
අම්මා
අතීතය දරාගෙන සුළං රැලි හමනවා
සෙනෙහසේ කිරි සුවඳ තාම හිත හදනවා
ළඟ ඉන්න නැතුවාට ගුණ සුවඳ දැනෙනවා
දුරු කතර ගෙවාගෙන එන්න මට හිතෙනවා
වැහි බිංදු වහල මත සක්මනේ යෙදෙනවා
හීතලට ගුලිවෙච්ච ඔබෙ සුසුම් දැනෙනවා
අම්මෙ ඔබ පෙවූ තේ රසයි මං දන්නවා
හීනයක් වෙලාවත් ළංවෙන්න පතනවා
වැව් දියේ පිපෙන මල් නුඹෙ සුවඳ බෙදනවා
පන්සලේ ගල්කන්ද නුඹ එතැයි බලනවා
පාළුවට ගිය කුඹුර නුඹෙ සවිය සොයනවා
ගමට එන දිනක් ගැන පාරමී පුරනවා
සුනිල් කරුණාරත්න
වන්නි වනපෙත
පරමා කන්ද නිල් නුබ කුස අතගාන
පව්මල දුරු කරයි ගමටම දෙයි සහන
දිය දම් මවත් නිතරම සෙනෙහස පාන
මල් පල දරයි වන්නියෙ සැඟවුණු සීන
හිනැහෙන නිබඳ වන්නියෙ සැදි තුරුවදුලු
සුපුරුදු අයට මෙය සුරපුරයක් බදුලු
නෑ - වන්නියට නගරෙට මෙන් තල සඳුළු
මේ කවි නොවේ ගැමියන්ගේ දුක් කඳුළු
දෙවියන් - බුදුන් නිති අදහන ගොවි දනය
මී ඔය දෑලේ සරු අස්වනු අපමණය
පෝයට පන්සලේ දෙසනා බුදු බණය
පිළිබිඹු මිනිස් සන්තානේ මවු ගුණය
සූරිය මැදගෙදර
වරක් දුටුවොත් මට ඇති
මැදින් මාසේ එකම දිනයක් මියෙන තෙක් සිහිවෙයි නිති
මතකවල එක පැතිකඩක් වෙයි පාරවා රිදවන ගති
වෙනස් වන බව දැනන් හිටියා සැබෑ කළ එකටයි තුති
නුඹ දුන්න දුක දරා ගන්නට මීවිතට කවි ටික ඇති
තෑගි කළ කවි කතා පොත්වල දෙන්නගෙම ජීවිත ඇති
එකතු නොවුණත් මගේ හදවතේ සදා පවතියි පෙම බැති
ඇත්ත ඇති සැටියෙන් කතාකර යහපතක් නම් හිමි නැති
මෙතෙක් වාගේ වංක නොවෙමි විරහාවම විඳිමි නිති
දකින්නට යළි එපා කිව්වම ගිලිහුනා සම්මා සති
පුර හඳක වුව තිබිය නොහැකිද කවුරුවත් නොදකින පැති
නුදුරු දිනකදි බැඳෙයි දෑගිලි නමුත් අහිතක් නෑ සිති
මුව පුරා නුඹ සිනහා වෙන හැටි වරක් දුටුවොත් මට ඇති
සමන් කේ. අබේරත්න
හුදෙකලා මිනිසා
මහ ගෙයි තනන්නට පෙර ඉස්සර දාක
මතකයි සිටිය හැටි අපි කටුමැටි ගේක
එහි වෙමි තවම මම සිදු වුවද කෝක
මහ ගෙයි අඹු දරුවො වසතිය ලෙස නේක
දොඩමලු කම් ඇසෙන විට මහ ගෙදර දෙසින්
මතකයෙ කඳුළු බිඳු හැලෙනව දුබල ඇසින්
ඉරණම ලියා ඇත දෛවයෙ ඇඳුරු විසින්
මතකය පමණි ඉතිරිය සිහිවටන ලෙසින්
මේ මැටි කුටිය හෙට වැතුරුන විට බිමට
පත්වේ පස් ගොඩැල්ලක ඉතිරිය බවට
එහි හුදෙකලා මිනිසෙකු දිවි ගෙව් වගට
මතකය පවා අමතක වී යයි හැමට
ගාමිණි ලිවේරා
තවත් පෙම් කවක්
තුෂර වැස්සේ පිපී හිනැහෙන
රොන් සුනුද වෑහිලා නැහැවෙන
මලින් පිරි තුරු ගොමුව මත්තෙන්
තුටින් ගී පදයක් ගයාගෙන
තටු සැලූ කිරිලිය සොයා ගෙන
තුඩින් තුඩ තබ තබා පෙම් ගී
කැවී හද කිති සෙනෙහසේ දලු
ලියලමින් උතුරනා පද වැල්
ගිවිසීද තනවන්න කූඩුව
එක් සිත්ව බැඳි උණුහුමින්
පහළ අත්තෙන් ඉහළ අත්තට
මඳින් මඳ පියඹා ගොසින්
සැමට රහසින් පෙම් කවක් කර
හෙට උදෙන් ලොවටම ගයන්
ශ්‍යාමලී අනුරුද්ධිකා
මලක වග
ලස්සනට සුපිපි
සුවඳ මලක
දැවටි දැවටී
රොන් ගෙන
පියඹා ගිය
සමනල කුමරා
යළි නාව නිසා
මල හැඬුවා සොවින්
නේක පාට මල් සොයා
නුඹ යන්ට ඇති
මල් කුමරියගෙ
දුක වැඩි හන්දා
එක්තරා සීතල උදෑසනක
මල මිලිනවෙලා
මිහිකත සිපගෙන
සුනේත්‍රා විජේරත්න ප්‍රේමසුන්දර