බැංකු පොතේ කෝටි ගණන් තියෙන රාජාංගණේ හිමිගේ පැටිකිරිය එළියට | සිළුමිණ

බැංකු පොතේ කෝටි ගණන් තියෙන රාජාංගණේ හිමිගේ පැටිකිරිය එළියට

බුද්ධ චීවරයට පවා නිගා දෙන ආකාරයට ඉතා පහත් ආකාරයට කුණු හරුප දෙසා බාමින් යූ ටියුබ් චැනලයක් පවත්වා ගෙන යමින් ජාතීන් අතර සංහිඳියාව බිඳ දැමෙන ආකාරයේ වෛරී ප්‍රකාශ සමාජගත කරමින් සිටි රාජාංගණයේ සද්ධාරතන හිමිට දැන් නීතියෙන් ගැලවිල්ලක් නැති තරම්ය.

චීවරය ඇඟලා ගෙන සිටින උන්වහන්සේගේ වාග් කෝෂය සංඝයා වහන්සේට කිසිසේත්ම නුසුදුසුය. කට ඇරියොත් පළාතම ගඳ ගස්සවමින් උන්වහන්සේගේ මුවින් එළියට පනින්නේ කුණු හරුප වැලකි. රාජාංගණය වැනි ඉතා දුෂ්කර ප්‍රදේශයක හැදී වැඩී ගමේ පාසලෙන් අකුරු කර නව යොවුන් වියේදී සසර කලකිරී මහණ දම් පුරන්නට ආ උන්වහන්සේ නිසා දැන් සසර කලකිරී ඇත්තේ සමස්ත බෞද්ධ ජනතාවගේය. උන්වහන්සේ සමස්ත භික්ෂු පරපුරටම නිගාදෙන ආකාරයෙන් මෙසේ හැසිරෙමින් සිටින්නේ බුදුදහම විනාශ කිරීමේ NGO ව්‍යාපෘතියකට අනුවදැයි ඇත්තේ සැකයකි. ඒ ගැන පවා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඇත්තේ විමර්ශනයක් පැවැත්වෙමිනි. 

කුණු හරුප මිස බණක් භාවනාවක් බෝධි පූජාවක් ගැන වීඩියෝවකින් දකින්නට නොමැති මෙම භික්ෂුවට එරෙහිව විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නේ සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන්ය. රාජංගණයේ සද්ධාරතන හිමි ඒ වන විටත් සිටියේ ආගමික ශාස්තෘවරුන්ට, ආගමික නායකයන්ට මෙන්ම තෝරාගත් භික්ෂූන් වහන්සේ කිහිප නමකට ඉතා නින්දිත ලෙස කුණුහරුප වැල්වලින් යූ ටියුබ් නාලිකාව ඔස්සේ පරිභව කරමිනි. ඒ අයට පහර ගසමිනි. භික්ෂුවකට කිසිසේත්ම නොගැළපෙන වදන්වලින් සිය හැකර කටින් පරිභව කරමින් සිටි රාජාංගනයේ සද්ධාරත්න හිමිට එරෙහිව පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ල ගොනු කරනු ලබන්නේ උන්වහන්සේගේ වෛරී ප්‍රකාශ මඟින් ආගම් සහ ජාතීන් අතර සංහිදියාව බිද හෙළන බව පෙන්වා දෙමිනි.

මෙම පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවධානයක් යොමු කරනු ලබන්නේ ඒ වන විටත් ආගමික සංහිඳියාවට බලපෑම් කරමින් රට තුළ ව්‍යාකූලත්වයක් සහ ගැටුමක් ඇති කිරීමට සංවිධානාත්මකව එන්.ජී.ඕ. නඩයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට වූ තොරතුරක් බුද්ධි අංශ විසින් හෙළිදරව් කර තිබුණු පසුබිමක් තුළදීය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් විසින් මෙම භික්ෂුව විසින් කාලයක් තිස්සේ සිය යූ ටියුබ් චැනලය හා මුහුණ පොත හරහා උඩුගතකර තිබුණු වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූයේ උන්වහන්සේගේ කියුම් කෙරුම් ආගමික සංහිඳියාවට බාධාවක් බවය. උන්වහන්සේගේ ඇතැම් මතවාද සහ ප්‍රකාශ ජනතාව ප්‍රකෝප කරන ඒවා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගියේය.

භාෂණයේ නිදහසට මුවා වී උන්වහන්සේ කරන මෙම ප්‍රකාශ ලක්ෂ ගණනක් ජනතාව නරඹා ඇති බව මෙන්ම එම ප්‍රකාශයන් අනුමත කරමින් බොහෝ අය උද්වේගකාරී අදහස් දැක්වීම් කර ඇති බව ද ඩිජිටල් වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් දුටුවේය. භික්ෂුවකට කිසිසේත්ම ඔබින්නේ නැති මෙම ප්‍රකාශයන් සංහිඳියාවට මෙන්ම ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් බව පෙනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගියේය. උන්වහන්සේ සිය වීඩියෝවල අන් ආගමිකයන්ට පහර දෙන්නට, කපන්න කොටන්න, නිවාස වලට හානි කරන්නට පොලඹවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැඟුණේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට පෙර සහරාන් වීඩියෝවක් නිකුත් කරමින් එම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට හේතු කිහිපයක් දක්වා තිබුණි. එම වීඩියෝපටය එළියට එන්නේ පාස්තු ප්‍රහාරයෙන් පසුවය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පවා එම වීඩියෝව දැඩිව කතාබහකට පවා ලක් වූයේය. එම වීඩියෝවේ පවා එක් භික්ෂුවක් විවේචනයට ලක්ව තිබුණේය. ඒ එම භික්ෂුවකගේ කියුම් කෙරුම් ද පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට මුල්වූ බවට සමාජ ගත කරවන්නට උත්සහ ගනිමිනි. නමුත් එම භික්ෂුව රාජාංගණයේ සද්ධාරත්න හිමි මෙන් කුණු හරුප කියාගෙන දගලන අයෙක් නොවූහ. උන්වහන්සේත් යම් න්‍යාය පත්‍රයකට අනුව වැඩ කළත් අදටත් සිටින්නේ බෞද්ධ සමාජය තුළ ගෞරවයට ප්‍රාප්ත වෙමිනි. රාජංගණයේ සද්ධාරත්න භික්ෂුව මෙන් නොව, බෝධි පූජා සහ ධර්මදේශනා පැවැත්වීම සම්බන්ධයෙන් අදටත් උන්වහන්සේට බොදු බැතිමතින් අතර ලොකු ඉල්ලුමකි.

ඒ අතින් බලන කල රාජාංගණයේ සද්ධාරතන භික්ෂුව තනිකරම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරනු ලබන්නේ රස්තියාදුකාරයෙකුගේ භූමිකාවකි. ඒ බව සමස්ත භික්ෂු සමාජයම පිළිගන්නා කරුණකි. ධර්මධර විනයධර භික්ෂූන් කිසිසේත්ම උන්වහන්සේගේ හැසිරීම අනුමත කරන්නේ නැත.

ජාතිවාදය ආගම් වාදය අවුස්සන්නට කටයුතු කරමින් සිටි මෙම භික්ෂුවගේ මේ ක්‍රියාවට නැවතීමේ තිත නොතිබ්බොත් වැඩිකල් නොයා රට තුළ ජාතිවාදී මෙන්ම ආගම්වාදී ලොකු පිපිරීමක් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. අනුරාධපුර ශ්‍රාවස්තිපුර පිහිටි ශ්‍රීමත් පින්සිරි ප්‍රනාන්දු ආශ්‍රමයට ගොස් උන්වහන්සේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ එබැවිනි. ඒ මැයි 28 වෙනිදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් එදා අත්අඩංගුවට ගන්නා උන්වහන්සේව කොළඹට රැගෙන විත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමේ චෝදනාව එල්ලකරමිනි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උන්වහන්සේව තවදුරටත් නීතියෙන් සිරකරනු ලබන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත පවා උන්වහන්සේ උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටින බව පවා අධිකරණය හමුවේ කරුණු දක්වමිනි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් හමුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් උන්වහන්සේව බන්ධනාගාරගත කරනු ලබන්නේ පසුගිය 07 වෙනිදා දක්වාය. නැවතත් වැඩිදුරටත් ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ උන්වහන්සේ සම්බන්ධයෙන් කෙරන විමර්ශන ගැන තත්ත්වයන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන කරුණු දැක්වීමකින් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම භික්ෂුවට අමුතු තැන්වලින් විශාල වශයෙන් මුදල් ගලා එමින් ඇත. එම මාර්ග ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත් අංකයට අනුව මෙරට පිහිටි වාණිජ බැංකු 12ක ඇති ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගනිමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට අනුව මෙම බැංකු 12න් මෙතෙක් මෙම භික්ෂුවගේ නමින් ගිණුම් ඇති බවට වූ වාර්තා ලබාදී ඇත්තේ බැංකු 03ක් පමණි. එම බැංකු තුන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ගිණුම්වල ගනුදෙනු සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්ද ලබාදී තිබේ. ඊට අනුව මෙම ගිණුම් තුනේ හුවමාරුවී ඇතැයි සඳහන්වන මුදල රුපියල් කෝටි 06කි. මෙම මුදල් ප්‍රමාණය හුවමාරුවී ඇත්තේ වසරක් වැනි කෙටි කාලයක් තුළදිය. මේ සා මුදලකින් උන්වහන්සේ කළ දෙයක් නැත. මේ මුදල් උන්වහන්සේට එන මාර්ගයක්ද පැහැදිලි නැත. මේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් එංගලන්තයෙන් ලැබෙන බව පෙනී ගොස් ඇත. ඒ හැරුණු කොට අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවකින්ම උන්වහන්සේගේ බැංකු ගිණුම් පොහොසත් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගියේය. ඒ හැරුණු කොට දේශීය වශයෙන් මෙම ගිණුම්වලට මුදල් බැරවී ඇත්නම් එය තැකීමකට ලක්කළ නොහැකි තරම්ය. 

මේ බැංකු ගිණුම් 03ක් සම්බන්ධයෙන් එළියට ආ වාර්තා පමණි. තවත් බැංකු 09කින් වාර්තා ලැබීමට ඇත. එම වාර්තා එන විට තත්ත්වය මෙයට වඩා වෙනස් වනු ඇතැයි අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. එංගලන්තයෙන් මෙම භික්ෂුවට මුදල් විශාල වශයෙන් එවා ඇතැයි පැවසෙන්නේ පින්සිරි ප්‍රනාන්දු නම් වූ අයෙකි. මෙම පුද්ගලයා කවුරුන්දැයි මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් සොයා බැලීමක නිරතව සිටින්නේ කෝටි ගණන් පූජකාරන්නට තරම් ඔහුට ඇති වුවමනාව ගැනද විශේෂ අවධානයක් යොමුකරමිනි. මෙම භික්ෂුව අත්අඩංගුවට ගත් විහාරය පවා නම් කර ඇත්තේ එම පුද්ගලයාගේ නමිනි. ඒ නම ඉදිරියට ශ්‍රීමත් යන ඔහුට නැති නම්බු නාමයක්ද යොදාගෙනය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම භික්ෂුවගේ ගිණුම් මුදල් වලින් පුරවන එංගලන්තයේ ජීවත්වන බව කියැවෙන පින්සිරි ප්‍රනාන්දු නමැති අය යූ ටියුබ් නාළිකාවක් පවත්වා ගෙන යන රංගන ශිල්පියෙක් සමඟින් ද ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වා ගෙන යනු ලබන බව කියැවේ. රාජාංගණයේ සද්ධාරතන භික්ෂුවට මෙම පින්සිරි ප්‍රනාන්දුව සම්බන්ධ කර දී ඇතැයි කියැවෙන්නේ එම රංගන ශිල්පියාය. එම රංගන ශිල්පියා ද ඔහුගේ යූ ටියුබ් චැනලය ඔස්සේ පතුරුවන මත ගැන පවා මේ වන විට බුද්ධි අංශ සිටින්නේ දැඩි අවධානයකිනි.

රාජාංගණයේ සද්ධාරතන හිමියන් බුද්ධ ශාසනයට ඇතුළු වී ඇත්තේ රාමඤ්ඤනිකායේ සාමණේර හිමිනමක් ලෙසිනි. එහෙත් උන්වහන්සේගේ ගති පැවතුම් වලින් එම නිකායේ සම්ප්‍රදායන්වත් පිළිඹිබු නොවන බව පැවසේ. උන්වහන්සේව යම් බළල් අතක් විසින් මෙහෙයවන්නේදැයි වෙනත් භික්ෂූන් වහන්සේට පවා ඇත්තේ තදබල සැකයකි.

මෙම භික්ෂුව හිටිහැටියේම මතුවන්නේ ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමය විහාරස්ථානයෙනි. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර පාදෙණිය පාරේ පහේ කණුව ප්‍රදේශයේය. 2018 වසරේදී හෝ ඒ ආසන්න කාල වකවානුවක මෙම විහාරස්ථානයට වැඩම කරනු ලබන මෙම භික්ෂුව එකල ගමේ ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නේ මත්පැන් පානය කර කලහාකාරීව හැසිරෙන පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් සමඟ එක්ව සිදු කරන නීති විරෝධි මත්පැන් ජාවාරමට එරෙහි කරන අරගලයකිනි. නීති විරෝධි මත්පැන් ජාවාරමට එරෙහිව කාන්තාවන් පෙරටු කරගෙන සටන් කළ උන්වහන්සේ ඒ අතර අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන්ද බලධාරීන් දැනුම්වත් කිරීමට ගම්වැසියන් සමඟ ලොකු වැඩසටහනක් ගෙන ගියහ. එහිදී උන්වහන්සේ කලහකාරී ලෙස හැසිරෙමින් මාර්ග පවා අවහිර කරමින් ලොකු සටනක් වන අලි ගම් වැදීමට එරෙහිව ගෙන ගිය බව ශ්‍රාවස්තිපුර පැත්තෙන් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

මේ තුළින් උන්වහන්සේ ශ්‍රාවස්තිපුර ගම්මානයේ ජනතාව අතර ගෞරවයටත් ප්‍රසිද්ධියටත් පත්වන විට ජාතිවාදී සහ ආගම්වාදී අදහස් තුරුලු කරගනිමින් වෙනත් ගමනක් යන්නට මුල පුරන්නේ පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්වද ළංකර ගනිමිනි. ඒ අතර අනුරාධපුර හොල්ලා ගෙන සිටි ඉරෝෂ් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැති පාතාල අපරාධකරු ද සිටියේය. මෙම පාතාල අපරාධකරු 2020 වසරේදී අනුරාධපුර දහයියාගමදී වෙඩි කා මරු වැලඳ ගත්තේ මහා මැතිවරණ උණුසුම අස්සේය. ඒ දක්වා අනුරාධපුරයටම මත්කුඩු බෙදුවේ ඔහුය. මෙම පුද්ගලයා ඇතුළු පාතාලයේ අපරාධකරුවන් කිට්ටු කරගෙන උන්වහන්සේ නාච්චියාදූව මුස්ලිම් ගම්මානයේ විහාරස්ථානයක් පවා ඉදිකිරීමට වරක් සූදානම් වන්නේ ලොකු ගැටුමකට පාර කපමිනි.

පාතාල අපරාධකරුවන් ඇසුරු කරමින් පාතාලයේ අපරාධකරුවකු මෙන් ජනතාවට පාට් දමන්නට ගැනීමත් සමඟ ශ්‍රාවස්තියේ වැසියන් උන්වහන්සේගෙන් ඈත්වන්නට ගත්තේ ය. ඒ උන්වහන්සේගේ පාතාලයේ හැසිරීම අනුමත නොකරමිනි. උන්වහන්සේට දාන මානාදිය ලබාදීම පවා ජනතාව ප්‍රතික්ෂේප කර තිබුණේය. ඒ අතර උන්වහන්සේ විහාරස්ථානයේ නායක හිමියන්ව බිය ගන්වා ගෙන සිටි බවට චෝදනාවත් පවා ඇතැම් ගම්වැසියන් කියති.

රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ හැසිරීම නිසාම විහාරස්ථානයේ දායක සභාවද එකල දෙකඩ වූ බව කියැවෙති. අවසානයේදී උන්වහන්සේට විහාරස්ථානය අතහැර යන්නට සිදුවන්නේ විහාරස්ථානයට පරිත්‍යාග ලෙස ලැබුණු මුදලක් සම්බන්ධයෙන් ඇතිවුණු ගැටුමක් දුරදිග ගොසිනි. ඇතැම් ගම්වැසියන් නම් කියන්නේ උන්වහන්සේව එම විහාරස්ථානයෙන් පන්නා දැමූ බවය.

කෙසේ වෙතත් නැවතත් මතුවන්නේ ශ්‍රාවස්තිපුර බෝධිරුක්කාරාම විහාරස්ථානයට කිට්ටුව පාත අලුතින්ම විහාරස්ථානයක් ගොඩනඟමින් එහි නායක හිමියන් බවට පත්වෙමිනි. නායක හිමියන් යැයි කීවාට එම විහාරස්ථානයේ සිටින එකම හිමිනම වන්නේ උන්වහන්සේ පමණි.

මෙම විහාරස්ථානය උන්වහන්සේ ගොඩනඟන්නේ අක්කරයක ඉඩමක් මෙයට වසර එකහාමාරකට පෙර මිලදී ගනිමිනි. එම ඉඩමේ උන්වහන්සේ අලුතින්ම වෙහෙරක් ගොඩනැඟුවේය. ශ්‍රීමත් පින්සිරි ප්‍රනාන්දු ආශ්‍රමය ලෙස නම් කරනු ලැබුවේ එම වෙහෙරය. මෙම වෙහෙර ගොඩනැඟීමට උන්වහන්සේට ගමේ කිසිදු වැසියකුගෙන් මූල්‍යමය දායකත්වයක් ලැබී ඇති බවක් නම් මෙතෙක් අනාවරණය වන්නේ නැත. මේ ගැන බුද්ධි අංශ විසින් කළ සොයා බැලීම්වලදී පෙනී ගොස් ඇත්තේ උන්වහන්සේට මුදල් ගලා එන්නට පටන්ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අන්තවාදී සහ ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරමින් කොළඹ සහ මීගමුව පැත්තේ පැවති උද්ඝෝෂණ සහ රැස්වීම්වලට සම්බන්ධ වීමත් සමඟ බවය. නාච්චිදූව ගම්මානයේ විහාරස්ථානයක් ඉදිකිරීමට පවා සූදානම් වී ඇත්තේ මේ කාලයේදීය. ඒ උන්වහන්සේට විශාල වශයෙන් එවැනි ගැටුම්වලට තුඩුදෙන දේ වලට මුදල් ගලා එන්නට වූ බැවිනි.

බුද්ධි අංශ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැඩිව සොයා බලමින් සිටින්නේ උන්වහන්සේට මෙතරම් විශාල මුදලක් ලබා දෙන පුද්ගලයන් කවුරුන් දැයි කියාය. උන්වහන්සේ කුණු හරුප දෙසා බාන්නේ ඒ අයගේ රූකඩ බවට පත්ව බව ද බුද්ධි අංශ වෙත පෙනී ගොස් ඇත. උන්වහන්සේට මුදල් ලබා දෙමින් රූකඩයක් බවට පත්කරගෙන නටවන්නේ පිටරට සිටින යම් බලවේගයක් විසිනි. එම බලවේගය මෙරට අරාජික කරන්නට වෙර දරන යම් සංවිධානාත්මක පිරිසක් බව නම් පැහැදිලිය. යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක අන්තවාදී, ආගම්වාදී එම කල්ලිය ගැන හැම තොරතුරක්ම වැඩිකල් යන්නට මත්තෙන් හෙළි කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රට හමුවේ තබනු ඇත. එම කල්ලියෙන් ලැබෙන ඩොලර් නෝට්ටුවලට වහා වැටී ආගමික සහජීවනය බිඳ හෙළා රට තුළ ගැටුම් ඇතිකරන්නට පෙළ ගැසී සිටින සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින ඩොලර් කාක්කන් රැසක් ගැනද බොහෝ තොරතුරු එහිදී එළියට එනු ඇත.

Comments