ඩෙංගු මර්දනයට පාසල් පිරිසිදු කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් | Page 5 | සිළුමිණ

ඩෙංගු මර්දනයට පාසල් පිරිසිදු කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වූ වහාම ඩෙංගු රෝගීන් 40කට ආසන්න ව වාර්තා වන ප්‍රමුඛ පෙළේ පාසල් ද ඇතුළත් ව සිසුන් වැඩි පිරිසක් සිටින කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය හා ඒ අවට සියලු විභාග මධ්‍යස්ථාන පිරිසිදු කිරීමේ කාර්යන් පෞද්ගලිකව ම සහභාගී වෙමින් සිදු කරන බවත් අනතුරු ව එය දීපව්‍යාප්තව පුළුල් කරන බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.
 
පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී කියා සිටියේය. 
 
කාර්යාලයීය ක්‍රමවේද පිළිබඳ නිසි පුහුණුවක් ලබා දෙමින් හා අභ්‍යන්තර මාරුවීම් ක්‍රියාත්මක කරමින්     අමාත්‍යාංශය තුළ සෑම මට්ටමක ම සේවකයන්ගේ ද ගුණාත්මක පක්ෂය ඉහළ නැංවිය යුතු බවත් ආකල්පමය වෙනසක් හරහා එම ඵලදායී වෙනස දීපව්‍යාප්තව පාසල් පද්ධතිය තුළ ද බලගැන්විය යුතු බවත් මේ වන විට සාර්ථක ව ක්‍රියාත්මක සතිමත්බව වැඩිදියුණු කිරීමේ සතිපාසල් වැඩසටහන ඊට දායක කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය. 
 
සියලු ආගම්වලට අයත් සිසුන් අධ්‍යාපනය ලබන බොහෝ පාසල් ආගමික ගැටලුකාරීබවකින් තොර ව පවතින අතර එවැනි ශික්ෂණයක් යටතේ විනයගරුක ව අන්‍යෝන්‍ය ගරුත්වයකින් යුතු ව පාසල තුළ හැදී වැඩෙන දරුවන් ඉදිරියේ දී සමාජය තුළ ද රැකියාවේ දී ද යහපත් පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වන බවත් පැවසූ අමාත්‍යවරයා ඒ තත්වය සමස්ත පාසල්වලම ක්‍රියාවට නැංවීම සඳහා සියලු ආගමික අංශවලින් පුළුල් දායකත්වයක් ලැබිය යුතු බවත් පැවසී ය. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. එවිට ලක්ෂ 41 ඉක්මවූ පාසල් දරුවන් මාර්ගයෙන්  සහජීවනයේ හා ආගමික සංහිඳියාවේ පණිවිඩය සමස්ත සමාජය කරා ම ගෙන යා හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.  
 
මෙවැනි භෞතික මෙන් ම ව්‍යුහාත්මක කාර්යන් රැසක් සාර්ථක ව සපුරා ගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන පක්ෂය ඉහළ නැංවීමට තමන් පුළුල්    භූමිකාවක් නියෝජනය කරමින් කැප වී ක්‍රියා කළ ද තවමත් වැඩි කාලයක් දැරීමට සිදු ව ඇත්තේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමට නොව සේවා විෂමතා ඉවත් කිරීම වැනි දිගුකාලීන ව පැවත ආ ගැටලු විසඳීමට බවත් දරුවන්ගේ පක්ෂයෙන් එය යහපත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Comments