීම තමයි ලංකාරේ කියන ප්‍රසංගයේ අරමුණ. විශේෂයෙන්ම අපේ ඉතිහාසය, සංස්කෘතිය, ස්ත්‍රීත්වය, ආදරය වගේ සංවේදී මනෝභාවයන් පිළිබඳ ජනකවිය වැනි මාධ්‍යන් හරහා රසවින්දනය කිරීමක් තමයි මෙහි දී සිද්ධ වෙන්නේ. ලංකාරය ප්‍රසංගය හරහා අපේ මාතෘ භූමියේ නම තමයි ලෝකයට ඇසෙන්නේ. ඒක ලොකු වගකීමක්. ඒ වගකීම මම හිස මතින් දරන කලාකරුවෙක්. එළැඹෙන ජූලි පළමු වෙනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ලංකාරේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ඉදිරියේදී ලංකාවෙත් මේ ප්‍රසංගය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
ඔබ අපේ රට ජාත්‍යන්තරයේ නියෝජනය කරනවා. ඒ ගැන දැනෙන්නේ කොහෙමද?
අන්තර්ජාතික ජන සංගීත ප්‍රසංගවලට මම ගායන ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙලා තියනවා. මට 2018 වසරේ ඕස්ට්‍රේලියාවේදී සංවිධානය කර තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ හා සමගාමීව පැවති ජන සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණා. ඊට අමතරව ඉන්දියාව, කැනඩාව වගේ රටවලත් මම මගේ රට නියෝජනය කරමින් ගීත ගායනා කළා. මම මේ වෙනකොට විවිධ සම්මාන උලෙළයන්හිදී සම්මාන 17ක් පමණ ලබාගෙන තියෙනවා. කොහොම වුණත් ජාත්‍යන්තර මට්ටමින් මගේ රට නියෝජනය කරන්න ලැබීම ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්.
කොහොමද ඔබේ ගමන ආරම්භ වෙන්නේ ?
මගේ තාත්තා සහ අම්මා කලාවට සම්බන්ධ අය. මගේ තාත්තා ජනාධිපති සම්මානලාභී චිත්‍ර ශිල්පියෙක්. ඔහු නමින් කොට්ටව සිරිසේන. ඔහුගෙන් ලැබුණු ආභාසය මට ලොකු ශක්තියක් වුණා. මගේ සහෝදරයා සංගීත ගුරුවරයෙක්. ඔහුගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම තමයි මගේ පාසල වූ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ඒ ලබපු පන්නරය වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ ලබපු අධ්‍යාපනය තමයි මගේ ගමනට ශක්තිය වුණේ.
ඔබ තුළ දක්ෂ රංගන ශිල්පියෙක් ජීවත් වෙනවා. අපි ඒ ගැනත් කතා කරමු?
පසුගිය කාලේ මම ටෙලි නාට්‍ය ද්විත්වයකම රංගනයේ යෙදුණා. එකක් තමයි පානාමංකඩ එහි සංගීත ශිල්පියා වගේම ප්‍රධාන චරිතයක් රඟපාන්නත් මට හැකි වුණා. ඉදිරියේදීත් රංගන ශිල්පියෙක් විදියට වැඩකටයුතු කරන්න මගේ බලාපොරොත්තුවක් තියනවා. කියන්න සතුටුයි මට දැන් රංගනය සඳහාත් ආරාධනා ලැබෙන්න පටන් අරං. කොහොම වුණත් මගේ රංග භාවිතයන් පිළිබඳ දන්නා අධ්‍යක්ෂකවරුන් සමඟ පමණක් වැඩ කරන්න තමයි මම කැමති.
ඔබේ සහකාරිය මුණ ගැහෙන්නේ කොහොමද?
මගේ බිරිද නිලක්ෂි හැල්පිටිය. මට ඇයව හමුවෙන්නේ මීට වසර 4කට පමණ පෙර. අපේ සිතුවිලි බොහෝ දුරට සමානයි. අපි ගෙදර ඉන්නකොට නිතරම කතාබහ කරන්නෙත් අපේ මතු නිර්මාණ ගැනමයි. නිලක්ෂි කියන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉතාම හොඳින් ප්‍රගුණ කළ කාන්තාවක්. ඇය එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඉතිං මගේ බිරිඳගේ දැනුම සහ හැකියාව නිර්මාණකරණයේදී මට ලැබෙන ලොකු සහයෝගයක්.
අද වෙනකොට අපේ රටේ ජනකලාකරුවන් සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද්ද?
විශේෂයෙන්ම කලාකරුවෙක් වෙනවා නම් අපේ රටේ සාහිත්‍ය සහ භාෂාව කියන දේ හදාරන්න ඕන. භාෂාව ඉගෙන ගනිද්දි ඔහු සාහිත්‍ය ඉගෙන ගන්නවා. සාහිත්‍ය තුළින් තමයි මිනිසා සංවේදී කරන්නේ. නමුත් නිසි හැදැරීමකින් තොරව කරන නිර්මාණකරණයේ විපාක ඉතාම භායානකයි. එතකොට තමයි ගීත ඇතුළේ අසභ්‍ය වචන ඇහෙන්නේ. මගේ වාසනවට මට හොඳ දෙමව්පියෝ සහ ගුරුවරු ලැබුණා. නමුත් ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නෑ. විශේෂයෙන්ම තමන් ගායකයෙක් නම් ජන කවි ගැන, ඒ ජනකවියේ තියන විවිධත්වයන්, ඒ වටා ඇති සන්දර්භය ගැන අවබෝධයක් තියෙන්න ඕන. නිසි හැදෑරීමක් නැතුව කෙනෙක් නිර්මාණකරණයේ යෙදෙනව නම් අනිවාර්යයෙන්ම යම් අවස්ථාවකදී ඔහුගේ නොදැනුවත්කම එළියට පේන්න ගන්නවා. එහෙම අවස්ථා අද අපි දකිනවා.