
ගිරිදුර්ග සහිත මධ්‍යම කඳුකරයේ එකිනෙකට ප්‍රතිමුඛව විහිදුණු කඳුවැටි දෙකකි. එහි දකුණු පස වැටියෙන් ඉවුරු දිග දිවයන පාරකි. අනෙක් වැටියේ නිම්න තලාව දිගේ උමා ඔය ගලා යන අතර, දුන්හිඳ දිය ඇල්ල මෙන්ම කුඩා දුන්හිඳ දිය ඇල්ල ද එහි පිහිටා තිබේ.
ඉවුරු දිගේ දිවයන පාරේ යනෙන මගියකුට දුන්හිඳ අද්දරින් ඕංකාරයක් ද උදාන ගීතයක් ද ඇසෙයි. එම ගීතයෙන් ඕනෑම කාලකණ්ණි මිනිසකු ඔකඳ වනු ඇත. ඔකඳ වී ජීවිතය ගැන පෙරළා සිතන්නට යොමුවනු ඇත.
ඇත්තටම ජීවිතය යනු කුමක් ද? එහි පාලකයා කවරෙක්ද? උදාන ගීතයෙහි ඊට පිළිතුරක් ඇත.
ජීවිතය නම්, විශ්වාසයයි! විශ්වාසය නම් ජීවිතයයි! නොහැක්කක් නැත්තේය. එය තීන්දු කළ යුත්තේ ඔබය.
ඔබගේ අගනා සිතය. ඔබගේ එක අත් පහරකින් පර්වත ගණනක් සුනුවිසුනු වී යනු ඇත.
සිරියාවන්ත වයස්ගත කාන්තාවක් මේ උදාන ගීතය ගායනා කරමින් පුංචි දුන්හිඳ ළඟ බලා සිටින්නීය.
මීට වසර තුනකට පෙර එතුමිය තම හීන් කොල්ලා ද කැටුව වෛද්‍ය සභාව ඉදිරියේ පෙනී සිටියාය. ඇයට බරසාර වචන තේරෙන්නේ නැත. දොස්තරලාගේ ඉංගිරිසි කොහොමටත් තේරෙන්නේ නැත. එහෙත් සිද්ධ වෙන්නට යන සන්තෑසිය ඉවෙන් මෙන් වටහා ගත්තාය. රටේ හොඳම රෝහලෙන් රෝගියාගේ අන්තිම කැමැති පත්‍රය ලියන්නට යයි.
"අපි හැම දෙයක්ම කළා! ඉතිරි වෙච්ච දෙයන් නෑ! ගොඩගන්ඩ බෑ! ජීවිතේ ඉතිරි කාලෙ ඔය විදිහට ඉන්ඩ වෙයි!"
දුන්හිඳ ආච්චිට යකා නැංගේය. ඇය පුටුව පොළොවෙහි ගසා රෝහලෙන් පිට වී වහා තම ගෙපැලට ගියාය.
දුන්හිඳ ආච්චී යැයි කියූවද මේ ඇයගේ නම වැනි දරුවා ය. ඇගේ සියලු පුත්තු ආවාහ වී වෙන් වී සිටියෝය. සැමියා දුන්හිඳ ඇල්ලට බිලිවූයේ මීට වසර තිහකට පෙරය. ඒ ඇල්ලට බිලි වූ මිනියක් ගොඩගන්නට ගිය මොහොතේය. එවකට හීන් එකාගේ වයස අවුරුදු නවයකි. දැන් අවුරුදු 22කි. ඌ වැල්ලවායේ දර පෝරණු බේකරියක වැඩ කළේ ඒ පැත්තේම බින්න ආවාහයක් කරගෙනය.
එක් අවාසනාවන්ත දිනයක කහ කුරුල්ලෙක් පැමිණ පාන් කොල්ලා හප්පාගෙන ගියේය. කොලුවා හමුවුණේ දින දෙකකට පසුය.
රෝගියා රෝහලට ගෙන යන විට මකුළුවකු සේ ගුලි වී සිටියේය. රෝහලෙන් රෝහලට මාරු වන විට තත්ත්වය වෙනස් නොවීය. අවසන් ලෙස ඔහු ප්‍රධාන රෝහලට මාරු කෙරිණි.
විද්‍යාව හා වෛද්‍යවරුන් බලාපොරොත්තු සුන්කර ගද්දී දුන්හිඳ ආච්චි බලාපොරොත්තු දල්වා ගත්තාය. ඇය ඇසතු වෘක්ෂය ළඟට ගොස් ඕංකාරය කියන්නට ද උදාන ගීය ගායනා කරන්නට ද පටන් ගත්තාය.
ජීවිතය නම් විශ්වාසයයි
විශ්වාසය නම් ජීවිතයයි
නොහැක්කක් නැත්තේය
හැකි, නොහැකි ඇත්තේ ඔබ ළඟය
පින්වත ඔබේ හිත ළඟය
දුන්හිඳ ආච්චී කැත්ත ගත්තාය. වම් අතින් ලී කැපුවාය. දකුණු අතින් වීසි කළාය. දකුණු අතින් වැල් කැපුවාය. වම් අතින් වීසි කළාය. හැන්දෑව වන විට එය එකම වැඩබිමකි. දුන්හිඳ උන්දෑ තෙල් සාත්තු කළා ය. තැවුම් කළාය.
හරියටම තවත් වසර දෙකකට පසු දුන්හිඳ ආච්චී හා පුත්‍රයා වෛද්‍ය සභාව ඉදිරියේ පෙනී සිටියහ. සභාව පුදුමයට පත් විය. රෝගයෙන් අඩක් සුව වී ඇත. කොලුවා තනි කෙළින් හිටගෙන කතා කළේය. සභාව යළිත් වරක් රෝගියාගේ ටිකට් කපා දැම්මේය.
දුන්හිඳ ආච්චී සිය ප්‍රතිකාර පද්ධතිය කිසිවිටෙකත් නැවැත්තුවේ නැත. පිස්සු මර ගාතේ! මෝඩ ගෑනි! ගස්වලට පුළුවන්ද ලෙඩ්ඩු හොඳ කරන්ඩ! එකිනෙකා විවිධ කතා කීහ.
සුන් බලාපොරොත්තු පුන් බලාපොරොත්තු වන්නේ යම් සේද? උපකාර, සැපකාර බලා සිටියේය.
කොල්ලාගේ ඇද - කුද කෙමෙන් අඩු වන්නට විය. පළමුව ඔහු ආධාරක ඇතිව ඇවිද්දේය. දෙවැනුව ඔහු ආධාරක නැතිව ඇවිද්දේය. තෙවනුව ඔහු ගල්ගැසී නැංඟේය. ගීතය උච්ච ස්වරයෙන් ගායනා කැරිණි.
කොල්ලාට ඇසුණේ නොහැක්කක් නැත්තේය යන්න පමණි. වම් අතින් කපන ලී දඬු දකුණු අතින් වීසි වෙයි. දකුණතින් කපන ලී දඬු වම් අතින් වීසි වෙයි. සන්ධ්‍යාව වන විට එතැන එකම වැඩපොළකි.
පුනරුත්ථාපන ස්ථානයක් එතැන ඉදි වී ඇත. දුන්හිඳ ආච්චී, තෙල් හින්දාය. දුම් ඇල්ලුවාය. වෙනිවැල් තම්බා බොන්නට දුන්නාය.
මිල න්‍යාය!
සිය මහත්තයා වටිනා - කියන තැනැත්තෙකු බව ඇය අවසන් මොහොතේ වටහාගෙන තිබිණි. සිරුර ඇතුළත් කළේ 1990 යටතේ නොමිලේය. ආපසු ගන්නට මෝචරිය ළඟට පමණක් 26,000 කි. ඒ මදිවට පනහකට වැඩි පෙට්ටියකි.
"අපේ මහත්තයට මිල සූත්‍රයත් බලපෑවා." තමාටම කියා ගත්තාය. තම සැමියා වටිනා කියන තැනැත්තකු බව ඇය මේ වන විටත් වටහාගෙන තිබිණි.
දෙදෙනා යළිත් මූකළාන බලා ගිය. එතැන් සිට සෑම දිනකම උදෑසන පුංචි දුන්හිඳ අද්දරින් ඕංකාරයක් ඇසෙයි. කළු දුමාරයක් නැංගේය. කොලුවා සුවපත් වන තුරු එම ඕංකාරය පවතිනු ඇත. නොහැක්කක් නැත්තේය.
ආරාම රුක්ඛ චෛත්‍යානි, මනුස්සා භය තජයිතා!