රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට කෙටි කාලීන ඩොලර් උපයන ක්‍රමවේද කඩිනමින් ප්‍රචලිත කළ යුතුයි | සිළුමිණ

රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට කෙටි කාලීන ඩොලර් උපයන ක්‍රමවේද කඩිනමින් ප්‍රචලිත කළ යුතුයි

ර්ථිකයක විනිමය අනුපාතය තීරණය වන්නේ වෙළෙඳපොළ බලවේග මත ඇතිවන විනිමයට ඇති ඉල්ලුම සහ සැපැයුම මතයි. විනිමය සැපයුම යනු රටක ආර්ථීකයකට පිටින් ලැබෙන විදෙස් මුදල් ප්‍රමාණයයි. එසේ සැපයුම් ලැබෙන ක්‍රමවේදයන් කිහිපයක් වෙයි. එහි ප්‍රධාන සාධකය අපනයනයයි. දේශීය නිෂ්පාදනය භාණ්ඩ හා සේවා වෙනත් රටවලට අපනයනය මඟින් විදෙස් මුදල් ලැබෙයි. එසේම විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන විදෙස් ප්‍රේෂණය ද, සංචාරක කර්මාන්තය මඟින් ද, ඍජු විදෙස් ආයෝජන හරහා ද විදෙස් විනිමය සැපයුම් හිමි වෙයි. එසේම සමාජයේ වඩා අවධානය යොමු නොවන ක්ෂේත්‍රයක් ද වෙයි. මෙරට අධ්‍යාපන අවස්ථා පිටරටවල සිසුන්ට විවෘත කිරීමෙන් එනම් අධ්‍යාපනය සේවාවක් ලෙස ලබා දීමෙන් ඩොලර් උපයා ගැනීමට හැකියාවක් ලැබෙයි. එසේම විදෙස්වලින් ණය ලබා ගැනීම ද විදෙස් මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයකි. මේ ප්‍රධානම සාධක ඕනෑම රටකට ඩොලර් ලැබෙන අංශ වෙයි. එනම්, විදෙස් විනිමය සැපැයුම යනුවෙන් හැඳින්වෙයි.

එසේම රටකට විදෙස් විනිමය ඉල්ලුමක් ඇත. රටකට එසේ විදෙස් මුදල් අවශ්‍ය වන්නේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහාය. එසේම විදෙස් රටවල විශ්වවිද්‍යාලවල පාසල් හෝ වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලැබීමට සඳහා මෙරට සිසුන් යැවීමේදී විදෙස් මුදල් ගෙවීමට සිදු වෙයි. එසේම විදේශ රටවල සංචාරය කිරීම සඳහා ද විදෙස් මුදල් වැය වෙයි. වෙනත් රටවල සෞඛ්‍ය සේවා ලබා ගැනීමට මෙන්ම ලංකාවේ ව්‍යාපාරිකයකු ලංකාවේ ආයෝජනය නොකර වෙනත් රටවලට මුදල් රැගෙන යෑමේදී ඩොලර්වලට රුපියල් මාරු කර ගැනීමට සිදු වෙයි. මුදල් ගෙන යන්නේ ඉල්ලුම සහ සැපැයුම යන දෙඅංශයටය. රජය හෝ වෙනත් ආයතනයක් මැදිහත් නොවෙන්නේ නම් වෙළෙඳපොළ බලවේග අනුව රටක විනිමය අනුපාතය තීරණය වෙයි.

එසේම ණය ලබා ගැනීමෙන් මෙරට ඩොලර් සංචිත වැඩි වුවත් මේ ලබාගත් ණය නැවත ගෙවීමේදී වැඩි මුදලක් රටින් පිටතට යයි. ඩොලර් සැපැයුම සහ ඉල්ලුම යන මේ බලවේග දෙක හුදෙක් නිදහසේ වෙළෙඳපොළ බලවේග මතම ක්‍රියාත්මක වුවහොත් වෙනත් කිසිදු බලපෑමක් මූල්‍ය අධිකාරිය හෝ රජය හෝ වෙනත් තුන්වැනි පාර්ශ්වයකින් යමක් සිදු නොවුණහොත් ඉල්ලුම, සැපැයුම බලවේග මත රටක විනිමය අනුපාතය තීරණය වෙයි. අපේ රටේ නිදහසේ විනිමය අනුපාතය තීරණය වන්නේ යැයි කිව නොහැකිය. පසුගිය කාලයේ පැවැති අර්බුදකාරී තත්ත්වයන් හමුවේ බොහෝ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අවමයක් දක්වා පහත වැටිණි. සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමක් සිදු විය. එහෙත් අපනයන ක්ෂේත්‍රය පවත්වාගෙන යම් තාක් දුරට පවත්වාගෙන යන ලදී. ඒ අනුව ඩොලර් සැපයුම විශාල ලෙස අඩු විය. වර්ෂයකට අපනයනික මඟින් ඉපැයිම් ප්‍රමාණය ඩොලර් බිලියන 11වෙයි. ආනයනික ඩොලර් බිලියන 22 කි. මේ ආනයන අපනයන අතර පරතරය පියවා ගත යුතුය. ඒ නිසා අර්බුදයක් නිර්මාණය වූ පසුව ආනයනික සීමා කිරීම සහ පාලනය කිරීමක් සිදු විය. මසකට ඩොලර් බිලියන 2ක පමණ ආනයනික පැවැති අතර, එය 1.4 දක්වා අඩුවී ඇත්තේ ආනයනික පාලනය කිරීම නිසයි. ඒ අනුව සාපේක්ෂව ඩොලර් රටින් පිටතට ගලාගෙන යෑම මිලියන 500ක් පමණ අඩුවී ඇත. කෙසේ වෙතත් මේ වනවිට සංචාරක ආකර්ෂණය වැඩි වීමක් දක්නට ලැබෙයි. එමෙන්ම විදෙස් ප්‍රේෂණයන් ද මිලියන 400ක් පමණ මාසිකව හිමි වෙයි. අපනයන මඟින් මිලියන 800ක් පමණ ලැබෙයි. මේවා සාමාන්‍යයෙන් පසුගිය කාලයේ මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයට පෙර සිදු වූ ක්‍රියාවලියකි. පසුගිය දශක ගණනාවක් පුරා සාමාන්‍ය ආකාරයට පැවැති ක්‍රියාවලිය වෙයි. නමුත් එය මෙරට පැවැති හොඳම සාමාන්‍ය තත්ත්වය එය නොවන අතර, එම තත්ත්වයට යා යුතුය. එසේ නම් මේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන උපරිමයට අප යා යුතුය. 2019 අගභාගයේදී පැවැති ඩොලර් මිලියන 800ක සීමාව මාසයකට ලැබුණ සීමාවයි. එසේම සංචාරක කර්මාන්තය හරහා ඉපැයීම 2019 පෙර ඩොලර් බිලියන 6ක් පමණ වසරකට හිමිකර ගත් අතර, තවම ඒ මට්ටමට ළඟා වී නැත. මේ තත්ත්වයන් නැවත වැඩි දියුණු කරගැනීමට ක්‍රමවේද වෙනස් කළ යුතුය.

මේ වනවිට විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදු කර ඇත. එහෙත් ඉදිරි වසර දහයක් වැනි කාලයක් ඉදිරියට ඩොලර් බිලියන 4ක් පමණ වාර්ෂිකව ණය ගෙවීමට සිදු වී ඇත. දැනට මහ බැංකුවේ පවතින සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් පමණ වීම යම් සාධනීය තත්ත්වයකි. මෙය පසුගිය වසරේ මැයි මාසය පමණ වනවිට ඩොලර් මිලියන 20ක පමණ අවමයකට පහත වැටිණි. මේ ආකාරයට දිගු ගමනක් යා නොහැකිය. රුපියල ස්ථාවරව තබා ගැනීමට නම් වහාම කෙටි කාලයකදී කඩිනමින් ඩොලර් උපයාගත හැකි ක්‍රමවේද වඩා ප්‍රචලිත කිරීම සිදු විය යුතුය. සංචාරකයන් රඳවා ගැනීමට වඩා විධිමත් ක්‍රමවේදයක් සැකසීම වැදගත් වෙයි.

අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය ඉක්මනින් වෙනස් වන සුලුය. අපි විදෙස් මුදල් උපයා ගන්නා ක්‍රමවේදයන් විධිමත් කිරීම වැදගත් වෙයි. සංචාරක කර්මාන්තයේදී නව පහසුකම්, සංචාරකයන්ගේ සුරක්ෂිත භාවය සහ ඔවුන්ට ඇති නීතිමය බාධක වැනි දේවල් කඩිනමින් වෙනස් කළ යුතුය. මෙරට විදෙස් ආදායම් ලැබෙන අනෙක් ප්‍රධාන ක්‍රමවේදය නම් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණයි. එහිදී පුහුණු ශ්‍රමිකයන් වඩා වැඩි ආදායම් ලබන රටවලට යෑවීම, භාෂා දැනුම සහ තොරතුරු තාක්ෂණය පුහුණු කිරීමේ ක්‍රමවේද අවශ්‍ය වෙයි. විශේෂයෙන් පුහුණු ශ්‍රමිකයන් මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධීකරණයට ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙයි. විදෙස් රැකියා අවස්ථාව ඇති අංශ කෙරෙහි පුහුණුවීම් සකස් කර යම් ක්‍රමවේදයක් අනුව විදෙස් ගත කිරීම් සිදු කළ යුතුය. මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයන් වෙයි. ඒ අය සම්බන්ධීකරණය කර ගැනීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රමවේදයක් සකස් කිරීමෙන් එය විධිමත් වෙයි. ඒ සඳහා දත්ත පද්ධතියක් සකස් කර ගැනීම මඟින් විදෙස් ගත වන ශ්‍රමිකයන් ද වඩා සුරක්ෂිත වෙයි. එසේ දත්ත පද්ධතියක් පවතින්නේ නම් විශේෂයෙන් ගෘහ සේවයට යන පිරිසට මුහුණ දීමට සිදුවන ගැටලු අවම වෙයි. එමෙන්ම අයථා ආකාරයට සිදු වන විදෙස් ගතවීම් මාර්ග සියල්ල වසා දැමීමට හැකිවන්නේ ද විදෙස් ගත වන ශ්‍රමිකයන් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමෙනි. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් විය යුතු වෙයි. අඛණ්ඩව මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් ඇගැයීමකට ලක් කළ යුතුය. මේ පවතින ක්‍රමවේදයන් තුළ එක් තැනකට සංකේන්ද්‍රණය නොවන ලෙස යම්කිසි ක්‍රමවේදයක් අනුව එය සකස් කළ යුතුය. එනම් ඩොලර් නිශ්චිත ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයන්ට යම්කිසි ඇගයිමට ලක් කිරීම වැදගත් වෙයි. සංචාරක කර්මාන්තය සහ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩි දියුණු කිරිම වැනි කෙටිකාලීන වැඩපිළිවෙළකට කඩිනමින් යා යුතුය.

එසේම ඉන් අනතුරුව මැදිකාලීන පියවර අනුගමනය කළ යුතුය. පසුගිය කාලයේ රුපියල ශක්තිමත් වුව ද එය සිදු වූයේ අපනයන වැඩි වීමෙන් නොවේ. අපනයන ඉපැයීම් අඩු වූ අතර, අපනයන ඊට සාපේක්ෂව අඩු වෙයි. එසේ නම් අපි අපනයන වැඩි කළ යුතුය. රටේ සන්නාමය රැකෙන පරිදි අපනයන කඩිනමින් වැඩි කළ යුතුය.

දේශපාලනික වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් IMF එකට විරුද්ධව කළු චිත්‍රයක් මැවුවද IMF එක සඳහන් කර ඇත්තේද ආදායමට සරිලන ප්‍රමාණයට වියදම් කිරීම ආරම්භ කළ යුතු බවයි. එසේ නැතිනම් වියදම රට තුළින් සොයා ගැනීම සිදු කළ යුතු බවයි. ඒ අනුව අය වැය හිඟය පියවා ගැනීමට යම් කිසි ක්‍රමවේදයක් ලෙස බදු ආදායම වැඩි කිරීම සිදු කරන ලදී. ඔවුන්ගේ යෝජනාව වුණේ වැය කපා හැරීමට බැරි නම් අය වැඩි කළ යුතු බවයි.

නමුත් ආණ්ඩුව විසින් එක්තරා දැඩි පියවරක් අනුගමනය කරනු ලැබිණි. IMF සඳහන් කළේ අවම වශයෙන් 2019 තිබුණ ආදායම් තත්ත්වයට ගෙන එන ලෙසයි. එනම්, ජාතික නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 14% දක්වා විය යුතු වීමයි. කඩිනමින් බදු පැනවිය යුතු අතර, එය 13% ක් දක්වාවත් වැඩි විය යුතු බවයි. ඒ නිසා ඉතාම පැහැදිලිව අය කරගත හැකි පිරිස ලෙස වැටුප් වාර්තාවක් ඇති පිරිසගෙන් බදු අයකිරීම සිදු කෙරෙයි. නමුත් පසුගිය කාලයේ 8% දක්වා බදු නිදහස් කළ පසු එහි වාසිය ලබාගත් පිරිසගෙන් මේ වනවිටත් බදු අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර නැත. බදු නිදහස ලැබු පිරිස බදු ගෙවීමට ඇතුළත් කළ යුතුය. ලංකාවේ ආදායම් බදු ලිපිගොනු ලක්ෂ දෙක හාමාරක් පමණ ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතියි. ව්‍යාපාරික බදු ලිපිගොනු පවතින්නේ ලක්ෂ 3කට අඩුවෙනි. මේ ලක්ෂ 6කට අඩු පිරිස ගෙවන බදු ප්‍රමාණය මේ රටේ බදු අය විය යුතු ප්‍රමාණයෙන් අවමයක් වෙයි. ඒ නිසා ලංකාවේ බදු අය කරනු ලබන බදු පදනම පුළුල් විය යුතුය. රජයෙන් ලැබෙන වරප්‍රසාද සියල්ල ලබා ගත්තද බදු ගෙවීමක් සිදු නොකරයි. කළ යුත්තේ 100,00ක් දෙනාගෙන් 100,000 බැගින් බදු අය කිරීම නොවේ. 100,000 ක් දෙනාගෙන් 100,00 බැගින් අය කර ගැනීමයි. ඒ සඳහා බදු ගෙවන පිරිස වැඩි කළ යුතුය. මේ සඳහා ආර්ථික බුද්ධි ඒකකයක් මඟින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. කිසියම් ගෙවීමක් කරන්නේ නම් එයට අදාළ බිල් පතක් නිකුත් කිරීම සෑම ක්ෂේත්‍රයකම සිදු විය යුතුය. එයට ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එසේම විදෙස් විනිමය හිඟය සම්බන්ධයෙන් IMF අපනයන වැඩි කර ගැනීමට යෝජනා කර ඇත. එසේම දේශීය වියදම් වැඩි කරගැනීමට නම් රජයේ පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට පැවරීම වැනි යෝජනා ඒ අතර වෙයි. IMF බිල්ලෙක් නොවේ. දේශපාලන බලපෑමකින් තොරව විනයක් අනුව නිවැරදි නීතිමය රාමුවක් තුළ එහි යෝජනා ක්‍රියාත්මක කළ යුතුය.

මේ වනවිට රුපියල ශක්තිමත් වීම සිදු වී ඇත. එය පවත්වා ගෙන යෑමට නම් ණය ගෙවීම් ආරම්භ කළ පසු ඩොලර් ප්‍රමාණය ඉපැයුම් හරහා වැඩි කළ යුතුය. එනම් අපනයන සංචාරක ව්‍යාපාරය විදෙස් ප්‍රේෂණ හරහා, සේවා විකිණීම් හරහා, විදේශික දරුවන් සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සහ විදෙස් ආයෝජකයන් හරහා ඉපැයිම් සිදු කළ යුතුය. එසේ කරමින් ණය ගෙවීම හැකි ප්‍රමාණයේ මුදලක් උපයා ගත යුතුය. එසේ නොවුණහොත් මේ රුපියල ශක්තිමත් වීම තාවකාලික දෙයක් බවට පත් විය හැකිය.

මෙතැනින් ඉදිරියට ඉතිරි වසර දහය 12ක කාලය ඩොලර් බිලියන 10ක් හෝ 12ක් ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙයි. ඒ ප්‍රමාණය උපයා ගැනීමට නොහැකි නම් බංකොලොත් භාවයෙන් මිදුණායැයි කිව නොහැකිය. දැනටත් අපිට සියලුම දේ ආනයනය කිරීමට විශාල මුදලක් අවශ්‍ය වේ. වසරකට බිලියන 4ක් ගෙවීමට සිදු වන්නේ නම් එය ඉක්මවා ගිය ඩොලර් ප්‍රමාණක් ඉපැයිය යුතුය. ඩොලර් බිලියන 6ක් වත් සංචිත ලෙස තබා ගත යුතුය. ආනයනික වියදම් සහ ණය සේවාකරණය සහ ඉක්මවා ගිය සංචිතයක් මහ බැංකුව තුළ තිබිය යුතුය. එසේ නම් රටක් ලෙස අප අප ඉදිරියේ ඇති අභියෝගය ජය ගැනීමට ඉදිරියේ ගෙවිය යුතු ණය ගෙවීමට ප්‍රමාණවත් අමතර විදෙස් මුදලක් කෙසේ හෝ උපයා ගත යුතුය.

Comments