
ලෝකය ඇත්තේ මිනිය නොහැකි තරම් වේගයෙන් වෙනස් වෙමිනි. එය ආලෝක තරංග වේගයටත් වඩා වේගවත් ය. කාන්තාව හා පිරිමියා සම්බන්ධ මතවාද ද ඒ හා සමාන වේගයෙන් වෙනස් වෙමින් තිබේ. තවදුරටත් කාන්තාව සියුමැලි හෝ මල් වැනි හෝ නොවන බවත් ඇය පිරිමියා හා සමානව ලෝකයේ ආර්ථිකයට උර දෙන බවත් මතයක් නොව යථාර්ථයක් වුණු සමයක අපි ජීවත් වෙන්නෙමු. මේ ඒ වැනි දිරිය කාන්තා පෞරුෂයකට කදිම නිදර්ශනයකි.
ඇය ආසියාවේ ඉපදුණ ද කවියනට වස්තු වූ කාන්තාව තරම් සියුමැලි වන්නට හිත හදා ගත්තේ නැත. අභියෝගවලට අභියෝග කරන ඇය පිරිමින්ට සින්නව තිබුණු ක්ෂේත්‍රයක ජයකෙහෙළි නංවන්නේ ඒ නිසා ය. ඇය තමන් උපන් මව්බිමෙන් බැහැරව විදේශීය රටක තමන්ගේම වූ ව්‍යාපාරයක් ආරම්භ කළ දක්ෂ ව්‍යවසායිකාවක ද වන්නේ ඒ අනුවය.
ඇය ඩුබායි හි මේ වන විට ඉතාම සාර්ථක ලෙස වාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු හි නිරත ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යන Crown Lanka Auto General LLC හි හිමිකාරිනිය වන ඇය කුමුදුනී රත්නායකයි. පොලොන්නරුව ඇලහැර ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඈ තම සැමියා වන අනුරුද්ධ අදිකාරම්ගේ සහය ද ඇතිව 2022 වසරේදී මෙම Crown Lanka Auto General ව්‍යාපාරය ආරම්භ කළේය. ඉතාම කාර්යක්ෂම ලෙස හා වගකීමක් ඇතුව විවිධ වර්ගයේ වාහන අලුත්වැඩියා කටයුතු සිදු කරමින් එම ව්‍යාපාරය මේ වන විට ඩුබායි හි ජනප්‍රිය මෙන්ම සාර්ථක ව්‍යාපාරයක් බවට ද පත් වෙමින් තිබේ.
අත්තනකඩවල ජාතික පාසැලෙන් සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරා අනතුරුව තෝපා වැව ජාතික පාසැලට ඇතුළත් වූ කුමුදුනී රත්නායක එහිදී උසස් පෙළ අධ්‍යාපනය නිම කළ අතර එතැන් පටන් ඇය අවධානය යොමු කළේ ඇගේම භාෂාවෙන් කියනවා නම් දක්ෂතාව හා හැකියාව ඔප් නංවා ගනිමින් තම දිරියෙන් හා උත්සාහයෙන් ජීවිතය සාර්ථක ඉසව්වක් වෙත ගෙන යාමටයි.
ඒ අනුව 2007 වසරේ සිට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අත්හදාබැලීම් සිදු කරමින් මෙන්ම නව දැනුම එකතු කර ගනිමින් තම ව්‍යාපාරික පරිසරය ගොඩනඟා ගැනීමට ඇය උනන්දු වූ අතර එහිදී ඇගේ පළමු ව්‍යාපාරය වූයේ රෙදි ව්‍යාපාරයයි. අමු රෙදි මිලදී ගෙන එම රෙදි තම දෑතේ ශක්තියෙන් නිමි ඇඳුම් ලෙස සකස් කර ගත් කුමුදුනී එම නිමි ඇඳුම් පමුණුවට ගොස් අලෙවි කළා ය. ඒ අතරතුරම විසිතුරු මල් සැකසුම් කලාව ද ප්‍රගුණ කළ ඕ ගමේ පොල් එකතු කර පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලියට ද අත ගැසුවාය.
එමෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ දැනුමක් ලබමින් රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් ලබා ගත් අතර කේක් හා බේකරි නිෂ්පාදන සඳහා යොමු වෙමින් ඒ පිළිබඳව විෂය දැනුම ප්‍රගුණ කළ පාඨමාලාවක් ද ඇය හැදෑරුවාය.
මෙලෙස සුළු පරිමාණ ව්‍යවසායිකාවක ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලයේදී තම ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කිරීමට තමාට පිහිට වුණේ අල්ලපු ගෙදරින් ඉල්ලා ගත් බයිසිකලය බව අද ඇය නිරහංකාර ලෙස සිහියට නඟන්නීය. කෙසේ වුවත් ව්‍යාපාර කටයුතු ටිකෙන් ටික දියුණු වෙමින් යද්දී මිල මුදල් ඉතිරි කර ගනිමින් තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට ද අපේ මේ කතා නායිකාව කුමුදුනි රත්නායක සමත් වූවාය.
විශේෂයෙන්ම 2010-2011 යන කාල සීමාවේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව ද කුමුදුනීගේ අවධානය යොමු වූ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද ප්‍රවේශ වීමට ඇයට හැකි වුණි. ටික දිනක් යන විට එම කර්මාන්තය සඳහා අවශ්‍ය මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර ද මිලදී ගත්තාය. ඒ හරහා ව්‍යාපාර කටයුතු සම්බන්ධව විශාල දියුණුවක් අත් කරගත් අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සමඟ ද හවුල් වෙමින් සිය ගමන තවදුරටත් ශක්තිමත් කර ගත්තාය.
තමන් අධ්‍යාපනය ලැබූ අවදියේදී මුහුණ දුන් ආර්ථික අපහසුතා ගැන කල්පනා කළ අතර, එවැනි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙමින් සිටි දරු දැරියන්ට උදව්, උපකාර කළාය.
2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ජනතාවගෙන් මෙන්ම දේශපාලන පක්ෂ, සංවිධාන රැසකින්ද ඇය වෙත ආරාධනා හිමි විය. ඒ අනුව ඇලහැර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් වීමේ අවස්ථාව උදා කර ගත්තාය. වසර පහකට ආසන්න කාලයක් ඇය එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය.
පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ආයතන රැසකම ව්‍යාපාර කටයුතු අඩපණ විය. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ඇයට තේරුම් ගිය අතර විදේශගත ව තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට තීරණය කළාය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය ස්වාමියා, දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ ඩුබායි වෙත පැමිණීමට ඇයට හැකි වූවාය.
ඩුබායි වෙත ගොස් ටික දවසකින්ම ඇය වාහන අලුත්වැඩියා කිරීමේ මෙම නව ව්‍යාපාරය එරටදී ආරම්භ කළාය. ඒ 2022 දෙසැම්බර් මාසයේදීයි. Crown Lanka Auto General LLC නමින් ආරම්භ කරන ලද එම ව්‍යාපාරය කුමුදුනීගේ ජීවිතයේ නව ඇරඹුමක් ලෙස හඳුන්වා දිය හැකිය. තම සැමියා වන අනුරුද්ධ අදිකාරම්ගේ සහය ද ඇතිව එම ව්‍යාපාරය මේ වන විට ඉතා සාර්ථක ලෙස සිදු කර ගෙන යාමට ඇය සමත්ව ඇත්තීය.
ඇය තම සාර්ථකත්වය පිළිබඳව මෙසේ කරුණු අනාවරණය කළේ මෙසේය.
"ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ උත්සාහය, උනන්දුව, අධිෂ්ඨානය හා කැපවීමයි. මගේ ව්‍යාපාර කටයුතුවලදී සියලුම ව්‍යාපාරික තීන්දු තීරණ ගන්න මගේ මහත්තයා මට අවස්ථාව දෙනවා. මට ඒ සඳහා විශාල ශක්තියක්, ධෛර්යයක් ලබා දෙනවා. එයට හේතුව වන්නේ මම හැම විටම ගන්නා තීරණ නිවැරදි හා සාර්ථක නිසා වෙන්න ඇති. කාන්තාවක් ලෙස සමාජයේ සහ ව්‍යාපාර කටයුතු වලින් ඉදිරියට යන්න හැකි වෙලා තියෙන්නෙ සැමියා මට ලබා දෙන සහයෝගය නිසයි.
වාහනයක යම් දෝෂ සහගත තත්වයන්ට පත් වූ විට එම දෝෂ නිවැරදි කර ගැනීම ඉතාම වගකීමකින් යුතුව සිදු කළ යුතු දෙයක්. ඒ නිසා අපගේ ආයතනය වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කිරීම් සම්බන්ධ කටයුතු ඉතාම වගකීමකින් යුතුව විශ්වාසවන්ත ලෙස අප ඉටු කර දෙනවා. මෙහිදී General Repairing , Denting & Painting , AC Repairing , 24/7 Recovery Service අපගේ ආයතනය සිදු කරනවා.
මට ඉන්නේ පුතාලා දෙන්නයි, දුවයි. ඉදිරියේදී ඩුබායි හි තවත් තවත් ප්‍රදේශවල අපගේ ශාඛා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙනත් රටවලටත් මෙවැනි ගරාජ් ආරම්භ කරන්න අදහසක් තිබෙනවා.
මට මෙහිදී කියන්නට කතාවක් තියෙනවා. අපි නිරන්තරයෙන්ම දකින සාම්ප්‍රදායික කාන්තාව හැමදාමත් ජීවත් වන්නේ ප්‍රශ්න, ගැටලුවලින් හිත් පුරවාගෙනයි. හැබැයි මම දකින විදියට මේ ප්‍රශ්න තමයි අභියෝග කියන්නේ. එම නිසා මම ඒ අභියෝග හැම දෙයක්ම මේ වෙනකොට ජය අරගෙන තියෙනවා. අද මම පැමිණි ගමන් මඟ පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. බලාපොරොත්තු සහ උත්සාහය තියෙනවා නම් ඕන කෙනෙකුට ඒවට මුහුණදී ඕනෑම අභියෝගයක්ම ජය ගන්න පුළුවන්. කැපවීම තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්."