පශු සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර | සිළුමිණ

පශු සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර

මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
 
ලෝක බැංකුව විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ 2023- 2027 දක්වා ඉදිරි වසර පහක කාලයක කටයුතු සඳහා රුපියල් මිලියන 3800ක මුදලක් ලබා දී තිබේ. මින් රුපියල් මිලියන 1500ක් මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර තිබේ. එමගින් කිරෙන් සපිරි රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති  අතර 2014ට පසු පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය මෙය වේ.
 
මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් ද වෙන් කර ඇත. ඒ අනුව මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග  අලුත්වැඩියා කිරීම සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
 
මෙම මුදල් කෘෂි ව්‍යාපෘති සදහා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා 2014ට පසුව මෙතෙක් ලබා දුන් වැඩි වැඩිම මුදල මෙවර ලැබී ඇතැයි ද සඳහන් කළේය.
 
පසුගිය වසර 10ක කාලය තුළ සැළකිය යුතු මුදලක් පශු සම්පත් අංශය සඳහා නොලැබීම මෙරට කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය අඩාල වීමට ද බලපාන ලදැයි අමාත්‍යවරයා සඳහන් කළේය.  
 

Comments