
කෙනෙකුට අවුරුදු දහය වචනයක් වුණාට මේ අවුරුදු දහයම මම ගෙවුවේ හැඬූ කඳුළෙන්. ඒ කාලෙන් බාගෙට බාගයක්ම රෝහල්වල ගත කළේ. මගේ එකම සිහිනය වුණේ මගේ පුතා කවදාහරි පොළවේ දෙපයින් හිටගන්න පුතෙක් කරන්න. මේ වගේ දරුවොත් එක්ක සමාජයෙන් කොන් වුණු, වෙනස්කම් සිදු වූ මවුපියන් අනන්තයි, අප්‍රමාණයි. මම වගේ අම්මෙකුට දරුවෙක් වෙනුවෙන් දීපු මේ සහයෝගය ගැන මට වචනයෙන් කියාගන්න බැහැ. මට ඒ තරම්ම සතුටුයි. මේ සුන්දර හදවත් ඔක්කෝටම මම පැෙළන්න ආදරෙයි.”
සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දරුවකු වෙනුවෙන් ඇය කළ ඉල්ලීම මල්ඵල ගැන්වීමට එක්වූ මුළු ලෝකයටම ඇහෙන්න ඒ ආදරණීය මව පවසන්නේ එලෙසිනි. සමාජ මාධ්‍ය අවභාවිතය කෙමෙන් වැඩිවෙමින් පවතින මොහොතක මේ මව කරන ලද ඉල්ලීමට සමාජ මාධ්‍ය හරහා ලැබී තිබුණේ ඇයට ද සිතාගත නොහැකි අන්දමේ ප්‍රතිචාරයකි.
කාවින්ද දෙව්මිණ සෙමින් වැඩෙන, රෝගාබාධ රැසක් සහිත විශේෂිත දරුවෙකි. යතුරු පැදිවලට දැඩි ඇල්මක් තිබූ ඔහුගේ දස වැනි උපන්දිනය යෙදෙන දින යතුරු පැදි කිහිපයක් දරුවා සමීපයේ ධාවනය කර ඔහු අස්වසන්නට මේ අම්මාට අවශ්‍ය වූයේ එයින් ඔහු මහත් සොම්නසක් ලබන බව ඇය හොඳින්ම දන්නා බැවිනි. රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ පිහිටි තම නිවස අසලට දරුවාගේ උපන්දිනයදා යතුරු පැදි කිහිපයක් රැගෙන එන ලෙසට ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කරන්නේ එබැවිනි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු නොවූ ආකාරයේ උපන්දින සැමරුමක් මේ දරුවා වෙනුවෙන් සංවිධානය වූවේ එලෙසිනි. මෙම දරුවාගේ මව චමිලා දමයන්තිය. පියා රනිල් පතිරණය. මෙම තොරතුරු සොයා රුවන්වැල්ල මොරාවත්ත නිවසට ගිය සිළුමිණේ අපව ඔවුන් පිළිගත්තේ මගේ දරුවා ගැන අහන්න ඉස්සෙල්ලාම පැමිණියේ ඔයගොල්ලෝ යැයි කියමිනි.
චමිලා හා රනිල් විවාහ වෙන්නේ 2005 වසරේදීය. රුවන්වැල්ල පොළේ සුළු එළවළු ව්‍යාපාරිකයකු වන රනිල්ගේ අතගත් චමිලා ඊට යාබද ගමක පදිංචි අයෙකි. ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තියක එක්වන්නේ 2006 වසරේදීය. ඒ කාවින්දි දෙව්මිණිය. රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින්නීය.
අගහිඟකම් මඟහරවා ගනිමින් ජීවිතය සතුටින් ගලා ගිය මේ කැදැල්ලට අනතුරුව එක්වූයේ පසුගිය විසිහය වැනිදා දස වැනි උපන් දිනය සැමරූ කාවින්ද දෙව්මිණය. ඒ අතීත මතක කඳුළු අතරින් ඇය වචන වලට පෙරළුවේ මෙලෙසිනි.
“පුතා ඉපදුණේ 2013 මැයි විසි හයවෙනිදා. බබා ලැබෙන්න කරවනැල්ල රෝහලට ගියත් මාව අවිස්සාවේල්ල රෝහලට මාරු කළා. මම හේතුවක් දන්නේ නැහැ. රෝහලෙන් කීවේ බබා ලොකු වැඩියි කියලා. අපිට කිසිම දැනුමක් ඒ ගැන තිබුණේ නැහැ. මගේ ලොකු දුව ලැබුණේ කරවනැල්ලේදී. ඒ වෙලාවේ ගැටලුවක් වුණේ නැහැ. ඒ නිසා සුපුරුදු පරිදි කරවනැල්ලට ගියා. අවිස්සාවේල්ල රෝහලේදී දරුවා ලැබුණා. පුංචි රිළා පැටව් ඊට වැඩිය ලොකුයි. මූණ ඉස්ගෙඩියෙක් වගේ. පසුදා උදේ අපිව බලන්න ආව මගේ මහත්තයා දරුවාගේ ඇස් දෙක තියෙනවාද ඇහුවා. ඇස් දෙකවත් සොයාගන්න බැහැ. මූණ ඉදිමිලා තිබුණේ.
ඒ කාලේ අපිටත් ෆොටෝ ගන්න පහසුකම් තිබුණේ නැහැ. කොහොමහරි මම මාසයයි දවස් දහතුනක් පුතාවත් තියාගෙන රෝහලේ හිටියා. පුතා බේබි කාමරේ හිටියේ. මගේ කිරි නැහැ. අනුන්ගේ කිරි පොවලා තමයි ගෙදර ගෙනාවේ. ගෙදර එක්ක ආවත් ඉස්පිරිතාලෙට ගෙනියනවා ගේනවා ඉවරයක් නැහැ. දොස්තරවරු දරුවා ස්කෑන් කරලා ප්‍රශ්න තියෙනවා කීවා. මෙයා ඉපදුණේ අඩු මාසයෙන්. ඉපදෙන කොට මාස හතට සතියයි. අවුරුදු තුන හමාරක් විතර ගිහිල්ලා තමයි දරුවාව කෙළින් කරගත්තේ. දරුවාගේ නහර හීනියි. වැඩෙනවා මදි කියලා තමයි දොස්තරලා කීවේ. සිදුරු නවයක් තිබිලා ක්‍රමයෙන් අටක් හතක් ලෙස අඩු වුණා.
මම දරුවත් එක්ක මාස දෙකහමාර තුන රෝහල්වල හිටියා. සමහරු අම්මටත් පිස්සු දරුවාටත් පිස්සු කියලා කීවා. ඒ හැමදෙයක්ම ඔළුවේ තියාගෙන බොහොම අමාරුවෙන් මේ කාලය ගතකර ගත්තා. පත්තරයක මේ වගේ ලෙඩවලට ප්‍රතිකාර කරන වෙද මහත්තයෙක් සඳලංකාවේ ඉන්නවා කියලා දැනගෙන දරුවා එතනටත් ගෙන ගියා. දරුවාගේ තෙල් ගානකොට එයාගේ ස්නායු වැඩ කරන්න පටන් ගත්තා. දරුවාගෙන් කඳුළු ආවා. ඊට කලින් දරුවා යන යන තැන වෙරිකාරයෙක් වගේ වැටෙනවා. පාලනයක් නැහැ.හිටවලා තියන්න බැහැ. කොඳු ඇට පෙළ කෙළින් තියාගන්න බැහැ. දවස් දෙකෙන් දෙකට ගිහිල්ලා තෙල් ගෑවා.
දරුවා මොන්ටිසෝරි එක්කගෙන ගියෙත් මමමයි. ඒක ඉවර වෙනකල් මමත් හිටියා. මොන්ටිසෝරියේ ඉඳලාම මමයි දරුවයි තැලුණා. හැමෝම ප්‍රතික්ෂේප කළා. පුතා දඟයි, දුවනවා, පනිනවා. දොස්තරලා කියන්නේ පුළුවන් තරම් දුවන්න පනින්න දෙන්න කියලා. නටන්න, ගහගන්න, අතඅරින්න කියලා. අවුරුදු දෙකක් මොන්ටිසෝරි ගියාට පස්සේ රුවන්වැල්ල ප්‍රාථමික පාසලේ විශේෂ අවශ්‍යතා ඒකකයට පුතා ඇතුළත් කළා. පුතාගේ ගුරුතුමිය ඉන්ද්‍රානි ටීචර් අවුරුදු එක හමාරක් පමණ කැපවෙලා අකුරු ලියන්න පුරුදු කළා. ටීචර්ට පින්සිද්ධ වෙන්න මගේ පුතා දැන් එකේ ඉඳලා හැත්තෑවට ඉලක්කම් ලියනවා. තනි අකුරු දන්නවා. ඉස්පිලි පාපිලි ඉගෙන ගෙන වචන ගළපලා කියනවා.
අපේ පුතා බයිසිකල්වලට හරිම කැමැතියි. පුටුවක වාඩිවෙලා කකුල් දෙක දෙපැත්තට දමලා බ්රූම්... බ්රූම්.... පීප්... පීප්... කියලා බයිසිකල් යනවා. ඒ වගේම එයාට තේරෙන කාලයේ ඉදලාම ඒවා ගලවනවා, හයි කරනවා. අපේ කඩය ළඟට එළවළු ගන්න සමහරු මෝටර් සයිකල්වලින් ආවත් අපි පුතා ඒ අය ළඟට යවන්නේ නැහැ. සමහරු කැමැති නැහැ පුතා බයිසිකලය අල්ලනවාටවත්. අපේ කඩේට එන දිමුතු මල්ලීට පල්සර් බයිසිකලයක් තියෙනවා. එයා තමයි පුතාව බයිසිකලේ තියාගෙන රවුමක් එක්කගෙන යන්නේ. තව අක්කලා දෙන්නෙකුත් ස්කූටි බයික්වල පුතාව තියාගෙන යනවා. ඒ ඇරෙන්න වෙන කවුරුවත් ළඟට පුතාත් යන්නේ නැහැ.
පුතාගේ මේ උපන් දිනේ දවසේ සිදුවූ දෙයින් මම ආයෙම සැරයක් ඉපදුණා හා සමානයි. වයස් බේදයක් නැතිව ඒ බයිසිකල් වලින් ආපු හැමෝම නිසා මම ආයේ නැගිටිටා. මගේ පුතාගේ මාරකය මේ සිදුවීමෙන් පස්සේ ඉවර වුණා. දෙනෝදාහක් මගේ පුතාට තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! අල්ලා දෙවි පිහිටයි! කියනවා අහන්න අපි වාසනාවන්ත වුණා. බයිසිකල් දෙකක් තුනක් ගෙන්වා ගෙන අපේ ලොරියෙන් බැලුම් බෝල එල්ලා ගෙන පුතා රවුමක් එක්ක ගෙන ගිහින් උපන් දිනයට කේක් කෑල්ලක් කන්න දෙන්නයි අපි මුලින්ම හිතුවේ. බයිසිකල් දෙක තුනක් ගෙන්වා ගන්න දාපු පෝස්ට් එකට බයිසිකල් තුන්සිය දොළහක් ආවා.
මම කිසිම දෙයක් රජයෙන් ඉල්ලන්න ගියේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් මේ වගේ විශේෂ අවශ්‍යතා තියන දරුවන්ගේ තරගවලට ලියාපදිංචි වෙන්න කීවා. ඒ ඇරෙන්න කවුරුවත් රජයේ නිලධාරියෙක් අපි ගැන සොයා බලලා නැහැ. ඇඳුමෙන් හෝ ස්වරූපයෙන් කෙනෙක් දිහා බලලා ඒ වගේ කෙනෙක්ට වචනයක් කියන්න පෙර දහස්වාරයක් හිතන්න කියලයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ. මගේ හිත රිදුණ විදිය මම හරියටම දන්නවා. මගේ පුතා සතුටු කරන්න රටේ විවිධ පැතිවලින් අතින් වියදම් කරගෙන ආව හැමෝටම මම අනේක වාරයක් ස්තුති කරනවා. පින් දෙනවා. බොහොම ස්තුතියි බොහොම පින් කියනවාට වඩා කියන්න වචන මම දන්නේ නැහැ. ඒකයි පැළෙන්න ආදරෙයි කීවේ.”
කාවින්දගේ පියා රනිල් පතිරණ අප හා කතාවට එක්වෙමින් මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.
“රිජ්වේ රෝහලෙන් මුලදී කිවුවේ දරුවා ගැන අදහස අත්හරින්න කියලයි. ඒත් ක්‍රමයෙන් දරුවාව සනීප කරගන්න අපිට පුළුවන් වුණා. අම්මා තමයි දඟලලා හැම දෙයක්ම කරගත්තේ. අවිස්සාවේල්ලේ රේස් පදින පුතෙක් ඉන්නවා. එයාට බයිසිකල් පහක් දහයක් ගෙන්නා ගන්න කීවාම එයාලා තමයි මේ පණිවුඩය ශෙයා කරලා මේ විදියට පුතාව සතුටු කළේ.”
මෙම දරුවා වෙනුවෙන් පැවැත්වීමට සූදානම් වූ උපන් දින උත්සවය වඩාත් විචිත්‍රවත් වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රතිචාර හා ඊට එක්වූ යතුරුපැදිකරුවන් හේතුවෙනි. ඊට ඝෘජුවම දායක වූ විසි හැවිරිදි යෞවනයකු වන සහන් සුදීප දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත්තේ එබැවිනි.
“මැයි හත් වෙනිදා මේ ගැන කියලා මුලින්ම ඒ අම්මා මැසේජ් එකක් දමලා තිබුණා. මට මුලින්ම අදහසක් තිබුණේ නැහැ. පොඩි දරුවකුගේ ආසාවක් නිසා එදාට හතරක් පහක් හරි ගෙනැවිත් දෙන්නම් කියලයි මුලින්ම හිතුවේ. මම ඒ අම්මාගෙන් අහලා දරුවාගේ පින්තූරයකුත් ගෙන්වා ගෙන පෝස්ට් එකක් හදලා දැමුවා. මනුසත් බයික් කියලා වට්ස්ඇප් ගෘප් එකකුත් හැදුවා. ඒ අම්මාට වැදගත් වුණේ ඒ දරුවාගේ සතුට. ඒ අදහස ඉෂ්ට කරලා දෙන්නයි අපිට ඕනෑ වුණේ. ඒක අපිටත් සතුටක්. ඒ වගේ සතුටක් තවත් නැහැ. අම්මාගේ ඒ වොයිස් එක අහපු ගමන් හැමෝම මේ වැඩේට කැමැති වුණා. මෙතෙක් ලංකාවේ නොවුණු වැඩක්. හදවතින් පොහොසත් කට්ටියක් ඒක මුළු ලෝකෙටම පෙන්නුවා.
එදා වැඩ කරන දිනයක් නිසයි බයිසිකල් තුන්සිය දොළහක් විතර ආවේ. නිවාඩු දවසක් වුණා නම් බයිසිකල් පන්සීය පන්නනවා. ඒ අම්මාගේ ඉල්ලීම අනුව පෝස්ට් එක හැදුවේ මම. ඒක අහිංසක ඉල්ලීමක්. ඒ හීනය හැබෑ කරන්නයි අපිට ඕනෑ වුණේ. මම දෙයක් කෙළ් නැහැ. මට උණ හැදිලා එදා යන්නත් බැරි වුණා. එකම දුක ඒකයි. යකඩ හුස්ම එකේ බුද්ධික වසන්ත අයියා, එයාගේ කට්ටියත් එක්ක මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු උදවුවක් කළා.Tracker and honat පික්කො, තරුෂ රත්නායක, ඇන්ටන් දිනේෂ්, සම්පත්, පර්පල් කුවීන්,Team 90 degres, SL boys මේ හැමෝම සහ එයාලත් එක්ක ඉන්න කට්ටිය මනුස්සකමට තමයි ආවේ තමන්ගේ සල්ලිවලින් පෙට්‍රල් ගහගෙන. මූලිකත්වය ගත්ත කෙනෙක් නැහැ.”
අනතුරුව යකඩ හුස්ම ෆේස් බුක් ගිණුම හිමි බුද්ධික වසන්තද අප හා පිළිසඳරට එක්වූවේ ඉමහත් කැමැත්තෙනි.
“මම අවුරුදු තුනකට කලින් බයික් එකෙන් ඇක්සිඩන්ට් වෙලා අයි සී යූ එකේ දවස් හතරක් හිටියා. අපේ අම්මා මාව බලන්න ඇවිත් ඇඬුවා. මට කතා කරගන්න බැහැ. මම එදා හිතාගත්තා තවත් අම්මා කෙනෙක් අඬවන්නේ නැහැ කියලා. මේ කාවින්ද පුතාගේ අම්මා දමා තිබුණු පෝස්ට් එක දැකලා තමයි මමයි ඇන්ටන් සහෝදරයයි අපි ගෘෘප් එකේ ඉන්න අයයි එකතු වුණේ. ඒ අම්මාගේ වොයිස් රෙකෝඩින් එක ඇහුවාම මටත් කඳුළක් වැටුණා. ඊට පස්සේ අපි යකඩ හුස්ම රුවන්වැල්ලට එනවා කියලා පෝස්ට් එකක් දැමුවා. ඒකට කට්ටිය ගොඩාක් එකතු වෙලා ශෙයා වුණා.
ඒ පෝස්ට් එක දමලා විනාඩි පහක් යද්දී Traker and honet පේජ් එක කරන මල්ලි මට කතා කරලා අයියා එකතු වෙන එක ගැන ගොඩාක් සතුටුයි කීවා. රුවන්වැල්ලේ ඒ අම්මත් මට කතා කළා. අම්මා අඬන්න එපා මම එනවා මගේ යාළුවොත් එක්ක කියලා මම කීවා. ඒ අම්මා එවපු මැසේජ් එකත් මම ශෙයා කළා. ඒක දෙලක්ෂ හැටපන්දාහක් මේ වන විට බලලා තියෙනවා. මේ ගැන අපිට මාර සතුටුයි. අපේ මල්ලිගේ උපන් දිනය කියලයි අපි ගියේ. සුන්දර හදවත් තියන බයික්කාරයෝ කියන අපි ඒ අම්මාගෙත් දරුවාගෙත් සතුට වෙනුවෙන් ඒ දේ කළා. සමහරු යූ ටියුබ්කාරයෝ කියලා කීවත් අපි යූ ටියුබ් හරහා රෝගී දරුවෙක් වෙනුවෙන් අපිට පුළුවන් යමක් උපරිමයෙන් කළා.
සමහරු මට එන්න නැහැ මල්ලී මගේ බයික් එක අරගෙන ඔයා යන්න කියලා පෝස්ට් දමලා තිබුණා. තවත් එක්කෙනෙක් මට බයික් එකක් නැහැ යන කෙනෙක් පුළුවන් නම් මාවත් එක්ක යන්න. අපි පෙට්‍රල් වියදම බෙදාගනිමු කියලා කලින් හඳුනන්නේ නැති පිරිස් එදා ඇවිත් තිබුණා. මේ එක අවස්ථාවක් විතරයි. අපි හැමෝගෙම අරමුණ වුණේ අර පුතාව සතුටු කිරීම විතරයි. ඒ අම්මගේ ඉල්ලීම අපි හැමෝම එකතුවෙලා ඉටු කළා.”
මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු සේවාවන් පිළිබඳව කෑගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසාද් ප්‍රියංකර බණ්ඩාර මෙසේ පැවසීය.
මම රාජ්‍ය සේවයේ නියුතු වූ හා දියුණු විදේශ රටක අත්දැකීම් සහිතව ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරයෙක්. වසර දහයක් ගතවනතුරුත් මේ දරුවා ගැන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක හෝ දේශපාලන අධිකාරියේ හෝ අවධානය මේ දරුවා කෙරෙහි යොමු නොවීම ඛේදනීය කරුණක්. මෙම දරුවාගේ භාරකරුවන් හදිසියේ අහිමි වුවහොත් දරුවාගේ පෝෂණය, ඉදිරි අනාගතය සුරක්ෂිත වන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. සමාජ සේවා දෙපාර්තමේන්තුව, දිවිනැඟුම දෙපාර්තමේන්තුව වැනි ආයතනවල නිලධාරින් මෙවැනි පවුල් ඒකක සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු වනවා. එහිදී දැනට පවතින පවුල් ඒකකයේ මාසික ආදායම රුපියල් හයදහස යන්න වර්තමානයට ගැළපෙන්නක් නොවෙයි.
මෙවැනි පවුල් ඒකක හා සමාජ කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා පවතින අණපනත් ප්‍රමාණවත් නොවෙන්නේ නම් හෝ බාධාවක්ව පවතින්නේ නම් ඒවා සංශෝධනය කිරීමේ වගකීම මෙම නිලධාරින්ට හා දේශපාලන අධිකාරියට ඝෘජුවම පැවරෙනවා. මේ සියල්ල සිදුවන්නේ රටේ ජනතාවගේ බදු සල්ලිවලිනි. සමෘද්ධි ,ආබාධිත හා වැඩිහිටි දීමනා ලබාදීමේදී දැඩි විෂමතාවක් පැවතීම පැහැදිලිව දක්නට ලැබෙන්නක්. සමහර අකාර්යක්ෂම නිලධාරීන් හා දේශපාලන අධිකාරියත් මෙවැනි තත්ත්වයන්ට වගකිව යුතුයි.