සාහිත්‍යයෙන් හද මනස සුවපත් කරන නීති වෘත්තිකයෝ | සිළුමිණ

සාහිත්‍යයෙන් හද මනස සුවපත් කරන නීති වෘත්තිකයෝ

නීති ක්ෂේත්‍රයෙන් කලා ලොවට පිවිසි නීතීඥ වෘත්තිකයන් පිළිබඳව මේ සටහන තබන්නේ මෙරට කලාව බැබළවීමට මෙන්ම ඒ තුළින් අප මනස පෝෂණය කර ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමට ඔවුන් දැක්වූ පිටුබලය නිසාය. මෙකී විශිෂ්ටයන් අතර අපට මුලින්ම ‍හමුවන්නේ ‍‍නීතීඥ ජෝන් ද සිල්වා සහ නීතීඥ චාල්ස් ඩයස් යන දෙදෙනාය. නීතීඥ ජෝන් ද සිල්වා, ශ්‍රී ලාංකේය නූර්ති නාටකයෙහි ප්‍රභාමත්ම ආදි කර්තෘවරයා ය. නීතීඥ චාල්ස් ඩයස් චිරප්‍රසිද්ධ ටවර් රංග ශාලාව කේන්ද්‍ර කොට ගෙන බිහිවූ නූර්ති සහ ටීටර් (තියටර්) නාට්‍ය කලාවෙහි සමාරම්භකයාය. 

සුභාවිත ගීතය සුපෝෂණය කිරීමට අනභිභවනීය මෙහෙවරක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මෙරට වැඩිම ගීත සංඛ්‍යාවක් ලියූ නීතිඥ වෘත්තිකයා ලෙස පිළිගැනේ. ඔහු ⁣අතින් ලියැවුණ නාඩගම්, නූර්ති, වේදිකා නාට්‍ය ගීත රාශියකි. ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් ලෙස 2023.05.15 පිළිගැනීමට ලක්විය.

කලාවට බලපෑමක් කළ නීතිඥ වෘත්තිකයකු ලෙස අනතුරුව අපට හමුවන්නේ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නය. හෙතෙම ‘හිතේ දුකට කියන කවි’ හා ‘නිහඬ නිම්නය’ කාව්‍ය නිර්මාණ හරහා කලා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. හේ බෙහෙවින් ජනාදරයට පත් වූයේ ගේය පද රචකයකු ලෙසය. විශාරද ගුණදාස කපුගේ ගයන ‘දවසක් පැළ නැති හේනේ’ ගීතයත් අමරසිරි පීරිස් ගයන ළඳුනේ ගීතයත් වඩාත් ජනාදරයට පත් විය.

මීළඟට අපට හමුවන්නේ 1983 වසරේදී නීති ශිෂ්‍යයකු වූ වත්මන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාරය. හෙතෙම බ්‍රටෝල් බ්‍රෙෂ්ට් නමැති දාර්ශනික දෘෂ්ටියකින් හෙබි නාට්‍යකරුවාගේ නාට්‍යයක් වන ‘පුන්තිලා ඇන්ඩ් හිස් මෑන් මත්තී (puntila and his man matti)’ නම් නාටකය ‘පුන්තිලා’ නමින් සිංහලට පරිවර්තනය කළ අතර එහි සහය අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කළේය. ප්‍රවීණ නළු නිහාල් සිල්වා විශිෂ්ට ගණයේ චරිතාංග නළුවකු ලෙස ඔසවා තබන්නේ මෙම නාට්‍යය හරහාය.

කලා සාහිත්‍යට පිවිසි නීතිඥ වෘත්තිකයන් අතර වත්මන් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වලස්මුල්ල කිරම ග්‍රාමයේ දී උපන් විජයදාස රාජපක්ෂයන් කණුමුල්දෙණිය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කලා විෂයන් හදාරා විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත්තේය. රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1969 දී ඉන් ඉවත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර අංශයට ඇතුළත්ව නීති උපාධිය සඳහා ලියාපදිංචි විය.

නීති උපාධිය හිමිකරගත් ඔහු 1984 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දුන්නේය. ඒ අතර ග්‍රන්ථකරණයට ද යොමු විය. “මම සිවිල් නීතිය හා දේපළ නීතිය පිළිබඳ ග්‍රන්ථ 4ක්, බැංකු සහ මූල්‍ය නීතිය පිළිබඳ ග්‍රන්ථ 2ක්, පවුල් නීතිය පිළිබඳ ග්‍රන්ථයක්, දිලික්ත නීතිය පිළිබඳ ග්‍රන්ථයක්, විවිධ මාතෘකා ඔස්සේ අධිකරණයේ නඩු කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ග්‍රන්ථයක්, ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණාත්මක ග්‍රන්ථ 3ක් ... ආදී වශයෙන් නීතිඥ ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ 36ක් පමණ ලියා තියෙනවා.

ජනමාධ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධ ග්‍රන්ථ 3ක්, පර්යේෂණාත්මක කෘති දෙකක් වන ශ්‍රී දළදා වංශය (ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්) සහ සී.පී. ද සිල්වා මින්නේරි දෙයියෝ, සිංහල සාහිත්‍ය සංග්‍රහය, නෙත ගැටෙනා ඉසව්වේ (කාව්‍ය), සත්‍යයේ හඬ, සුදු පාවඩ ආදි සාහිත්‍ය කෘති කිහිපයක් මෙන් ම ගීත රචකයකු ද වන අතර ‘සියුමැලි මල’ ,‘හිරු සඳු අරණ’ සහ ‘පෙම් පවුර’ නමින් සංගත තැටි තුනක්ද එළි දක්වා ඇත.

මීළඟට සිළුමිණට සම්මුඛ වූයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වාය. කොළඹ මරදානේ පරණවාඩියේ උපන් හෙතෙම 1964 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. ආනන්දයේ දීප්තිමත් සිසුවකු වූ ඔහු සාහිත්‍ය කටයුතුවලට බොහෝ සේ ඇලුම් කළේය. 1977දී අානන්දයට සමුදුන් හෙතෙම 1980 දී නීති විද්‍යාලයට ඇතුළත් විය. එහිදීද සාහිත්‍ය කටයුතු නිරත වූ සිල්වාට 1982 වසරේදී නීති විද්‍යාල සාහිත්‍ය සම්මානය හිමි විය.

1983 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙන හෙතෙම අපරාධ නීති ක්ෂේත්‍රය පැත්තට යොමු වන්නේය. සිංහල භාෂාවෙන් ප්‍රථම වතාවට ‘අපරාධ නීතියේ ප්‍රායෝගික විග්‍රහය’ කෘතිය 2015 දී නිර්මාණය වෙන්නේ ඒ අනුවයි. මෙම කෘතිය දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ට ද පරිවර්තනය කර ඇති අතර එය මේවන විට මුද්‍රණ වාර හතරක් අවසන් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, කොළඹ වැල්ලවත්තේදී උපන් හෙතෙම ‘අ’යනු ‘ආ’යනු කිව්වේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙනි. ඔහු අධ්‍යාපන ජයක් ලැබූ විට හා උපන්දිනයට සිය මාපියන් ගෙනැවිත් දී තිබුණේ පොතපතය. 1975 නැවත කොළඹට පැමිණ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ කාලිංගට කොළඹ රාජකීයේ උසස් පෙළ සඳහා කලා විෂය නොවූයෙන් විද්‍යා විෂයන් තෝරා ගැනීමට සිදුවිය. විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටියද නීතිය ඉගෙනීමට තිබූ ආසාව නිසාම නීති විද්‍යාල ප්‍රවේශයට පෙනී සිට ඉන් සමත්ව 1982 දී නීති විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු පළමු පන්ති සාමාර්ථයක් සහිතව සමත් විය. 1986 මැයි 05 වැනිදා නීතිඥවරයකු ලෙස දිව්රුම් දුන්නේය. ඔහු ලේඛණයට අත්පොත් තැබූ ආකාරය සිළුමිණට පවසා සිටියේ මෙලෙසිනි. 

“1987 දී නීතිපති දෙපාර්තමේන්තුවට යන්න සම්මුඛ පරීක්ෂණයකට පෙනී ඉන්න තිබුණා. එතනදි මං පොත් දෙකක් ලිව්වා. එකක් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත යටතේ තීරණය වූ නඩු තීන්දුවල එකතුවක්. අනෙක ආඥා පනත යටතේ තීරණය වූ නඩු තීන්දු.

මේ වන විට කෘති 40කට ආසන්න ප්‍රමාණයක් ලියා තිබෙනවා. මෑතකදී ‘ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය හා නීති ක්‍රමය’ සහ ‘ශ්‍රී ලංකාවේ ප්‍රචලිත අපරාධ නඩු’ කියන කෘති ලිව්වා.

“මේ වන විට සිය ජීවිත කතාව ලියමින් සිටින බවද ඔහු පවසයි.

කලාවට ප්‍රවිෂ්ට වූ නීතිඥ වෘත්තිකයන් අතර මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය නව මඟකට යොමු කළ සාහිත්‍යවේදියකු හා කලා විචාරකයකු වන්නේ හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු වූ නීතිඥ සමන් වික්‍රමාරච්චිය. හේ 1977 දී නීති ශිෂ්‍යයකුව සිටියදී ‘ප්‍රේම යාචකයෝ’ නමින් දිනමිණට කෙටි කතාවක් රචනා කළේය.

සමන් වික්‍රමාරච්චි යන නම ලේඛකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ දිවයින බදාදා අතිරේකයට ලියූ ලිපි එකතුවක් නිසාය. ඒ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු වූ ඩී.එච්. ලොරන්ස්ගේ ‘ලේඩි චැටර්ලි ලවර්ස් (Lady Chatterley Lovers)’ නමැති කෘතිය සම්බන්ධයෙන් පැවති නඩුවේ නඩු වාර්තාව පදනම් කර ගනිමින් ලියූ ‘චැටර්ලි ආර්යාවගේ නඩු විභාගය‘ ලිපි පෙළ හරහාය. 1995දී රචනා කෙරුණු මෙම ලිපි පෙළ පසුව ඔහුගේ පළමු කෘතිය ලෙස ප්‍රකාශයට පත්විය. පසුව ‘නොනිමි පෙරවදන’ කෘතියද විවිධ පුවත්පත් සඳහා ලියු රචනාවල එකතුවකි. අනතුරුව ‘බිත්තිය, වතුර බාල්දිය සහ හයේ වාට්ටුව’, ‘නිර්මාණ වියමන’, ‘මගේ කල දවස’, ‘අඳුන් දිවි හිනාව’, ‘යදම්’, ‘කිඹුල් කඳුළු’, ‘ෆැන්ටසි මිනිසා’, ‘නවකතාවේ රටාව’ ආදී පරිවර්තන ඔහු අතින් ප්‍රකාශයට පත් විය. නීති ක්ෂේත්‍රයට අදාළව ‘විනිසුරු අසුන’ ඔහු අතින් ලියැවුණු ලිපි එකතුවකි. ‘අප්පච්චි ඇවිත්’ ප්‍රබන්ධය 2018 වසරේ පළ වූ ස්වතන්ත්‍ර නවකතා අතරින් හොඳම නවකතාව ලෙස ‘ස්වර්ණ පුස්තක’ සම්මානයටත්, ගොඩගේ සාහිත්‍ය සම්මානයටත් පාත්‍ර විය. මේ වනවිට ඔහු අතින් නිර්මාණය වී ඇති කෘතින් සංඛ්‍යාව 35කට ආසන්නය.

මතුගම බදුගමදී උපන් නීතිඥ කපිල ගාමිණි ජයසිංහ මාධ්‍යවේදියකු නාට්‍යකරුවකු මෙන්ම සාහිත්‍යකරුවකු ද වේ. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම 1989 වසරේ කළුතර දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙමින් 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය.

1989 සිට 1992 දක්වා කාලය තුළ හෙතෙම නිදහස් මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට හා වේදිකා නාට්‍යකරණයට යොමු විය. ෙෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ සිළුමිණ රසඳුන අතිරේකයේ කර්තෘවරයාව සිටි අවධියේ ඔහු විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කළේ ද මේ කාලයේ දීය. ඔහු නිර්මාණය කළ පළමු නාට්‍යය වූයේ 'පිළිරූ'ය. එය මෙරට පළමු විද්‍යා ප්‍රබන්ධ නාට්‍යය ලෙස සැලකේ.

සිය කලා ජීවිතය පිළිබඳව කපිල සිළුමිණට මෙලෙස අදහස් දැක්වීය “බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ 'හිරු දහස' (1990) නාට්‍යයේ මම මුලින්ම රඟපෑවේ. සුසන්ත වික්‍රමසිංහගේ 'පිටස්තරයා' නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය මට ලැබුණා. මම නාට්‍ය දොළහක පමණ රඟපා තිබෙනවා. නාට්‍ය හතරක් පමණ මා අතින් නිර්මාණය වී තිබෙනවා. 1996 දී නීති උපාධිය අවසන් කළාට පස්සේ මට ලක්හඬ ගුවන් විදුලියේ පළමු කණ්ඩායමට එක් වෙන්න වරම් ලැබුණා. 

එහිදී කළ 'ටෙලි සිනමා කතිකාව' වැඩ සටහන බෙහෙවින් ජනප්‍රිය වුණා. එමෙන්ම ස්වාධීන රූපවාහිනි සේවයේ පළමු සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශකයා වුණේ මමයි. පස්සේ මම 1998 දී හිරු එෆ් එම් සේවයේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සේවයට බැඳුණා.” එහිදී නාට්‍ය කලාව, සිනමාව හා සාහිත්‍ය ගැන සාකච්ඡා කරන 'කතා පෙට්ටිය' වැඩසටහන හරහා ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ කාගෙත් පැසසුමට ලක්වන්නේය. 1999 දී කපිල සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාව 'කුරුපරපුර' නමින් එළි දක්වන්නේය. ඔහු කෙටිකතා පොත් පහක් හා නවකතා (පරිවර්තනද ඇතුළුව) පහක් රචනා කර ඇති අතර නීති ක්ෂේත්‍රය අලලා පොත් 53ක් සිංහලෙන් ලියා පළ කර ඇත.

අනතුරුව සිළුමිණට සම්මුඛ වූයේ නීතීඥවරියකි. ඇය නමින් මිහිරි නිල්මිණි ගුණසිංහය. ඇය උපන්නේ ගිංතොට උක්වත්තෙ ගුරුගෙදර පරපුරේය.

ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ අකුරු කළ ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා දකුණු පළාත් වැඩිම ලකුණු ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වූවාය. එහිදී ඇය තෝරා ගත්තේ නීති පීඨයයි. 2002 වර්ෂයේ නීති පීඨයෙන් පිටව රජයේ නීතිඥවරියක් ලෙස කටයුතු කළ ඇය සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසීම පිළිබඳ පවසන්නේ මෙවන් අදහසකි.

“මම පුංචි කාලේ ඉඳන්ම කියවන්න ලියන්න ආසයි. මම සිළුමිණ , දිවයින, ලංකාදීප, ඇතුළු සියලුම ජාතික පුවත්පත්වලටත්, රාවය, ලක්දිව, සිතිජය, ඇතුළු සියලුම විකල්ප ධාරාවේ පුවත්පත්වලටත් ලිවීම හරහා මට විශාල කවි රසිකයන් පිරිසක් ගොඩනැඟුණා.”

1995දි පළ වූ ‘ශ්‍රී රාහුල හිමියන්ගේ සාහිත්‍යය කෘති’ නමැති රාහුල හිමිගේ සාහිත්‍යය කෘතීන් හයක් පිළිබඳව කළ විචාර ග්‍රන්ථයකි. එවකට ඇය පහළොස් වැනි වියේ පසු වූවාය. අනතුරුව ඇය විසින් කාව්‍ය සංග්‍රහ තුනක් පළ කළාය. ඒ ‘තනිකඩ අසපුව’(2001), ‘සම්ප්‍රාප්ති’(2002) සහ ‘සංක්‍රාන්ති’ (2011) ය. මීට අමතරව ඇය ලියූ ගීත රචනා හයක් පමණ එකල නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය විණි. ඒ ‘සුදු හාමිනේ’, ‘බඹසර දැහැන බිඳින්නෙපා’ , ‘බදුලු ඔයෙන්’, ‘දංගොල්ලේ වෑකන්දේ’, ‘පීදී හිනැහුන’, ‘කුලගේ ගිනිගෙන’, ‘සොයුරනි යුගයක’, ‘මවක පෙවු රන්කිරි’ , ‘රන්තිලි වැව පිරෙන්න’, ‘ප්‍රේම ගී මනරම්’ ‘තාත්තේ’ සහ ‘උරහිසක් ඇවැසි විට’ වැනි ගීත ඒ අතර වේ. ඇය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ අාචාර්‍ය උපාධිය (PhD) අපේක්ෂාවෙන් සිටින්නීය.

අනතුරුව සිළුමිණට සම්බන්ධ වූයේ සාහිත්‍ය හා කලාවට පෙම් බැඳි නීතිඥවරියක් වූ මනෝරි ජයලත්ය. නාවලපිටියෙදී ප්‍රසිද්ධ නොතාරිස් යුවලකට දාව උපන් ඇය ළදරු වියේදීම පියා මියගියා ය. නාවලපිටිය කණිෂ්ඨ බාලිකාවේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය පහේ ශිෂ්‍යත්වය සමත්ව මහනුවර මහාමායා බාලිකාවට ඇතුළත් වූවාය. එහිදි උසස් පෙළ උසස් ලෙස සමත් වී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වූවාය. ගෞරව සාමාර්ථයක් සහිතව නීති උපාධිය සමත් වූ ඇය 1993දී නීතිඥ වෘත්තියට එළඹුනාය. “මම පොඩි කාලෙ ඉඳන් කවි කෙටිකතා ලිව්වා. ද්වීතීයික අධ්‍යාපනය කාලේ මගේ ලිවීමට ගෙදරින් වගේම පාසැලෙනුත් ලොකු බාධාවක් එල්ල වුණා. දඬුවම් ලැබුවා. නීති පීඨයේදි මම ලේඛන කටයුතු කිසිවක් කළේ නැහැ. 2019 කොවිඩ් වසංගතය නිසා ලොකු විවේකයක් ලැබුණා. ඒ කාලේ මං මුහුණුපොතේ Ladies only page එකට ‘ලිට්මස් කතා’ නමින් ලියන්න ගත්තා. ඒකට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ‘මැට්ටි‘ මගේ පළමු යොවුන් සාහිත්‍ය කෘතියයි. 2022 වර්ෂයේ හොඳම යොවුන් සාහිත්‍ය රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඊට හිමි වුණා.

‘සංසක්කාරි’ මගේ පළමු නවකතාව. එය ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණා, වගේම ප්‍රශස්තතම නවක නවකතාව සඳහා ගොඩගේ සම්මාන හිමි වුණා. ‘ගිරිජා’ නවකතාව 2023 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණා. මීට අමතරව ‘නැනී’, ‘පැණි ලුණු දෙහි’ කියන කෘති දෙකත් පළ කළා. මගේ අලුත්ම පොත ‘කඩදොර’ මේ වනවිට මුද්‍රණයේ පවතිනවා.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි නීතීඥවරියන් අතර වූ ලක්ෂිකා රත්නායකටද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඇය කොළඹ බොරැල්ලේ උපන් නගරබද ජීවිතයකට උරුමකම් කියූ තැනැත්තියක වූවාය. ඇය මුලින්ම පාසල් ගියේ බොරැල්ල රත්නාවලී බාලිකාවටය. පසුව විසාකා විද්‍යාලයට ඇතුළත් වූ ඇය කලා අංශයෙන් උසස් පෙළ හදාරා වැඩිහිටියන්ගේ පෙරැත්ත මත නීති පීඨයට ඇතුළත් වූවාය.

“අපි හැමෝගෙම ජීවිතවල කාටවත් කියන්න බැරි ඉටු දෙවියෙක් ඉන්නවා. අන්න එයා තමයි සින්දුවක් ලියන්න කියන පෙලඹවීම ඇති කළේ. මගේ මුල්ම ගීතය සුරේෂ් මාලියද්ද සංගීතවත් කළ විශාරද නිලක්ෂි හැලපිටිය ගයන‘තැලුණු හිත’. ඒකට හොඳ ප්‍රතිචාර හම්බ වුණා. අරුණ ගුණවර්ධන සංගීතවත් කළ සමිතා එරන්දති ගයන ‘නොදුන් හාදුව’ , තරිඳු දම්සර සංගීතවත් කළ ලක්ෂණා ලක්මීණි ගයන ‘ආදර පුරුද්ද’ මා අතින් ලියැවුණු නිර්මාණයි. සුරේෂ් මාලියද්දයන් සංගීතවත් කළ අරුණ ගුණවර්ධන හා උමාරා ගයන ‘පුංචි පැල්ලමක’ ගීතය ඉදිරියේදී නිකුත් වීමට නියමිතය. ඇගේ පළමු කෘතිය වන්නේ ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’ කාව්‍ය සංග්‍රහයයි. එය 2023 ජනවාරි 28 එළිදැක්වීය. 

මීළඟට සිළුමිණ සමඟ කතාබහට එක්වූයේ වූයේ නීතිඥ අජානා රණගලය. 1975 ගාල්ලේදී උපත ලැබූ ඇය සිය ළමා කාලය ගත කරන්නෙ මාතර පුහුල්වැල්ල මහා විද්‍යාලයේ ගුරු නිවාසයේදීය. ඇගේ පියා ගාමිණී රණගල විදුහල්පතිවරයෙකි. මව ශීලා රණගල ගුරුවරියකි. බාලාංශයේ සිට පස්වන ශ්‍රේණිය තෙක් මාර/කිරින්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇයට කලාව සඳහා අවශ්‍ය පසුබිම ඉන් ගොඩනැඟිණි. 1987 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වන අජානා මාපියන් සමඟ කොළඹ පදිංචියට පැමිණියාය. කොළඹ කියන්නෙ අලුත් රටක්.

අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට දක්ෂතා දැක් වූ ඇය 1991 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබාගෙන ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලබාගත් පළමු සිය දෙනා අතරටද තේරී පත් වූවාය.

ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හැදෑරූවත් පසුව නීති අධ්‍යාපනයට යොමුවූ ඇය ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාග වසර තුනම ගෞරව පන්ති සාමාර්ථ සහිතව සමත් වූවාය. “2021 දී ‘අපේ අහ කොහෙද ලිලී මල්’නම් කොෆි ටේබල් බුක් ආකෘතියක් සහිත සිංහල කාව්‍ය සංග්‍රහය හරහා මම සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණා. මේ වසරේ මගේ දෙවැනි කවිපොත එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මීට අමතරව කලා ක්ෂේත්‍රයට පිවිසි නීතිඥ වෘත්තිකයන් අතර මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය යු. එල්. අබ්දුල් මජීඩ්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, නීතිඥ ඩී.ඒ.පී. වීරරත්න, නීතිඥ විජිත කුමාර පෙලොන්නරුව, නීතිඥ ඒකනායක ජයවර්ධන, නීතිඥ සංජය කොඩිතුවක්කු, නීතිඥ ඕ.ආර්. ජොන්සන්, නීතිඥ රජි වසන්ත වෙල්ගම ආදීහු වෙති.

Comments