
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ ප්‍රදානය කෙරේ.
යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.
වකුගඩු ආශ්‍රීත හටගත් සෙන්ටිමීටර 13.372 ක දිගකින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත ගලක් (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 1) සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූහ.
යුද හමුදාපතිවරයා විසින් රෝගියාගේ ජීවිතයට හානියක් නොවන අයුරින් කොළඹ යුද හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් සිදුකළ සැත්කම ඇගයීමට ලක්කරමින් ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ පළදනු ලැබීය.
කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබීය. ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී.
යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන් විසින් ශල්‍යකර්මයෙන් අනතුරුව ඉවත්කරනු ලැබු වකුගඩු ආශ්‍රිත ගල (Calculus) පිළිබඳව යුද්ධ හමුදාපතිතුමන් දැනුවත් කළේය.
ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල (Calculus) වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්ත විය. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.
මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, මාණ්ඩලික නිලධාරීන්, උපදේශකවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.