ඇහුවම බය හිතෙන විශාදය ගැන අලුත්ම හෙළිදරව්ව | සිළුමිණ

ඇහුවම බය හිතෙන විශාදය ගැන අලුත්ම හෙළිදරව්ව

- ස්ත්‍රීන්ට වැඩිපුර විශාදය ඇතිවන බව වාර්තා වෙයි
- විශාදය ඇති කෙනෙක් සාමාන්‍ය අයකුට වඩා සියදිවි හානි කර ගැනීම 15 ගුණයකින් වැඩියි. කොවිඩ්වලින් අනතුරුව විශාදය දෙගු ණයක් වෙලා
- ‘එපා වෙනවා’, ‘මට අප්සෙට්’ යන වචනවලට ඉඩක් නැහැ
- විශාදයට ජානමය බලපෑම 37% ක් හා බාහිර සාධකයන්ගේ බලපෑම 63% ක්
- විශාදය වරක් හැදුණු අයකුට නැවත සෑදීමේ අවදානම වැඩියි

මිහිපිට ජීවත් වන්නෝ බොහෝමයක් අඩුවැඩි වශයෙන් විවිධ මනෝ ව්‍යාධින්ගෙන් පෙළෙන බව මනෝ වෛද්‍යවරු, මනෝ විශේෂඥයෝ මෙන්ම විවිධ පර්යේෂකයන්ද සොයා ගත්තේ අද ඊයේ නොවේ. සමාජයේ ජීවත්වන ඇතැම් උග්‍ර මනෝ ව්‍යාධීන් පිරිසක් පිස්සන් ලෙසින් අර්ථකථනය කළ ද මනෝ වෛද්‍යවරුන්ගේ මතය වන්නේ සමාජයේ බොහෝ පිරිසකට ඇතැම් මනෝ ව්‍යාධීමය රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය. වෛද්‍ය විද්‍යාත්මකව වැලඳෙන විවිධ මානෝ ව්‍යාධීන් බොහෝමයකි. මේ අතර විශාදය (Depression) නමින් හඳුන්වන මනෝ ව්‍යාධිමය තත්ත්වය ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් දෙනා තුළ පවතින බවත්, නව යොවුන් හා තරුණ පිරිස් අතර මේ මනෝ ව්‍යාධිමය තත්ත්වයන් වැඩි වශයෙන් පවතින බවත් පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් කළේ අපේ මනෝ වෛද්‍යවරු තිදෙනෙකි. 

ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය අනුරාධ බැමිණිවත්ත හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉනෝෂ උදාර අල්විස් විසින් සිදු කළ ‘ශ්‍රි ලංකාව තුළ විශාදයේ පැවැත්ම හා එයට සම්බන්ධ සාධක: ක්‍රමානුකූල සමාලෝචනය හා පාර - විශ්ලේෂණය ‘ නම් වූ පර්යේෂණ පත්‍රිකාව හරහා විශාදය නම් වූ මනෝ ව්‍යාධියේ ලංකාවේ පැතිකඩ අනාවරණය කිරීමට සමත් වූහ. 2021 දී ආරම්භ කළ මේ පර්යේෂණය 2022 වසරේදී අවසන් කිරීමට ඔවුන්ට හැකිවූ අතර 2023 වසරේදි ප්‍රසිද්ධ අන්තර් ජාතික සඟරාවක් වන Social Psychiatry + Psychiatric Epidemiology පළ කිරීමටද සමත්විය.

“ ශ්‍රි ලංකාවේ විශාදය සම්බන්ධව 2000-2023 දක්වා වසර 23 ක කාලයක් ලංකාවේ පර්යේෂකයන් විසින් ප්‍රජාවෙන් ගත් නියැදි 33 ක් අපි මේ පර්යේෂණයේදි අධ්‍යයනයට ලක්කළා. මෙහිදි සායනිකව සිදුකර ඇති පර්යේෂණ ඉවත් කර ඉන් පර්යේෂණ 700 හඳුනාගෙන එයිනුත් පර්යේෂණ 33 ක් පමණයි මේ සඳහා තෝරා ගත්තේ. මේ නියැදිවල ශ්‍රී ලාංකිකයන් 52,778 ක් ඇතුළත් වුණා......“ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉනෝෂ උදාර අල්විස්ය.

පර්යේෂකයන් පවසන පරිදි මෙය අලුතෙන්ම සිදුකළ ජනගහන පර්යේෂණයක් නොවේ. එය කලින් වසරවල විශාදය සම්බන්ධව විවිධ පිරිස් සිදුකළ පර්යේෂණ අධ්‍යයන ඇසුරෙන් සිදු කළ ප්‍රජා සාම්පල සමාලෝචනයකි. ඒ හේතුවෙන් මේ හරහා ශ්‍රී ලංකාවේ වර්තමාන විශාදිමය තත්ත්වයේ හරස් කඩකට වඩා නිරූපණය වන්නේ වසර 23 ක් තුළ ශ්‍රී ලංකාවේ විශාදයේ ස්වරූපයයි. නමුත් මේ දත්ත උපයෝගි කර ගනිමින් වර්තමාන ලංකාවේ විශාදයට බලපාන සාධක පිළිබඳ තාර්කික නිගමනයන්ට පැමිණිය හැකි බවයි, මේ පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ.

වෛද්‍ය ඉනෝෂ උදාර අල්විස් පවසන්නේ මෙම පර්යේෂණයේදි ලංකාවේ විශාදය නම් වූ මානසික රෝගි තත්ත්වය පිළිබඳ ඔවුන් විසින් සොයා ගත් නිගමන ප්‍රධාන කරුණු පහක් යටතේ වර්ග කරන්නට හැකි වූ බවය.

“විශාදය සම්බන්ධ පළමුවැනි ක්‍රමානුකූල විග්‍රහයක් වන්නේ මෙයයි. අපි මේ යටතේ ලංකාවේ විශාදිමය මනෝ ව්‍යාධිමය තත්ත්වය කරුණු 5 ක් යටතේ වර්ග කිරීමකට ලක් කළා. වසර 23 ක කළ පර්යේෂණවලට අනුව අපගේ විශ්ලේෂණයන්ට හසුවූයේ ලංකාවේ ජනගහනයෙන් 19.4% ක් එනම් 5 දෙනෙකුගෙන් 1 අයකුට විශාදිමය තත්ත්වය පවතින බව. සමස්ත ආසියාවේ තත්ත්වයට වඩා ලංකාවේ තත්ත්වය තරමක් භයානකයි.

උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ජනගහනයෙන් 14%-15% ක් විශාදිමය තත්ත්වයෙන් පෙළෙනවා. ආසියානු කලාපයේ එය 16% ක්ව පවතිනවා. මේ අනුව ලංකාවේ විශාදිමය තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරනවා.

දෙවැනි කරුණ වන්නේ වයස. අපේ සොයා ගැනීම්වලට අනුව ලංකාවේ අවුරුදු 10-24 ක් තරුණ පුද්ගල වයස් කාණ්ඩයේ අයගෙන් 39% ක් විශාදයේ ලක්ෂණ පෙන්නුම් කරනවා. අපි මේ නිගමනයට පැමිණියේ වසර 23 මේ සම්බන්ධව කළ පර්යේෂණ 8 කින්. වැදගත් කරුණක් වන්නේ එයින් 6 කම විශාදිමය තත්ත්ව පෙන්නුම් කළේ විශ්වවිද්‍යාල තරුණ සාම්පලවලින්. ඉතිරිය පාසල් සිසුන්ගේ නියැදිවලින්. ලංකාවේ විශ්වවිද්‍යාලවල පද්ධතියේ හා විශාදය අතර ඍජු සම්බන්ධතාවක් ගොඩ නැඟෙන්නේ කෙසේදැයි මෙයින් නිරුපණය වෙනවා. මේ නිසා මේ සම්බන්ධ පර්යේෂණ ඉදිරියටත් කළ යුතුයි. අපි මේ පර්යේෂණ කළේ විවිධ පිරිස් වයස් කාණ්ඩවලට වෙන් කිරීමෙන්. වයස අවුරුදු 25-60 අතර මැදි වයස් කාණ්ඩවල අය ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පර්යේෂණ 5 ක දත්ත ගත්තා. එහිදි අපිට නිගමනයකට පැමිණීමට හැකිවූයේ වයස අවුරුදු 25-60 අතර මැදි වයස් කාණ්ඩවල 8.6% කට විශාදය පවතින බව.

මහලු ලෙස සලකන වයස් කාණ්ඩය එනම් වයස අවුරුදු 60 ට වැඩි අයගේ විශාදය සෙවීමට දිස්ත්‍රික්ක 13 ක් ආවරණය වූ පර්යේෂණ 4 ක දත්ත විශ්ලේෂණය කළා. වයස අවුරුදු 60 ට වැඩි මහලු අයගේ 18.4% ක් විශාදිමය තත්ත්වය පවතිනවා. ඉන්දියාවේ මහලු අය අතර 33% ක් විශාදයෙන් පෙළෙනවා. මේ අනුව ලංකාවේ වයස්ගත පිරිසගේ විශාදය අනිකුත් ආසියාතික රටවලට සාපේක්ෂව අඩු අගයක් ගැනීම සතුටුදායකයි. මේ නිසා ලංකාවේ වයස්ගත ජනගහනය අභියෝගයක් කොට නොතැකිය යුතුයි. ඒ තත්ත්වය පවත්වා ගෙන යාම ගැන නැවතත් සිතිය යුතුයි. අපි සොයාගත් තුන්වැනි කරුණ වන්නේ ගර්භණී හා පසු ප්‍රසව අවධියේ එනම් මාතෘ ජනගහනයේ පවතින විශාදයයි. ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් පර්යේෂණ 16 ක දත්ත යොදා ගෙන මේ සම්බන්ධ අධ්‍යයනයන් කළා. ඒ අනුව ලංකාවේ මාතෘ ජනගහනයෙන් 16.9% ක් විශාදයෙන් පෙළෙන බව සොයා ගත්තා. ලෝකයේ මේ තත්ත්වය 17% ක්. “ ඒ වෛද්‍ය ඉනෝෂය. 

කෙනෙකුගේ මනසේ දීර්ඝ කාලයක සිට පවත්නා ශෝකී බව විශාදයක් වෙයි. ඒ අනුව රෝගියාට පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මඳ විශාදය (Mild depression) , සාමාන්‍ය විශාදය (Moderate Depression), සහ දරුණු ගණයේ විශාදය (Severe Depression) ලෙස වර්ග කළ හැකිවෙයි. දුක් සහිත/ ශෝකී ස්වභාවය, වෙනදා සතු‍ටු වන දේවලින් සතුටට පත්නොවීම, මහන්සි ගතිය, මානසික ඒකාග්‍රතාවය අඩුවීම , ආත්ම විශ්වාසය අඩුවීම, සිතේ පවතින වරදකාරී ස්වාභාවය, අනාගතය පිළිබඳ අශුභවාදි අදහස්, සියදිවි හානි කර ගැනීමට සිතීම, නින්ද නොයැම , කෑම අරුචිය වැනි විශාදයේ රෝග ලක්ෂණ ගණනාවකි. කෙසේ වෙතත් මෙහි දෙවැනි හා තෙවැනි අවස්ථා සුවය සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍යම වෙයි.

“ ජීවිතයේ ඇතිවන මානසික රෝග තත්ත්වවලින් 75% ඇති වන්නේ වයස අවුරුදු 34 ට පෙරයි. යමෙකුට විශාදය ආරම්භ වන්නේ නව යොවුන් හා තරුණ වියේදී බව සොයා ගෙන තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය දර්ශකවලට අනුව තරුණ හා නව යොවුන් විශාදය වයසක අයට සාපේක්ෂව වැඩියි. රටේ ඇතිවන යුදමය තත්ත්වය, ආර්ථික පසුබෑම මෙන්ම කොවිඩ් හේතුවෙන් සමාජයේ ඇතිවූ අසහනය වැඩිපුරම බලපාන්නේ තරුණයින්ට. සමාජ මාධ්‍යවල අපේ තරුණයින්ගේ හා ධනවත් රටවල තරුණයන්ගේ බලාපොරොත්තු සමාන වුවත් ඒවා ළඟා කර ගැනීමට ඇති හැකියාව අඩුයි. උසස් අධ්‍යාපන ප්‍රවේශයට පහසුකම් අඩුවීම නිසා අපේක්ෂා සුන් වෙනවා. දකුණු හා අග්නිදිග ආසියාතික රටවලට සාපේක්ෂව අපි තරුණ සිතුම් පැතුම් ගැන සිතන්නේ වෙනස්ම ආකාරයෙනුයි. එය ඇත්තේ පසුබැමක. තරුණ පිරිසට මානසික සෞඛ්‍ය ගැන කතා කරන්නට සුදුසු අවකාශයක් නැහැ. එදිනෙදා ජීවිතයේ පවුල තුළ දරුවාගේ හැඟීම් ප්‍රකාශයට වට පිටාවක් නැහැ. ‘එපාවෙනවා‘, ‘මට අප්සෙට්‘ යන වචනවලට ඉඩක් නැහැ. පාසල්වල මනෝ උපදේශනයට පහසුකම් අඩුයි. ඊට අපේ පාසල් සංස්කෘතිය තුළ මුල් බැස නැහැ. ළමා හා යොවුන් මනස් සායනවල විශාල හිඟයක් තියෙනවා. අපේ ලංකාවේ මිලියන 22 කට සිටින්නේ ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 7දෙනයි.

කොවිඩ්වලින් පසුව අපේ රටත් සමඟ ලොව රටවල් 25 ක් සමඟ එකතුවී නව යොවුන් විශාදය පිළිබඳ පර්යේෂණයක් කළා. එයින් පෙන්නුම් වුණා කොවිඩ්වලින් පසුව නව යොවුන් පිරිස් මේ සායනවලට පැමිණීම හා සියදිවි හානිකර ගැනිම දෙගුණයකින් වැඩිවී ඇති බව. නව යොවුන් ( අවුරුදු 10-19 ) මානසික පීඩනය සිතා ගත නොහැකි පරිදි උග්‍ර වෙලා. ගැහැනු දරුවන් අතර මානසික ගැටලු වැඩියි. “ඒ ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාසය.

සමාජයේ සුලබ ආතතිය (Stress)හා විශාදය අතර වෙනස්කම් තිබුණ ද ආතතිය දිගු කලක් පැවතීම විශාදයට හේතු වන බව වෛද්‍ය මතයයි.

“ ලංකාවේ ජනතාව අතරින් 19.4% එනම් පහෙන් එකකට විශාදයේ ලක්ෂණ තිබෙන බව සොයා ගත්තත් එය ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නෙමෙයි. නියමාකාරයෙන් විශාදයට ගොදුරු වී ඇත්ද යන්න අදාළ විශේෂඥ වෛද්‍යවරු හරහා සනාථ කළ යුතු වෙනවා. අපේ තරගකාරී අධ්‍යාපන රටාව, මාධ්‍ය භාවිතය, විශ්වවිද්‍යාල තුළ පවතින පීඩාකාරි ප්‍රශ්න, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය නිසා විශාදය වැඩියි. එසේම විශාදයට ලක් වූවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩියි.

දුම්පානයත් ඒ හා සමානයි. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ආර්ථික ගැටලු පවතින පවුල්වල විශාදය වැඩියි. විභාගයක් ආසන්නයේදි බොහෝ දෙනාට ආතතිය වැඩි වෙනවා. ඒ අතරින් කොටසකට විශාදිමය තත්ත්වයක් දක්වා දුරදිග යා හැකියි. විශාදයේ අවසන් ප්‍රතිඵලය සියදිවි හානි කර ගැනීම විය හැකියි. විශාදය ඇති කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට වඩා සියදිවි හානි කර ගැනීම 15 ගුණයින් වැඩියි. විශාදය නියමාකාරයෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. ඖෂධ හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කළ යුුතුවාක් මෙන්ම එම ඖෂධ කාලයක් ලබා ගත යුතු වෙනවා.

විශාදය එක් වරක් හැදුණු අයකුට නැවතත් හැදීමේ අවදානම වැඩියි. යමකුට විශාදයේ රෝග ලක්ෂණ කිහිපයක් පැවතිය හැකියි. මේ ලක්ෂණවලින් අධ්‍යාපනයට එදිනෙදා වැඩ කටයුතුවලට ඍජු බලපැමක් ඇත්නම් එය රෝග තත්ත්වයක්“ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය අනුරාධ බැමිණිවත්තය.

කථිකාචාර්ය අනුරාධ බැමිණිවත්ත පවසන පරිදි විශාදයට ජානමය හේතුන්ගේ බලපැම 37% කි. කුඩා කල අත්දැකීම්, ජීවිත කාලයේ ලබන අත්දැකීම් ඇතුළු බාහිර සාධක බලපෑම 63% කි. මෙම පර්යේෂණයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාදය ඇතුළු මානසික තත්ත්ව පිළිබඳ වර්ගීකරණය සැලකිල්ලට ගෙන ඇත. ස්ත්‍රීන් විශාදයට වැඩි වශයෙන් ගොදුරු වන බව මේ පර්යේෂණ දත්තවලින් ඔප්පු වී තිබුණද මේ පර්යේෂණය හරහා හුදු සාමාන්‍යකරණවලට යාමට නොහැකියි.

මෙම පර්යේෂකයන් විසින් සෑම වයස් කාණ්ඩයකටම පොදු විශාදය ඇති වීමට බලපාන නිගමන කිහිපයක් ඉදිරිපත් කළේය. ආර්ථික අපහසුතා නිසා විශාදයට ගොදුරු වීම තරුණ, මැදිමහලු කියා භේදයක් නැත. වර්තාමානයටද මෙය ආදළ කරගත හැකියි.

ආහාර සුරක්ෂිතතාව නොමැතිවීම හෙවත් නියමිත ආහාර වේල් නොමැතිවීම. මැදි වයස් කාණ්ඩවල විශාදයට මේ කරුණ බහුලව බලපා ඇත. සෞඛ්‍ය සේවාවන්ට ඇති ප්‍රවේශය නැතිවූ විට විශාදය වැඩි වන බව සොයා ගෙන ඇත. දුම්පානය හා මත්පැන් භාවිතය තරුණ, මැදි වයස් හා මහලු යන කාණ්ඩවල විශාදය වැඩි කිරීමට හේතු වී ඇත. පවුලෙන් හා සමාජයෙන් ලැබෙන සහයෝගය, ආදරය හා ආරක්ෂා විශාදය කෙරෙහි තීරණාත්මක සාධකයන්ය. දික්කසාද, වැන්දඹු වීම මෙන්ම ගෘහස්ථ හිංසනය වැනි අවස්ථාවල විශාදමය තත්ත්වයට ඇති අවදානම වැඩි බව පෙන්නුම් කර ඇත. දරුවකු බිහි කළ මවක් වගකීම් වැඩි මවක් වෙයි. මේ කාලයේදි හෝමෝන වෙනස්වීම, ප්‍රසූතියේදි ඇති වන කායික හා මානසික පීඩනය නිසා පසු ප්‍රසව මවත් විශාදයට ගොදුරු වෙයි. දරුවා ප්‍රවේසමෙන් බලා කියා ගැනීමට නොහැකි වේය යන බිය, දරුවා හැඬූවද බියක් දැනීම, දරුවා නිදා ගත්තද නොගත්තද ඇති වන බිය, දරුවාට තම කිරි මදිවේ යැයි ඇතිවන බිය, දරුවාගේ ශරීරයේ අඩුපාඩු ඇතැයි සිතා බිය වීම, තම දරුවා රෝගි දරුවෙකුයැයි සිතින් බිය වීම මෙන්ම අහේතුකව ඇතිවන ශෝකී අදහස් නිසා පසු ප්‍රසව මවක් විශාදයට ගොදුරු වෙයි.

මෙම පර්යේෂකයන් තිදෙනා විසින් සිය පර්යේෂනය හරහා සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

“ පණිවිඩය පැති කිහිපයකට ලබා දෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන්ට, සෞඛ්‍ය පරිපාලකයන්ට, ඉදිරි පර්යේෂකයන්ට ඉන් සිතන්නට ඉඩක් ලබා දෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉහළම තලයේ සාක්ෂි උත්පාදනය ක්‍රමවේදයකින් පෙන්වා දී ඇත්තේ විශාදය යනු සැඟවුණු බරක් බව. මානසික හා කායික රෝගවලට දෙන ස්ථානයද දෙවරක් සිතිය යුතු වෙනවා. විශාදය වළක්වා ගත හැකි තත්ත්වයක්. ඒ ඊට අදාළ සාධක පාලනය කර ගත හොත් පමණි. එම නිසා ප්‍රජා මානසික සෞඛ්‍ය සංකල්පය යටතේ වළක්වා ගැනීමට සියලු දෙනාගේම සහභාගීත්වය ලබා ගත යුතුයි. වැඩි අවදානම් තරුණ වයස් කාණ්ඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඒ පර්යේෂකයන්ගේ අදහස්ය.

Comments