මහින්දාගමනය හා දූත මෙහෙවර | සිළුමිණ

මහින්දාගමනය හා දූත මෙහෙවර

සර දෙදහස් පන්සිය හැට ගණනකට අධික ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකේය වංශ කතාවේ මෙතෙක් සිදු වී ඇති වැදගත්ම ඓතිහාසික සංසිද්ධිය මහින්දාගමනයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව සිදු වු මෙම දූත මෙහෙවර මඟින් මුළු මහත් ලාංකික සමාජයම නව මඟකට යොමු කළේය. 

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන සිදු වන්නේ අශෝක අධිරාජ්‍යයාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසය. කාලිංග යුද්ධයෙන් පසු පශ්චාත්තාපයට පත් රජතුමා නිග්‍රෝධ සාමණේර හිමියන් හමුවී බණ අසා බුද්ධාගම වැලඳගෙන එම ධර්මය පදනම් කරගෙන ජීවිතය සකස්කර ගැනීමටත් සෙසු ජනතාවගේ ජීවිත ද ඒ අනුව සකස් කිරීමටත් ක්‍රියා මාර්ග රාශියක් ගත්තේය.

ඒ අතරින් වැදගත්ම කාර්ය වන්නේ භාරතයෙන් බැහැර ප්‍රදේශ 9කට බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා ධර්මදූතයන් යැවීමයි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවැනි ධර්ම සංඝායනාව පවත්වා අනතුරුව ධර්ම ප්‍රචාරය සඳහා කටයුතු කළේය. ඒ අනුව කාශ්මීර ගන්ධාර දේශය, මහිස මණ්ඩලය, වනවාස දේශය, අපරන්තය, මහාරාෂ්ඨය, යෝනක ලෝකය, හිමාල ප්‍රදේශය, ස්වර්ණ භූමිය සහ ලංකාද්වීපය යන ප්‍රදේශවලට ධර්ම දූතයන් වහන්සේලා පිටත්කොට ඇරියහ. ලංකාද්වීපයට එවන්නේ අශෝක රජතුමාගේ පුතණුවන් වන මහින්ද මහ රහතන් වහන්සේය.

මහින්දාගමනය උත්කර්ෂයෙන් වර්ණනා කිරීමට යන අපේ වංශකතා කතුවරු මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජතුමාට මුණ ගැසුණේ අහම්බෙන් ලෙස සඳහන් කරති. ඒ අනුව එදා පොසොන් පෝදා රජු මිහින්තලයට ගියේ දඩ කෙළියටය. රජතුමාට මිහිඳු හිමි මුණගස්වන්නේ මුව වෙස්ගත් දෙවියෙකි. පැවිද්දන් දුටු රජු මවිතයට පත්වේ ආදී වශයෙන් වංශ කතා විස්තර කරන මෙම සිද්ධිය ඇත්තටම එවැනි සිදුවීමක්ද යන්න විමසා බැලිය යුතුය.

මෙය අහම්බ සිදු වීමක් යයි විස්තර කරන මහාවංශ කර්තෘ වහන්සේ තමාම මුලින් සඳහන් කළ දේ අමතක කොට එසේ කියති. මහාවංශය මුලින් සඳහන් කරන පරිදි දේවානම්පියතිස්ස රජු කලෙක සිටම අශෝක රජු සමඟ සබඳකම් ඇති කරගෙන සිටියේය. එම නිසා තිස්ස රජතුමා තමාට ලැබුණු ආශ්චර්යජනක වස්තු මහා අරිට්ඨ ඇමැති ප්‍රමුඛ දූත පිරිසක් අත ධර්මාශෝක රජතුමාට පඬුරු කොට යැවීය. ධර්මාශෝක රජු කෘතගුණයක් ලෙස තම මිත්‍රයාට නිසි පරිදි රාජාභිෂේක ලැබීමට අවශ්‍ය උපකරණ හා පංච රාජ කකුධ භාණ්ඩ එවන අතර පහත සඳහන් පණිවුඩය ද එවීය.

“අහං බුද්ධංච ධමමංච - සංඝංම සරණං ගතෝ

උපාසකත්තං දේසේසිං - සක්‍ය ප්‍රත්තස්ස සාසනේ

ත්වම්පි මාති රතනානි - උත්තමානි තරුත්තම

චිත්තං පසාදයිත්වාන - සද්ධාය සරණං වජ”

මම තෙරුවන් සරණ ගියෙමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමය ඔබ ද සිත් පහදවා ඒ තෙරුවන් සරණ යන්න - මහාවංශය 11 පරි. 34, 35 ගාථා)

දේවානම්පියතිස්ස රජතුමාට අභිෂේකය සඳහා එවූ කකුධ භාණ්ඩ වුයේ මල් විදුනාව, නළල්පටය, මඟුල් කඩුව, සේසත සහ රන් මිරිවැඩි සඟල යන පහයි.

ධර්මාශෝක රජතුමා එවන ලද පණිවුඩයේ තමා බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බව සඳහන් වූ නිසා එය ඇසූ දේවානම්පියතිස්ස රජතුමාට බුදුන්, දහම්, සඟුන් ගැන දැනගැනීමට කුතුහලයක් ඇති වන්නට ඇත. රජු පොසොන් පොහෝ දිනයේ මිහින්තලයට ගියේ මිහිඳු හිමි වසන බව දැන උන්වහන්සේ පිළිගැනීමට විය හැකිය. මෙම හමුවීම සඳහා සුදුසු තැන ලෙස මිහින්තලය තෝරා ගන්නට ඇත්තේ අනුරාධපුරය වැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි උපසාන්ත ධර්ම දූතයක් පිරිසක් හමු වීම නුසුදුසු යයි සැලකීම නිසා විය හැක.

මහාවංශය සඳහන් කරන්නේ මිහිඳු හිමියන් වේදිස ගිරි විහාරයෙන් අහසට පැන නැඟී අම්බස්තල ගල් කුළ මතට වැඩි බවයි. එහෙත් වෙනත් ඉතිහාසකරුවන් සඳහන් කරන්නේ මිහිඳු හිමියන් වේදිසාවේ සිට සමුදුරු මාර්ගයෙන් ලංකාවට වැඩිය බවයි.

මහින්දාගමනය ගැන සඳහන් කරන රජගල ලිපියේ මෙසේ සඳහන් වේ. “යෙ ඉම දිප පඨමය ඉදිය අගතත ඉයක තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මේ දිවයිනට පළමුව ඉර්ධියෙන් පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ, මහින්ද තෙරුන්ගේ ස්ථූපයි” යනුවෙනි. මෙහි “ඉදිය අගතත” යන යෙදුම සඳහා අර්ථ නිරූපණයක් කරන පරණවිතාරණයන් සඳහන් කරන්නේ එහි තේරුම “වාසනා මහිමයෙන් යන්න බවය. මෙරට වැසියන්ගේ වාසනා මහිමයෙන් මිහිඳු හිමියන් වැඩි බව ඉන් කියැවේ යයි සඳහන් කරයි. මිහිඳු හිමි නැවෙන් වැඩියේ නම් එදා ප්‍රකටව පැවැති මාතොට, දඹකොළ පටුන, ගෝකන්න වැනි වරායකින් උන්වහන්සේ ගොඩබට යුතුය. එසේ වැඩියේ නම් කෙළින්ම අනුරාධපුරයට විනා වනගත ගලක් උඩට වැඩීමේ තේරුමක් නැත. එසේම මිහිඳු හිමි නැව් මඟින් වැඩියත් උන්වහන්සේගේ සෘධිමත් භාවය ගැන තර්කයක් නැත. උන්වහන්සේ “සිව්පිළි සිසියාපත්” මහ රහතන් වහන්සේ නමක් බැවිනි.

දේවානම්පියතිස්ස රජු ගැන මිහිඳු හිමියන් කලින් දැන සිටියේ නම් රජතුමාගේ බුද්ධිය ගැන විමසීමට ප්‍රශ්න කිරීමක් කළේ කුමකට දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ධර්මාශෝක රජතුමාගේ සම්බන්ධකම උඩ මිහිඳු මා හිමි දේවානම්පියතිස්ස රජු ගැන දැන සිටියත් ධර්මය දේශනා කළ යුතු ආකාරය ගැන සිතා ගැනීමට රජුගේ බුද්ධිය මැන බැලීමට මිහිඳු මාහිමියන්ට අවශ්‍ය වුවා විය හැකිය. ඒ නිසා විමසු “අඹ” පැනය ලොව පළමු වැනි බුද්ධි පරීක්ෂණය ලෙස ද සැලකේ.

මහින්දාගමනයෙන් සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ බුද්ධාගම ස්ථිරව පිහිටුවීමය. මෙයට පෙර බුද්ධාගම පිළිබඳව හැඳින්වීමක් කර තිබුණත් එය සංවිධානාත්මක ආගමක් ලෙස මෙරට මුල් බැස ගත්තේ මහින්දාගමනයෙන් පසුවය. ඒ අනුව මිහිඳු හිමියන් විසින් ඉටුකොට ඇත්තේ අතිශයින් භාරධූර වූත් ශ්‍රේෂ්ඨ වූත් කාර්යයකි. ඉන්දියාවෙන් පිටත්ව ගිය අනෙක් ධර්මදූත හිමිවරුන්ට වඩා මිහිඳු මා හිමියන්ට තමා වෙත පැවැරුණ කාර්ය පහසුවෙන් ඉටු කිරීමට හැකි වූ විශේෂ කරුණු රාශියක් ඇත. උන්වහන්සේගේ ප්‍රඥාව, අප්‍රතිහත ධෛර්යය, දූරදර්ශී බව ඇරුණ කොට කල් යල් බලා ලංකාවට වැඩම කිරීමත් වැදගත් කරුණකි. තෙවැනි ධර්ම සංගායනාව අවසන් වී දෙසතියක් ඇතුළත සෙසු රටවලට ධර්මදූතයන් යැවු නමුත් මිහිඳු හිමි ලංකාවට වැඩම කළේ මාස කීපයක් ප්‍රමාද වීමෙන් පසුවය. එයට හේතුව වුයේ එවකට ලංකාවේ රජ කළ මුටසීවගෙන් පසු දේවානම්පියතිස්ස රජවන තුරු බලා සිටිය නිසා බව මහාවංශය සඳහන් කරයි.

මෙහි මුලින් සඳහන් කළ පරිදි දේවානම්පියතිස්ස රජ තුමා අශෝක රජතුමාගේ බල පරාක්‍රමය දැන ගෙන එතුමාගේ අදෘශ්‍ය මිත්‍රයකු ලෙස කටයුතු කළේය. මේ නිසා අන් කිසිඳු රටකට නොලැබුණු රාජකීය සබඳතාවක් ලාංකික දූත පිරිස තුළ පැවැතුණි. මිහිඳු හිමි අශෝක රජතුමාගේ පුතණුවන් බව ප්‍රසිද්ධ කරුණකි. උන්වහන්සේ සිය දූත පිරිස තෝරා ගැනීමේදී ඉතා දූරදර්ශී ලෙස කටයුතු කර ඇත. එම පිරිසට අයත් වූ සුමන සාමණේර හිමි මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වු සංඝමිත්තාවගේ පුතණුවන්ය. දූත පිරිසට අයත් වු එකම ගිහියා වු භණ්ඩුක උපාසක තුමා මිහිඳු හිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියකගේ දියණියකගේ පුතෙකි. මේ අනුව දූත පිරිසට අයත් වූ සත් දෙනාගෙන් තිදෙනෙක්ම රජ පවුලේ අයයි.

මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීමට කල් බලමින් පැලලුප්නුවර අශෝකාරාමයේ වැඩි සිටි සමයේ දේවානම්පියතිස්ස රජතුමා යැවු අරිට්ඨ ඇතුළු දූත පිරිස පැලලුප්නුවර අශෝක රජතුමාගේ මාළිගයේ පස් මසක් ගත කළ බව සඳහන් වේ. එම කාලය තුළ අරිට්ඨ ඇතුළු පිරිස මිහිඳු හිමි මුණ ගැසී අදහස් හුවමාරු කරගන්නට ඇති බවට සැකයක් නැත. මේ නිසා මිහිඳු හිමියන්ට ලංකාවේ රජතුමා ගැන පමණක් නොව ලාංකික සමාජය ගැන ද අවබෝධයක් ලබා ගැනීමට හැකි වන්නට ඇත.

අරිට්ඨ ඇතුළු පිරිස වෙසක් මස පෑලවිය දින ලංකාවට ආපසු ඒමට පිටත් විය. ඔවුන් අත ධර්මාශෝක රජතුමා තමන් තෙරුවන් සරණ ගිය පණිවුඩය ද එවීය. එසේම මෙහි මුලින් සඳහන් කළ පරිදි එතුමා එවූ කකුධ භාණ්ඩ උපයෝගී කරගෙන දේවානම්පියතිස්ස රජතුමා වෙසක් පොහෝ දින දෙවැනි අභිෂේකත්වය ලැබීය. එයින් අනතුරුව පොසොන් පොහෝ දින සිදු වු මහින්දාගමනය දෙපාර්ශ්වයම තොරතුරු දැන ගෙන හොඳින් සැලසුම් කළ දූත මෙහෙවරක් බව නොපෙනේද ?

Comments