
හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයේ පොසොන් කූඩු තරගය පැවැත්වූයේ ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අනුග්‍රහයෙනි. මෙහිදි දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් අලංකාර වෙසක් පහන් කූඩු නිර්මාණය කරමින් රුපියල් 500,000 රුපියල් 250,000 හා රුපියල් 125,000 ජය ලද්දෝ සිළුමිණ හමුවේ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
ප්‍රථම ස්ථානය
දේශීය අමුද්‍රව්‍ය සංකලනයෙන් අපූරු නිර්මාණ කරන මෘදුකාංග ඉංජිනේරුවරයා
සම්බුදු තෙමඟුල නිරූපණය කරමින් උතුම් පොසොන් පොහෝ දින පිටිපන ධර්ම රශ්මි පොසොන් කලාපයේ රුපියල් ලක්ෂ 5 පළමු ත්‍යාගය දිනා ගත්තේ කොළඹ 5, නාරාහේන්පිට, ඊ.ඩි දාබරේ මාවතේ පදිංචි ඩබ්ලිව් විසල් ශ්‍රී බිනර නම් වූ අවුරුදු 24 ක් වයසැති තරුණ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. පවුලේ ආභාසයෙන් වෙසක් පහන් කූඩු නිර්මාණයට පණ පොවා වසර 10 පළපුරුද්දක් ඇති ඔහු සම්බුදු තෙමඟුල සිහිකරන මනරම් පොසොන් නිර්මාණය කළේ ගෝනිවලිනි.
කුඩා කල සිට නාරාහේන්පිට නගරාශ්‍රිතව පදිංචි වුව ද විසල් වෙසක් පහන් කූඩු නිර්මාණයට පණ පොවන්නේ 8 වසරේ සිසුවකුව සිටියදීමය. ඒ සිය පියා වන ඩබ්ලිව් සුසන්ත නිලරත්න ද වෙසක් පහන් කූඩු නිර්මාණයේ අති දක්ෂයකු වන බැවිනි. මෙදා පොසොන් පොහෝදා මේ පිය පුතු දෙදනාම පොසොන් පහන් කූඩු ඉදිරිපත් කළේ සිය හැකියා උපරිමයෙන් ඔප් නංවමිනි. පුතු විසල් ධර්ම රශ්මි පොසොන් කලාපයට බුද්ධාලම්භන ප්‍රීතිය නංවන ගෝනිවලින් අලංකාර පහන් කූඩුවක් නිර්මාණයට ඉදිරිපත් කරද්දී ඒ නිවෙසේ සිටි පියා කෝට්ටේ නගර සභාවෙන් කළ වෙසක් පහන් කූඩු තරගයට කැරකෙන හංසයන් මැද පිහිටි බුදු කුටියක් පොසොන් පහන් කූඩුවක් සේ නිර්මාණය කළේය. අවසානයේ පිය පුතු දෙදෙනාම මේ පොසොන් පොහෝදා සිය පොසොන් පහන් කූඩු තරගවලින් ජය ලැබුවේ පළමුවැනියා වෙමිනි.
“මම ලන්ඩන් ටෙක් සිටි විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස ඉගෙන ගන්න අතරම ජෝන් කීල්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියකු ලෙස වැඩ කරනවා. ගම නාරාහේන්පිට. මගේ තාත්තා ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. තාත්තා අවුරුදු 20 ක් තිස්සේ වෙසක් පහන් කූඩු හදලා තරගවලට ඉදිරිපත් කරනවා. මම 8 පන්තියේ ඉගෙන ගන්න කාලේ තාත්තාගේ මේ කූඩු වයරින් කරන්න පටන් ගත්තා. ඒ මගේ මුල්ම අත්දැකීම වුණේ බෞද්ධාලෝක වෙසක් කලාපයට තාත්තා හදපු කූඩුවක් වයරින් කිරීම. 2016 වසරේදි මම ගමේ වෙසක් කලාපයට පොඩි කූඩුවක් ඉදිරිපත් කළා. ගමේ මේ තරගයෙන් ප්‍රථමයා වුණා. සාමාන්‍ය පෙළ කරන කාලයේ මම බෞද්ධාලෝක මාවතේ තරගයට වෙසක් පහන් කූඩුවක් ඉදිරිපත් කර කුසලතා ඇගැයීමක් ලැබුණා. මගේ හැකියා වර්ධනය කරමින් 2018 මම බෞද්ධාලෝක වෙසක් කලාපයට නැවතත් මගේ නිර්මාණ ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ වසරේම යම් වෙනස්කම් කරමින් මේ කූඩුව පොසොන් දිනයක මහරගම පොසොන් කලාපයට ඉදිරිපත් කර පළමු වැනි ස්ථානය දිනා ගත්තා.
අම්මා එච්.ඩඩ්ලිව් අනුලාවතීය. පහන් කූඩුවලට කැටයම් කපලා දෙන්නේ අම්මා. නංගිත් මල්ලිත් එකතු වෙලා පවුලේ නිර්මාණයක් විදියටයි අපි මේවා ඉදිරිපත් කරන්නේ. සෑම වසරකම වෙසක් පොසොන් කාලයට පෙර ගෙදර සියලු දෙනාම එකතු වී නිදි මරාගෙන වෙසක් පහන් කූඩු තරගයට ඉදිරිපත් කරනවා. මේවා නිර්මාණය කළ යුත්තේ කොහොමද කියන එක අපි තීරණය කරන්නේ දෙසැම්බර් මාසයේදි පමණ..”
විසල් ලුම්බිණි විදුහලේ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුව ද වෙසක් පහන් කූඩු නිර්මාණය කරන්නේ විනෝදාංශයටය. විසල් රටේ පැවැති වාතාවරණයෙන් අනතුරුව පොසොන් පහන් කූඩුවක් ඉදිරිපත් කළේ මෙවර ධර්ම රශ්මි පොසොන් කලාපයටය. “පොසොන් කලාපයට මම ඉදිරිපත් කළේ සම්බුදු තෙමඟුල. බෝධීන් වහන්සේ මුල බුද්ධත්වය නිරූපණය වීම. දෙසැම්බර් මාසයේයි මෙය ප්ලැන් කළේ. කම්බි නමා සැකැස්ම සාදා වටේට සුදු රෙද්ද ඇලෙව්වා. පසුව ඊට ගෝනි ඇලෙව්වා. ත්‍රිමාන ගතිය, අඳුරු තැන් ගන්න ගෝනිය දෙපොට දැම්මා. ගෝනි ලණුවලින් හැඩතල දැම්මා. රැකියාව කරන අතරේ මේ විදියට හදන්න මාස 6 ක් ගියා. වසර 10 ක් පළපුරුද්ද නිසා ලස්සනට නිර්මාණය කළා. අපේ හිතේ හැටියට කූඩුව සකස් වුණේ නැතිනම් කොතෙක් දුර හැදුවත් ගලවන අවස්ථා තියෙනවා. නැවතත් මුල සිටම හදනවා. ධර්ම රශ්මි වෙසක් කලාපය සාර්ථකයි. කථිකාචාර්යවරු හොඳ විනිශ්චයක් දුන්නා. ලබන වසරේ පස්වග මහණුන්ගේ කතාව නිරූපණය කරමින් තාත්තත් මමත් එකතු වෙලා ලස්සන වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කිරීමට බලාපොරාත්තු වෙනවා....” විසල් පවසන්නේය.
දෙවැනි ස්ථානය
නියං වැටකොළු 1500කින් නිම වූ මුල්ම නිර්මාණය
නීතිඥයකු වූ ආඩිඅම්බලමේ, දැව මොට්ටාව පදිංචි කේ. ඉන්ද්‍රදීප යෝගචන්ද්‍රගේ ‘ අනාගත ලෝ දහම සිරිලකින් මුළු ලොවට‘ කියාපාමින් ධර්ම රශ්මි පොසොන් කලාපයට ඉදිරිපත් කළ අලංකාර පොසොන් පහන් කුඩුව දෙවැනි ස්ථානයට පත්වූයේ රුපියල් දෙලක්ෂ පනස් දහසේ ත්‍යාගය හිමිකර ගනිමිනි.
වෘත්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියා වුව ද ඊට වඩා කලාවට හිතැති පවුලේ ආභාසයෙන් උරුම වූ හැකියාවෙන් පරිපූරණ වූ ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර පහන් කූඩු නිර්මාණයට සිත යෙදවූයේ කුඩා කල සිටමය. සිය පියා වන කලාභූෂණ සම්මානලාභි විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු වූ ආරියරත්න යෝගචන්ද්‍ර වෙසක් පහන් කූඩු නිර්මාණයේ විසල් අත්දැකීම් හා හැකියා ඇත්තෙකි. වසර ගණනාවක් ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයට පමණක් නොව බුද්ධ රශ්මි ඇතුළු බෞද්ධාලෝක වෙසක් කලාපයන්වල ඉහළම ජය ලබන්නට සමත් වූවෙකි. වෘත්තියෙන් නීතිඥයකු වූ ඉන්ද්‍රදීප ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එකම නීති නිලධාරියා ලෙස වගකීම් ගොන්නක් කරට ගත්ත ද කලාවේදී පියාගේ අඩිපාරේ ගමන් කරන්නට විය.
“මට වයස අවුරුදු 44 යි. මූලික අධ්‍යාපනය ලැබුවේ මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විදුහලින්. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විෂයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබුවේ. මම කලාවට යොමු වුණේ තාත්තා නිසා. ඔහු සෞන්දර්ය විෂය ප්‍රවීණයෙක්. කුඩා කල සිටම පවුලේ ආභාසය තිබුණා. 1963 වසරේ දැව මොට්ටාව ගමේ මුලින්ම තොරණක් කළේ මගේ තාත්තා හා බාප්පලා. ඒ තොරන් කලාව ලංකාවට ආපු කාලයේ. මම මිනුවන්ගොඩ නාලන්දාවේ ඉගෙන ගනිද්දි ජාතික මට්ටටේ ජයග්‍රහණ ලැබුවා. පාසල නියෝජනය කරමින් පහන් කූඩු ප්‍රදර්ශනවලට ඉදිරිපත් කළා. 1997 උසස් පෙළට මුහුණ දෙන පාසල් සිසුවකුව සිටි කාලයේ තමයි මම 1996 වසරේදි ලේක්හවුස් ආයතනය සංවිධානය කළ මිහින්තලා පහන් කූඩු තරගයේ විවෘත අංශයෙන් පොසොන් කූඩුවක් ඉදිරිපත් කළා. නමුත් ඒ කාලේ ලංකාව අඳුරේ තිබුණේ. එය සාර්ථක වුණේ නැහැ. උසස් පෙළින් පසුව මම 1998 කොළඹ ලේක්හවුස් ඉදිරිපිට අමාදහර කූඩු තරගයට නිර්මාණයක් ඉදිරිපත් කර විවෘත අංශයෙන් දෙවැනි ස්ථානය ලබා ගන්නවා. එය මගේ වසර 23ක නිර්මාණ ක්ෂේත්‍රයේ විශාල පිම්මක් වුණා. 1999 අමාදහර වෙසක් කලාපයේ නැවතත් මම පළමු ස්ථානය දිනා ගත්තා. එහිදී දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන වෙසක් කූඩු නිර්මාණය කිරීමේ ආභාසය ලැබුවා. 1999 දේශීය අමුද්‍රව්‍ය වලින් වෙසක් කූඩුවක් නිර්මාණය කර හතරවැනි තැන දිනා ගත්තා. පසුව ලේක්හවුස් වෙසක් කූඩු තරගවල සියලු වසර නියෝජනය කරමින් මුල් ස්ථාන දිනා ගත්තා. කොළඹ මහ නගර සභාව ආශ්‍රිත කූඩු, සමස්ත ලංකා බෞද්ධ සම්මේලන, බුද්ධ රශ්මි ආදි ජාතික මට්ටමේ වෙසක් කූඩු තරගවල වසර ගණනාවක් ජය හිමිකර ගත්තා. මගේ මේ ගමනේ මුලාරම්භය වුණේ ලේක්හවුසිය...”
“මෙහි තේමාව වුණේ අනාගත ලෝ දහම සිරිලකින් මුළු ලොවට. පහන් කූඩුවලට විවිධ අත්හදා බැලීම් අපි මුල සිටම කළ නිසා දේශීය අමුද්‍රව්‍ය ලෙස නියං වැටකොළු ප්‍රධාන ලෙස යොදා ගත්තා. විශාල ප්‍රමාණයක් ලබා ගත්තේ මාකෙවිට ප්‍රදේශයෙන්. වැටකොළු මෙවැනි නිර්මාණයකට මුලින්ම ගත්තේ අපියි. අමතරව හබරල කොළ සහ නාවා ගහේ පට්ට යොදා ගත්තා. අමුද්‍රව්‍ය කිහිපයක සංකලනයෙන් චාම් බව, සෞම්‍ය බව හා ආගමේ සිද්ධාන්ත උලුප්පා පෙන්වීමට හැකිවුණා. මෙය ධර්ම රශ්මි පොසොන් කලාපයේදී විශේෂ අවධානය දිනාගත් පහන් කූඩුවක් වුණා. ලස්සන නිර්මාණයක් කරන්න ලැබීම ගැන සතුටුයි. ගුරුහරුකම් දුන් සියලු දෙනාට ස්තූතියි...”
තෙවැනි ස්ථානය
කෙසෙල් පට්ට හා හණ නූල්වලින් ගෙතූ දම්සක් පැවැතුම් සූත්‍රය
වයස අවුරුදු 23 ක් වූ එස්. රිවිදු සන්සර තරුණ කලා ශිල්පියා විසින් ධර්ම රශ්මි පොසොන් කලාපයට ඉදිරිපත් කළ දම්සක් පැවැතුම් සුත්‍රය හා මහින්දාගමනය නිරූපිත පහන් කූඩුවට මෙවර තුන්වැනි ස්ථානය හා රුපියල් එක් ලක්ෂ විසි පන්දහසේ මුදල් ත්‍යාගය හිමිකර ගැනීමට සමත් වූහ.
“මේ නිර්මාණයට මාස 4- 5 ක කාලයක් ගියා. වියදමක් දරා මෙම නිර්මාණය කළත් ඒ සඳහා සෑහෙන්න මහන්සි වෙන්න සිදු වුණා. ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස කෙසෙල් ගහේ පට්ට යොදා ගත්තා. මම මේ සියලු කටයුතු කළේ ගැෆික් වැඩ කරන අතරෙයි. රාජකාරි අහවර වී නිවසට ආපු ගමන් කළේ මේ කටයුතු. සමහර දිනවල පාන්දර 3 ටත් නැගිට්ටා. අම්මා තාත්තාගෙන් වගේම ගෙදර අයගෙන් විශාල සහයක් ලැබුණා. පහන් කූඩුවේ රූප සකස් කරන්න විශාල කැපවීමක් කරන්න සිදුවුණා. තාත්තා තමයි මේ සියල්ලට මඟ පෙන්වීම ලබා දුන්නේ. පාස්කු වලින් පසුව වසර 5 ක් පමණ යනතුරු කිසිදු නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ගෙවල් ළඟ පමණක් කළා. ධර්ම රශ්මි පොසොන් කලාපයට මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙන බව දැක්කේ රූපවාහිනියෙන්. මහින්දාගමනයේ හා දම්සක් පැවැතුම් සූත්‍රය ප්‍රධාන කරගෙන හොඳ නිර්මාණයක් කරන්න අවශ්‍ය වුණා....”
රිවිදු පසුගියදා පැවැති බුද්ධ රශ්මි වෙසක් කලාපයටද සිය නිර්මාණයක් ඉදිරිපත් කර තිබුණි. බුද්ධ රශ්මි සේම ධර්ම රශ්මිවලට ද තියුණු තරගයකට මුහුණ දෙන්නට සිදුවු බව ඔහුගේ අදහසයි.
නිට්ටඹුවේ පදිංචි රවිදු තවමත් අවිවාහකය. රදාවාන මහගමසේකර විදුහලින් කලා විෂයයන් හැදෑරූ ඔහු මේ වන විට ග්‍රැෆික් ඩිසයිනින් සඳහා යොමු වී ඇත. රවිදුගේ අම්මා මංගලිකා වන අතර තාත්තා කමල් ජයසූරියය.
“තාත්තා 1994 ඉදන්ම වෙසක් කූඩු සකස් කරනවා. ඒ අදහස මට ආවේ 2011 සිට. අපි මේ වගේ තරගවලට නිර්මාණ ඉදිරිපත් කරනවා. ජයග්‍රහණ ලැබුවා. ප්‍රධාන කූඩු තරගවලින් දිනුවා. වසර කිහිපයකට කලින් කැලණි විහාරයේ කූඩු තරග වලින් පළමුවැනියා වුණා. මේ අවුරුද්දේ බුද්ධ රශ්මි වෙසක් කලාපයෙනුත් පළවැනියා වුණා.
මෙම ධර්ම රශ්මි පොසොන් කලාපයේ පොසොන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් අතර සිවුවන ස්ථානය දංකොටුවේ ටී. ඩබ්ලිව්. ජේ ලාල් චන්ද්‍රකුමාරද, පස්වැනි ස්ථානය කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ජේ සූරසේනද, හයවැනි ස්ථානය කොළඹ උතුර දෙමටගොඩ පොලිස් ස්ථානයේ ජී.එම්.පී.පි ගම්ලත් දිනා ගත්හ. හත්වැනි ස්ථානය පාදුක්ක වටරැක බන්ධනාගාරයේ ඩි. ඒ. පි ඩිලන්තද, අටවැනි ස්ථානය මීගොඩ ඕවිටිගම ජි. අසේල පුෂ්පකුමාර ද, නමවැනි ස්ථානය හෝමාගම පිටිපන පරණ පාරේ ඩබ්ලිව්. එරංග සුනෙත් සමීර ද දහවැනි ස්ථානය මොරටුුමුල්ල පොලිස් ස්ථානයේ දිනේෂ් චන්ද්‍රසිරිද දිනා ගත්හ.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
දුෂ්මන්ත මායාදුන්න
රංජිත් අසංක සහ ගයාන් පුෂ්පික