
අනවබෝධය සැනසීමට හේතුවක් විය හැකි වුවත් ඉන් විමුක්තිය නොලැබෙන බව අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එමෙන්ම ඍජුවම, එක එල්ලේ ප්‍රශ්නය දෙස බැලීමෙන් ඉන් මිදී ඉහළටම ගමන් කළ හැකි බව ද අපි සාකච්ඡා කළෙමු.
නොදොඩා ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නිරීක්ෂණයේදී ඔබ මගහැරිය යුතු මානසික ස්වභාවයන් දෙවර්ගයක් තිබේ. සිතුවිලි අතර දුවන හිත එක් වර්ගයකි. එය අප “වඳුරු මනස” ලෙස හඳුන්වමු. එමෙන්ම “ගිලෙන මනස” එහි විරුද්ධ පැත්තයි. දැනීම අඩුවී දුර්වල වීම ගිලෙන මනසේ සාමාන්‍ය ලක්ෂණයයි. ඒ නිරීක්ෂණයෙන් හා එළැඹි සිහියෙන් තොර රික්තකයක් බඳු සිතය. එය හරියටම සිහිනවලින් තොර නින්දක් වැනි හැඩයක් රහිත නොදන්නා මානසික පැතිකඩකි. එය හිස් අවකාශයකි. එය මගහරින්න.
විපස්සනා භාවනාව ක්‍රියාශීලී කාර්යයකි. සිතෙහි ඒකාග්‍රතාව යනු ප්‍රබල හා උද්‍යෝගීමත් ලෙස එක අරමුණක් කෙරෙහි සිත යොමු කිරීමයි. එළැඹි සිහිය යනු දීප්තිමත් පැහැදිලි සෝදිසියයි. අප ඇතිකර ගැනීමට උත්සාහ කරන විශේෂ කුසලතා දෙක නම් සමාධිය හා සිහියයි. ගිලෙන මනසෙහි මේ කිසිවක් නැත. අවම අවස්ථාවේදී එය ඔබ නිදිගන්වන අතර, උච්චතම අවස්ථාවේ හුදෙක්ම එය ඔබගේ කාලය කා දමනු ඇත.
ඔබ ‘ගිලෙන මනස’ තත්ත්වයට ඇද වැටුණු විට ඒ බව දැනගෙන, ඔබගේ අවධානය හුස්ම වෙත ගෙන එන්න. ඇතුළුවන හුස්මෙහි ස්පර්ශය නිරීක්ෂණය කරන්න. පිටවන හුස්මෙහි ස්පර්ශය දැකගන්න. ආශ්වාස ප්‍රාශ්වාස කර සිදුවන්නේ කුමක් දැයි බලන්න. මේ ලෙසින් සති හෝ මාස ගණනාවක් පුහුණු කළ විට, හුස්මෙහි ස්පර්ශය භෞතික වස්තුවක් සේ ඔබට හැඟෙනු ඇත. හුස්ම ඇතුළුවීම හා පිටවීම නොකඩවා සිදු කරන්න. සිදුවන දේ දකින්න. ඔබගේ සිතෙහි ඒකාග්‍රතාව ගැඹුරු වන විට ‘වඳුරු මනසින්’ දුවන බාධාව ක්‍රමයෙන් අඩු වනු ඇත. ඔබගේ හුස්මෙහි වේගය අඩු වී, හුස්ම පැහැදිලිව දැනෙයි. මානසික බාධකවලින් මුළුමනින්ම නිදහස් වී ගැඹුරු, සන්සුන් බවක් අත්දකිනු ඇත. තෘෂ්ණාව, ආශාව, ඊර්ෂ්‍යාව හෝ වෛරය නොපවතියි. කලබලකාරී බව ඉවත්ව යයි. බය පලා යයි. මේවා සිතේ චමත්කාර, පැහැදිලි ප්‍රමෝදවත් ස්වභාවයන් වෙයි. ස්ථිර නොවන මෙම ස්වභාවයන් භාවනාව අවසානයේදී අවසන් වෙයි. නමුත් මෙම කෙටි අත්දැකීම් පවා ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත. මේවා විමුක්තිය නොවන නමුත් එම දිශාවට ඔබ යොමුකරන අඩිතාලමයි. කෙසේ වෙතත් ක්ෂණික ප්‍රමෝදය බලාපොරොත්තු නොවන්න. මූලික අඩිතාලම ගොඩනැඟීම සඳහා වුවද කාලය, මහන්සිය හා ඉවසීම අවශ්‍යයි.
භාවනා පුහුණුව තරගයක් නොවෙයි. මෙහිදී ඔබට විශේෂිත අරමුණක් ඇති නමුත් නියමිත කාල සටහනක් නැත. ඔබ කරනුයේ ජීවියේ පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා එය වසා සිටින තට්ටු ගණන් වූ මුළාවේ ගැඹුරට හැරීමයි. මෙයම චිත්තාකාර්ෂණීය හා තෘප්තිමත් ක්‍රියාවලියකි. එය පමණක්ම රසවිඳිය හැකිය. හදිසි වීමට අවශ්‍ය නැත.
හොඳින් පුහුණු කළ භාවනා කාලයක් අවසානයේදී ඔබේ සිතට ප්‍රීතිමත් නැවුම් බවක් දැනෙනු ඇත. එය එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳීම සඳහා යොදවා ගත හැකි සාමකාමී, ප්‍රීතිමත් හා උද්‍යෝගීමත් ශක්තියකි. මෙයම ඔබට ලැබෙන ත්‍යාගයකි. භාවනාවේ අරමුණ ගැටලු නිරාකරණය කිරීම නොවූවත් එම ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඔබගේ මහන්සියට ලැබෙන පාරිතෝෂිතයකි. එය එසේ සැලකීම වැදගත්ය. ගැටලු නිරාකරණය සඳහා අනවශ්‍ය අවධානයක් යොමු කළහොත්, ඔබගේ අවධානය හිත එකඟ කිරීමෙන් ඉවත් වී ප්‍රශ්න විසඳීම කෙරෙහි යොමුවන බව ඔබ අත්දකිනු ඇත.
භාවනා කාලය තුළදී ඔබගේ ප්‍රශ්න පිළිබඳ නොසිතන්න. ඒවා සෙමෙන් පසෙකට තල්ලු කර හරින්න. සියලුම කරදර වීම්වලින් හා සැලසුම් කිරීම්වලින් මඳ විරාමයක් ගන්න. ඔබගේ භාවනාව පූර්ණ නිවාඩු කාලයක් කර ගන්න. භාවනාවෙන් උපදින ශක්තිය හා මානසික ප්‍රබෝධය භාවනාවෙන් පසුව ගැටලු විසඳා ගැනීමට ඔබට ලැබෙන ශක්තිය කෙරෙහිද, ඔබ කෙරෙහි ද විශ්වාස කරන්න. මෙලෙස ඔබ ගැන විශ්වාසය තැබූ විට එය එලෙසින්ම සිදුවනු ඇත.
ළඟාවිය නොහැකි තරම් ඉහළ අරමුණු ඇතිකර නොගන්න. ඔබ කෙරෙහි කාරුණික වන්න. ඔබ විරාමයකින් තොරව ඔබගේ හුස්ම අධ්‍යයනය කිරීමට සූදානම් වෙමින් සිටියි. බැලූ බැල්මට එය පහසු කාර්යයක් සේ පෙනෙන බැවින් මුල සිටම ඉතා නිවැරදිව හා ඉහළින්ම භාවනා කිරීමට ඔබ උත්සාහ දරනු ඇත. එය කළ හැකි දෙයක් නොවේ. කෙටි කාල පරාසයක් භාවනාව සඳහා භාවිත කරන්න. පටන් ගැන්මේදී එක ආශ්වාසයක් පුරාම අවධානයෙන් සිටීමට අදිටන් කරගන්න. මෙය වුවද පහසු නොවන නමුත් එය කළ හැකිය. ඊළඟට ප්‍රාශ්වාසය පටන් ගැනීමේදී එම එක ප්‍රාශ්වාසය දැකීමට අධිෂ්ඨාන කරගන්න. තවමත් ඔබ අසාර්ථක වීමට ඉඩකඩ ඇත. එසේ වුවද එය දිගටම කරගෙන යන්න.
ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවකදීම නැවතත් පටන් ගන්න. වරකට එක හුස්ම බැගින් ගන්න. ඔබට සත්‍ය වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි මට්ටම මෙයයි. එය අත නොහරින්න. සෑම ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයකදීම අලුත් අධිෂ්ඨානයක් හා කුඩා කාල ඒකකයක් ඇති කර ගන්න. එක් වරකට තත්පරයෙන් පංගුව බැගින් ගෙන, ඒ සමඟම අලුත් අධිෂ්ඨානයක් සහිතව, සෑම හුස්මක්ම පරීක්ෂාකාරීව හා නිරවද්‍යව නිරීක්ෂණය කරන්න. මේ ආකාරයෙන් පුහුණුවන විට අවසානයේදී නොකඩවා නොබිඳුණු සිහිය හට ගනියි.
හුස්ම කෙරෙහි සිහිය එළැඹවා සිටීම වර්තමානය පිළිබඳ දැනීමයි. එය මනාව ඉටුකරන විට ඔබ දැනගන්නේ මේ මොහොතේ සිදුවන දේ පමණි. ඔබ අතීතය හෝ අනාගතය දෙස නොබලයි. ඔබ පසුවූ හුස්ම අමතක කර ඇති අතර ඊළඟ හුස්ම බලාපොරොත්තුවෙන් නොසිටියි. ආශ්වාසයක් පටන්ගන්නා මොහොතේ දී ඔබ එහි අවසානය ගැන නොසිතයි. ඔබ ඊළඟට ආ යුතු ප්‍රාශ්වාසය වෙතට නොපනියි. ඔබ හරියටම වෙමින් පවතින දේ සමඟ රැඳී සිටියි. ඔබ අවධානය යොමු කරන්නේ ආරම්භ වෙමින් පවතින ආශ්වාසය වෙත පමණි. එය මිස අන් කිසිවක් වෙත නොවේ.
භාවනාව මනස නැවත පුහුණු කරන ක්‍රියාවලියකි. ඔබ සොයන්නේ ඔබගේ සංකල්පිත විශ්වය තුළ සිදුවන සියලුම දේ පිළිබඳ අංග සම්පූර්ණවත්, සිදුවන සැටියෙන්මත්, සිදුවන මොහොතේමත් දැන සිටීමේ හැකියාවයි. එය නොඅඩුව, අඛණ්ඩව වර්තමානය පිළිබඳ දැන සිටීමයි. මෙය එකවරම ළඟා විය නොහැකි විශාල ඉලක්කයකි. එයට පුහුණුව අවශ්‍ය කරන බැවින් අපි සුළුවෙන් පටන් ගනිමු. එක කෙටි කාලයක් පිළිබඳ, එක ආශ්වාසයක් පිළිබඳ, පූර්ණ අවධානයෙන් අපි පටන් ගනිමු. ඔබ සාර්ථක වූ විට ජීවිතය ගැන සම්පූර්ණ නැවුම් අත්දැකීමකට යන මාර්ගය ඔබට හෙළිවී ඇත.
භාවනාව ව්‍යුහගත කිරීම
ඉහතින් අප සාකච්ඡා කළ සියල්ල න්‍යායාත්මක කරුණුය. දැන් සැබෑ ප්‍රායෝගික කරුණු වෙත යොමු වෙමු. භාවනාව යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලිය පුරුදු වන්නේ කෙසේද කියා සොයා බලමු.
පළමුව විපස්සනා භාවනාව පුහුණුවීම සඳහා නියමිත කාලයක් වෙන් කිරීම අවශ්‍යය. ළදරු අවධියේදී ඔබ ඇවිදීමට දැන සිටියේ නැත. ඔබට එම කුසලතාව ලබා දීම සඳහා යම් පුද්ගලයකුට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. ඔවුහු ඔබගේ දෑතින් අල්ලාගෙන සිටියහ. ඔබව ධෛර්යයවත් කර, ඔබට තනිව එය කළ හැකි වන තුරු එක පාදයක් ඉදිරියෙන් අනෙක් පාදය තැබීමට ඉගැන්වූහ. ඇවිදීමේ කලාව ඉගැන්වීම ප්‍රායෝගික අභ්‍යාසවලින් සමන්විත විය.
භාවනාවේදීද අපි එම මූලික ක්‍රමය අනුගමනය කරමු. එළැඹි සිහිය යන මානසික කුසලතාව ඇති කර ගැනීම සඳහා නියමිත වේලාවක් වෙන්කර ගනිමු. එම කාලසීමාව, මෙම ක්‍රියාව සඳහා පමණක්ම කැප කරගත යුතු වන අතර, බාධක හා අවහිරතා අවම වටපිටාවක් සකස් කර ගැනීම ද අවශ්‍යය. අපගේ මුළු ජීවිත කාලයම ගෙවා ඇත්තේ මෙයට පටහැණි මානසික ස්වභාවයක් ගොඩනඟා ගැනීම සඳහා බැවින්, එම පුරුදුවලින් අප මුදාලීම සඳහා උපායන් අවශ්‍ය කරයි. කලින් සඳහන් කළ පරිදි, අපගේ සිත් මඩ වතුර සහිත භාජන වැනිය. භාවනාවේ අරමුණ මේ මඩ ටික පාදා එහි අභ්‍යන්තරය දැක ගැනීමයි. එයට නිශ්චලව තිබෙන්නට ඉඩ හැරීම ඉතා සුදුසුම ක්‍රමයයි. තැන්පත් වීම සඳහා එයට අවශ්‍ය පමණ කාලය ලබා දෙන්න. අවසානයේ ඔබට පැහැදිලි වතුර ලැබෙනු ඇත. මෙම පැහැදිලිකම ලබා ගැනීම සඳහා භාවනාවේදී, අප යම්කිසි කාලයක් වෙන් කරමු. බාහිරින් දකින අයකුට එය නිශ්ඵල සේ පෙනිය හැකිය. ගලින් තැනූ විචිත්‍ර ජල කරාමයක් සේ අපි වාඩිවී සිටිමු. කෙසේ වෙතත් ඇතුළතින් බොහෝ දේ සිදු වෙමින් පවතී. සිත තැන්පත් වී, ඉදිරියේදී පැමිණෙන ජීවිත සිදුවීම් සඳහා අපව සූදානම් කරන මානසික පැහැදිලි බව අපට ලැබෙනු ඇත.
මෙම තැන්පත් බව බලෙන් ඇති කිරීම සඳහා කිසිම දෙයක් කළ යුතු බව මෙයින් අදහස් නොකෙරේ. එය එතුළින්ම ඇතිවන ස්වාභාවික ක්‍රියාවලියකි. නිශ්චලව වාඩි වී සිටීම හා එළැඹි සිහියෙන් සිටීම නිසාම එම තැන්පත් වීම හටගනියි. සැබැවින්ම එය බලෙන් ඇති කිරීමට අප දරන කිසියම් උත්සාහයක් ඵල රහිත වනු ඇත. එය නිශ්චල යටපත් කිරීමකි. මනසට බල කිරීමෙන් සිද්ධ වන්නේ එය තව තවත් බලවත් කිරීම පමණකි. තාවකාලිකව ඔබ සාර්ථක විය හැකි නමුදු දීර්ඝකාලීනව ගත් කල එය වඩාත් ශක්තිමත් වීම සිදු වේ. ඒවා ඔබගේ අවිඥානය තුළ සැඟව සිට, ඔබ ඒවා දෙස බලා නොසිටින මොහොතක එළියට පැන ඔබට මැඬලිය නොහැකි තරමට ඔබව අසරණ කරනු ඇත.
මානසික තරලය පිරිසිදු කිරීම සඳහා සුදුසුම ක්‍රමය එයටම එය කිරීමට ඉඩ හැරීමයි. එයට කිසිදු ශක්තියක් හෝ බලයක් එකතු නොකරන්න. එයට කිසිදු අයුරකින් සහාය නොවී, මඩදිය කැරකෙන සැටි සිහියෙන් බලා සිටින්න. අවසානයේදී එය එසේ තැන්පත් වී පවතී. භාවනාවේදී අපි ශක්තිය යොදනවා මිස බල කිරීමක් නොකරමු. අපගේ එකම උත්සාහය, මෘදු, ඉවසනසුලු එළැඹි සිහියයි.
භාවනා කාලය ඔබගේ දවසේ හරස්කඩක් වැනිය. දවස පුරා සිදුවන සෑම දෙයක්ම මානසිකව හෝ චිත්තවේගී ලෙස ඔබගේ සිතෙහි ගබඩා වී ඇත. සාමාන්‍ය වැඩකටයුතු වලදී නොයෙකුත් පීඩනයන්ට හසුවන ඔබ මූලික ගැටලු සමඟ නිවැරදිව ගනුදෙනු කරන්නේ කලාතුරකිනි. ඒවා අවිඥානයේ වැළලී කැකෑරෙමින්, පැසවමින් පවතී. පසුව මෙතරම් ආතතියක් පැමිණියේ කොහෙන්ද කියා ඔබ පුදුමයට පත් වේ.
භාවනාවේදී මේ සියල්ල කුමන හෝ ආකාරයකට පිටතට පැමිණෙයි. ඒවා දෙස බලා, ඇති සැටියෙන් දැක, ඒවාට යන්නට හැරීමට ඔබට අවස්ථාවක් ලැබෙයි. භාවනාව සඳහා විධිමත් කාලයක් සකසා ගන්නේ මෙම මුදාහැරීම් සඳහා සුදුසු පරිසරයක් තනා දීමටයි. අපි අපගේ එළැඹි සිහිය විධිමත් ආකාරයට නැවත පිහිටුවා ගනිමු. සිත උත්තේජනය කරන සිදුවීම් වෙතින් ඉවත් වෙමු. ආවේග ඇති කරන ක්‍රියාවලින් වෙන්වෙමු. නිශ්ශබ්ද ස්ථානයකට ගොස් නිශ්චලව වාඩි වී සිටින විට, ඒ සියල්ල බුබුළු දමමින් පිටතට පැමිණේ. ඉන්පසු එය ඉවත්වී යයි. අවසාන ප්‍රතිඵලය ගෙවුණු බැටරියක් නැවත පණ ගැන්වූවා වැනිය. භාවනාව ඔබගේ සිහියට නැවත පණ ලබා දෙයි.
අසුන් ගැනීමට සුදුසු ස්ථානය
වෙන්වුණු නිශ්ශබ්ද හෝ හුදකලා වූ ඔබට තනිවී සිටීමට හැකි ස්ථානයක් සොයාගන්න. එය වනාන්තරයක් මැද ඇති අංගසම්පූර්ණ ස්ථානයක් විය යුතු නැත. එවන් ස්ථානයක් සොයා ගැනීම අප බොහෝ දෙනෙකුට නොහැකිය. එය ඔබට පහසුව සලසන මෙන්ම බාධකවලින් තොර ස්ථානක් මිස ඔබව ප්‍රදර්ශනය කරන තැනක් නොවිය යුතුය. මුළු අවධානයම යොමු කළ යුත්තේ භාවනාවට මිස ඔබව අන් අයට පෙනෙන්නේ කෙසේද යන්න ගැන නොවේ. හැකිතාක් දුරට නිශ්ශබ්ද ස්ථානයක් තෝරා ගන්න. එය මුළුමනින්ම ශබ්දයෙන් තොර කාමරයක් වීම අවශ්‍ය නොවූවද මහත් ලෙස බාධා පමුණුවන ශබ්දවලින් තොර වීම වැදගත්ය. සංගීතය හා කථාව විශාල බාධාවන්ය. පාලනය කළ නොහැකි ලෙස ඔබගේ මනස මේ ශබ්ද විසින් උරාගන්නා විට සිත එකඟ කිරීම අපහසු වනු ඇත.
(භාවනාවට අසුන් ගැනීමට සුදුසුම වේලාව කුමක්ද යන්න මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)