තරුණ කෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන සෑම දිස්ත්‍රික්කයකටම | සිළුමිණ

තරුණ කෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන සෑම දිස්ත්‍රික්කයකටම

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ ප්‍රජාව කෘෂිකාර්මික කටයුතු සඳහා ආකර්ශණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර තිබෙන තරුණ කෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.
 
මේ යටතේ ප්‍රථමයෙන් ම තෝරාගත්  ගම්මානවල කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදනයට එම ගම්මානවල පිහිටි වැව් පද්ධතිය පිළිසකර කිරීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව කැප්පිටියාව ගම්මානය තුළ පිහිටි වැව් හා ඇළවේලි හතක් ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
 
ඒ යටතේ රාජපක්ෂවැව, වරල්ල වැව, හඳුන්වල වැව, දොරළුපිටිය වැවේ සිට ඇති ඇළ මාර්ගය, ගාලෙවෙල වැව හා අමුණ, කැප්පිටියාව වැව  හා කළුපස්වලවැව ද ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරිණි.
 
මෙම වැව් ප්‍රතිසංස්කරණය සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර තිබේ.  ඔක්තෝබර් මාසය අවසන් වීමට ප්‍රථම මෙම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. එමෙන්ම මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන කොන්ත්‍රාත්තුව බාර ගත් ආයතනය විසින් නිසි පරිදි එම කටයුතු සිදු කරන්නේ ද  සම්බන්ධව  විමසිළිමත්ව සිටීම මෙන්ම අධීක්ෂණය කිරීම එම වැව් යටතේ ඇති ගොවි සංවිධානවලට අමාත්‍යවරයා බාර දුන්නේය.
 
කොන්ත්‍රාත්කරුවන් අදාල කටයුතු කලට වේලාවට සිදු  නොකරන්නේ නම් වහාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හෝ තමන්ට වාර්තා කරන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දෙනු ලැබීය.
 
මෙම වැව් ප්‍රතිසංස්කරණවලින් පසුව තරුණ ප්‍රජාව ඉළක්ක කර ගත් කෘෂිකර්ම ව්‍යාපෘති ආරම්භ කෙරේ. ඒ යටතේ ආරක්ෂිත දැල් ගෘහ හා පොලිටනල් ලබාදීම, විසිරි ජල බිංදු තාක්ෂණයට අවශ්‍ය උපකරණ මෙන්ම දෙමුහුන් බීජ හා තරුණ ප්‍රජාවට සියයට 6.5ක පොලියක් යටතේ කෘෂි ණය පහසුකම් ලබා දීමට ද සැලසුම් කර තිබේ.
 
ඊයේ කැප්පිටියාව විහාරස්ථානයේ දී පැවැති උත්සවයේ දී තරුණ ප්‍රතිලාභීන්ට අවශ්‍ය උපකරණ කට්ටල ලබා ගැනීමට අවශ්‍ය ලිපි බාර දීම මෙන්ම අධ්‍යාපනය හදාරණ දරුවන් සඳහා ශිෂ්‍යත්ව හා ගොවි විශ්‍රාම වැටුප් පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

Comments