තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඇරඹෙයි | සිළුමිණ

තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඇරඹෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්ස පුර ප්‍රදේශවල දී  ආරම්භ කරනු ලැබීය.
 
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩ සටහන ඊයේ (10) ඇරඹුනු අතර වගා කටයුතු පුළුල් කිරීම සඳහා කොඩිගහවැව හා සාමගුලිය 01 හා 02ක,  සියඹලාවැව යන වැව් තුන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබීය. එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද බෝගහවැව ජනතා අයිතියට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.
 
මෙම වැව් වැසිජලය පදනම් කර ගත් වැව් වන අතර දේශගුනික බලපෑම් මත එම ප්‍රදේශවල ජනතාව දැඩි ජල හිඟයෙන් පෙළෙති. එමනිසා දේශගුණ සුහුරු වැරි ප්‍රතිසංස්කරණය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 36ක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 850කි.
 
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩ සටහන යටතේ ඉහත සඳහන් කළ මෙම වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200කි.වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවු මෙම වැව් තුන මගින් තරුණ ප්‍රතිලාභීන් 150කට වගා කටයුතු සදහා අවස්ථාව සැළසේ.
 
ඔවුන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික උපකරණ ද ලබා දෙන අතර මෙම වැව් තුන ආශ්‍රිතව  ඉඩම්වල ආරක්ෂිත දැල් සහිත වගා ගෘහ, බින්දු ජල තාක්ෂණික උපකරණ මෙන්ම වගාවට අවශ්‍ය බීජ හා පොහොර ද ලබා දීමට කටයුතු යොදා ඇත.
 
මීට අමතරව ජූල්පල්ලම කන්දේ විහාරයේ දී දහම් පාසැල් දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ පිරිනැමීමට ද අමාත්‍යවරයා විසින් පියවර ගන්නා ලදී.
 
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම වැඩ සටහන යටතේ ස්ථාපිත කර ඇති වගාවන් ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
 
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩ පිළිවෙළ යටතේ තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ඉදිරි සියලු කෘෂිකර්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කියා සිටියේය. දැනට කෘෂිකර්මාන්තය තුළ වැඩිහිටි ප්‍රජාව පමණක් කටයුතු කරන අතර තරුණ ප්‍රජාව ඊට ආකර්ශණය කර ගත හැකි වැඩ පිළිවෙළක් නොතිබීම බරපතල ගැටළුවක්  බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අප රටේ වී වගාව තුළ සිටින ගොවින්ගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්මවු අයයි. තරුණ ප්‍රජාව වී වගාව සඳහා යොමුවන්නේ නැහැ. නමුත් පලතුරු, එළවළු හා මල් වගාව සඳහා තරුණ ප්‍රජාවගේ විශාල දායකත්වයක් හා කැමැත්තක් තිබෙනවා. ඒ නිසා වැඩි ආදායම් ඉපැයිය හැකි කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන් ඉදිරියේ දී අප විසින් වැඩිපුර සකස් කළ යුතු වෙනවා.
 
අද දින අපි ආරම්භ කරන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඔස්සේ දේශීය වෙළෙඳ පොළ මෙන්ම විදේශීය වෙළෙදපොළ ඉළක්ක කර ගත් අපනයනය කළ හැකි බෝග වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා නව තාක්ෂණය අපි තරුණ ගොවි ප්‍රජාවට ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
 
කෙසේ වුවද අමරවිරු පියමග වැඩ පිළිවෙළ ඔස්සේ මෙම වැව් ප්‍රතිසංස්කරණය මගින් තරුණ පිරිස වගාව සඳහා ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
 
මෙම අවස්ථාවට දේශගුණ සුහුරු කෘෂිකර්ම වැඩසටහනේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.  

Comments