රත්නපුර රෝහල් වාට්ටුවේ බිම නිදාගත් දරුවා සබරගමුවේ සෞඛ්‍ය ලොක්කා වී රෝහලම හැදූ හැටි | Page 2 | සිළුමිණ

රත්නපුර රෝහල් වාට්ටුවේ බිම නිදාගත් දරුවා සබරගමුවේ සෞඛ්‍ය ලොක්කා වී රෝහලම හැදූ හැටි

වෛද්‍ය සහතිකය නොලැබීම නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ දොරටු වැහෙයි.

වෛද්‍යවරයෙක් වී රෝහලේ යටිතල පහසුකම් හදනවා කියන අධිෂ්ඨානය ආ‍වේ පුංචි කාලේ රෝහල්ගත වී හිතා ගන්න බැරි  අපහසුකම් විඳිද්දි

අනුරාධපුර හමුදා රෝහලේ පළවෙනි වෛද්‍ය නිලධාරියා ඔහුයි

 

අප හිතාගෙන ඉන්නේ මනුසත් උයනේ යළි මල් නොපිපෙන බවය. එහෙත් එහි තවමත් අපූරු විචිත්‍රවත් මල් පිපෙන බව කියන මනරම් අත්දැකීමක් ලැබුවෙමි. රෝහලක කොරිඩෝවක් මත අපා දුක් විඳිමින් ගත කළ හද්දා පිටිසර ගැමි දරුවෙක් එම රෝහල අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියා වී රෝහල විමනක් සේ යළි ගොඩනැඟූ ආකාරය ගැන අසිරිමත් කතාවක් අපට ඇසුණේය. ඒ වික්‍රමය කළ අපූරු මිනිසා වෛද්‍ය අතුල දංගල්ලය.

 

ඔහු හිටපු සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂවරයාය. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලියැවුණේ ඔහු අතිනි. අන්තර්ජාතික සෞඛ්‍ය අංශයේත් කටයුතු කළ ඔහු වෛද්‍ය සේවයෙන් විශ්‍රාම යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසය. විශ්‍රාම ගිය පසු ජපන් සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස මේ වනවිට ඔහු කටයුතු කරමින් ඉන්නේය. ඇසිය යුතුම වූ ඔහුගේ කතාව අසනු රිසිව සාවධාන වුණෙමි. වෛද්‍ය අතුල දංගල්ල ඔහුගේ අතීත ජීවිත කතාව අප ඉදිරියේ දිග හරිමින් සිටියේය.

“මගේ අප්පච්චි ගුරුවරයෙක්. අම්මා රැකියාවක් කළේ නෑ. මට බාල නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් හිටියා. පුංචි කාලේ අපි හැදුණේ හික්කඩුවෙ. නිදහසේ සෙල්ලම් කරමින් ගම්වල හැදුණු ළමා කාලයක් අපට තිබුණා. අම්මගේ ගම යටියන්තොට. මගෙ සීයා පොඩි වැවිලිකරුවෙක්. ඔහු ඇල්බීසියා වවනවා. ඒවා ගන්න එන මිනිස්සු කැලණි ගඟේ කරවනැල්ල පාලම යට පොඩි පාරුවක් හදනවා. ඒ පාරුව මැද පස් දාලා පොඩි පැලක් හදනවා. ඒ පැලේ තමයි කට්ටිය උයාගෙන කලා ඉන්නේ. පාරුව දවස් තුනක් තිස්සේ ගඟ දිගේ පහළට ගිහින් සේදවත්ත පැත්තේ ලී මෝල්වලට එන්නේ. සීයත් එක්ක මමත් මේ පාරුවෙ ගඟ දිගේ ගිහින් තියනවා. ඒ අත්දැකීම් දැන් හීන වගේ.

පාසල් ජීවිතේ පුංචිම කාලේ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයට ගියේ. එතැනින් බොරැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආවා. ඒ දවස්වල තිබුණා ප්‍රධාන පාසල්වලට දරුවන් ඇතුළත් කරගන්නා විභාගයක් 8 වැනි පන්තියෙදි. මම ආනන්ද විද්‍යාලයටත් රාජකීය විද්‍යාලයටත් ඉල්ලුම් කළා. එකම දවසේ විභාග දෙකම ආවා. ඒ නිසා අප්පච්චි මට කිව්වා රාජකීය විද්‍යාලයේ විභාගයට ඉන්න කියලා. ළමයි හාරසීයක් විතර හිටියා. එතැනින් ළමයි 10යි තෝර ගත්තේ. මමත් තේරුණා ජීව විද්‍යා අංශයට. ද්විතියික අධ්‍යාපනය ලැබුවේ රාජකීය විද්‍යාලයෙන්. රාජකීය විද්‍යාලයෙන් තමයි මා වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ. මා වෛද්‍ය විද්‍යාලයට තේරුණේ හිතාගන්න බැරි විශාල බාධකයක් පහුකරලා.

පළමු වර උසස් පෙළ විභාගයෙන් මා තේරුණේ දන්ත ශල්‍ය වෛද්‍ය අංශයට. දෙවැනිපාර මට මුහුණ දෙන්න හැකි වුණේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකට විතරයි. පැපොල හැදුණා. දවස් දෙක හමාරක් අවසිහියෙන් හිටියේ. මගේ තාත්තා වෛද්‍ය සහතිකයත් අරන් කළ යුතු දේ කළා. තුන්වැනි පාර මා උසස් පෙළ ඉහළින් සමත් වුණා. මම ඉතින් ඉල්ලුම් පත්‍රයත් දාලා සතුටින් හිටියා.

සුමාන දෙකක් ගියේ නෑ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලියුමක් ආවා. “ ඔබේ වෛද්‍ය සහතිකයක් මෙම ආයතනයට ලැබී නැත. එබැවින් වෛද්‍ය විද්‍යාලයට ඔබ යොමු කළ ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබේ.” කියලා.

ඒ කාලේ රටේ මුදල් ඇමති ඇන්. ඇම්. පෙරේරා. අප්පච්චි ක්‍රියාශීලී වාමාංශික දේශපාලනය කළ කෙනෙක්. ඒ දවස්වල ප්‍රදේශයේ ඇන්.ඇම්. පෙරේරාගේ රැස්වීම් තියෙන්නේ අපේ ගෙදර. එතුමා රාත්‍රී කෑම ගන්නේත් අපේ ගෙදරින්. එතුමා එනකොට පොලිසියෙන් කතා කරලා කියනවා අද මුදල් ඇමැතිතුමා එනවා හතර දෙනෙක් එක්ක රෑට කෑමට කියලා.

මේ හතර දෙනා මුදල් ඇම­ැතිතුමායි, එතුමගේ ලේකම්, පොලිස් නිලධාරියායි, රියදුරුයි. අද වගේ ඩිෆෙන්ඩර් පුරව ගෙන එන්නේ නැහැ ඒ කාලේ. හතර දෙනාම එන්නේ එක කාර් එකේ.

මේ ප්‍රශ්නය ඇතිවුණාට පස්සේ තාත්තයි මමයි මට වෛද්‍ය සහතිකය දුන් වෛද්‍යවරයායි ගියා කොටා පාරේ ඇන්.ඇම්. පෙරේරාගෙ ගෙදරට. එතකොට එතුමා පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් පැරදිලා ගෙදර හිටියෙ. මගේ කතාව අහලා කිව්වා පුතා බය වෙන්න එපා, මේකට මම මැදිහත් වෙන්නම් කියලා. ඔහු මා ඉදිරියේම එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ට දුරකතනයෙන් අමතමින්

“මේ දරුවා මම පුංචි කාලෙ ඉඳලා දන්නවා. මේ ළමයා බොරු කියන්නෙ නෑ කවදාවත්. වෛද්‍ය සහතිකය දුන්න වෛද්‍යවරයත් ඉන්නවා. මේකට සාධාරණයක් කරන්න” කිව්වා.

ජනාධිපතිතුමා කියලා තිබුණා පහුවෙනිදා උදේ හතයි කාලට වෝඩ් ප්ලේස් ගෙදරට එන්න කියලා. මමයි අප්පච්චියි වෛද්‍ය ජී. ඩී. ෆොන්සේකයි, පහුවදා ගියහම වෛද්‍යවරයාට එතන කාර්යාලයේ ඉන්න කියලා මටයි තාත්තටයි ඇතුළට යන්න කිව්වා. අපි යනකොට ඉස්තෝප්පුවෙ හිටියා ජනාධිපතිතුමා.

“ විස්තරේ ඔක්කොම දන්නවා. මම ඕකට උපදෙස් දීලා තියෙන්නෙ. ගිහින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ස්ටැන්ලි කල්පගේ හමුවෙන්න” කියලා එතුමා කිව්වා.

ස්ටැන්ලි කල්පගේ මහත්තයා හම්බවෙන්න ගියාම ඔහු කිව්වා “ ඔයාගේ ලකුණු ඔක්කොම හරි. මේ වෛද්‍ය සහතිකය තමයි ගැටලුව තියෙන්නෙ. ඒත් පුතා දැන් කොළඹ සහ පේරාදෙණිය ලැයිස්තු හදලා ඉවරයි. තියෙන්නේ අලුතෙන් පටන් ගන්න ගාල්ල වෛද්‍ය පීඨය. ඒකට දානවට කැමතිද“ ඇහුවා. අපි කැමතියි කිව්වා. ඒ අනුව තමයි මම ගාල්ල වෛද්‍ය පීඨයේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයෙක් වුණේ.

සීමාවාසී කාලයෙදි මා අනුරාධපුරයට ගියා ඉල්ලීමක් කරලා. පළමු පත්වීමත් ලැබුවේ අනුරාධපුර මහ රෝහලට. යුද්ධයෙන් තුවාල ලබපු සෙබළු වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍ය වුණා. අනුරාධපුරයෙ පටන් ගත් හමුදා රෝහලේ පළවෙනි වෛද්‍ය නිලධාරියා මම. යාල්දේවී කෝච්චිය පිපිරුණ වෙලාවේ හිටියේ මම. ඒ කාලේ වෛද්‍යවරු හිඟයි. ශල්‍ය අංශය, ළමා රෝග අංශය, කායික රෝග අංශය, ප්‍රසව සහ නාරි වේද අංශය, හමුදා රෝහල, ලේ බැංකුව වැනි මේ සියල්ලම අපට ඒ කාලෙ බලන්න වුණා.

මේ කාලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය පරිපාලනයේ වගේම රෝහල් පරිපාලනයේ හිටියේ දෙමළ ජාතික නිලධාරීන්. කලබල කාලයේ ඔවුන් සේවයට වාර්තා කළේ නෑ. ඒ නිසා වැඩබලන රෝහල් අධිකාරී සහ වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ විදිහට විශේෂඥ වෛද්‍යවරු මාව තෝර ගත්තා. ඉන් මට ගොඩාක් අත්දැකීම් ලැබුණා.

මේ අතරෙයි 1994 අවුරුද්දේ මාව සබරගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස පත් කරන්නේ. ඒ පත්වීම මගේ ජීවිතයේ එක් සිදුවීමක් නිසා ඇති කර ගත් අධිෂ්ඨානයක් සාර්ථක කරගැනීමට ලැබුණු අවස්ථාවක්. ඒ සිද්ධිය මේකයි.

ඒ 1978 අවුරුද්දේ. එවකට උසස් පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයේ පළමු වසර ආරම්භ කරන තුරු ගෙදර හිටපු කාලේ. මගේ අප්පච්චි එවකට සේවය කරමින් උන්නේ රත්නපුර වේවැල්වත්ත, බඹරබොටුව මහා විද්‍යාලයේ විදුහල්පති විදිහටයි. මාත් හිටියෙ අප්පච්චි එක්ක ගුරු නිවාසේ.

මේ අතරෙ මගෙ දතේ ආසාදනයක් නිසා දරාගන්න බෑ වේදනාව. මම ගමේ කරවනැල්ල දිස්ත්‍රික් රෝහලෙන් දත ගලවා ගෙන එදාම බස් එකෙන් බඹරබොටුව ගුරු නිවාසයට ආවා.

ඒත් මගේ දත ගලවපු වේදනාව අඩු නොවී නොකඩවා ලේ ගලන්න ගත්තා. අප්පච්චි හොඳටම කලබල වුණා. පහුවදා පාන්දරින්ම මමත් අප්පච්චිත් රත්නපුර මහා රෝහලට ආවා. බාහිර රෝගීන්ගේ අංශයෙන් 6 වැනි වාට්ටුවට නේවාසික රෝගියකු ලෙස ඇතුළත් කළා. ඒක ශල්‍ය රෝගීන්ගේ වාට්ටුව. දවසක් හැර දවසක් නොකඩවා ලෙඩ්ඩු ඇතුළත් කරනවා. වාට්ටුවේ බිම ඉඳන් සෙනඟ. සමහර රෝගීන් ඇඳන් යට පැදුරු එලාගෙන වැතිරිලා. මම යනකොට වාට්ටුවේ පැදුරුත් ඉවරයි.

කොහොම වුණත් ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනිය මට වාට්ටුවට ඇතුළුවන තැන කොරිඩෝවේ ආවරණය වෙච්චි තැනක ඉඩක් වෙන් කරලා දුන්නා. පත්තරයක් එලාගෙන ඊට උඩින් බෙඩ් ෂීට් එක දමා ගත්තා. පැරසිටමෝල් පෙති, ඇම්පිසිලින් කරල් සහ ලේ ගැලීම පාලනය කරගන්න පුළුන් විතරයි ලැබුණේ. ඒක වෙනස් අත්දැකීමක්. මම ගොඩාක් අසරණ වුණා. අම්මලා තාත්තාල නැතිව කිසිම හැඳුනුම්කමක් නැති තැනක විශේෂයෙන් රෝහලක මුල්වරට හුදෙකලා වීම කියන්නේ දරාගන්න අපහසු අසරණවීමක්.

බිම සිමෙන්ති දමා තිබුණේ. ඒ දවස්වල රෝහල් හරිම බෙහෙත් ගඳයි. මේ ගඳ මට හරිම අමාරුයි දරාගන්න. රෝහල් වැසිකිලි පද්ධතිය තිබුණේ ඉතාම නරක තැනක. සෑම දවසකම පාසල් වෙලාවෙන් පස්සේ අප්පච්චි සවස ලෙඩ්ඩු බලන වෙලාවට ආවා.

දන්ත ශල්‍යවෛද්‍ය විශේෂඥවරයා පැමිණියේ 7වන දිනය‍ෙ. ඇත්තටම දත ගලවද්දි ඇතිවූ කැපුම්වල සුළු තුවාලයක් තමයි තිබුණේ. එය විවර වී තිබීම නිසා තමයි ලේ ගියේ. දන්ත වෛද්‍යවරයා මගේ විදුරුමසට මැහුම් දමා, එදිනම මා වාට්ටුවෙන් පිට කර එව්වා.

ඒ හිටපු දවස් හත පුරාම මම එක් දෙයක් හිතුවා. ඒ, මා වෛද්‍යවරයෙක් වූ පසු කවදා හෝ මේ රෝහල මා යටතට පත් වුණොත්, මේ බිම හා වැසිකිළි සම්පුර්ණයෙන්ම අලුතෙන් ටයිල් යොදා සකස් කරන්න.

1994දී මං ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස සබරගමුවට එන්නෙ මේ අතීත අත්දැකීම එක්ක. ඒ වෙනකොට රත්නපුර ප්‍රාදේශීය ලේකම්වරයා හිටියේ එච්. ඒ. ඩී. ආර්. සතුරුසිංහ. ඔහු ඉතාම කැමති වුණා මම වගේ අඩු වයසෙ කෙනෙක් අධ්‍යක්ෂ තනතුරට පත් වීම ගැන. මම රෝහල වැඩි දියුණු කිරීමට ඔහුට යෝජනාව කළා. ඔහු කිව්වා රෝහල වැඩි දියුණු කරන්න ජපන් ආධාර ලබා ගනිමු කියලා.

මම ‘ජයිකා‘ එකට ව්‍යාපෘති වාර්තාවක් ලියුවා. වාසනාවට වගේ එම වාර්තාව අනුමත වුණා. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රෝහලේ ජල සම්පාදන ක්‍රමය සහ පල්දෝරු ක්‍රමය සම්පූර්ණයෙන්ම අලුතෙන් ඉදිකිරීම; දෙවන අදියර ලෙස රෝහලේ දැනට පවතින වාට්ටු ගොඩනැගිලි වල බිම සම්පූර්ණයෙන්ම ටයිල් ඇතිරීම සහ වැසිකිලි සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර එහි ද ටයිල් ඇතිරීම; තුන්වන අදියර; අලුතෙන් තට්ටු 5 ක මහල් ගොඩනැගිල්ලක් රෝහල ඉදිරිපස ඉදිකිරිම.

මේ දෙවැනි අදියරේ තමයි මට අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුණේ. දෙවන අදියර අපේ රටේ මුදලින් ඉදිකිරීමට තීරණය වුණා. එවකට ඒ ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 500ක්. ඒ ව්‍යාපෘතියට එවකට සෞඛ්‍ය ඇමති වූ ෆවුසි ඇමැතිතුමා උපරිම සහයෝගය දෙමින් මුදල් වෙන් කළා. මගේ රෝහල් ඇත්දැකීම මම එවකට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට කියලා තිබුණේ. ඇය ඉතාම උනන්දුවෙන් මේ අරමුදල් කළමනාකරණය කරගන්න ජපන් තානාපති කාර්යාලයට ගිහින් හැකි උපරිම මැදිහත් වීම් කළා.

ඒ වගේම ටයිල් මත රෝගීන් ලිස්සා වැටීම සම්බන්ධව ඉංජිනේරු අංශයෙන් පැමිණි චෝදනාවට පිළිතුරු විදිහට රෝයල් සෙරමික් ආයතනය ලංකාවේ පළමු වරට Non – Slippery Tiles නිපදවා මුල්ම වරට රත්නපුර මහා රෝහලේ බිම ඇතිරුවා. රෝහලේ වැසිකිළි සහ නාන කාමර සඳහා විශේෂ වර්ගයක Non – Slippery Tiles නිපදවීමටද රෝයල් සෙරමික්ස් සමාගම කටයුතු කළා.

අවසානයේ රෝහලේ වැඩ නිමා කර ජනතාවට විවෘත කරන වෙලාවෙදි එම උත්සවය මටත් නොදැන සංවිධානය කර තිබුණේ මම ඊට අවුරුදු16කට කලින් බෙහෙත් ගඳ විඳගෙන නිදාගෙන හිටිය 06 වැනි වාට්ටුවේ. මම ඒත් රෝහල් අධ්‍යක්ෂගෙන් ඇහුවා ඇයි මේ වැඩේ වාට්ටුවක ලෑස්ති කළේ කියලා. රෝහල් අධ්‍යක්ෂවරයා කිව්වෙ නියෝජ්‍ය ඇමතිතුමිය කිව්වා... කියලා.

විවෘත කිරීමේ චාම් උත්සවයෙදී සෙත් පිරිත් සජ්ඣායනාවට අමතරව රෝහල් කමිටුවේ පිළිගැනීමේ කතාවයි ඇමතිවරියගේ කෙටි කතාවයි, රෝහල් අධ්‍යක්ෂගේ ස්තුති කතාවයි විතරයි තිබුණේ. ඇමතිතුමිය වචන කිහිපයක් කතා කරලා කිව්වා “මේ කතාව කියන්න සුදුසුම කෙනා මෙතන ඉන්නවා. එතුමා මේ රෝහල ගොඩනැඟීම ගැන ඉතිරි කතාව කියයි“ කියලා මට කතා කරන්න ආරාධනා කළා. මම ඇත්තටම පුදුම වුණා.

රෝගියෙක් විදිහට මම බිම නිදියගෙන හිටපු බිමේම ඉඳගෙන මට වෛද්‍ය පරිපාලකයෙක් විදිහට ඒ බිම සංවර්ධනය කළ හැටි ගැන කියන්න වුණා. ඒක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. සමුගෙන යන්නට මත්තෙන් තවත් එක් ප්‍රශ්නයක් මේ මිනිසාගෙන් ඇසිය යුතුව ඇතැයි සිතුවෙමි. “ඩොක්ටර්... ජීවිතයේ අමතකම නොවන සිදුවීම මේ රෝහලේ සිද්ධිය ද?”

දොස්තර මහත්තයා සිනාසුණේය. “ අනේ නෑ... ඒවගේ සිදුවීම් නම් රාජකාරි ජීවිතයේ වෙලා තියනවා. ඒත් කවදාවත් අමතක නොවන විශේෂ සිද්ධියක් මම කියන්නම්.

.”මම ඒ දවස්වල පත්තරවලින් බලලා හදවත් රෝගී පුංචි ළමයින්ට මගේ පඩියෙන් මුදලක් යවනවා. එක දවසක් මට නාවලපිටියෙන් ටෙලිග්‍රෑම් එකක් ආවා දුරකථන අංකයක් එක්ක. ඔබේ සේවය අවශ්‍ය දරුවෙක් සිටී. වහාම අමතන්න කියලා.

මම දුරකථනයෙන් ඇමතුවම කතා කළේ හලාවතින්. මම ඇහුවා කොහොමද මාව දන්නේ කියලා. එතකොට කතා කරපු කෙනා කිව්වා “ ඔබතුමා නාවලපිටියෙ හදවත් රෝගී දරුවකුට පිහිට වෙලා තියෙනවා, ඒ අය තමයි ඔබ ගැන මට කියලා මගේ දුරකථන අංකය දාලා ඔබතුමාට ටෙලිග්‍රෑම් එකක් ගැහුවෙ. අනේ මගේ දරුවට ලංකාවේ කරන්න බැරි ශල්‍යකර්මයක් තියනවා කියලා කිව්වා. ඔවුන් මාව හමුවෙන්න ආ පසු රෝග නිශ්චය පිළිබඳ තුණ්ඩුව බලනකොට ඇත්තටම එය ලංකාවේ කරන්න පුළුවන් ශල්‍යකර්මයක් නෙමෙයි.

ඒ දවස්වල ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ශල්‍ය වෛද්‍යවරයා මගෙ සමීප මිත්‍රයෙක්. මා ඔහුට කතා කළාම ඔහු කිව්වා දරුවා කොහොම හරි චෙන්නායි එවන්න. ඔහු ඉතිරි ටික බලාගන්නම් කියලා. මා එයාර්ලංකා ගුවන් සේවයට කතා කර දරුවාට නොමිලේ ගුවන් ටිකට් පතක් සහ මවට අයකිරීම්වලින් අඩක ගුවන් ටිකට් පතක් ලබා දුන්නා. චෙන්නායිවලදි එයාලාට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. සැත්කමින් අඩක් විතරයි කරන්න පුළුවන්... ඉතිරි කොටස කරන්න නම් ඇමෙරිකාවට යන්න ඕන. දැන් මේ මිනිස්සු පුදුම විදිහට අසරණයි.

ඔවුන් මදුරාසියෙ තිබෙන නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ගිහින් මේ විස්තරය කියලා තිබුණා. එතන හිටියේ මහතන්තිල කියන ගණකාධිකාරීවරයෙක්. ඔහු මා ගැන අසා තිබුණා.

“ඔහු ඇමෙරිකාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කරලා තත්ත්වය කිව්වා. ඒ කාලෙ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැමති වෙලා තිබුණා අම්මයි තාත්තයි දරුවයි තුන්දෙනාම මාසයක් තානාපති නිවෙසේ නවත්වා ගන්න. මදුරාසියේ චෙන්නායි මහකොමසාරිස් කාර්යාලයෙ කාර්ය මණ්ඩලය එකතු වෙලා සල්ලි එකතු කරලා මේ අයට ගුවන් ටිකට්පත් අරන් දීලා නිව්යෝක්වලට යවලා තිබුණා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙ අය එහෙදි සල්ලි එකතු කරලා ළමයා රෝහලකට දාලා ශල්‍යකර්මය කරලා යළි ගුවන්ටිකට් පත් අරන් දීලා නිව්යෝක් ඉඳලා ලංකාවට එවලා තිබුණා. මේ කතාව මම දන්නේ ඇත්තටම ඒ අම්මලා තාත්තලා මාව හම්බවෙන්න ඇවිත් කිව්වට පස්සේ.

මම මේ කතාව ඔබට කියන්නෙ එක හේතුවකට. මේ රටේ ඉන්නේ අසීමිත මනුස්සකම් තියන මිනිස්සු. ලස්සන මිනිස්සු. දැන් මොකක්දෝ කඩතුරාවකින් වැහීගෙන යනවා. ඒත් එහෙම මිනිස්සු හිටියා. මම ඔවුන්ව ඇසුරු කළා. මම ඒ ජීවිත අත්දැකීම වින්දා.

ඒ අත්දැකීම් සියල්ල කැටිකර මා පොතක් ලියනවා. අත්දැකීම් සිදුවීම් 50ක් මා එකතු කරලා තියෙනවා. මේ පොතේ කොතැනකවත් මම රෝගියකුට බෙහෙත් කළ අවස්ථාවක් නෑ.“ සැරිසරන වෙදැදුරු“ තමයි පොතේ නම.

මනුෂ්‍යත්වයේ අග ඵල කැටිකරගත් සිදුවීම් මාලාවක සංක්ෂිප්තය වී ඇතැයි සිතන ඒ කෘතිය කියැවීමේ මහත් වූ අභිලාෂය සහිතව මේ අසීමිත මිනිසාගෙන් සමු ගත්තෙමි.

 

Comments