කණ්ඩායම් වශයෙන් භාවනා කරන හැටි | සිළුමිණ

කණ්ඩායම් වශයෙන් භාවනා කරන හැටි

මහර විට, හැම භාවනා වාරයකදීම එකම ස්ථානයක වාඩිවීම ඔබට උපකාරයක් විය හැකිය. භාවනාව සඳහා විශේෂයෙන්ම වෙන් කෙරුණු ස්ථානයක් හැර වෙනත් කිසිවක් සමහර භාවනා පුහුණුවන්නන්ට ආධාරක නොවේ. එම ස්ථානය සමඟ ගැඹුරු නිශ්චලතාව හා සිත එකග වීම සම්බන්ධ කරන ඔබට, ඉතා ඉක්මනින් එවන් ගැඹුරු මානසික ස්වභාවයක් ළඟා කරගැනීමට හැකියාව සලසයි. වැදගත් වන්නේ ඔබගේ පුහුණුව සඳහා රුකුල් දෙන ස්ථානයක වාඩි වීමයි. එයට තරමක් දුරට අත්හදා බැලීම අවශ්‍යය. ඔබට වඩාත් සැප පහසුව හෝ අස්වැසීමක් ලැබෙන ස්ථානයක් ලැබෙන තුරු විවිධ ස්ථාන අත්හදා බලන්න. තමා අන් අයගේ අවධානයට යොමුවේ යැයි කරදර වීමට අවශ්‍ය නොවන හා අනවශ්‍ය බාධාවලින් තොර ස්ථානයක් සොයාගන්න. 

කණ්ඩායමක් ලෙස භාවනා පුහුණුව වැඩදායී බව බොහෝ භාවනා පුහුණුවේ යෙදෙන්නන් දරන ආකල්පයකි. නිරන්තර පුහුණුව අත්‍යවශ්‍ය මෙන්ම නියමිත කාලයක් තුළ භාවනාවේ යෙදීමට බැඳී සිටීම, නිතිපතා භාවනාවට වාඩිවීම පහසු කරන බව බොහෝ දෙනාගේ මතයයි. පොරොන්දුව රැකීම තමන්ගේ වගකීම බව ඔවුහු දනිති. "මට වේලාවක් නැත" යන සමාවට කාරණය මේ මඟින් මග හැරී යයි. ඔබ පදිංචි වී සිටින පළාතේ භාවනා පුහුණුවේ යෙදෙන කණ්ඩායමක් සොයා ගැනීමට ඔබට හැකිවෙනු ඇත. භාවනා ප්‍රවේශය වෙනස් වුවද නිශ්ශබ්දව කරන කුමන හෝ භාවනාවක් මෙයින් අදහස් කරමු. අනික් අතට, ඔබද ඔබගේ පුහුණුවේදී ස්වාධීන වී අන් අය මත නොයැපීමට උගත යුතුය.

කණ්ඩායමක් සිටීම භාවනාවේ යෙදීම සඳහා එකම පෙලඹවීම කර නොගන්න. මනාව පුහුණුවන විට, භාවනාවේ යෙදීම ආස්වාදජනක වේ. භාවනා කණ්ඩායම ආධාරකයක් මිස කිහිලිකරු දෙකක් කර නොගන්න.

කුමන වේලාවක භාවනාවට වාඩිවෙමුද?

මෙහිදී වැදගත්ම නීතිය වන්නේ බුදුදහමේ එන මධ්‍යම ප්‍රතිපදාවයි. භාවනාවේ වුව ද ප්‍රමාණය ඉක්මවා නොයෙදෙන්න. ඔබට සිතුන වේලාවක් පමණක් භාවනා කිරීම මම මෙයින් අදහස් නොකරමි. භාවනාවට නියමිත කාලයක් වෙන්කර ගෙන කාරුණික වූ ඉවසනසුලු ස්ථිර බවක් පවත්වා ගන්න. මෙහිදී නියමිත කාලසීමාවක් වෙන්කර ගැනීම විශාල අනුබලයක් වීමට පිළිවන. කුමන අවස්ථාවකදී හෝ භාවනා කාලසටහන අනුබලයක් නොවී බරක් ලෙස ඔබට දැනේ නම් එහි කිසියම් වරදක් ඇත. භාවනාව රාජකාරියක් හෝ අනිවාර්ය බන්ධනයක් හෝ නොවේ.

භාවනාව මානසික ක්‍රියාවකි. මෙහිදී ඔබ ඍජුවම හැඟීම් සහ චිත්තවේග සමඟ ගනුදෙනු කරනු ලබයි. එම නිසා ඔබ භාවනා සැසියකට ප්‍රවේශ වන ආකල්පය වැදගත් වේ. බොහෝ අවස්ථාවන්හිදී ඔබට ලැබෙන්නේ ඔබ අපේක්ෂා කළ දේය. එබැවින් භාවනාවේ යෙදීම ආශාවෙන් බලාපොරොත්තු වන විට ඔබගේ භාවනාව ද හොඳින් සිදුවනු ඇත. වෙහෙස හා අපහසුතාව අපේක්ෂාවෙන් වාඩි වූ විට සමහර විට එය ද සිදුවිය හැක. ඔබටම ප්‍රායෝගික වන දෛනික රටාවක් සාදා ගන්න. එය ඔබගේ ජීවිතයේ අනෙකුත් කටයුතු සමඟ ගැළපෙන ආකාරයට විය යුතුය. ඔබ විමුක්තිය කරා ළඟාවීම පිණිස වෙහෙසකාරී, දුෂ්කර කටයුත්තක නියැළී සිටින බව ඔබට දැනෙන්නට පටන්ගත් විට යම් වෙනසක් කරන්න.

හිමිදිරි උදෑසන භාවනා කිරීම සඳහා සුදුසුම කාලයයි. ඔබගේ මනස වගකීම්වලින් තොර නැවුම් බවකින් පිරී ඇත. උදෑසන භාවනාවේ යෙදීම ඔබගේ දවසට කදිම ආරම්භයක් ලබා දෙයි. එය එදින තුළ ඔබගේ වැඩකටයුතු නිසිලෙස කිරීමට අවශ්‍ය ක්‍රියාශීලී පන්නරය ලබා දෙයි. තරමක් සැහැල්ලු බවකින් ඔබට දවසේ වැඩ කටයුතු කර ගැනීමට හැකිවෙයි. ඔබ මුළුමනින්ම අවදිවී සිටින බව සහතික කරගන්න. නිදි කිරා වැටෙමින් භාවනාවට වාඩි වී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් අවශ්‍ය පමණ නින්දක් ලබාගන්න. භාවනාවට වාඩිවීමට පෙර, ජල ස්නානය කිරීම හෝ මුහුණ සෝදා ගැනීම කරන්න. රුධිර සංසරණය හොඳින් සිදුවීම සඳහා අවශ්‍ය නම් ව්‍යායාම කරන්න. සම්පූර්ණයෙන්ම නින්දෙන් පිබිදීම සඳහා අවශ්‍ය සියල්ල කළ පසු වාඩි වන්න. කෙසේ වෙතත්, මේ වේලාවේදී එදිනෙදා වැඩකටයුතුවල එල්ලී නොගන්න. භාවනාවේ යෙදීමට අමතක වීම ඉතා පහසු දෙයකි. භාවනාව සෑම උදෑසනකම, ඔබගේ ප්‍රධාන කාර්යය කරගන්න.

සවස් කාලය ද භාවනාවේ යෙදීම සඳහා යෝග්‍ය අනෙක් කාලයකි. දවස පුරා ඔබගේ සිතේ එකතු වී ඇති කුණුකන්දල් ඉවත් කිරීම, සුවපහසු නින්දක් ලබා ගැනීම මහත් උපකාරයකි. භාවනාව ඔබගේ සිත පවිත්‍ර කර නැවත පණ උපදවා දෙයි. ඔබගේ සිහිය නැවත පිහිටුවා සුව නින්දක් ලබා දෙයි.

පටන් ගැන්මේදී දිනකට වරක් භාවනාවේ යෙදීම සෑහෙයි. එයට වඩා වාර ගණනක් පුහුණුවිය යුතු බව ඔබට හැඟීම හොඳ දෙයකි. නමුත් ප්‍රමාණය ඉක්මවා නොයන්න. නවක භාවනානුයෝගීන් තුළ මෙම අධික වෙහෙසකර බව අපි දැක ඇත්තෙමු. දිනකට පැය 15 බැගින් සති කිහිපයක් හා හා පුරා කියා භාවනාවේ යෙදෙන ඔවුන්ට, පසුව අතපසුවූ වැඩකටයුතුවල නිරත වන්නට සිදු වෙයි. එවිට භාවනාව සඳහා මිඩංගු කළ නොහැකි කාලයක් අවශ්‍ය බවට ඔවුහු තීරණය කරති. බොහෝ කැපකිරීම් අවශ්‍ය බව සිතති. මේ සියල්ල සඳහා ඔවුනට කාලයක් නැත. ඔබ මෙම උගුලට හසු නොවන්න. පළමු වැනි සතියේම අධික වෙහෙසට පත් නොවන්න. කඩිමුඩිය සෙමෙන් කරන්න. ඔබගේ උත්සාහය නොවෙනස්ව නොසැලී පවත්වා ගන්න. භාවනාව ඔබගේ ජීවිතයට එකතු කර ගැනීමට ඔබටම කාලය ලබා දී එයට ක්‍රමක්‍රමයෙන් හා කාරුණිකව වර්ධනය වන්නට ඉඩ සලස්වන්න.

භාවනාව සඳහා ඔබගේ උනන්දු වැඩි වනවා සමඟම, එයට ඔබගේ දිනපතා කාලසටහනේ වැඩිපුර ඉඩකඩ ලැබෙනු ඇත. බලකිරීමකින් තොරව ඉබේම එය සිදු වනු ඇත.

පළපුරුදු භාවනානුයෝගීන් දිනකට පැය තුනක් හෝ හතරක් භාවනාව සඳහා කාලය යොදා ගන්නා අතරම ජීවිතයේ සාමාන්‍ය කටයුතුවල නිරතවීමට ද කාලවේලාව සොයාගනියි. ඔවුහු එයින් සතුටක්ම ලබති. එය නිරායාසයෙන් ලැබෙන්නකි.

භාවනාවට කොතරම් කාලයක් අසුන් ගෙන සිටිය යුතුද?

මෙහිදී ද කලින් නීතිය අදාළ වේ. එනම් ඔබට වාඩි වී සිටිය හැකි කාලයක් නමුත් ප්‍රමාණය ඉක්මවා නොයන්න. බොහෝ දෙනකු පටන් ගැන්මේදී විනාඩි 20ක් හෝ 30ක් භාවනා කරති. මුලදී එයට වඩා දිගු කාලයක් වාඩි වී සිටීම අපහසුය. මෙම නුහුරු ඉරියව්වට පුරුදු වීම සඳහා සිරුරට යම්කිසි කාලයක් ගත වේ. නුහුරු මානසික කුසලතාවක් පුරුදු වීමට ද කාලය අවශ්‍යය.

මෙම ක්‍රියාවලියට හැඩගැසීමත් සමඟම ඔබගේ භාවනා කාලය ටිකෙන් ටික දීර්ඝ කරගන්න. අවුරුද්දක පමණ කාලයක් මුළුල්ලේ භාවනා පුහුණු වූ පුද්ගලයකුට වරකට පැයකට ආසන්න කාලයක් පහසුවෙන් වාඩි වී සිටීමට පිළිවන.

මෙහිදී වැදගත් කරුණක් වනුයේ විපස්සනා භාවනාව තාපස දිවියක් නොවීමයි. සිරුරට වද දීම (අත්තකිලමතානුයෝගය) එහි පරමාර්ථය නොවේ. අප දියුණු කර ගැනීම උත්සාහ කරන්නේ සිහිය මිස වේදනාව නොවේ. දෙපාවල වේදනාව වැනි දේ වැළැක්විය නොහැක. ඉදිරි පරිච්ඡේදයකදී වේදනාව සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ඇත. අපහසුතාවය සමඟ ගනුදෙනු කිරීමට උපකාරී වන ක්‍රම සහ ආකල්ප ඔබ එහිදී ඉගෙන ගන්නවා ඇත.

මෙය දරුණු දරාගැනීම් තරගයක් නොවන බව එවිට ඔබට වැටහෙනවා ඇත. කිසිවක් කිසිවකු හට ඔප්පු කිරීමට අවශ්‍ය නැත. පැයක් වාඩි වී සිටියා කියා ඔප්පු කිරීම සඳහා බලවත් වේදනා මැඬගෙන නොසිටින්න. එය කිසි ප්‍රයෝජනයක් නැති, මමත්වය නිසා ඇතිවන්නකි. මුලදී එය කිසිසේත්ම කළ යුතු නැත. ගලක් සේ දිගු වේලාවක් වාඩි වී සිටීමට නොහැකි වීම ගැන ඔබටම දොස් පවරා නොගන්න.

භාවනා කිරීම ඔබගේ ජීවිතයේ අංගයක් වන විට, එක් භාවනා කාලයක් සඳහා පැයක් ඉක්මවීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒ මොහොතකට අදාළව ඔබට පහසු කාලය තීරණය කරගන්න. පසුව එයට වඩා විනාඩි පහක් ඒ සඳහා වැය කරන්න.

වරකට භාවනා කළ යුතු කාලය සම්බන්ධව නිශ්චිත නීතියක් නැත. සමහර දිනෙක ශාරීරික හේතු මත ඔබ තීරණය කළ අවම කාලය තුළ පවා වාඩිවී සිටීමට නොහැකි වනු ඇත. එසේ වූ පලියට මුළු දිනය තුළම භාවනාව අත්හැරිය යුතු නොවේ. දිනපතා භාවනා කිරීම තීරණාත්මක නිසා දිනකට විනාඩි 10ක් වූ කෙටි කාලයක් භාවනාවේ යෙදීම පවා ප්‍රයෝජනවත්ය.

භාවනාව අතරතුරේදී නොව භාවනාව සඳහා වාඩි වීමට පෙර ඒ සඳහා ඔබට ගතකළ හැකි කාලය තීරණය කරන්න. එසේ නොකළහොත් කලබලකාරී බව ඇති කිරීමට එය හේතුවක් වනු ඇත. සිහියෙන් යුතුව අප නිරීක්ෂණය කිරීමට උත්සාහ දරන එක තත්ත්වයක් නම් සිතෙහි කලබලකාරී බවයි. එම නිසා සාධාරණ කාලසීමාවක් තෝරා ගෙන එය නිරතුරුව පවත්වා ගන්න.

කාලය මැනීම සඳහා මෙහිදී ඔරලෝසුවක් පාවිච්චි කළ හැකි නමුත් සෑම විනාඩි දෙකකටම වරක් ඒ දෙස නොබලන්න. එවිට ඔබගේ චිත්ත ඒකාග්‍රතාව මුළුමනින්ම නැති වී කලබලකාරී ස්වභාවයක් වර්ධනය වීමට ඉඩකඩ ඇත. නියමිත කාලය නිමාවීමට පෙර නැඟිට සිටීමට ඔබ අපේක්ෂා කරන බව ඔබට දැනෙනු ඇත. එය ඔරලෝසුව දෙස බැලීම මිස විපස්සනා භාවනා පුහුණුව නොවේ. මුළු භාවනා කාලයම ගතවී ඇති බව ඔබට දැනෙන තුරු ඔරලෝසුව දෙස නොබලන්න. භාවනා කරන සෑම විටෙකම ඔබට ඔරලෝසුව අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ඔබ වාඩි වී සිටිය යුත්තේ ඔබට අවශ්‍ය කාලයක් පමණි. මේ සඳහා අරුම පුදුම කාලසීමාවක් නැති නමුත් කලින් කාලසීමාවක් වෙන් කර ගැනීම නුවණට හුරු වේ. එසේ නොකළ විට බොහෝ විට ඔබගේ භාවනාව කෙටි එකක් වීමට ඉඩකඩ ඇත. අප්‍රසන්න හෝ අමිහිරි යමක් මතුවන විට හෝ නොසන්සුන් බවක් හටගන්නා සෑම අවස්ථාවකම ඔබ එයින් පලා යනු ඇත. එය යහපත් නොවේ.

ඔබට දිගටම වාඩි වී සිටීමට හැකි නම් මේවා භාවනානුයෝගියකු මුහුණ දෙන ඉතා වටිනා අත්දැකීම් වනු ඇත. සන්සුන්ව හා පැහැදිලිව ඒවා දෙස බලා සිටීමට ඔබ ඉගෙන ගත යුතුය. මෙලෙස කීප වරක් කළ විට ඔබ ඒවායේ ග්‍රහණයෙන් මිදෙනු ඇත. ඒවා ඇති සැටියෙන් ඔබ දකිනු ඇත. ඒවා හුදෙක්ම ආවේගයන් පමණක්ම වන අතර, ඇති වී නැති වී යයි. එය ඔබ පසුකරගෙන යන සංදර්ශනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ජීවිතය පහසු වනු ඇත.

"විනය" අප බොහෝ දෙනෙකුට අමාරු වචනයකි. එය ඔබට ඉහළින් කෝටුවක් අතේ තබාගෙන සිටින මිනිසෙකුගේ පින්තූරයක් සිතේ ඇති කරයි. නමුත් ස්වයං විනය එයට වඩා වෙනස්ය. එය ඔබගේ ආවේගයන්ගේ බොල් කෑගැසීම තුළින් ඒවායේ ඇතුළත දැක ගැනීමයි. ඔබ පාලනය කිරීමේ බලයක් ඒවාට නැත. මේ සියල්ල හුදෙක්ම සංදර්ශනයක් පමණි; රැවටිල්ලකි. ඔබගේ ආශාවන් මොර ගසා ඔබට ගර්ජනා කරයි. නමුත් ඒවා කෝටුවක් ළඟ තියා නොගනියි. පුරුද්දට මෙන් ඔබ ඒවාට හසු වෙයි. ඔබ තර්ජන ඉක්මවා නොබලන නිසා ඔබ ඒවාට යටත් වෙයි. එය හිස්ය. එය ඉගෙන ගැනීමට තිබෙන්නේ එකම ක්‍රමයකි. මෙම පිටුවේ තිබෙන මුද්‍රිත අකුරුවලට එය කළ නොහැක. නමුත් ඔබගේ අභ්‍යන්තරය දෙස බලා එයින් පිටතට පැමිණෙන දේ දෙස බලා සිටින්න. නොසන්සුන්කම, ඉවසීම නැති බව, වේදනාව, ඒවායේ නොපැටලී හුදෙක්ම ඒවායේ පැමිණීම නිරීක්ෂණය කරන්න. පුදුමයකට මෙන් ඒ සියල්ල නැති වී යනු ඇත. ඇති වී නැති වී යයි. එය ඒ තරම් සරලය. ඉවසීම යනු ස්වයං විනයට යෙදෙන තවත් නමකි.

(ලබන කලාපයෙන් භාවනාවට තුන්වැදෑරුම් මඟ පෙන්වීමක්)

Comments